කෞෂල්‍යා ආරියරත්න –
පිවිසුම
සමාජය තුළ කිසියම් සිවිල් බලයක් අත්පත් කොට ගෙන සිටින භික්ෂුවක් විසින් සිදු කරන ලද පුවත්පත් සාකච්ඡාවක් හේතුවෙන්, රජය විසින් සිසුන් අතට පත් නොකොට යළි කැඳවන ලද ‘හතේ අපේ පොත’ නම් වූ සිසු අතිරේක කියවීම් පොත ගැන මේ මොහොතේ රට පුරා කතිකාවක් ඇති වී තිබේ. මෙම කතිකාව සමාජගත වීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසා ය:
1) ඉන් පළමුවැන්න නම්, නීතියේ අසමත්භාවය ද, සංස්කෘතිය සහ සදාචාරය පිළිබඳ දෘෂ්ටිවාදයන් ද, ලජ්ජාව හා බිය යන සංකල්ප ද විසින් වසා දැමෙන, ශ්‍රී ලංකාවේ ළමයින් මුහුණ දෙන ඛේදජනක ජීවන යථාර්ථය පිළිබඳ සංවාදයකට එය අපට ඉඩ විවර කරයි.
2) දෙවැන්න නම්, මෙම සිදුවීම විසින් රාජ්‍ය පාලනය පවා තැති ගන්නවන සුලු ශරීරය පිළිබඳ අයිතිය සහ ලිංගිකත්වය පිළිබඳ නිදහස මුල් කරගත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කතිකාවතෙහි අවශ්‍යතාව යළි අවධාරණය කිරීමයි. රටේ සිවිල් පරිපාලනය (භික්ෂූන් ඇතුලුව), “සංස්කෘතිය හා සදාචාර පාලකයින්ට” යටත් වීම පිළිබඳ අපූරු එහෙත් ඛේදනීය උදාහරණයක් එය අප හමුවේ තබා ඇත.
හොඳම දේ ළමයින්ට
වෛද්‍ය විද්‍යාත්මකව ළමයෙකු මුලින්ම වැඩිහිටියකු වීම ඇරඹෙන්නේ වයස අවුරුදු 10-12 අතර කාලයේදී ය. එක් එක් ළමයාගේ ශරීරය සහ හෝර්මෝන අනුව මෙය අඩු වැඩි විය හැකි නමුත්, මේ වයස ලිංගිකත්වය පිළිබඳ හැඟීම්, ආශාවන් සහ කුතුහලය ද ජනිතවන වයසයි. සන්නිවේදනය සඳහා අන්තර්ජාලය භාවිතා නොවූ මීට දශක දෙක තුනකට පෙර, පාසල් සිසුන්ට සිය ශරීරය පිළිබඳ කුතුහලය සංසිඳුවා ගැනීමේදී පිහිටට ආවේ වැඩිහිටියන් සඳහා ලියැවුණු පුවත්පත්, මිතූරු මිතුරියන්ගෙන් සොයා ගන්නා තොරතුරු සහ 10 වන ශ්‍රේණියේ විද්‍යාව විෂය සඳහා අර්ධ වශයෙන් ඉගැන්වූ ප්‍රජනනය පිළිබඳ පාඩම පමණි. එහෙත් අද වන විට අන්තර්ජාලයට පිවිසීමට ඇති අවකාශ පුලුල් වීම නිසා ළමයෙකුට තම ශරීරයේ සිදුවන වෙනස්වීම් පිළිබඳව සත්‍ය මෙන්ම මිථ්‍යාවන් ද දැනගත හැකි අවිධිමත් මාර්ග බොහෝ ය.
එහෙත් වැඩිහිටියන් වන අප විසින් සදාචාරමය සලුපිළි පොරවා, අනේකවිධ ආකාරවලින් සඟවා, යටපත් කොට වසා දමන ලෝකය ඇත්තෙන්ම ළමයින්ට සුරක්ෂිත ද? රජයේ නිල දත්ත සහ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ එසේ නොවන බවයි. නිදසුනක් ලෙස, පවුල් සෞඛ්‍ය කාර්යාංශයට අනුව වාර්ෂිකව වයස අවුරුදු 13ත් 19ත් අතර දැරියෝ 20, 000කට ආසන්න ප්‍රමාණයක් ගැබ් ගනිති. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2016දී පවසුවේ ශ්‍රී ලංකාවේ දරු උපත්වලින් 6.5%ක් සිදු කරනු ලබන්නේ ළමා මවුවරුන් විසින් බවයි. ජාතික ළමාරක්ෂක අධිකාරියේ වාර්තා මීටත් වඩා බියජනකය. ඒවාට අනුව ලංකාවේ වසරකට 6, 000 -10, 000ක් අතර ප්‍රමාණයක ළමා අපයෝජන සහ ලිංගික අපරාධ සිදු වේ. මින් 94%ක ප්‍රමාණයක් නොදැනුවත්කම, ලැජ්ජාව සහ බිය නිසා සිදු වන බව ද පැවසේ. විරෝධය දැක්වීමට ඇති නොහැකියාව හේතුවෙන් ළමයින්ට සිදුවන ලිංගික අපරාධ, අනවශ්‍ය ගැබ් ගැනීම්, මානසික පීඩනය, ළමා සහ මාතෘ මරණ, අවදානම් සහගත හා සෞඛ්‍යාරක්ෂිත නොවන ගබ්සා, සියදිවිනසා ගැනීම් කොපමණ ද යන්න ගණන් බැලිය නොහැකි තරම් විශාල ය. මේ අද අප ළමයින්ට උරුම කර දී ඇති ‘සොඳුරුතම’ ලෝකයයි.
‘හතේ පොතේ’ ඉතිහාසය
නිසි ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ ළමයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාව කතාබහට නැඟුණේ බොහෝ කලක පටන් ය. මුලින්ම විද්‍යාව සහ සෞඛ්‍ය විෂයයන් තුළට ද, අනතුරුව අතිරේක කියවීම් පොත් ලෙස ද පාසල්වලට හඳුන්වා දෙනු ලැබුව ද, ගුරුවරුන් සහ ගුරුවරියන් අතින් මෙම පාඩම් ඉගැන්වීම නිසි ලෙස සිදුවුයේ ද යන්න ගැටලු සහගත විය. නිදසුනක් ලෙස, මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත හඳුන්වා දුන් ‘උදා වූ යෞවනය’ ද සමහර විදුහල්පතිවරුන් අතින් ළමයින් අතට නොගිය බවට චෝදනා තිබේ.
2017 දී පිහිටුවන ලද කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ ගැටලුවට විධිමත් විසඳුමක් ලබා දීමේ අරමුණින් පුලුල් අධ්‍යයනයක් සහ විමර්ශනයක් සිදු කරන ලදී. මේ සඳහා සහභාගී වූ නිලධාරී මණ්ඩලය පහත ආයතන නියෝජනය කරන ලදී: එනම්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ළමාරක්ෂක අධිකාරිය, පවුල් සැළසුම් සංගමය, කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු දෙපළක්, ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය යනාදියයි. මෙහි නිර්දේශවලට අනුව ‘හතේ අපේ පොත’ පමණක් නොව, ‘දොළහේ අපේ පොත’ ද හඳුන්වා දීමට නියමිතව තිබුණි.
එහෙත්, විවිධ පාර්ශවයන් ගණනාවකගේ ඉමහත් පරිශ්‍රමයෙන්, දායකත්වයෙන් හා වෙහෙසින් නිම කොට බෙදා හරින ලද මෙම අත්පොත, ජනාධිපතිවරණ ප්‍රතිඵල කෙරෙහි බලපෑමක් ඇතිවේය යන බියෙන් පසුගිය රජය විසින් එක් ලිපියකින් හොර රහසේ නැවත කැඳවීම ඛේදජනක විය.
ලැජ්ජා-බය සහ සදාචාර පාලනය
පෙළපොත නැවත කැඳවීම පිළිබඳ සිදුවීම සන්දර්භගත කළ යුත්තේ එය කැඳවන ලද කාල වකවානුව සමඟය. මෙය කැඳවීමට ලිපිය නිකුත් කරනු ලබන්නේ, 2019 නොවැම්බර් 08දාය. එනම්, බටහිර ගැති නොවන, සිංහල-බෞද්ධ, විෂමරිසි (heterosexual) සහ පුරුෂමය (masculine) නායකත්වයක් උත්ප්‍රාසයට නගමින් සිටි තීරණාත්මක ජනාධිපතිවරණයක් අභිමුවෙහිය. යම් ලෙසකින් භික්ෂූන් විසින් මෙය ඉදිරිපත් කළේ නම්, ඒ වන විට ජන බලය දිනා ගැනීමට මෙහෙයවන ලද එකී ඊනියා සුදුසුකම් අහිමි බව පෙන්වා තිබූ රජයට, මෙම පොත සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තුළ පෙන්නුම් කළ ප්‍රගතිශීලී සහ විවෘත ස්වභාවය, මැතිවරණය කෙරෙහි ඇත්තෙන්ම අවාසි සහගත වන්නට ඉඩ තිබිණි. කෙසේ වුවත්, මෙම කතිකාව සම්බන්ධව, එම පොත සම්පාදනය කිරීමට මැදිහත් වූ කාරක සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ඇතුලු ඉහතින් සඳහන් කළ සියලු ආයතන ද, නව අධ්‍යාපන ඇමතිවරයා ද නිහඬ කරවීමට තරම් මෙම සදාචාර තර්කය ප්‍රබල එකකි.
ශ්‍රී ලංකාව තුළ විෂයීයත්ව නිර්මාණය (subject formation) කෙරෙහි ලජ්ජා-බය සංකල්ප උපයෝගී කර ගැනීම ගැන ලියන ගණනාත් ඔබේසේකර (1984) පැහැදිළි කරන්නේ, පුද්ගලයකුගේ මුල් ළමාවිය තුළ පවුල් විසින් සිදු කරන පළමු සමාජානුයෝජණ ක්‍රියාවලිය තුළ ලැජ්ජාව සහ බිය සම්බන්ධ අවවාදාත්මක ප්‍රකාශයනයන් මගින් යම් හැසිරීම් පිටු දකිමින් තවත් හැසිරීම් පිළිගෙන සාමාන්‍යකරණය කරන බව ය. විවිධ බල ක්ෂේත්‍ර තුළ මෙය පාලනය කිරීමේ අධිකාරිය විවිධ පුද්ගලයන්/කණ්ඩායම් විසින් පවත්වාගෙන යනු ලබයි. සදාචාරය පිළිබඳ නියාමන සහ මිනුම් දඬු දෙමව්පියන් හා ගුරුවරුන් විසින් ළමයින් මත ද, භික්ෂූන් විසින් වැඩිහිටියන් ඇතුලු පොදු සමාජය මත ද බලපවත්වාගෙන යති . මාලතී ද අල්විස්ට (1997) අනුව, ලජ්ජා-බය පිළිබඳ මූලික සංකල්පය ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා අත්‍යන්තයෙන් බැඳී පවතින්නකි. මේ අන්දමට පිරිමි ළමයකුගේ ගෞරවය සම්බන්ධයෙන් භය දරා සිටීමේ (දඬුවමට ඇති බිය) ශක්‍යතාව කේන්ද්‍රීය වන අතර, ලැජ්ජාවෙන් මිදීම (අවමානයට ලක් වීමේ හෝ සදාචාර විරෝධී වීමේ ලැජ්ජාව) ගැහැණු ළමයකු සම්බන්ධයෙන් තීරණාත්මක වේ. ඒ අනුව, පාසල නමැති බල ක්ෂේත්‍රය තුළ වෙනස් ආකාරවලින් ගැහැණු සහ පිරිමි ළමුන් ශික්ෂණය කරනු ලැබේ.
පොදුවේ ගත් විට සුවච-කීකරු, ගුරුවරුන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් පෙරළා ප්‍රශ්න නොකරන, සමාජයේ අධිපති කතිකාවන් හා එකඟ, කායිකව හා මානසිකව හික්මවන ලද ළමයකු බිහි කිරීමේ හෙජමොනික ව්‍යාපෘතියට මේ ‘හතේ පොත’ කිසිසේත්ම එකඟ වන්නේ නැත. ‘හතේ පොත’ ශරීරය ගැන, ලිංගිකත්වය ගැන, වැඩීම ගැන, ආහාර පුරුදු සහ පෝෂණය ගැන, ව්‍යායාම ගැන, දුම්පානය ගැන, ආර්ථවය ගැන, ස්පර්ශය ගැන මෙන්ම ආදරය ගැන ද නොසඟවා කතා කරයි. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාත්මක පාරිභාෂික වචන වෙනුවට, එය ශරීරය සහ ලිංගිකත්වය ගැන සාකච්ඡා කරන්නට එදිනෙදා කටවහරේ පවතින වචන භාවිතා කරයි. පොත කියවා, ඒ ගැන මිතුරු මිතුරියන් හා සාකච්ඡා කිරීමට දිරි ගන්වයි. එතැනින් නොනැවතී, තම ගැටලු ගැන වැඩිදුර කතා කරන්නට විශ්වසනීය දුරකථන අංක ද ලබා දෙයි. කෙටියෙන් කිවහොත්, ‘හතේ පොත’ ශ්‍රී ලංකාවේ යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත අධ්‍යාපන ශික්ෂණ ව්‍යාපෘතිය අවුල් කරයි.
හෙට දවස
විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසු සිසුවියන්ට මිලිටරි පුහුණුව ලබාදීම, විදුහල්පතිවරුන් හමුදාවට බඳවා ගැනීම, හමුදා සෙබලුන්ට ගුරු පත්වීම් ලබා දීම යනාදී පාලනයේ විවිධ උපක්‍රම අප අත් දුටුවේ වැඩි ඈතක දී නොවේ. මහාමාර්ග දෙපාර්තමේන්තුව විසින් අඳින ලද මාර්ග අනතුරු ඇඟවීමේ සංඥා මකා දමමින් මිලිටරි ජයග්‍රහණ තාප්ප මත උත්ප්‍රාසයට නැගෙන්නේ ද, අධ්‍යාපන, සෞඛ්‍ය හා ළමයින් පිළිබඳ විශේෂඥයන් විසින් ලියන ලද පොතක් සදාචාරය විසින් පාලනය කරනු ලබන්නේ ද එකම න්‍යායක් අනුවය. එයට අභියෝග කරන ඕනෑම අයෙකු බටහිර කුමන්ත්‍රණකාරීන්, එන්ජීඕ නියෝජිතයන් සහ සදාචාරය විනාශ කිරීමට බලා සිටින්නන් බවට පත් කරනු ලැබේ (‘හතේ පොත’ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමෙන් අනතුරුව, සදාචාර පොලීසිය වෙනුවෙන් පෙනී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසකට අනුව අපි “පසුගිය ජනාධිපතිවරණයේදී පැරද පළා ගිය සිංහල විරෝධී රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකු සහ බටහිර දැනුමෙන් අන්ධ වූ කිහිප දෙනෙකු” යන ගෞරව නාමය ලැබීමු). මේ අනුව, ලිංගිකත්වය, නිදහස සහ කැමැත්ත පිළිබඳ අදහස් සමාජගත කිරීම වූ කලී, සිංහල-බෞද්ධ, පුරුෂ මූලික සහ විෂමරිසි රාජ්‍යයේ පැවැත්මට එල්ල කෙරෙන අභියෝග වන්නේ ය.
අවසාන වශයෙන් කිව යුත්තේ ‘හතේ පොත’ සියලු ලිංගික අපරාධ වළක්වන යතුරක් නොවනු ඇති නමුත්, එමගින් විවර කර දෙනු ඇත්තේ නිදහස සහ කැමැත්ත මත ගොඩනැගෙන යහපත් මිනිස් සබඳතාවල වටිනාකම කියා දෙන ලෝකයක් වන බව ය.