~ ගීතිකා ධර්මසිංහ, කෝනෙල් විශ්වවිද්‍යාලය
කුමාරි ජයවර්ධනගෙන් පසු ලාංකේය දේශපාලනය තුළ ස්ත්‍රියගේ භූමිකාවත්, සම්ප්රදාය තුළ ඇයට උරුම කර දී ඇති පිහිටීමත් පිළිබද ශාස්ත්‍රීය හා දේශපාලන භාවිතයන්ගේ ඒකත්වයක් ඇසුරේ චින්තනයක් ගොඩනැගූ ස්ත්‍රිය ඇයයි. ඔව්, මම එසේ සිතන්නෙමි. ඇය මානව විද්‍යාඥවරියකි. ක්‍රියාකාරි ස්ත්‍රිවාදිනියකි.
අනූවෙන් පසුව ‘එන්ජිඕ කරණයට’ ලක්වුණු මහජන අරගල දේශපාලනය පිළිබඳ ඇයගේ කියවීම් මා ගැවසෙන දේශපාලන අවකාශවලදී මම නිරන්තරයෙන් සිහිපත් කර සිටිමි. එහිදී විශේෂයෙන්ම ස්ත්‍රී දේශපාලනයේ උපායමාර්ගයන් පිළබඳ සන්දර්භය තුළ ඇය විසින් ගොඩනැගූ එක් ප්රමුඛ අදහසක් වූයේ, එම දේශපාලනය “බහිෂ්කාරක-එරෙහි වීමේ දේශපාලනයක සිට ඉල්ලා සිටීමේ දේශපාලනයක් දක්වා විතැන් වී” ඇත්තේය යන්නයි. ‘මව් පෙරමුණ’ වැනි 80 දශකය අග භාගයේ උතුරු නැගෙනහිර හා දකුණේ මිලිටරිකරණයට හා ජාතිවාදයට විරුද්ධව සක්‍රීයව ක්‍රියාත්මක වූ සංවිධාන 90 දශකයේ සිට ක්‍රමයෙන් වෙනත් මාතෘකා කරා ස්ත්‍රී සාමූහික ප්‍රජාවන් ද සමග පසුබැස්සේ මන්ද යන්න ඇයගේ විචාරක්ෂියට ගෝචර විය. එනම්, ‘ස්ත්‍රීන් බලගැන්වීම,’ ‘ස්ත්‍රීපුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී වීම,’ ‘ගැටුම් නිරාකරණය,’ ‘ගැටුම් කළමනාකරණය,’ ‘යහ පාලනය,’ ‘මානව අයිතීන් කඩවීම් ලේඛනගත කිරීම,’ ‘ස්ත්‍රී දේශපාලන සහභාගීත්වය වැඩි කිරීම’ ආදී නොයෙකුත් ඉල්ලීම් දක්වා කැඩී වෙන් වී යාමේ තතු පිළිබදවයි. ඊට අනුව, වර්තමානයේ බොහෝවිට පූර්ණකාලීන ස්ත්‍රීවාදී ‘තනතුරු’ බිහිවී ඇත. එසේම, දේශපාලනය වෘත්තීයකරණට හා කළමණාකරණ විෂයයන්ට ඌනනය වී ඇත. එමගින් වත්මනෙහි ස්ත්‍රීවාදී දේශපාලනය සීතල-පහසු අඩවියක මිඩංගු වෙමින් පවතී. මේ නිසා බොහෝ දෙනා දැන් කරමින් සිටින්නේ අරුන්දතී රෝයිගේ භාෂාවෙන් කියන්නේ නම්, ‘වර්චුවල් එරෙහිවීම්’ය.
ඒ අනුව ගල් ගැසී ඇති අනන්‍යතා රැකීම හා එදිනෙදා දේශපාලන සිදුවීම් සමග කටයුතු කරනවා වෙනුවට, එහි ව්‍යුහාත්මක තත්ත්ව නිර්මාණය කළ රාජ්‍යයේ ආකෘතිය ගැඹුරු ලෙස ප්‍රශ්න කිරීමට ලක්කරන ‘දේශපාලනිකයේ’ මානය ඔවුනගෙන් බරපතළ ලෙස ගිලිහී තිබෙයි. කෙටියෙන් කිවහොත්, අපි දැන් කැරලි ගසන්නේ නැත. ඒ වෙනුවට ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින නොනවතින ඉල්ලීම් ප්රවාහයකට මාරු වී ඇත. මාලතීගේ තියුණු සුපරීක්ෂාවන් යොමු වූයේ මෙම සංකීර්ණ අර්බුදය දෙසටය.
මාලතී දී අල්විස් විසින් සිදු කළ පර්යේෂණ අධ්‍යයනයන් ඉතා විශාල ප්රමාණයකි. ඒ නිසාම ඇය ශාස්ත්‍රීය අවකාශයේ තාරකාවක් යැයි කීමේ වරදක් නැත. පිටු 20 කටත් අඩුවෙන් වැය කර, ඉතාම අනර්ඝ න්‍යායික පෙළක් ඊට අදාළ ඓතිහාසික නිදසුන් ද සමගින් සංග්‍රහ කිරීමේ අපූර්ව හැකියාවක් ඇති වෙනත් සිතන්නියක් මට මුණගැසී නැත. කුමාරි ජයවර්ධන සමග 2001 දී ලියා පලකළ Casting Pearls (මුතු විසිකිරීම) අපගේ ස්ත්‍රී දේශපාලන ඉතිහාසයේ ආ ගිය මුල් ගිය තැන් පෙන්වා දෙන්නකි. ඇයගේ මම ප්‍රිය කරන තවත් කෙටි ලිපියක් වන්නේ, 1999 දී පලකළ, Respectability, Modernity and the Policing of ‘Culture’ in Colonial Ceylon (ගරුත්වය, නූතනත්වය සහ යටත්විජිත ලංකාවේ ‘සංස්කෘතියේ’ පොලීසිකරණය) යන ලිපියයි. එහිදී ඇය විසින් ගණනාත් ඔබේසේකර විසින් පෙන්වා දී ඇති සිංහල සංස්කෘතියේ පවතින ‘ලැජ්ජා බය,’ එනම් ‘ලජ්ජා කිරීමේ භාවිතය’ විසින් සමාජයේ අධිපතීත්වය සහ යටහත්බව වැනි මානයන් නිර්මාණය කළේ කෙසේද යන කියවීම පදනම් කරගනියි. යටත්විජිත කතිකාව විසින් ‘නම්බුවට සිටීමේ’ භාවිතයන් හරහා සිංහල සහ දෙමළ ස්ත්‍රී ශරීර විනයගත කළේ කෙසේද යන්න ඇය එහිදී පෙන්වා දෙයි. ඇය එමගින් සූරාකෑම හා යටහත්භාවය ඇති කිරීමේ පාලන රෙජීමයන් නිර්මාණ කිරීමේ ඉතිහාසය ගෙන හැර දක්වයි.
මාලතී යුධ සමයේ දී ‘සාමය සදහා වූ ස්ත්‍රීන්’ (Women for Peace) සංවිධානයේ (1984) ක්‍රියාකාරී සාමාජිකාවක් වූවාය. ඔවුන් විසින් යෝජනා කළ ‘ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක්’ යන යෝජනාවට සිංහල සමාජයෙන් එල්ල වූයේ ‘ඉහළ පෙළේ ගැහැණු රට බෙදන්න හදනවා’ යන විවේචනය බව ඇය සඳහන් කර තිබේ. ‘ඇයගේ දේශාපාලනය ඉංග්‍රීසි කතා කරන පැලැන්තියට පමණක් සීමා වී දැයි’ මම ඇය සමග 2012 දී පමණ රාවයට කළ සම්මුඛ සාකච්චාවක දී විමසා සිටියෙමි. ඇයගේ ප්‍රතිචාරය වූයේ, ඇය සිය උපරිමය යොදවා එම විවේචනයෙන් ගැලවීමට කටයුතු කළ හා කරන බවකි. කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨ මාලා ඉගැන්වීම්වලදී හා විවෘත විශ්වවිද්‍යාලයේ කළ ඉගැන්වීම්වලදී සිය විෂය නිර්දේශය තුළ අලුත් කතිකාවක් ඇති කිරීමේ අරමුණෙන් නොයෙකුත් නව කියවීම් එක් කළ බව ඇය කලකට පෙර මා සමග පැවසීය.
මහ පාරේ අරගලවලට ඇය නිතරම ආවාය. ඇයගේ නිවස හැරුණු කොට මට ඇය හමු වූ අනෙක් ස්ථානය වූයේ අප සංවිධානය කළ දේශපාලන වැඩබිම්ය. වැඩිය කතා නොකොට බොහෝ දේ කෙටියෙන් බෙදාගැනීමට ඇය දැක්වූයේ සුවිශේෂී හැකියාවකි. එසේ කරමින්, අපගේ වැඩසටහන් අවසාන වන තෙක් ඇය සිටියාය. මා ප්‍රදීප් ජෙගනාදන් සහ ඇය හමු වීමට ඔවුනගේ නිවෙසට ගිය සෑම විටකම එම හමුවීම් පැය ගණනක් ගතවූ දිගු සැදෑ සමයන් බවට පත්විය. එම හමුවීම් මාගේ චින්තන ක්ෂිතිජයෙහි සීමාවන් මටම මුණගැස් වූ මගේ ජිවිතයේ වඩාත් වර්ණවත් නිමේෂයන් විය.
ඇයගෙන් තවත් අපේක්ෂා කරන්නට යමක් ඇද්දැයි මම නොදනිමි. එහෙත් ඇය ඉක්මනින් නික්ම ගිය මෙම ගමන නම් හද දවන ගිනි හුළක් වැනි යැයි පැවසිය යුතුමය. ඇයට අසාධ්‍ය බව දැනගත් විට ම’හද දැවුණු තරම්! ප්‍රදීප් ඇය කලින් යන්නට යන බව විටින් විට සටහන් කර තිබුණි. ඒ නිසාම ඇය මෙන්ම අපි ද ඇයගේ නික්ම යාමට සුදානම් වෙමින් සිටියෙමු.
අපි ඇය පිළබඳ මතකය එකතු කරගන්නට පූර්වයෙන් ඇය බොහෝ මතකවල ඉතිහාසයන් එකතු කළාය. හසිනි හපුතන්ත්‍රී සමගින් සංස්කරණය කොට මේ මෑතක (2019) පළ කොට ඇති අවුරුදු 70 ක නිදහස් ලංකාවේ අපි දන්නා සහ නොදන්නා පුරවැසියන්ගේ මතක ශේෂයන් පිළිබඳ කෘතිය ඊට නිදසුනකි. අපගේ එදිනෙදා ජීවිතයේ අප වටා ඇති, කාලයක් මුළුල්ලේ ඉතිරි වී ඇති වස්තු මගින් ඒවායේ ඉතිහාසය, ආදරය, බිඳවැටීම්, හිත්රිදීම්, අයුක්තීන් පිළිබඳව පමණක් නොව, ඇතැම් වස්තු වටා අපගේ ජීවිත කතාවම ගෙතී ඇති බවත් ඇය එහිදී පෙන්වා දුන්නාය. මගේ මතකයේ ඇය ඉතිහාසයකි. ඇයගේ කියවීම් මගේ දේශපාලනයට ආශිර්වාදයකි.
ඇය ජීවත්ව සිටිද්දී මට ඉතිරි කර ගිය දේ සේම ඇයගේ මරණයෙනුත් යමක් මට ඉතිරි කරදී තිබේ. එනම් මා මියයන දිනෙකත් මම ඇයට ප්‍රේම කරන්නාක් සේම මටත් ප්‍රේම කරන මිනිසුන් උපයා ගත යුතු බවය. ඇය ඒ තරම්ම යහපත් මිනිස් දියණියක් වූවාය.
ඇරඹුම හෝ අවසානය අවිනිශ්චිත වූ යථාර්තයකට ඔබ දැන් එක් වී ඇත. ඔබ වෙනුවෙන් එකී අහඹුව සමග මම ඒකාත්මික වෙමි.
ප්‍රේමයම පමණයි මාලතී..!