Skip links

මානව විද්‍යාව ඡායාරූපවලට බිය වන්නේ ද?

Perera, Sasanka. Fear of the Visual? Photography, Anthropology, and Anxieties of Seeing (දෘශ්‍යත්වයට බියවීම? චායාරූප ශිල්පය, සමාජ මානව විද්‍යාව හා දැකී​ම පිළිබඳ ඇති සාංකා). නව දිල්ලිය: ඕරියන්ට් බ්ලැක්ස්වෝන් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 280. ISBN 978-93-5287-995-3 . මිල: ඉන්දියානු රුපියල් 850.00 (ඝන කවරය සහිතව).

විමර්ශනය: ජිනෝයි හොසේ පී.

ඔබ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නෙකු නම්, පූර්ව-විවාහ ඡායාරූපකරණය (pre-wedding photo-shoot) කෙතරම් කේන්ද්‍රීය භාවිතයක් බවට පත් වී ඇත්දැයි මැනැවින් දන්නවා ඇති. තත්කාලීන සමාජ මාධ්‍යය විවාහ වීමට සැරසෙන තරුණ තරුණියන්ගේ ඊනියා ‘අවංක’ (candid) ඡායාරූපවලින් පිරී පවතී. ඒවා මගින් ඩිජිටල් අවකාශ ඔස්සේ ප්‍රතිරූප පරිභෝජනය කරන ප්‍රේක්‍ෂකයින් තුළ විස්මය, බැණවැදීම් හා ඊර්ෂ්‍යාව ජනිතකරවයි. උදාහරණ ස්වල්පයක් සම්බන්ධයෙන් පමණක් විවාහ දිවියට අතුළුවන්නට සැරසෙන තරුණ කරුණියන්ගේ වඩාත් ප්‍රේමණීය ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ අතිශයින් ජනප්‍රිය වී පැතිර ගියේ මෙවන් සමාජගතවෙමින් පැවති සමාජ-සංස්කෘතික ප්‍රවණතා පිළිබඳ උණුසුම් විවාද අවුළුවමිනි.

‘එක් ඓතිහාසික මොහොතක්’

19 වන සියවස මුල්කාලය තෙක් දිවයන මංගල ඡායාරූපවල ඉතිහාසය හා සැසඳීමේ දී පූර්ව-විවාහ ඡායාරූප බෙහෙවින් මෑතකාලීන ප්‍රවණතාවකි. මුල්ම මංගල ඡායාරූප සමාජයට පැමිණියේ 1840 දශකයේ මුල් කාලයේය. සමාජ මානව විද්‍යාඥ සසංක පෙරේරා සිය Fear of the Visual? Photography, Anthropology, and Anxieties of Seeing යන කෘතියෙන් පවසන්නේ මංගල ඡායාරූප බිහිවූයේ භාවිතයක් ලෙස ඡායාරූප ශිල්පය සමාජගත වී ඉතාමත් කෙටි කලකට පසුව බවයි. මෙලෙසින් මුලින්ම වෘත්තීයමය ලෙස ඡායාරූප ගත කළ යුවල වූයේ එංගලන්තයේ වික්ටෝරියා රැජින හා එඞ්වර්ඞ් කුමරාය. ඒ 1840 වසරේදීය. මුලින්ම මංගල ඡායාරූපකරණය යන සමාජ භාවිතයට හුරු වූයේ ප්‍රභූන්ය. ඊට හේතු වූයේ, එහි අධික මිල හා අවශ්‍ය තාක්‍ෂණය ලබා ගැනීමට තිබූ හැකියාව වැනි කරුණුය. එනමුත් 19 වන සියවස අග භාගය හා 20 වන සියවස මුල් කාලය වන විට, තාක්‍ෂණය ලබා ගැනීමට තිබූ හැකියාව වඩාත් ව්‍යාප්ත වීම හා ඡායැරූපයකට පෙනී සිටීම උදෙසා මිඩංගු කළ යුතු කාලය බෙහෙවි​න් ​කෙ​ටි වීමත් සමගම මංගල ජායාරූප ශිල්පීන් විවාහ පත් තරුණ තරුණියන් ගේ එක් ඡායාරූපයක් වෙනුවට ඡායාරූප සමූහයක් ගන්නට පෙළඹුනි. ‘Framing and Performing Intimacy: An Incomplete Social History of Wedding Photographs’ යන බෙහෙවින් සවිස්තර පරිච්ඡේදයෙන් පෙරේරා පෙන්වා දෙන්නේ, විවාහ උත්සවයකදී ගත හැකි ඡායාරූප ප්‍රමාණය මෙලෙස වැඩිවීමත් සමගම මංගල ඇල්බමය (wedding album) බිහි වූ බවයි.

පෙරේරා දකින අකාකාරයට, ඡායාරූප ශිල්පය හුදෙක් තාක්‍ෂණික මෙවලමක් උපයෝගී කරගනිමින් සිදුකරන්නට යෙදෙන තාක්‍ෂණික කටයුත්තක් පමණක් නොවේ. ඒ වෙනුවට එමගින් සිදුවන්නේ සමාජයීය ලේඛනයක් ගොඩනැගීමය. රෝලන්ඞ් බාත් Camera Lucida යන සිය කෘතියෙන් පෙන්වා දෙන්නේ, මූලික වශයෙන් සෑම ඡායාරූපයකින්ම එක් පැහැදිලි පණිවිඩයක් ලබාදෙන බවයි. එනම්, “සිදුවී ඇත්තේ මෙයයි” යන්න සනිටුහන් කිරීමය (“that has been”). මේ අනුව, බාත් දුටුවේ ඡායාරූපයකින් ‘මරණය’ නැතිනම් යම් දෙයක අවසන කාලානුරූපව සනිටුහන් වන බවයි. එනම්, සෑම ඡායාරූපයක්ම ඉතිහාසයේ එක් මොහොතක් නියෝජනය කරන බ​වයි. තර්කයනින් තොරව, ඡායාරූපයකින් නියෝජනය කරන අවස්ථාව ඒ සිද්ධිය පිළිබඳ වඩාත් විශ්වාසවන්තම නියෝජනය වේ. තවද, යුවලකගේ මංගල ඡායාරූපය උදාහරණයක් සේ සලකන්නේ නම්, එම ඡායාරූප මගින් එහි දැකගත හැකි පුද්ගලයින් පිළිබඳ බෙහෙවින් කුතුහල් සහගත හා සංකීර්ණ කරුණු පෙන්නුම් කරයි. එනමුත් පෙරේරා සඳහන් කරන්නේ, සමාජ මානව විද්‍යාඥයින් විසින් ඡායාරූපවලට අවශ්‍ය වැදගත්කම ලබා නොදෙන බවයි. මේ අනුව, මේ කෘතියෙන් උත්සාහ කරනුයේ සමාජ විද්‍යාව හා මානව විද්‍යාව වැනි විෂයන් තුළ ඡායාරූප ​ලෝක​ය දැකීමේ වඩාත් සවිඥානික විධික්‍රමයක් සේ භාවිත නොවන්නේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමටය.

පුද්ගලික ප්‍රවේශය

කෙසේ වෙතත් පැහැදිලිවම කිව යුත්තේ, පෙරේරා ඡායාරූප හා සම්බන්ධ මානව විද්‍යාත්මක ශක්‍යතා ගවේශණය කරන සාම්ප්‍රදායික මානව විද්‍යාඥයෙකු නොවන බවයි. ඔහුගේ ප්‍රවේශය අතිශයින් පෞද්ගලික එකකි. ඔහු ද ඡායාරූප ශිල්පියෙකු වන අතර ඔහුගේ පවුලේ බොහෝ දෙනා ඡායාරූප ශිල්පයේ වැදගත්කම පිළිගත්තවුන්ය. සිය කෘතියෙන් පෙරේරා අවධානය යොමුකරන කරුණු අතරට දකුණු ආසියා කලාපයේ ඡායාරූප ශිල්පයේ වර්ධනය, යටත්විජිතවාදය මගින් ඡයාරූපකරණය මත ඇතිකළ බලපෑම, යටත්විජිත දේශපාලනය බලය හා ඡායාරූපකරණය අතර ඇති සබදතාව ආදිය ඇතුලත් වේ. මේ ඔස්සේ ඔහු සිදුකර ඇත්තේ සමාජ විද්‍යාත්මක මෙවලමක් ලෙස ඡායාරූප යොදාගැනීම සඳහා ප්‍රභල තර්කයන් ගොඩනැගීමය. මේ තර්කය ගොඩනැගීම සඳහා ඔහු අනේකවිද චරිත ගණනාවක් අප හමුවට ගෙන එයි. මේ අතර ඔහුගේ පවුලේ සමාජිකයින් මෙන්ම ශාස්ත්‍රඥයින් වන සූසන් සෝන්ටාග් (On Photography කෘතියේ කතෘ) හා ජෝන් බර්ජර් (About Looking කෘතියේ කතෘ) මෙන්ම දකුණු ආසියාවේ හා ඉන් ඔබ්බෙහි ඡායාරූපකරණයේ සංවර්ධනයට බලපෑම් කළ ඡායාරූප ශාලා අයිතිකරුවන්, ඡායාරූප ශිල්පීන් හා ව්‍යාපාරිකයින් ද ඇතුලත් වේ. එමෙන්ම ඔහු අවධාරණය කරන උනන්දුසහගත අන් කරුණු අතර තත්කාලීන ප්‍රවණතාවක් වන ‘සෙල්ෆි’ ඡායාරූපකරණයේ ආරම්භය හා එහි ව්‍යාප්තිය සහ එතුළ ස්වීයත්වය (self) අර්ථවත් වන ආකාරය හා ද්‍රශ්‍ය සමාජ හා මානව විද්‍යා යන විෂයන්ගේ අවශ්‍යතාව වැනි තේමා ද ඇතුලත් වේ.

පෙරේරා ගේ භාෂාව අතිශයින් පැහැදියිය. එහි ස්වරය පාඨකයා ධෛර්යමත් කරයි. තියුණු අන්තර්දෘෂ්ටි හා පුළුල් පර්යේෂණ පදනමක් ඔස්සේ පෙරේරා විසින් සමාජ මානව විද්‍යා ක්‍ෂේත්‍රය තුළ ඉතාමත් ගැඹුරින් කරුණු සාකච්​චාව​ට භාජනය කරන පුරෝ​ගාමී කෘතියන් සම්පාදනය කර ඇත. එමෙන්ම ඒ කෘතිය ශාස්ත්‍රඥයින් නොවන සාමාන්‍ය පුද්ගලයින්ට ද කියවා රසවිඳිය හැක. මෙහි ඇති එකම ගැටළුව වන්නේ කෘතියේ ඇති ඡායාරූප ඊට සුදුසු කඩදාසිවල මුද්‍රණය කර නොතිබීමය.

(මේ විමර්ශනය මුලින්ම පළවූයේ 2020 සැප්තැම්බර් 19 වනදා ‘ද හින්දු’ පවත්පතේය)

Leave a comment

This website uses cookies to improve your web experience.