~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය
අරගලයේ ශක්තිය මිනිසුන් විසින් පෙන්වා දෙමින් සිටින මොහොතක මේ සටහන ලියමි. පවතින සටන් පාඨ අභියෝගයට ලක්කිරීමේ වරප්‍රසාදය මට ඇති බව මම නොසිතමි. ඒ වෙනුවට, ඒ සටන් පාඨ ප්‍රවාහයට එක්වෙමින්, සියල්ලන්ගේ ම සටන් පාඨවලට මගේ සටන් පාඨ මුසු කිරීමට සිතමි. එමෙන්ම, ජන මනස තුළ පාලකයා විසින් ගොඩ නඟන ලද මිලිටරි රාජ්‍ය පිළිබඳ අදහස අභියෝග කිරීම මාගේ සටන් පාඨවල මූලික අරමුණක් වනු ඇත. මේවා ‘මාගේ’ සටන් පාඨ ලෙස හැඳින්වුවත්, එම සටන් පාඨවලට මා එළඹි සිතුවිලි ක්‍රියාවලිය, සිය දහස් ගණන් මිනිසුන්ගේ සංවාදවල ප්‍රතිඵලයකි.
නාමල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂය බොහෝ විට කියා සිටින්නේ ඔවුන් ‘ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ’ ආණ්ඩුවක් බවයි. ආණ්ඩු යනු රාජ්‍යය පාලනය කරන යාන්ත්‍රණයක් පමණි. එය ප්‍රජාතන්ත්‍රවාදීව පත්වීම යනු, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට ඉහළින් සිටිනවා යන්න නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදීව පත්වීම යනු, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි බැඳී සිටින බවයි. ප්‍රජාතන්ත්‍රවාදය ජනතාව විසින් නිර්මාණය කරන ලද්දක් වන අතර, එය නිරන්තර වෙනස්වීම්වලට ලක්වන ඉතාම බිඳෙන සුළු අවකාශයක් වෙයි. රාජ්‍ය පරිපාලනය සඳහා වූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම වෙනුවට, මානව විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳ උනන්දුවක් ඇති අයෙකු ලෙස මම, පාර්ලිමේන්තුවෙන් පිටත පවතින ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමට සිතුවෙමි.
ජනතාව අරගලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රති-අර්ථකතනය කරමින් සිටිති. එම ප්‍රති-අරුත්ගැන්වීම දශක ගණනාවක් තිස්සේ මිලිටරිකරණය වූ සහ පාලක වුවමනා මත විනයගත කරන ලද සමාජයකට එහි ආදීනව දරාගත නොහැකි නිසා ඇතිවූ බවක් ඇතැම් විට හැඟී යයි. එහි ඉතාම ආසන්න උදාහරණය වන්නේ ජෙහාන් අප්පුහාමි කුරිසිය කරමත තබාගෙන ආ පාද චාරිකාව විවේචනය කිරීමයි. එය විවේචනය වූයේ අරගලය කලාකරුවාගේ ‘වේදිකාවක්’ බවට පත් වී ඇති බව කියමිනි. මා සිතන ආකාරයට වැදගත් වන්නේ ජෙහාන් අප්පුහාමි රංගන ශිල්පියෙකු වීමේ වරප්‍රසාදය ජනතාව වෙනුවෙන්, ජනතාවගේ වේදිකාව මත රඟ දැක්වීමය. එමෙන්ම වැදගත්ම කාරණය වන්නේ, එය ඉතා අසීරු, ජීවිතය පරදුවට තබා සිදුකරනලද අතිශය අවිහිංසාවාදී සහ ප්‍රබල රංගනයක් වීමය. රංගන ශිල්පියා රඟන්නේ කාගේ වේදිකාවේ ද යන්න වැදගත්ය. ජෙහාන් අප්පුහාමි රංගනයේ යෙදුණේ ජනතාව වෙනුවෙන් ජනතා වේදිකාවේය. කලාකරුවෙකුට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළහැකි උපරිම කර්තව්‍යය එයයි.
එමෙන්ම, කවුරුත් අසන මූලික ප්‍රශ්නයක් වන්නේ දැනට පවතින බල කඳවුර වෙනස් නොවීම අරගලය අසාර්ථක වීමේ ලක්ෂණයක් වේද යන්නයි. කිරන් ග්‍රේවාල් ගොටාගෝගම මහජන සරසවියේදී දැක්වූ අදහස් කිහිපයක් මෙතැනදී උපුටා දක්වමි. මිලිටරි රෙජීමය බලයට පත්වීමට පෙර ජනතාවට අවශ්‍ය වූයේ පාලකයා විසින් තමුන්ගේ ‘විනය’ ඇති කිරලීමයි. නමුත් ග්‍රේවාල් ප්‍රකාශ කළේ, ජනතාවට ‘විනය’ නැතිකම පිළිබඳ පාලකයා විසින් ගොඩනංවන ලද එම ආඛ්‍යානය හෝ කතාන්දරය සම්පුර්ණයෙන් ම අසත්‍යයක් බවයි. ඒ වෙනුවට, ඇය පැවසුවේ, මේ මොහොතේ පාලකයෙකුගෙන් තොරව තමන්ගේ ජීවිතය ‘විනයානුකුලව’ පවත්වාගෙන යන අයුරු ජනතාව විසින් පාලකයාට උගන්වමින් සිටින බවයි. එනම්, අත්‍යාවයශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම, තෙල් සහ ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටීම මෙන්ම, දේපොළ විනාශ කිරීම වෙනුවට, උද්ඝෝෂකයින් විසින් නිර්මාණශීලී අවකාශ බිහිකර ඇත: පුස්තකාල, දරුවන් සඳහා අවකාශ, වෛද්‍ය මධ්‍යස්ථාන සහ සරසවි නිර්මාණය කර ඇත. අරගලයේ ජහග්‍රහණ මේවාය.
‘ගෝහෝම් ගෝටා’ යන සටන් පාඨය හුදු තනි පුද්ගලයෙකුට එරෙහි සටන් පාඨයක් නොවෙයි. මෙම අරගලය, ‘තම කටින් පිටවන වචනය නීතිය වන්නේය’ ලෙස ප්‍රකාශ කරමින්, තනි පුද්ගලයෙකු විසින් ආධිපත්‍යය උසුලන ලද ක්‍රමයකට එරෙහිව මිනිසුන් ගැසූ කැරැල්ලකි. මිනිසුන් තම ජීවිතය ප්‍රජාතන්ත්‍රවාදයේ යාන්ත්‍රණ සමඟ සම්බන්ධ කරන්නේ එලෙසිනි. තවත් සටන් පාඨයක් වූයේ ‘සාටක ඝාතක’ යන්නයි. මෙය පවුලක් විසින් තම හිතුමතයට පාලනය කරන සහ මර්ධනය කරන යාන්ත්‍රණයක් නැතහොත් රාජ්‍ය ත්‍රස්තවාදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින පුරවැසියන්ගේ සටන් පාඨයයි. එනිසා, මෙම සටන් පාඨ හුදු තනි පුද්ගලයෙකුට හෝ පවුලකට එරෙහි සටන් පාඨ ලෙස පෙනී ගියත්, ඒවා එවැනි පවුල් සහ පුද්ගලයින් නිර්මාණය වූ ක්‍රමයට විරුද්ධව පැන නඟින සටන් පාඨ ලෙස වඩාත් නිවැරදිව තේරුම් ගත හැක.
පොරක් වීමට නොව අරගලයේ පුරුකක් වීමට!
මෙම අරගලය දිනක දේශපාලන පරිපාලන ව්‍යුහයක්, නැතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දක්වා පරිවර්තනය වනු ඇත. එවිට ඕනෑම තක්කඩියෙකු බලයට පත්වීම වෙනුවට, මෙම සටන් පාඨවලින් අරුත්ගැන්වූ ප්‍රජාතන්ත්‍රවාදය තුළ නියෝජිතයින් පත්වේය යන අපේක්ෂාව අප සියලු දෙනාටම ඇත. ජයදේව උයන්ගොඩ ගෝටාගෝගම මහජන විශ්වවිද්‍යාලයේදී ප්‍රකාශ කළ ආකාරයට, මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මොහොතකි. ඒ කියමන සමග සපුරා එකඟ වන මම කොන්දේසි විරහිතව අරගලයට සහාය වෙමි. අරගලය තුළ ඇද පලුදු තිබෙනු ඇත, වැරදීම් සිදුවනු ඇත. නමුත්, වැදගත් වන්නේ අරගලය සිදු වීමයි; මිනිසුන් සංවාදයේ හා භාෂණයේ යෙදීමයි; ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා පුළුල් කිරීමයි. එමෙන්ම, ඒ සමගම එසේ ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදය තුළ නිර්මාණශීලීව සහභාගී වීමයි.
පොරක් වීමට නොව අරගලයේ පුරුකක් වීමට!
අරගලයට ජය!