~ පවිත්‍රා ජයවර්ධන, ජාත්‍යන්තර සබදතා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය
~ ක්‍රිෂාන් සිරිවර්ධන
කෝවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා ලොව සෑම රාජ්‍යයක්ම පාහේ තමන්ට හැකි ආකාරයෙන් විවිධ ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී තිබේ. මේ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ ජනයාගේ සබඳතා අන්වේක්ෂණය (surveillance) පහසු කරවන “ලුහුබැඳීම් උපායමාර්ගයි” (tracking strategies). මේ වන පෙනීයන්නේ, ආසාධිත පුද්ගලයන්ගේ ස්පර්ශකයන් සොයා ගොස් හදුනාගෙන, ඔවුන් වේගයෙන් නිරෝධායනය වෙත යොමුකළ රාජ්‍යයන් කෝවිඩ් මර්ධන ක්‍රියාවලියේ ඉදිරියෙන් සිටින බවයි. එලෙස ලුහුබැඳ ගොස් හදුනාගැනීම කුඩා රාජ්‍යයන්ට පහසු වුවත්, ජනගහණය අධික විශාල රාජ්‍යයන්ට එය එතරම් පහසු කටයුත්තක් නොවේ. කෙසේ නමුත්, කෝවිඩ් සම්පුර්ණ වශයෙන් මර්ධනය කිරීමට අප මුලදී සිතුවාට වඩා දිර්ඝ කාලයක් ගත වන බවක් ද පෙනේ. මෙම පසුබිම තුළ අපට උපකල්පනය කිරීමට සිදු වන්නේ, කෝවිඩ් ව්‍යාප්තිය අවම මට්ටමකට පාලනය වන තෙක්ම රාජ්‍යයන් විසින් හඳුන්වා දී ඇති ලුහුබැඳීම් උපායමාර්ග දීර්ඝ කාලයක් මුළුල්ලේ අප සමාජවල ක්‍රියාත්මක වනු ඇති බවයි. මෙකී “ලුහුබැඳීම් උපායමාර්ග” කෝවිඩ් මර්ධනය පහසු කරන බව නම් අවිවාදිතය. එනමුත්, දීර්ඝ කාලයක් මෙවන් උපායමාර්ග අපේ සමාජ තුළ ක්‍රියාත්මක වීම හරහා ඒවා සිවිල් ජනයාගේ නිදහස, පෞද්ගලිකත්වය සහ මානව අයිතිවාසිකම් කෙරෙහි කුමනාකාර බලපෑමක් එල්ල කරයිද යන්න මෙම කෙටි ලිපිය මගින් අවධානයට ලක් කෙරේ.
චීනයේ කෝවිඩ් මර්ධනය
වුහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වූ කෝවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට චීනයට හැකි වූ බව චීන මාධ්‍යය වාර්තා කර ඇත. මෙසේ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා චීනය ඉතා දැඩි අධිකාරවාදී පාලනයක් ගෙන ගිය බවත්, තවමන් එම ක්‍රියාවලිය අනුගමනය කරන බවත් දක්නට ලැබේ. ඩිජිටල් සෞඛ්‍ය කේත ක්‍රමයක් (digital health code system) හරහා චීනය සිය ජනයාගේ සංචරණය (mobility) නියාමනය කරයි. මෙම ක්‍රමය මගින් ජනයාගේ ගමන් බිමන් සහ ඔවුන්ගේ සබඳතා ජාලය ද අඛණ්ඩව නියාමනය කරන අතර, ඒ අනුව නිරෝධායටයට ලක් විය යුත්තේ කවුද යන්න තීරණය කරයි. ඇතැම් අවස්ථා වලදී ජනයාගේ සංචරණය වැලැක්වීම සඳහා ඔවුන්ගේ නිවාසවල දොරවල් පවා සීල් තබන ලද බවට තොරතුරු වාර්තා වේ. නිරෝධායනයට ලක් කල ජනයා පිලිබඳ සොයා බැලීමට අන්වේක්ෂණ කැමරා (surveillance cameras) සවි කරන බවද වාර්තා වෙයි. මෙම කැමරා බොහෝ විට සවි කෙරෙන්නේ අදාළ නිවෙස්වලට භාහිරින්, ඉදිරිපස දොරටුව ඉදිරියේය. එමඟින් ස්වයං-නිරෝධායනය කඩ කරමින් කෙනෙක් නිවසින් පිට වූයේ නම්, එය සටහන් වේ. නමුත් ඇතැම් අවස්ථාවල නිවාස අභ්‍යන්තරයේද කැමරා සවි කළ බවට වාර්තා ලැබී ඇත. මෙසේ නිවාස තුළ අන්වේක්ෂණ කැමරා සවි කිරීමේ නිශ්චිත අරමුණ නම් පැහැදිලි නැත. අනිත් අතට, එය ජනයාගේ පෞද්ගලිකත්වය ද බරපතල ලෙස කඩ කිරිමකි. චීනයේ පවතින දැඩි සංවිධිත හා අධිකාරීමය පාලනය නිසාම මෙය ඔවුන් බරපතල ගැටළුවක් ලෙස දකින්නේද නැත.
තායිවානය ද කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ග අනුගමනය කළ රටකි. තායිවානයේ මෙම නියාමනය නම් කර තිබෙන්නේ “ඩිජිටල් වැට” (digital fence) නමිනි. කෝවිඩ් ආසාදිතයින් සමග සබදතා පැවැත්වූ පිරිස සොයා ගැනීම සදහා ජනයාගේ දුරකථන දත්ත සෙවීම, ගබඩා කිරීම සහ අදාළ අනෙකුත් අංශ සමඟ වේගයෙන් එම තොරතුරු බෙදා ගැනීම මේ හරහා සිදු කරයි. තායිවානයේ යම් පුද්ගලයෙක් කිසියම් අවස්ථාවකදී මුණ ගැසුණු කිසිවෙකු හෝ කෝවිඩ් ආසාදිතයෙකු බවට පත් වී නම්, අදාළ පුද්ගලයාට එම පණිවිඩය (තමා පසුගිය දිනක හමු වූ අයෙක් කෝවිඩ් ආසාදිතයෙකු බවට පත් වී ඇති බවට වන තොරතුර) දුරකථන පණිවිඩයක් මගින් ඉතා ඉක්මණින් දැන ගන්නට ලැබෙයි. අදාල සම්බන්දතා ජාලය පිලිබඳ දත්ත සොයා ගැනීමේ ක්‍රියාවලිය ඉතාම වේගවත්ය. නිරෝධායන ක්‍රියාවලියට ලක් වන සියළු දෙනා සෑම විටම සිය ස්මාට් දුරකථනය ක්‍රියාකාරීව තබා ගත යුතු අතර, කිසිම හේතුවක් මත දුරකථනය ක්‍රියා විරහිත කළ නොහැකිය. හදිසියේ දුරකථනය ක්‍රියා විරහිත වුවහොත්, විනාඩි ගණනක් තුළ ආරක්ෂක අංශ විසින් අදාළ පුද්ගලයාව සොයා ගෙන එනු ලැබේ. මෙවැනි ක්‍රමවේද භාවිතය නිසා සාර්ථකව කෝවිඩ් ව්‍යාප්තිය පාලනය කරන බවට තායිවානය ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට පවා ලක් වී ඇත.
වෛරසය පවතිද්දීම දකුණු කොරියාව මැතිවරණයක් පවා පවත්වන ලදී. එසේ කළ හැකි වුයේ, දකුණු කොරියාවද පුද්ගල සංචරණ දත්ත නියාමනය කිරීමේ ප්‍රභල හා වේගවත් වැඩපිළිවෙලක් භාවිත කළ බැවිනි. ඔවුන්ගේ නියාමන පද්ධතිය “දත්ත එක් කරන ස්මාට් නගරය” (smart city data hub) ලෙස හැදින්වෙයි. ආසාදිතයින් සහ ඔවුන්ගේ සම්බන්ධතා ජාල පිලිබඳ තොරතුරු මේ මගින් තත්පර ගණනක් තුළ විවිධ පාර්ශව සමග හුවමාරු කර ගැනීමට හැකිය.
බටහිර රාජ්‍යයන්
අධිකාරීමය දේශපාලන තන්ත්‍රයන් සහිත රාජ්‍යයන් කෝවිඩ් පාලනය සඳහා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ ද ඊට සාපේක්ෂව වඩා ලිබරල් පාලන ක්‍රම තිබෙන බටහිර රාජ්‍යයන්ට එසේ කළ නොහැකි යැයි කෙනෙක් කල්පනා කළ හැක. ඒ, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුව නිසයි. නමුත් කෝවිඩ් පාලනය කිරීමේ හදිසි අවශ්‍යතාවයත් සමග එවැනි ලිබරල් රාජ්‍යයන් පවා සිය පුරවැසියන් නිසි පරිදි දැනුවත් නොකරමින් විවිධ උපායමාර්ග අනුගමනය කරන බවක් පෙනේ. නිදසුනක් ලෙස, මහා පරිමාණ තාක්ෂණික ආයතන සමග එක්ව, ඇමරිකාව සිය ජනයාගේ ස්මාර්ට් දුරකථනවල ස්ථානය පිලිබඳ දත්ත (location data) නියාමනය කරයි. මෙසේ එකතු කරන දත්ත ඇසුරෙන් සිය ජනයාගේ සංචරණ රටාවන් හඳුනා ගැනීමටත්, කෝවිඩ් ව්‍යාප්තිය ලුහු බැඳීමටත්, පනවා ඇති සංචරණ නීති රීති උල්ලංඝනය කරන අවස්ථා හඳුනා ගැනීමටත් හැකියාව ලැබී තිබේ. එපමණක් නොව, සාප්පු සංකීර්ණ, ආපන ශාලා යනාදියට යන එන පිරිස නියාමනය කිරීමෙන්, ආර්ථිකයට වන බලපෑම හඳුනා ගැනීම ආදී ආර්ථික නියාමනයන්ද සිදු කිරීමට හැකියාව ලැබී තිබේ. කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස, මෙම ක්‍රියාමාර්ග සිදු කරන ආකාරය, ඒවායේ සීමාවන් ආදිය සිය ජනයාට විවෘතව ප්‍රකාශ කිරීම තවමත් සිදු වී නොමැත. මෙම තත්වය පිලිබඳ ඇමරිකානු සමාජය තුළ යම් අවදානයක් යොමු වී තිබුනද, ඒවා පුළුල්ව ප්‍රශ්න කෙරෙන සහ ඒ පිලිබඳ වැඩි දුර තොරතුරු ඉල්ලා සිටින ප්‍රභල ජනතා ව්‍යාපාර තවමත් පැන නැගී නැත.
කෝවිඩ් නිසා ඇතිවූ ප්‍රකාශන නිදහසේ සීමාව
කෝවිඩ් මර්ධනය සඳහා රාජ්‍යයන් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ට ජනතාව සහයෝගය දැක්විය යුතුය යන්න සැබෑවකි. කෙසේ වෙතත්, ඇතැම් රාජ්‍යයන් ඉල්ලා සිටින මෙම ජනතා සහයෝගය යම් ආකාරයක හිස් චෙක්පතක් (blank cheque) වැනිය. අදාළ උපාය මාර්ගවල සහේතුක භාවය, ක්‍රියාත්මක වීමේදී සිදු වන අඩු ලුහුඬු කම්, ඒවායේ සීමාවන් යනාදිය පිලිබඳ කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව ලබා දෙන කොන්දේසි විරහිත සහයෝගයක් මෙවන් අවස්ථාවල ඉල්ලා සිටින බවක් පෙනේ. “කොරෝනාවට එරෙහි සටන” වැනි පද භාවිතා කිරීම හරහා ගොඩනැගෙන්නේ ද, මෙය සටනක් නිසා, අදාළ අංශ විසින් එය අවසන් කිරීමට අවශ්‍ය කුමන පියවරක් ගත්තද ජනයා එය ප්‍රශ්න කිරීමකින් තොරව දරා ගත යුතු බවට වන වාගාලංකාරයයි (rhetoric). කෝවිඩ් පාලනය කිරීමේ අවශ්‍යතාවය කෙතරම් ප්‍රභලද යත්, එය පාලනයට භාවිතා කරන “ලුහුබැඳීම්” ආදී ක්‍රමවේද පිලිබඳ ජනතාව තමන්ට පැහැදිලිකිරීමක් හෝ අවශ්‍ය බව පෙන්වන්නේ ද නැත. වෙනත් ආකාරයකට කිවහොත්, දත්ත නියාමනය කිරීම, ගබඩා කිරීම ආදිය සම්බන්ධ සිමාවන් සහ එම සීමාවන් දැන ගැනීමට ජනයා සතු අයිතිය, කෝවිඩ් මර්ධනය කිරීමේ අවශ්‍යතාවේ “හදිසිය” විසින් බොඳ කර තිබේ. නමුත් මෙවැනි හදිසි අවස්ථාවක පවා යම් ක්‍රියාවක් වඩා සාර්ථක කර ගත හැක්කේ විචාරාත්මකව විමසා බැලීමෙන් මිස, භාවතිෂයව ඒවා අනුගමනය කිරීමෙන් නොවේ.
ජනයාගේ දත්ත ලුහුබැඳ යාම නිසා කෝවිඩ් මර්ධනය පහසු වීම අප කිසිසේත් අවතක්සේරු කරන්නේ නැත. දත්ත ලුහුබැඳ යාම විසින් කෝවිඩ් ව්‍යාප්තිය මන්දගාමී කර තිබෙන බව අවිවාදයෙන් පිළිගත යුතුය. නිදසුනක් ලෙස ඔස්ට්‍රෙලියාව විසින් හඳුන්වා දුන් Covidsafe යන මෘදුකාංගය (ඇප් එක) හරහා, ‘ලොක්ඩවුන්’ තත්වයකට නොගොස්, සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගනිමින්ම, සංචරණය නියාමනය කිරීමත් කෝවිඩ් ව්‍යාප්තිය අවම කිරීමත් පහසු වී ඇත.
කෙසේ වෙතත්, මෙම ලිපියෙන් යෝජනා කෙරෙන්නේ, කෝවිඩ් කෙතරම් හදිසි තත්ත්වයක් නිර්මාණය කර තිබුණද එය මර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාවන් පිලිබඳ නිහඩ ප්‍රතිපත්තියක් වෙනුවට යම් තාර්කික සවිඥානිකත්වයක් ජනයා ගොඩ නගා ගත යුතු බවයි. රාජ්‍යය විසින් ලබාගන්නා දත්ත කෝවිඩ් පාලනය සදහා පමණක්ම භාවිතා වේ නම්, එහි ගැටළුවක් නැති නමුත්, එය එසේ වනු ඇති බවට කිසිදු සහතිකයක් නොමැත. එම නිසා රාජ්‍යයන් විසින් අනුගමනය කරන මෙකී දත්ත ලුහුබැඳීම්වල සීමාවන් දැන ගැනීමට ජනයාට අයිතියක් තිබේ. දත්ත ලුහුබැඳීම්වලින් සිය පෞද්ගලිකත්වයට සිදු විය හැකි හානි අවම කර ගැනීමට ජනයාට අයිතියක් තිබේ. එසේම, දත්ත එක්රැස් කිරීම එක් ස්ථානයකට ගොනු වීම වීම හරහා විය හැකි දත්ත අවභාවිතා වීම් ආදිය නොවන බවට සහතිකයක් ඉල්ලා සිටීමට ද ජනයාට අයිතියක් තිබේ. එසේම, මෙසේ රැස් කරන දත්ත ගබඩා කර තැබීම සඳහා කුමනාකාරයේ සුරක්ෂිත ක්‍රම භාවිතා කරන්නේද යන්න පිලිබඳ දැන ගැනීමට ද ජනයාට අයිතියක් තිබේ. ඒ, එම දත්ත අනාරක්ෂිත වුවහොත් විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම්වලට පවා (නිදසුනක් ලෙස ත්‍රස්තවාදී හෝ අන්තවාදී කණ්ඩායම් අතට පත් වුවහොත්) ඒවා භාවිතා කල හැකි බැවිනි.
(කාටූනය ‘පොලිටිකෝ’ වෙතිනි: https://www.politico.eu/interactive/worlds-cartoonists-on-coronavirus-pandemic/)