Skip links

ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ තත්කාලීන කතාබහක්

Karunanayake, Panduka, Ruptures in Sri Lanka’s Education: Genesis, Present Status and Reflections (ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඛණ්ඩනයන්: ආරම්භය, වර්තමාන තත්ත්වය සහ ආවර්ජනා). නුගේගොඩ: සරසවි ප්‍රකාශන සමාගම, 2021. පිටු: 280.  ISBN  9789553117793. මිල: රු. 600.00  (මෘදු කවරය සහිතව).

_____________

~ අනුෂ්කා කහඳගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

රටේ අධ්‍යාපනය සහ එය ප්‍රතිසකස්කළ යුතු ආකාරය පිලිබඳ  විශාල කතාබහක් ඇති වී තිබෙන මෙම යුගය සමඟ මේ ග්‍රන්ථය මනාව ගැළපෙයි. අදූරදර්ශී මෙන්ම පැහැදිලි විශ්ලේෂණ, විග්‍රහවලින් විනිර්මුක්ත වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කෙරෙමින් පවතින යුගයක අධ්‍යාපනය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සිතා බැලීමට මේ ග්‍රන්ථය මඟින් ඉමහත් පිටිවහලක් සපයයි. කතුවරයා ඉදිරිපත් කරන සියලු කරුණු සමඟ එකඟ නොවූවත්, අධ්‍යාපනය පිලිබඳ මා නොදුටු මානයන් ස්පර්ශ කිරීමට ග්‍රන්ථය මගින් අවකාශ සළසයි. වෛද්‍ය ක්‍ෂේත්‍රයට අයත් අයකු ලෙස, ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධව කතුවරයාට ඇති උනන්දුව වඩාත් අගය කළයුත්තකි. වසර 15ක් පුරා කතුවරයා පුවත්පත් මෙන්ම වෙනත් ප්‍රකාශන සඳහා ලංකාවේ අධ්‍යාපනය පිලිබඳ ලියන ලද ලිපි මෙම ග්‍රන්ථයේ මූලික අඩිතාලම සකසන අතර, කතුවරයාට අනුව ග්‍රන්ථයේ දෙවන පරිච්ඡේදය විශේෂිත වන්නේ, එය   ග්‍රන්ථය වෙනුවෙන්ම සම්පාදිත බැවිනි. කතුවරයා අධ්‍යාපනය පිලිබඳ ලියූ වසර 15ක කාල පරිච්ඡේදය තුළ ලංකාවේ ඇතිවූ ආර්ථික, සමාජ, සංස්කෘතික  සහ දේශපාලනික වෙනස්කම් අධ්‍යාපනය කෙරෙහි බලපෑම් කළ ආකාරයත්, ඒවා ගෝලීය මට්ටම සමඟ සම්බන්ධ වූ ආකාරයත් පිළිබඳව ග්‍රන්ථය තුළ සරල බසින් විග්‍රහකර ඇත. ලංකාවේ යටත්විජිත සමයට පෙර අධ්‍යාපනය පිලිබඳ යම් කරුණු හැඳින්වීමේ අඩංගු වුවත්, ග්‍රන්ථයේ මූලික අවධානය යොමු වන්නේ නූතන අධ්‍යාපනය සහ එය මුහුණ දෙන ගැටළු පිළිබඳවයි.

ග්‍රන්ථය කොටස් හතරකින් සමන්විත වෙයි: 1. අධ්‍යාපනය, සමාජය සහ ආර්ථිකය, 2. කන්නන්ගර ප්‍රතිසංස්කරණ, 3. පෞද්ගලික විශ්වවිද්‍යාල, සහ 4. විශ්වවිද්‍යාලවල භූමිකාව ආදී වශයෙනි. ප්‍රථම භාගයෙන් මූලික වශයෙන් අවධානය යොමු වන්නේත්, ප්‍රථම කොටස තුළ වඩාත් කැපී පෙනෙන අදහසක් වන්නේත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඇති පිළිතුරු අධ්‍යාපනයෙන් බැහැරව පවතින්නක් ලෙස කතුවරයා විසින් හඳුනා ගැනීමයි. එහිදී ‘සුදුසුකම් උද්ධමනය’ (qualification inflation) යන්න තම විග්‍රහයේ මූලික සංකල්පයක් ලෙස ආස්තානගත කෙරෙයි. සුදුසුකම් උද්ධමනය ලෙස කතුවරයා අදහස් කරන්නේ, යම් රැකියාවක් සඳහා ඉල්ලා සිටින සුදුසුකම, එම රැකියා ප්‍රමාණයට වඩා වැඩි වූ විට, රැකියා යෝජකයා විසින් එම රැකියාව සඳහා තෝරාගනු ලබන්නේ අදාළ මූලික සුදුසුකමට වඩා සුදුසුකම් සපුරා ඇති මෙන්ම, අතිරේක කුසලතා ද සහිත පුද්ගලයෙක්ය යන කාරණයයි. මෙම තත්ත්වය හේතුවෙන් අදාළ රැකියාවට අදාළ ‘සුදුසුකම් ඉහළ යාමක්’ සිදුවන අතර, ඊට අදාළ රැකියාව සුරක්ෂිත කිරීමට එම කුසලතා අසමත් වෙයි. මෙම තත්ත්වය, සුදුසුකම් උද්ධමනයක් කරා සමාජය ගෙන යයි. එමෙන්ම, පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ උපාධිධාරී රැකියා වියුක්තියට හේතු විග්‍රහ කිරීමක් මෙම ප්‍රථම භාගය තුළ අන්තර්ගත වෙයි. ඒ අනුව ජනගහන වර්ධනය, වර්ධනය වන සමාජ ප්‍රජාතන්ත්‍රකරණය මෙන්ම, දිනෙන් දින අසාර්ථක වන්නාවූ ජාතික ආර්ථිකය ද උපාධිධාරී රැකියා වියුක්තියට හේතු වන්නාවූ ප්‍රධාන කරුණු ලෙස කතුවරයා විසින් හඳුනා ගනු ලබයි. එමෙන්ම, මෙහිදී කතුවරයා උපාධිධාරී රැකියා විරහිතභාවය මෙම කරුණු තුන සමඟ සම්බන්ධ කරන අතර, උපාධියේ ගුණාත්මක භාවය පිරිහීම සහ උපාධිධාරී රැකියා විරහිතභාවය අතර පවතින්නේ ඉතාම සුලු සම්බන්ධතාවක් බව කියයි. ඒ අනුව, ඔහු තව දුරටත් තර්ක කරන්නේ, උපාධියේ ගුණාත්මක භාවය වැඩි කිරීම හරහා ඉබේම හෝ යම් මට්ටමකින් හෝ උපාධිධාරී රැකියා විරහිතභාවය තුරන් නොවන බවයි. 

පොතෙහි දෙවන භාගය යොමු වන්නේ, කන්නන්ගර ප්‍රතිසංස්කරණ කෙරෙහිය. එහිදී කන්නන්ගර ප්‍රතිසංස්කරණ ඇතිවන කාලය කෙරෙහි අවධානය යොමුකරන කතුවරයා, එම ප්‍රතිසංස්කරණ අදාළ සමාජ ආර්ථික වටපිටාව සමඟ මනාව ගැලපුණු ආකාරය විග්‍රහ කරයි. එමෙන්ම, ඔහුගේ දේශපාලන  අරමුණු වූ නූතන සහ සමානාත්මතාව පිළිගත් සමාජයක් යන අරමුණු අපේ ද අරමුණු විය නමුත්, ඔහු එදා සමාජය සමඟ ගැලපූ උපාය මාර්ග වර්තමාන සමාජයට නොගැළපෙන බවට කතුවරයා තර්ක කරයි. මෙම කොටස තුළ කතුවරයා, වඩාත් විවාදාපන්න මාතෘකාවක් වන අධ්‍යාපනයේ පෞද්ගලීකරණය සහ ඊට ප්‍රතිවිරුද්ධව පැන නඟින විවිධ දෘෂ්ටිවාද කන්නන්ගර ප්‍රතිසංස්කරණ සමඟ සසඳමින් විග්‍රහ කරයි.

ග්‍රන්ථයෙහි දෙවන කොටසින් යම් තාක් දුරකට සාකච්ඡාවට බඳුන් වන අධ්‍යාපන පෞද්ගලිකරණය, ග්‍රන්ථයේ තුන්වන කොටසෙහි මූලික තේමාව බවට පත්වන්නේ, එම කොටස ‘පෞද්ගලික විශ්ව විද්‍යාල’ ලෙස නම් කිරීමෙනි. මෙම කොටස තුළ කතුවරයා තර්ක කරන්නේ, පෞද්ගලික විශ්වවිද්‍යාල රට තුළ මතුවීම රාජ්‍යට හෝ වෙනත් කිසිවෙකුට පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ ඇති බවයි. නමුත්, කතුවරයා පෞද්ගලික විශ්වවිද්‍යාල යන සංකල්පයට සම්පුර්ණයෙන්ම විරුද්ධත්වයක් නොදක්වන අතර, ඒ වෙනුවට ඔහු යෝජනා කරන්නේ පෞද්ගලික අංශය සමඟ එකට ජීවත්  විය හැකි ආකාරයකට පෞද්ගලික  විශ්වවිද්‍යාල නියාමනය කළයුතු බවයි. එමෙන්ම, පෞද්ගලික උපකාරක පන්ති හරහා දැනටමත් ඇතිවී තිබෙන, නමුත් වැඩි කතා බහකට ලක්නොවන  අධ්‍යාපන පෞද්ගලිකරණය පිලිබඳ කතා බහකටත් කතුවරයා කවුලු විවර කරයි. කතුවරයා ‘දක්ෂතා හෝ කුසලතා’ ඇති අයට පමණක් වන අධ්‍යාපනයක් වෙනුවෙන් පෙනී නොසිටින අතර, සැමට සමාන අවස්ථා පවතින අයුරින් අධ්‍යාපනය සකස් කිරීම පිලිබඳ අදහස් ඉදිරිපත් කරයි. එහිදී, යම් කොන්දේසි සහිතව අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම පිලිබඳ කතුවරයා ඉදිරිපත් කරන්නාවූ යෝජනාවට මා පෞද්ගලිකව එකඟ නොවූවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳ සිදුකරන විවාද සඳහා විවධ මාන කතුවරයා මේ හරහා හඳුන්වා දී ඇත.

ග්‍රන්ථයේ අවසාන කොටස යොමුවන්නේ, විශ්වවිද්‍යාලවල භූමිකාව පිලිබඳ කෙරෙන කතා බහකටයි. එහිදී ඔහු මතුකරන ප්‍රධාන කාරණයක් වන්නේ, විශ්ව විද්‍යාල, කර්මාන්ත වර්ධනය කෙරෙහි යොදා ගැනීම පිලිබඳ පවතින අදහසේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳවයි. එහිදී කතුවරයා මතු කරන වැදගත් කාරණයක් වන්නේ, කර්මාන්ත වර්ධනය සඳහා යොදාගත හැකි වෙනත් විවිධ ආයතන පවතින බවත්, විශ්වවිද්‍යාලවල කාර්යභාරය එයින් ඔබ්බට ගිය එකක් විය යුතු බවත්ය. එනම්, විශ්වවිද්‍යාල ‘උපයෝගිතාව සහිත’ දැනුමේ පමණක් කෝෂ්ඨාගාර නොවිය යුතු අතර, ඒ වෙනුවට සියලු දැනුමේ කෝෂ්ඨාගාර විය යුතුය. ඒ අනුව ඔහු තර්ක කරන්නේ, විශ්වවිද්‍යාලවල භූමිකාව හුදූ ආර්ථික වාසි අනුව පමණක් ඇගයීමට ලක්කිරීම ඉතාම හානි දායක බවයි. එමෙන්ම, විශ්වවිද්‍යාල පර්යේෂණවල  තෝතැන්නක් විය යුතු බව කතුවරයාගේ අදහසයි. ඒ අනුව ඔහු ප්‍රකාශ කරන්නේ, විශ්විද්‍යාල පර්යේෂණ හා විචාරාත්මක චින්තනයේ ආරම්භක යාන්ත්‍රණ විය යුතු අතර, හුදු කෙටි කාලීන ‘ඵලදායිතාව’ පමණක් අරමුණු කරගනිමින්, විශ්වවිද්‍යාල පර්යේෂණ සිදු නොකළ යුතු බවයි. ඒ අනුව පර්යේෂණ, සමාජ දිශා දර්ශක ලෙස කටයුතු කළයුතු අතර, ඒවා සමාජයේ සංගණක යන්ත්‍ර පමණක් නොවිය යුතුය.

මෙම ග්‍රන්ථය ලංකාවේ අධ්‍යාපනයේ ඉතිහාසය ඉතාම සැකෙවින් සහ සරලව ඉදිරිපත්කරන අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  පිලිබඳ කතිකාවට අලුත් අදහස් ගණනාවක් එක්කරනු ලබයි. එමෙන්ම, ලෝකයේ විවිධ රටවල උදාහරණ සහ ඒවායේ සාර්ථක අසාර්ථක භාවයත්, ඒවා ලංකා සමාජයට ගලපා ගත (නො)හැකි ආකාරයත් විටින් විට මතු කරයි.

Leave a comment

This website uses cookies to improve your web experience.