ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00.
___________
(සෝමසිරි ඒකනායකගේ මේ විමර්ශනයත් සමගම කොරෝනා වසංගත කාලයේ නිවසට සීමා වී සිටින ඔබ සැමට තමන් කියවන ඕනෑ ම පොතක් පිළබද ඇති අදහස් සිය නිවෙස් තුල විලංගුගතවී සිටින අන්‍යයන් සමග බෙදා ගන්නට මේ ග්‍රන්ථ විමර්ශන අවකාශය විවර කර ඇති බව පඨිත සංස්කාරක මණ්ඩලය දැනුම් දෙයි. සාමාන්‍යයෙන් පඨිත විමර්ශන අවකාශය වෙන්වී ඇත්තේ ශාස්ත්‍රීය කෘති විමර්ෂණය කිරීම සදහා වුවද, මේ කාලයේදී එය ඕනෑම පොතක් පිළබද අදහස් පලකිරීම හා බෙදාගැනීම සදහා විවරව පවතී)
විමර්ශනය: සෝමසිරි ඒකනායක
යුස්ටන් ගෝඩර් ලාංකීය පාඨකයාට ආගන්තුකයෙකු නොවේ. රාණී සේනාරත්න රාජපක්ෂ විසින් සිංහලයට පරිවර්තනය කළ සොෆීගේ ලෝකය නැමැති විශිෂ්ට කෘතිය නොකිය වූ පාඨකයෙකු නැති තරම්ය. වසර තුන්දහසක දර්ශනයේ ඉතිහාසය තුළින් ‘ඔබ කවුද’ සහ ‘ලෝකය ආවේ කොහෙන්ද’ යන ප්‍රශ්න දෙකට පිළිතුරු ගොණු කරන සටහන් හා ලිපි මාලාවක් ලෙසින් ගුප්ත දාර්ශනිකයෙකු වන ඇල්බරටෝ නොක්ස් විසින් දහහතර හැවරිදි නෝර්විජියානු පාසැල් සිසුවියක් වන සොෆී ආමන්ඩ්සන්ට ලැබෙන්නට සලස්වන සටහන් පෙළක් හා පසුව පෞද්ගලිකවම පෙනී සිටිමින් කෙරෙන කතා බහක් ලෙස කෘතිය අප හමුවට එයි. එමගින් දාහතර හැවිරිදි යෞවනියකගේ යොවුන් මනස පුබුදුවාලන්නේ දාර්ශනික ඉතිහාසය හරහා ඒ මේ අත පීරමින් සැරි සරමින් ඉහත මූලික ප්‍රශ්න දෙකට පිලිතුරු සොයන චාරිකාවක් වශයෙනි.
යුස්ටයින් ගෝර්ඩර් ඉන් පසුව ලාංකීය පාඨකයා හමුවට කැඳවාගෙන එන්නේ ඔහුගේ Vista Brevis: A L etter to St Augastine කෘතිය කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක් ලෙස සිංහලයට පරිවර්තනය කරමින් ආචාර්ය සසංක පෙරේරා විසිනි. Vista Brevis කෘතිය මූලික වශයෙන්ම ලියවී ඇත්තේ ෆ්ලෝරියා එමිලියා නමැත්තිය විසින් කතෝලික පල්ලියේ පීතෘවරයෙකු වූ හිප්පෝවේ බිෂොප්තුමාව සිටි ඔරේලියස් ඔගස්ටින් වෙත ලියු පිළිතුරු ලිපියක් ලෙසිනි. එය අතිශය පෞද්ගලික වූත් ෆ්ලෝරියාගේ අතිශය පෞද්ගලික චිත්තවේගයන් මුදා ලන ලියවිල්ලක් වශයෙනුත් ලියවී ඇත.
මධ්‍යතන යුගයේ විසූ දාර්ශනික පූජකවරයෙකු වුණු ඔගස්ටින් මුලික වශයෙන්ම භෞතික ලෝකයට අයත් මිනිසාගේ ද්‍රව්‍යමය ශරීරයත් දෙවියන් මගින් දැකගත හැකි ආත්මය පිළිබඳ අදහසත් මත පදනම්ව වෙලුම් දහතුනකින් සමන්විතව ලියා ඇති පාපෝච්චාරණ’ (Confessions) කෘති මාලාව තුළින් කතෝලික පල්ලියේ ඉතිහාසය පිළිබඳ කේන්ද්‍රීය තොරතුරු, පාපය, ලිංගික ආශාවන්, මිනිසාගේ භෞතික ලෝකය සමග ඇති බෑඳීම් හේතුවෙන් විමුක්තිය සෙවීමේ ක්‍රියාවලියට සිදුවන බාධාවන් පිළිබඳව විස්තරාත්මකව හා ගැඹුරින් ලියා ඇතත්, ඔහු පූජකවරයෙකු වීමට පෙර තමා සමග විවාහයෙන් පරිබාහිරව ගෙවු කෙටි දිවිය තුළ අත්විදිනු ලැබූ උත්කර්ෂයන්, ලිංගිකාලය, ආත්මිය ආදරය, කාමුකත්වය වැනි කරුණු එම ලියවිලි තුළ නොසලකාහැරීම හෝ හිතා මතාම මගහැර යාම හේතුවේන් ඇය (ෆ්ලෝරියා එමිලියා ) තුළ උපන් දැඩි කම්පනය හා ආවේගයන් මුදා හැරීම සඳහා ලියන ලද පිළිතුරු ලිපියක් ලෙස සමස්ථ කෘතියම දිග හැරේ. එමෙන්ම තමා නිර්නාමික ආන්තිකත්වයකට තල්ලු කර දැමීම පිළිබඳව වන කෝප සහගත සිතුවිලිද එහි කැටී වී ඇත.
ජීවිතය පිලිබදව එක් තැනක ඇය මෙලෙස පවසයි: “කිසිම මනුෂ්‍ය ක්‍රියාවක් දිහා අමුතුදෙයක් විදියට වපරැහින් බලන්න නරකයි. අනෙක ඉතිං සදාතනිකවම තරුණයෝ තරුණකම් කරාවි. ඔයා අවුරුදු දහසයේදි තවත්පිරිමි ළමයි කිහිප දෙනෙක් එක්ක කළා කියන මහා අපරාදය ඒ කියන්නෙ පෙයාර්ස් ගහකින් ගෙඩි කිහිපයක් හොරකම් කළ එක ගැන ඔයා කියන්නෙ කිසිම පැකිලිමක් නැතිව.ඊට පස්සෙ ඔයා හිටි හැටියෙම ගාම්බීර වෙනව. ඉස්සෙල්ලාම ඔයා පුරුෂයෙක් ස්ත්‍රියක ස්පර්ෂ නොකර සිටීම යහ ගුණයක්ය කියන පෝල්ගේ වචන ටික ගැන අපිට කියනව …..”(පි.39). මේ තුළ පැහැදිලවම ගැබ් වන්නේ තමා සමග ගත කළ කෙටි දිවිය පිළිබඳව වූ මතකයන් හා ප්‍රහර්ශයන් සිය ලියවිලිවලින් යටපත් කර තැබිම හෝ තමාව නොතකා හැරීම පිළිබඳව වූ පශ්චත්තාපි චිත්තවේගයන්ය. නමුත් ෆ්ලෝරියා කිසිවිටෙක ඇය තුළ කෝප සහගත හැගීම් කෝපයක් විදියටම පිට නෙකරයි. ඒ වෙනුවට සිය පිළිතුර තුළ ඒවා බුද්ධිමය ප්‍රකාශනයන් ලෙස තැන්පත් කරයි.
ස්ත්‍රී ශරීරය වින්දනය කරමින් එහිම ගිලෙමින් ජීවිතයේ අනේක කාල හොරාවන් ගෙවා දමන්නේ වුවද, තමන්ගේ ජීවිතවල එකී ස්ත්‍රීන්ට හිමිවිය යුතු හෝ ලබා දිය යුතු නිසි ඉඩකඩ ලබා දීමට පැකිලෙන හෝ හිතා මතාම ඒ ඉඩකඩ අවුරා ලන වර්තමාන පුරුෂ මූලික සමාජයට මේ ලියවිල්ල හරහා අතුල් පහරක් නොහෙලන්නේ යයි කාට නම් කිව හැකිද? ෆ්ලෝරියා එමිලියා විසින් ඔගස්න්ටින් අමතා ලියන, විමසන, පිටකරන මේ ආවේගයන් ඔබේ හෝ මගේ ජීවිතයෙන් කෙලෙසනම් පිටමං කළ හැකිද? එෆ්ලෝරියා මේ ලිපිය ලියන්නේ මධ්‍යතන යුගයේ සිටි දාර්ශනික දේවදර්මාවදී ඔගස්ටීනට පමණද, නොඑසේනම්, එය ඔබට හා මට අදාළ වන සීමා සලකුණු කර ගැනීම අප විසින්ම අපගේ ආත්මයෙන් හා හර්දසාක්ෂියෙන් විමසියි යුතු කරුණක් බව සමස්ථ ලියවිල්ල පුරාම ඇය අපට නොකියා කියනු වැනිය:
සිංහල පරිවර්ථනය තුළ බහුලව දක්නට ලැබෙන පාද සටහන් කෘතිය තේරුම් ගැනීමට ලබා දෙන්නෙ මහඟු පිටුවහලකි. ඇතැම් තැනක ඒ පාද සටහන් නොතිබුණා නම්, පාඨකයා දුරාවබෝධි බවකට පත් වනු නොවැළැක්විය හැකි තරමටම ඒ පාද සටහන් කෘතියට අත්‍යාවශ්‍ය යයි හැඟේ. කෙසේ නමුත් යුස්ටන් ගෝඩර්ගේ මේ දාර්ශනික වූ ලියවිලි මෙලෙස අපට සමිප නොකළේ නම්, තවමත් ඔහු අපට ආගන්තකයෙකු වන බව නම් නොඅනුමානය.