Ariyaratne, Ari. Key Concepts of Cultural Anthropology (සංස්කෘතික මානව විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප, ආරී ආරියරත්න). ඩබ්‍යුක්: කෙන්ඩල් හන්ට් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 405. ISBN 978-1-7924-0764-2. මිල: අමෙරිකානු ඩොලර් 120.00 (මුද්‍රිත පිටපත) රැ අමෙරිකානු ඩොලර් 80.00 (විද්‍යුත් පිටපත).
~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය
මා මහාචාර්ය ආරී ආරියරත්නගේ Key Concepts of Cultural Anthropology යන මානව විද්‍යා පෙළපොත කියවූයේ එවන් කෘතියක් බොහෝ කලකින් කියවා නැති සංදර්භයක් තුළය. ශාස්ත්‍රීය හා ශාස්ත්‍රාලයීය කතිකා තුළ පෙළපොතක් විමර්ශනය කරන අවස්ථා බෙහෙවින් විරල වුව ද මා එසේ කරන්නට පෙළඹුනේ, මූලික වශයෙන් හේතු දෙකක් මුල්කරගෙනය. ඉන් පළමුවැන්න නම්, ශාස්ත්‍රඥයින් සමාන්‍යයෙන් රචනා කරන පර්යේෂණ ලිපි හෝ ශාස්ත්‍රීය කෘති සමග සැසදීමේදී ඉගැන්වීම මුල්කරගත් දියුණු පෙළපොතක් ලිවීම බෙහෙවින් අපහසු බව මා දන්නා නිසාත්, එවන් උත්සාහයන් අගය කළයුතු යැයි මා විශ්වාස කරන නිසාත්ය. දෙවන කාරණය වන්නේ, මෙවැනි කෘතියක් සිංහලෙන් ලිවීමට වසර විස්සකට අධික කාලයක් මුළුල්ලේ මා තුළ දැඩි උනන්දුවක් තිබුන ද නොයෙකුත් අන් කටයුතු නිසා එය සාක්ෂාත් කර ගැනීමට නොහැක වුව ද පෙළපොත් ලිවීමේ කර්තව්‍යය හා එහි බුද්ධිමය දේශපාලනය පිළිබඳ මා බොහෝ කළක් මුළුල්ලේ කල්පනා කර ඇත. එනිසා, ඒ සිතුවිලිවලට යම් අවකාශයක් ආරියරත්නගේ කෘතිය පිළිබඳ කතා කිරීමේදී මට ලබා දෙන බව මගේ විශ්වාසයයි. මූලික වශයෙන් ඇමරිකානු විශ්වවිද්‍යාලවල මුල් උපාධි අපේක්‍ෂකයින්ට සංස්කෘතික මානව විද්‍යාව (cultural anthropology) ඉගැන්වීමේ දී භාවිත කළ හැකි අත්පොතක් වශයෙන් Key Concepts of Cultural Anthropology සම්පාදිතය. ඇමෙරිකානු සම්ප්‍රදාය තුළ සංස්කෘතික මානව විද්‍යාව ලෙස හදුන්වන්නේ යුරෝපීය, බ්‍රිතාන්‍ය හා පශ්චාත් බ්‍රිතාන් යටත්විජිත කලාප වන දකුණු ආසියාව හා අප්‍රිකාව වැනි ප්‍රදේශවල සමාජ මානව විද්‍යාව (social anthropology) වවශයෙන් හදුන්වාදෙන විෂයම වේ.
මාගේ උත්සාහය ආරියරත්නගේ කෘතියේ අන්තර්ගතය පිළිබඳ සාම්ප්‍රදායික විමර්ශනයක් කරණු වෙනුවට, එය නිමිත්තක් වශයෙන් ගෙන, එමගින් අප රට හා සම්බන්ධ පෙළපොත් රචනා සම්ප්‍රදාය පිළිබඳ කතිකාවකට මුලපිරීමය. මක් නිසාද යත්, ආරියරත්නගේ කෘතිය සංස්කෘතික මානව විද්‍යා ක්‍ෂේත්‍රයේ පෙළපොත් රචනය පිළිබඳ උතුරු ඇමරිකාවේ 1960 දශකයේ පමණ සිට ගොඩනැගී ඇති දියුණු සම්ප්‍රදායේ කොටසක් වන නිසාත්, එය ආකෘතියක් වශයෙන් අප රටේ මේ පිළිබඳ උනන්දුවක් දක්වන රචකයින්ට යොදාගත හැකි යැයි මා විශ්වාස කරන නිසාත්ය.
මගේ මතකයේ රැඳී ඇති පරදි මෙවන් පෙළපොතක් මට මුලින්ම දැකගත හැකිවූයේ 1980 දශකය මුල් භාගයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේය. ඒ, ජේම්ස් ඩබ්ලිව්. වැන්ඩර් සොන්ඩන් විසින් රචනාකළ සමාජවිද්‍යාව පිළිබඳ පෙළපොතක මුල් සංස්කරණයක්ය. ඒ පොත සොයා යන්නට සිදුවූයේ එකළ සිටි ගුරුවරුන්ගේ බොහෝ නිද්‍රාශීලී දේශන මට බෙහෙවින් නීරස වූ නිසාත්, ඔවුන් ලබාදුන් කියවන විට ලීවීම මත පදනම් වූ දේශනවල වැරදි ඇතැයි මට සිතුන නිසාත්ය. වැන්ඩර් සොන්ඩන්ගේ කෘතිය නිරුපද්‍රිතව පොත් රාක්කයක් මත සදාකාලිකව තිබුනේ, එකළ එම පොත හෝ එවන් අන් අගනා පෙළපොත් බොහෝමයක් බොහෝ දෙනා කියවූයේ නැති නිසාය. සරසවියේ ගත කළ වසර තුනක කාලය තුළ සමාජ විද්‍යාව, මානව විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි විෂය පිළිබඳ මූලික දැනුමක් ලබාගත්තේත් ඒ විෂයන් පිළිබඳ බුද්ධිමය කුතුහලයක් මුලින්ම ඇතිකරගත්තේත් මේ පෙළපොත් ඔස්සේය. මේ වර්ගයේ පෙළපොත් සමග මීට වඩා සමීප හා වඩාත් වෙනස් ආකාරයේ අත්දැකීමක් ලැබුනේ 1986 දී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මානවවිද්‍යාව හැදෑරීම සඳහා මා එහි ගිය විටය. මේ අධ්‍යාපනයේ අනිවාර්ය කොටසක් වශයෙන්, මහාචාර්ය මැටිසන් මයින්ස්, මහාචාර්ය නැපෝලියන් ශැග්නොන් හා මහාචාර්ය එල්වින් හැච් වැන්නවුන් යටතේ සහායක ගුරුවරයෙකු වශයෙන් සේවය කරද්දී, සිය ගණනක් වූ සිසුන්ට මානව විද්‍යාව ඉගැන්වීමේදී යොදාගත් ප්‍රධාන මෙවලම වූයේ සෙරීනා නන්දා වැනි අය විසින් රචිත මානව විද්‍යා පෙළපොත්ය. එනමුත් මේ භූමිකාවේදී මා මේ පෙළපොත් කියවූවේ කලින් මෙන් මූලික කරුණු ඉගෙනගැනීමට නොව, ඉහත නම් සඳහන් කළ මහාචාර්යවරුන්ගේ ඉගැන්වීම් තීව්‍ර කිරීමට හා ඔවුන්ගේ දේශනවල අපැහැදිලි තැන් පැහිදිලි කිරීමටත්ය. එනිසා, මේ පෙළපොත් වඩාත් සමීපව කියවීමට මට සිදුවීය. කොතරම් දියුණු රචනා සම්ප්‍රදායකින් බිහිවිවුව ද ඇමෙරිකානු මානවවිද්‍යාවේ සීමා මා මුල්වරට දැක්කේ ද මේ පෙළපොත්වල සාකච්ඡා නොවුනු දේ ගැන මෙනෙහි කිරීමේ දීය.
කෙසේ වුව ද විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ මේ මුල් අවදියේම මා තේරුම් ගත් එක් දෙයක් තිබුනි. එනම්, සමාජයීය විද්‍යා සදහා පෙළපොතක් ලියන්නේ නම්, එය බෙහෙවින් කාලය ගත කළ යුතු හා අතිශයින් සුවිශේෂ කාර්යයක් බවත්, එය හුදෙක් කරුණු ඉදිරිපත් කිරීමට පමණක් සීමා නොවී, එකී කරුණු සරලවත් ගෝලීය උදාහරණ ඔස්සේ විස්තර කළ යුතු බවත්, ඒ ඉදිරිපත් කිරීම් හැකි තරම් දුරට ඡායාරූප හා චිත්‍ර වැනි දෘශ්‍යමය අංග ඔස්සේ කියවන්නන්ගේ සිත් බැඳගන්නා ලෙසින් රචනා විය යුතු බවත්ය. 1960 දශකයේ පමණ සිට මේ පරමාදර්ශී තත්ත්වය අමෙරිකානු සමාජයීය විද්‍යා හා විශේෂයෙන් මානව විද්‍යා පෙළපොත් සම්බන්ධයෙන් එරට බොහෝ රචකයින් ආකෘතියක් වශයෙන් භාවිත කර ඇති බවත්, වර්තමානයේදී ද මේ ආකෘතිය නොවෙනස්ව පවතින බවත් පෙනේ. මේ සම්බන්ධයෙන් මා තවමත් දරන්නේ මේ ආකෘතිකමය ස්ථාවරයයි. නව්‍යකරණයට අවකාශ නිතරම විවර කළ යුතු වුව ද පුළුල් ආකෘතියක් වශයෙන් එය වෙනස් කරන්නට හේතුවක් තවමත් මට පෙනී නැත.
අතීතය පිළිබඳ මේ ආවර්ජනය මා ඉදිරිපත් කළේ වර්තමානය පිළිබඳ කාරණා දෙකක් යෝජනා කිරීම සඳහාය. ප්‍රථමයෙන්, මා කළ විස්තරය මානව විද්‍යාව හෝ අන් ඕනෑම සමාජයීය විද්‍යාවක ප්‍රථම උපාධි අධ්‍යාපනය සඳහා සම්පාදනය කරන මූලික පෙළපොත් සම්බන්ධයෙන් යම් කේන්ද්‍රීය ආකෘතියක් වශයෙන් පිළිගන්නේ නම්, ආරියරත්නගේ කෘතිය ඒ ආකෘතිය අකුරටම පිළිපැද තිබේ. දෙවනුව, ඒ ප්‍රායෝගික හා පරමාදර්ශී ආකෘතිය සමග සැසදීමේදී ශ්‍රී ලංකාවේ පෙළපොත් ලිවීමේ සම්ප්‍රදාය තවමත් පවතින්නේ අතිශයින් ප්‍රාථමික තත්ත්වයක බව පැහැදිලි වේ. මේ ප්‍රාථමිකත්වය ඒවායේ අත්තර්ගතය හා මූලාශ්‍ර සම්බන්ධයෙන් යම් දුරකට ද ඉදිරිපත්කිරීමේ දෘශ්‍යත්වය සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් ද බලපාන බැව් බැලූබැල්මටම කිව හැක. එනිසා මගේ යෝජනාව වන්නේ, ලංකාවේ පෙළපොත් ලියන්නවුන් ආරියරත්නගේ උත්සාහය ආකෘතික උදාහරණයක් සේ අධ්‍යයනය කළ යුතු බවයි. මේ පිළිබඳ මේ කියවීම අවසානයේදී වැඩිදුර කතාකිරීමට මා බලාපොරොත්තු වන්නෙමි.
Key Concepts of Cultural Anthropology කෘතියේ මාතෘකාවෙන්ම පවසන පරිදි, එය ලියැවී ඇත්තේ සංස්කෘතික මානව විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප විස්තර කිරීම සඳහාය. ඒ සඳහා කතුවරයා සාපේක්‍ෂ වශයෙන් දීර්ඝ පරිච්ඡේද 13ක් උපයෝගී කරගෙන ඇත. ඒ පහත සඳහන් පරිදිය:
■ පරිච්ඡේද අංක 1: පර්යාවලෝක: මානව විද්‍යාව හදුන්වාදීම (Perspectives: Introducing Anthropology)
■ පරිච්ඡේද අංක 2: ක්‍ෂේත්‍ර පර්යේෂණ: සංස්කෘතික මානව විද්‍යා දැනුම නිෂ්පාදනය කිරීම (Fieldwork: Producing Cultural Anthropological Knowledge)
■ පරිච්ඡේද අංක 3: සංස්කෘතිය: මානව ස්වභාවය තේරුම් ගැනීම (Culture: Distinguishing Human Condition)
■ පරිච්ඡේද අංක 4: සංස්කෘතිය න්‍යායගතකිරීම: මානව විද්‍යා න්‍යායේ ව්‍යාප්තිය (Theorizing Culture: Growth of Anthropological Theory)
■ පරිච්ඡේද අංක 5: භාෂාව: අනුභූතික ලෝකය කේතගතකිරීම හා සන්නිවේදනය කිරීම (Language: Encoding and Communicating about Experiential World)
■ පරිච්ඡේද අංක 6: කලාව පිළිබඳ මානව විද්‍යාව: සංකේතීය නිර්මාණශීලීත්වයේ සංස්කෘකික ප්‍රකාශන ගවේශණය කිරීම (Anthropology of Art: Exploring Cultural Manifestations of Symbolic Creativity)
■ පරිච්ඡේද අංක 7: ඥාතීත්වය, වංශානුක්‍රමය හා විවාහය: ඥාතී සබැඳියාව තේරුම් ගැනීම (Kinship, Descent, and Marriage: Comprehending Relatedness)
■ පරිච්ඡේද අංක 8: යැපීමේ ක්‍රම: පෝෂණය පිළිබඳ උපාය මාර්ග (Subsistence: Strategizing Sustenance)
■ පරිච්ඡේද අංක 9: බෙදාහැරීම: හුවමාරුව පිළිබඳ ප්‍රවේශ හා සංසරණය පිළිබඳ ක්‍රියාවලි ගවේශණය කිරීම (Distribution: Probing the Aspects of Exchange and Processes of Circulation)
■ පරිච්ඡේද අංක 10: ස්ථරායනය: සංස්කෘතිකව වශයෙන් සංස්ථාගතකළ අසමානත්වය ගවේශණය කිරීම (Stratification: Exploring Culturally Institutionalized Inequality)
■ පරිච්ඡේද අංක 11: දේශපාලනය පිළිබඳ මානව විද්‍යාව: සමාජ බලය ක්‍රියාත්මක කිරීම ගවේශණය කිරීම (Stratification: Exploring Culturally Institutionalized Inequality)
■ පරිච්ඡේද අංක 12: ගෝලීය පද්ධතිය: නූතන ගෝලීය පර්යායේ ව්‍යාප්තිය ගවේශණය කිරීම (The World System: Examining the Growth of Modern World Order)
■ පරිච්ඡේද අංක 13: ගෝලීයකරණය: ධනවාදය පිළිබඳ සංස්කෘතිය තේරුම්ගැනීම (Globalization: Making Sense of the Culture of Capitalism)
මා කියවූ පරිඡ්චේද සියල්ල සමස්තයක් ලෙස ගත් විට පෙනෙන්නේ, ආරියරත්න විසින් තම කෘතිය කියවන තරුණ ඇමෙරිකානු විද්‍යාර්ථීන්ට මානව විද්‍යාවේ අදාළ සංකල්ප හා ප්‍රවේශ සරලව දෘශ්‍යාදාරක ද සමගින් මැනැවින් විස්තර කර ඇති බවයි. එසේම, මූලික වශයෙන් කෘතිය මා ඉහත විස්තර කළ ආකෘතියෙන් ඔබ්බට ගොස් නොතිබුන ද පසුගිය දශක දෙකක පමණ කාලය තුළ සිදුවූ ගෝලීය වෙනස්කම් ගෝලීයකරණය ආදී සංකල්ප පිළිබඳ කරණු ලබන විස්තර ඔස්සේ පාඨකයා වෙත ගෙන එයි. මෙවන් විස්තර මීට දශක දෙකකට පෙර පළවූ මෙවන් පෙළපොත් තුළ දැකගත නොහැකි වීය. මෙගින් ගෝලීය වශයෙන් සමාජ මානව විද්‍යා විෂය පථයේ මෑතකාලීනව සිදුවූ වෙනස්වීම් හා සංකීර්ණතා පිළිබිඹු කරයි. එමෙන්ම, කලාව පිළිබඳ සාකච්ඡා කරන හයවන පරිඡ්චේදයේ මෙරට උඩරට නැටුම්, ඉංදියාවේ බොලිවුඞ් නර්තන ආදිය හදුන්වාදීම හා ඒවා දෘශ්‍යමය වශයෙන් ද ඉදිරිපත් කිරීමෙන් මෙවන් පෙළපොත් මා 1980 දශකයේ දී මුලින්ම කියවන විට දුටු ඇතැම් සීමා යම් දුරකට මගහැරගෙන තිබේ.
එසේ වුව ද මේ කෘතිය මෙවන් අන් බොහෝ පෙළපොත් ද මෙන් එහි ආකෘතියට ඇති අතිශය සමීපත්වය හා පක්‍ෂපපාතීත්වය නිසාම යම් සීමාවන්ට ද නතු වී තිබේ. මා කලින් ද සඳහන් කළ පරිදි, මේ ආකාරයේ පෙළපොතකට සුදුසුම ආකෘතිය මෙයයි. එනමුත්, මේ ආකෘතික සීමාව තුළම බොහෝ නව්‍යකරණයන් ද කළ හැකිය. උදාහරණයක් වශයෙන්, සංස්කෘතික මානව විද්‍යාව හදුන්වාදීමට ලියා ඇති කෘතියේ පළමු පරිච්චේදය 1980 දශකයේ පැවති පෙළපොත් රචනා රාමුවෙන් ඔබ්බට ගොස් නැත. විෂයක ඓතිහාසික ප්‍රවර්ධනයේ සිට තත්කාලීන තත්ත්ව දක්වා විශාල පරාසයක සාකච්ඡාවක් දියත් කළ හැක. එමෙන්ම, මේ වන විට මානව විද්‍යාව අවශේෂ ක්‍ෂේත්‍රයන්ගේ බලපෑම නිසා එහි ප්‍රවේශ මෙන්ම න්‍යායික දිශානතීන් සම්බන්ධයෙන් ද බොහෝ දුරට විපර්යාසයන්ට භාජනය වී ඇත. මේ සංදර්භයේ සිට බලන කළ, ආරියරත්නගේ කෘතිය ඇමරිකානු මානවවිද්‍යාව එහි සාම්ප්‍රදායික හා ඓතිහාසික දෘශ්ඨිකෝණ ඔස්සේ මැනැවින් විස්තර කරන බව පැහැදිලිය. එනමුත්, ඇමරිකානු මෙන්ම ගෝලීය මානව විද්‍යාවේ තත්කාලීන හා මෑතකාලීන විපර්යාස පිළිබඳව එතරම් අවධානයක් දක්වා නැත. මෙය ගොඩනැගිය හැකි එක් අගනා අවස්ථාවක් විය හැකිව තිබුණේ පරිච්ඡේදයේ අවසන දැකගත හැකි පශ්චාත් නූතනවාදය පිළිබඳ කොටසිනි. එනමුත් බෙහෙවින් කෙටි සාරාංශයක් පමණක් වන මේ කොටසින් ඊට කළහැකිව තිබූ වැදගත් කාර්යභාරයක් මගහැරී ගොස් ඇත. එනම්, පශ්චාත් නූතන ප්‍රවේශ මගින් 1980න් පසු මානවවිද්‍යාවේ බුද්ධිමය පෞරුෂය වෙනස් කළ අන්දමයි. මෙලෙසින්ම, කලාව පිළිබඳව ලියැවී ඇති අගනා විස්තරයේ අගය තත්කාලීන කලා නිෂ්පාදන හා ඒවායේ දේශපාලනය සමග මානවවිද්‍යාව සම්බද්ධකරගත හැකි ආකාරය ගවේශණය කළේ නම්, එහි දායකත්වය වඩාත් තීව්‍ර වනු ඇත. තවද අගනා ඡායාරූප සමුදායක් කෘතිය පුරාම ඊට අදාළ සකච්ඡා සමඟින් ඉදිරිපක් කර තිබුණද එක් එක් ඡායාරූප පිළිබඳ කෙටි සටහන් (captions) නොවීම මා දකින්නේ අඩුවක් වශයෙනි. මා මේ සැකෙවින් දැක්වූයේ ඉතාමත් උනන්දුසහගත ලෙස සකසා ඇති පෙළපොතක දැකගත හැකි සීමා තුනක් පමණි.
කෙසේ වුව ද මා මැනැවින් දන්නා පරිදි, මෙවැනි කෘතියක් රචනා කිරීමේ දී ශාස්ත්‍රඥයෙකු ට මානවවංශ ලේඛනයක්, අන් ආකාරයේ පර්යේෂණ කෘතියක්, සංස්කරණය කළ ලිපි එකතුවක් හෝ පර්යේෂණ ලිපියක් ලිවීමේ දී ඇති සාපේක්‍ෂ නිදහස මූලික සීමා දෙකකට යටත් වේ. මින් එකක් නම්, පෙළපොත ප්‍රකාශයට පත්කරන හා බෙදාහරින රටේ මෙවැනි අධ්‍යාපනික මෙවලම් හා සම්බන්ධ වෙළෙදපොළේ ඇති ඉල්ලුමේ ස්වභාවයයි. එනම්, ශික්ෂණමය මෙවලම් (pedagogic tools) ලෙස සැලකෙන මෙවැනි කෘති කුමනාකාරයෙන් ලිවිය යුතු ද යන්න පිළිබඳ පැහැදිලි සීමා ප්‍රකාශකයින් විසින් පනවා තිබීම හා එම සීමා අතික්‍රමණය කරමින් නිර්මාණශීලී වීම පවතින වෙළඳපොල තත්ත්ව තුළ කළ නොහැකි වීමය. දෙවනුව, එම රටේ මානවවිද්‍යාව සමස්තයක් වශයෙන් සිය විෂය දෙස බලන ආකාරය මගින් ද ඒ විෂය සඳහා ලියන පෙළපොත් මත පැහැදිලි සීමා පනවයි. වඩාත් පැහැදිලිව පවසන්නේ නම්, මට පෙනෙනුයේ ගෝලීය මට්ටමින් මානව විද්‍යාවේ සිදුවී ඇති දැවැන්ත විධික්‍රමික හා න්‍යායාත්මක වෙනස්කම් පිළිබඳ පුළුල් හා ගැඹුරු සාකච්ඡා එරට විශ්වවිද්‍යාලවල මුල් උපාධි පාඨමාලා මට්ටමට පද්ධතිමය වශයෙන් අවතීර්ණ වී නැති බවයි. එවැනි දේ සාකච්ඡා වන්නේ වඩාත් සංකීර්ණ උපාධි පාඨමාලා තුළය. එවැනි තත්ත්වයක් තුළ එවැනි පුළුල් විපර්යාස පිළිබඳ කතිකාවක් දියත් කිරීම පෙළපොත් රචකයෙකුට පවතින තත්ත්ව තුළ අවකාශ ලබා නොදෙනු ඇත. මහාචාර්ය ආරියරත්නට ද ක්‍රියා කරන්නට සිදුවී ඇත්තේ මේ සීමා තුළය.
මේ පාඨනය අවසන් කිරීමට පෙර, මේ කෘතියෙන් තත්කාලීන ශ්‍රී ලාංකේය පෙළපොත් රචකයින්ට ගතහැක්කේ කුමක් දැයි කෙටියෙන් සලකා බැලීම ප්‍රයෝජනවත්ය යන්න මගේ විශ්වාසයයි. මා කලින් ද ප්‍රකාශ කළ ආකාරයට, මෙරට පෙළපොත් සම්පාදනය පවතින්නේ අතිශයින් ප්‍රාථමික තත්ත්වයකය. මා මෙසේ පවසන්නේ දැනට පළවී ඇති සමාජ හා මානව විද්‍යා පෙළෙපොත් ගණනාවක් දෙස සමස්තයක් දෙස බැලීමෙනි. ඒවායින් මතුවන සීමා මේ ආකරයට දැක්විය හැකිය:
1) ඒවායින් ලබා දෙන දැනුම න්‍යායික, සංකල්පීය හා තොරතුරු අතින් බොහෝ විට යල්පැන ගිය දැනුමක් වීම,
2) ඒවායින් ලැබෙන මානවවංශ තොරතුරු (ethnographic information) බෙහෙවින් පැරණි වීම,
3) ඒවායේ මූලාශ්‍ර සටහන් කිරීම ද ඇතුළුව අන් තාක්‍ෂණික තොරතුරු සම්බන්ධයෙන් බොහෝ විට ගැටළු මතුවීම හා
4) ඒවා කෘති වශයෙන් ඉදිරිපත් කිරීමේ දී දෘශ්‍යාංග ආදිය පුළුල් ලෙස භාවිත නොකිරීම නිසා අතිශයින් නීරස වීම.
ශ්‍රී ලංකාවේ සමාජ හා මානව විද්‍යා අධ්‍යාපනය බෙහෙවින් දුර්වල මට්ට්මක පැවතීමට එක් ප්‍රධාන හේතුවක් නම්, අතිශයින් ජනප්‍රිය වූ මේ ගැටළුකාරී පෙළපොත්වල නිශේධනීය බලපෑමය. එනමුත් පැහැදිලිවම මෙවන් වළකාගත හැකි ගැටළු කිසිවක් ආරියරත්නගේ කෘතියේ දැකගත නොහැක. මේ නිසා මා විශ්වාස කරන්නේ පෙළපොතක් සාර්ථකව ලියන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීමට හා එවැන්නක් ඉදිරිපත් කිරීමේදී දෘශ්‍යාදාරක භාවිත කරන්නේ කෙසේ ද යන්න දැනගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා ආරියරත්නගේ කෘතිය අගනා ආකෘතික දිශානතීන් සම්පාදනය කර දෙන බයි. ඇමරිකානු මානවවිද්‍යා සම්ප්‍රදායෙන් ලබාගත හැකි එක් ප්‍රයෝජනවත් දායකත්වයක් වන්නේ ද පෙළපොත් සම්පාදනය සම්බන්ධයෙන් එරට බොහෝ ප්‍රකාශකයින් හා රචකයින් අනුගමනය කරන වෘත්තීයමය පිළිවෙත් හා භාවිතයන්ය. මේ සැමෙකක්ම ආරියරත්නගේ කෘතියේ දැකගත හැකි නිසා, එය ඇමරිකාවේ තරුණ විද්‍යාර්ථීන්ට මානව විද්‍යා විෂය පිළිබඳ අත්වැලක් සපයන අතර, අප රටේ ඕනෑම පෙළපොතක් සම්පාදනය කරන්නට යොමුවෙන සරසවි ගුරුවරුන්ට ද එමගින් අත්වැලක් සපයා ගත හැකි බව මගේ විශ්වාසයයි.