Skip links

පාංශු: මනුෂ්‍යත්වය, ප්‍රචණ්ඩත්වයේ ආඛ්‍යාන සහ යුක්තියේ කතිකා

පාංශු, විසාකේශ චන්ද්‍රසේකරම්ගේ නිර්මාණයකි

විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ

දිරාගිය මහලු මවක්, පණ නැසූ නමුත් තවමත් පණ ගැහෙන තුවක්කුවක් තම දිය රෙද්දෙහි  රුවා, වැව් ජලය මත උඩු අතට පිහිනා යන්නීය. මේ අම්මා බබා නෝනාය. එකම රාමුවක් තුළ පරිකල්පනය කළ නොහැකි පුද්ගලයින් සහ වස්තූන් එකට මුණ ගැස්සවීම තුළ සිනමාකරුවා අපූරු සිතුවමක් ප්‍රේක්ෂක මනසේ සිතුවම් කරයි. මේ රූප රාමුව, අපේ කාලයේ අම්මාවරුන්ගේ අ​භියෝගවල  ගතිකත්වය ගැනය. තම අතුරුදහන් වූ පුත්‍රයාගේ හැඩරුවට සමාන පුද්ගලයෙක් රෝහලේ ඇතැයි යන පණිවිඩයට සංවේදී වන බබා නෝනා, කඩිමුඩියේ රෝහල වෙත යයි. එහෙත් ඒ උමතු පුද්ගලයා ඇගේ පුත්‍රයා නොවන අතර, රෝහලෙන් පිටවන ඇයට  රෝගියෙක්, මැහැල්ලක් මෙන්ම  පැවිදි රුවක්ද ඇස ගැටෙන මොහොත ප්‍රේක්ෂක මනස කම්පනයට පත්කරයි. සතර පෙරනිමිති මෙන්ම ඊටත් වඩා ටිකක් දැක්කා වුවත්, පීඩිත පන්තියේ මිනිසුන්ට ලෙහෙසියෙන් බුදු වන්නට බැරිය. 

ආයුධත්, මිනිසුනුත් දිරාගිය සහ සැඟවුණු පාංශු, 88/89 තරුණ කැරැල්ලේදී අතුරුදහන්වන තරුණයකු සහ ඔහු නැවත පැමිණේය යන සාංකාවෙන් පසුවන මවක වටා ගෙතී ඇත. ඒ අඳුරු යුග තුළ සැඟවගිය ප්‍රචණ්ඩත්වයේ, යුක්තියේ, බලයේ සහ මතකයේ ආඛ්‍යාන නැවත ප්‍රතිනිර්මාණය කළයුතු වන්නේ, ඒ අතීතය උත්කර්ෂයට නැංවීමට නොව, ඒවා ප්‍රති-යතාර්ථයක් වීම වළක්වා ගැනීමටය.

මේ චිත්‍රපටයේ ආකෘතිය, ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරනලද  ‘පුරහඳ කළුවර’ චිත්‍රපටයේ ආකෘතියට යම් සමානකමක් දක්වන්නේ, එකම පිඩිත පන්තියේ මවක් සහ පියෙක්, තම පුතුන් එන තෙක් විශ්වාසයෙන් මගබලා සිටින බැවිනි. අනන්තය දක්වා විහිදෙන හිඳී (නො)ගිය ජල කඳක් ඉස්මත්තෙහි මොවුන් තම ජීවිතය ආවර්ජනය කරති.

මේ සිනමා වියමන තු​ළ සුවිශේෂී වන කාරණා කිහිපයක් මම දකිමි. අවිවාදයෙන්ම මෙය තුන්වන සිනමා  (third cinema) ගණයට වැටෙන අතර, විකල්ප ධාරාවේ සිනමා නිර්මාණයකි. නමුත්, විකල්ප ධාරාවේ ප්‍රචණ්ඩ විරෝධී සිනමා කෘති මෙන්ම, යුධ විරෝධී සිනමා කෘති තුළ නිරන්තරව දක්නට නොලැබෙන ලක්ෂණ ගණනාවක් මෙම චිත්‍රපටය තුළින් ප්‍රකට වෙයි. ඒ එකක් නම්, අනාගතය පිළිබඳ පවතින ප්‍රගතිශී​ලී බලාපොරොත්තුවයි. මේ ප්‍රවර්ගයේ කලාකෘති බොහෝ විට මානව දුක සහ සන්තාපය උත්කර්ෂයට නංවන අතර, කතා නායකයා හෝ නායිකාව එක් පසකටත්, අනෙක් සියලුම චරිත පාහේ ඔවුන්ගේ විරුද්ධ කරුවන් ලෙසත් මතු කිරීම තුළ, කතා නායක/නායිකා චරිතය ඉස්මතු කිරීමේ වෑයමක යෙදෙයි. නමුත් මේ සිනකා කෘතිය තුළ, චරිතවල සංකීර්ණතාව වඩාත් මතු කෙරෙන අතර, සාධාරණය වෙනුවෙන් පෙනී සිටින, විවිධ වයස්වල චරිත නිර්මාණය තුළට රැගෙනවිත් ඇත. බබා නෝනාගේ ඥාති පුත්‍රයාගේ චරිතය, නීතිඥ වරයාගේ චරිතය මෙන්ම, මියගිය රූපාගේ වැඩිවිය පැමිණෙන දියණියගේ චරිතයද ඒ බවට සාක්ෂි දරයි. ඒ අනුව, ප්‍රග​තිශීලි අනගාතයක් ගැන සුන්ව ගිය බලාපොරොත්තුවලට නැවත පණ පෙවීමට සිනමා කරුවා සමත් වෙයි.

තවත් විශේෂිත ලක්ෂණයක් වන්නේ, යුක්තිය පිළිබඳ සිනමා කරුවා දක්වන අදහසයි. යුක්තිය යන්න කෙතරම් විවාදාපන්න සංකල්පයක්ද යන්න සිනමාකරුවා පෙන්වා දෙයි. මේ සමාජ-ආර්ථික ව්‍යුහය තුළ, වරෙක අපරාධකරුවෙන් තවත් වරක වින්දිතයෙකි, වරක වින්දිතයෙක් තවත් වරෙක අපරාධකරුවෙකි.  ගෙවී යන සෑම මොහොතකම, අපි සියල්ලෝ සංකීර්ණ සමාජ-දේශපාලනික- ආර්ථික ජාලයක පැටලුණු ගොදුරුය. අතුරුදහන්වන වාමාංශික ව්‍යපාරයට අයත් පුත්‍රයාත්, ඔහුව අතුරුදහන් කරවන හමුදා සොල්දාදුවාත්, අතුරුදහන් වූ පුත්‍රයා  අතින් මරණයට පත්වන පළාත් සභා මන්ත්‍රී අපේක්ෂිකාවත් යන සියල්ලෝ එකම පිඩිත පන්තියකට අයත් වන අතර, එකිනෙකාට එරෙහිව ඔවුන් මෙහෙයවන්නේ පීඩාකාරී සහ අසාධාරණ රාජ්‍ය යාන්ත්‍රණයයි. ඒ එසේ තිබියදීත්, අපි සියල්ලෝ එහි සහභාගිවන බැවින්, අපි කිසිවෙකුටත් ඒ පීඩාකාරී යාන්ත්‍රණයේ කොටස්කරුවන් නොවන්නෙමු යයි අත් පිසදාගත නොහැකිය.

සිනමා සිත්තම තුළ ගැහැණිය සළකුණු කෙරෙන ආකාරයද අපූරුය. එක් සිද්ධි දර්ශනයක, තම පුතා අතුරුදහන් වූ බබා නෝනාත්, ඊට වැරදිකරු ලෙස බබා නෝනා විසින් හඳුනාගන්නාලද සොල්දාදුවාගේ ගැබිණි බිරිඳත් වාඩි වී සිටින්නෝය. දර්ශනය තුළ ඔවුන් එකිනෙකාගෙන් වෙන් වන්නේ උසාවි පරිශ්‍රයේ ඇති කණුවකිනි. සිනමාකරුවා එසේ එක තිරයක් තුළට ගෙන එන්නේ, ලංකාවේ අම්මාවරුන්ගේ කතාන්දරයයි. අතුරුදහන් වූ දරුවන් සහ, අතුරුදහන් කිරීමට සහභාගී වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය විසින් බලකරනලද නිලධාරීන්ගේ නූපන් දරුවන්ගේ අම්මලාගේ කාතාන්දරයයි.

ලංකා සමාජය තුළ අණසකධාරි පුරුෂත්ව ප්‍රවර්ග විසින්, වරින් වර ඉල්ලා සිටිනලද දේශප්‍රේමියා, යුධ විරුවා වැනි අවකාශ පූරණය කරන ලද්දේ පීඩිත පන්තියේ ග්‍රාමීය පිරිමින් විසිනි.මෙම පිරිමියාට තම  ‘පිරිමිකම’,  ලෙස සුජාතකරණය කළහැකි වූයේ මෙම නීත්‍යනුකූල ප්‍රචණ්ඩත්වයේ අවකාශ තුළය. එසේ මේ සමාජය විසින් ඉල්ලා සිටින විරුවන්ගේ ජීවිත සමඟ යාවුණ ගැහැණුන්ගේ ඛේදවාචකයද සිනමා කරුවා ප්‍රතිනිර්මාණය කරයි. එමෙන්ම මෙම නිර්මාණය තුළ, බොහෝ යුධ විරෝධී  සිනමා කෘතිවල සිදුකරන ලෙස, සොල්දාදුවා වීරයෙකු නොව, රෝගියෙකු බවට පත්කර ඇත. යුධ විරෝධී සිනමාව තුළ සොල්දාදුවා නිරුපණය වන්නේ, අතුරුදහන්වූ, මියගිය, උමතු හෝ ලජ්ජාවට පත්වූ පුරුෂ චරිතයක් ලෙසිනි. ඒ අනුව, ජනප්‍රිය කතිකාවේ ස්ත්‍රී-පුරුෂ සමාජ භාවි ධුරාවලිය  තුළ, සොල්දාදුවාට හිමිවන ආස්ථානය, යුධ විරෝධී සිනමාව තුල විඛන්ඩනයකට ලක්කරනු ලබයි. පාංශු සිනමා පටය තුළ සොල්දාදුවා, නින්දෙන් භියවන, තම සයනය මත නොදැනුවත්ව මුත්‍රා පහවන මෙන්ම  පීඩාකාරී ලක්ෂණ පෙන්නුම් කරමින් නිරන්තරව ඇස් පොඩි කරන කායික මෙන්ම මානසික රෝගියෙකි. 

Leave a comment

This website uses cookies to improve your web experience.