Skip links

විස්සේ පලහිලව්ව

~ සසංක පෙරේරා

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්‍ෂය විසින් යෝජනා කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විශාල කතිකාවක් මේ වන විට ඇතිවී තිබේ. මේ සංශෝධනය මගින් මූලික වශයෙන් උත්සාහ කර ඇත්තේ ජනාධිපති ධුරය මත අතිවිශාල බලයක් සංකේද්‍රණය කිරීමටය. ඒ ඔස්සේ ජනාධිපතිවරයාට විනිසුරුවරුන්, කොමිශන් සභා සාමාජිකයින්, රජයේ ඉහළ නිලධාරීන්, පොලිස්පති ආදීන් පත් කිරීමේ බලය දිය යුතු යැයි යෝජනා කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාට තමන් කැමති අමාත්‍යාංශ සියත තබා ගැනීමටත් රිසි පරිදි ඇමතිවරුන් අවශ්‍ය සංඛ්‍යාවක් පත් කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. තවද, පාර්ලිමේන්තුවට අවතීර්ණ වීම සඳහා ද්විත්ව පුරවැසියන්ට පනවා තිබූ සීමාවද මින් ඉවත් කර ඇති අතර, ජනාධිපති ධුර අපේක්‍ෂකයින්ගේ අවම වයස අවුරුදු 35 සිට 30 දක්වා පහත දැමීමට යෝජනා කර ඇත. එනම්, පසුගිය රජය විසින් 19 වන සංශෝධනය මගින් පනවා තිබූ විදිවිධාන සියල්ලම පාහේ අහෝසිකර, ජනාධිපති ධුරයේ බලය අසීමිත කිරීමය.

මේ නව ව්‍යාවස්ථා සංශෝධනය පිළිබඳ මූලික ප්‍රවේශ දෙකක් ඇතිවී තිබෙන බැව් පැහැදිලිය. සංශෝධනයට පක්‍ෂ පාර්ශ්ව විසින් පවසන්නේ, එමගින් ජනතා පරමාධිපත්‍යය නැවත ස්ථාපනය කරන බවය. එනම්, ජනතාව විසින් විශාල බහුතර ඡන්දයකින් පත්කළ වර්තමාන ජනාධිපතිවරයාට ආණ්ඩු කිරීමට අවශ්‍ය බලය ඉන් ලබාදෙන බවය. මීට ප්‍රතිවිරුද්ධ වූ දෙවන කතිකාව පවසන්නේ, මේ සංශෝධනය විසින් ඒකාධිපතීත්වයට මං සලසන බවයි. මගේ උනන්දුව මේ ප්‍රවේශ දෙක පිළිබඳව යම් මූලික සොයා බැලීමක් සිදු කිරීමටය.

වර්තමාන ජනාධිපතිවරයා සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු පුරාම මෙන්ම ඉන් පසුවත් පුන පුනා ප්‍රකාශ කළේ, තමන්ට ප්‍රභල ආණ්ඩුවක් පිහිටුවා නිසි ලෙස රාජ්‍ය පාලනය සඳහා පැහැදිලි බලයක් ලබා දිය යුතු බවයි. මෙහිදී ඔහුගේ විශේෂ වවේඡනය එල්ල්වූයේ ස්වාධීන කොමිශන් සභා වෙතය. එමෙන්ම, මේ ඡන්ද ව්‍යාපාරයේ මුඛ්‍ය සටන් පාඨයක් වූයේ සර්වබලධාරී ජනාධිපති ධුරයක් මේ රට ‘සංවර්ධනය’ කිරීම උදෙසා අවශ්‍ය බවයි. මේ අකාරයේ ම විවේඡන පොදු ජන එක්සත් පෙරමුණ විසින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද දියත් කරන ලදී. මෙසේ බලන විට, මේ ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම එහි දිශානතිය ද බලාපොරොත්තු නොවූ දෙයක් නොවනවා මෙන්ම, එවන් අතිශයින් බලවත් දේශපාලනමය ව්‍යාපෘතියක් සඳහා ජනාධිපකිවරයාට ඍජුවමත් ඔහු නියෝජනය කරන පක්‍ෂයට පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අප රටේ රටවැසියන් බහුතරයන් සිය අවසරය දී ඇත. එනමුත්, බහුතරය සැම විටම නිවරැදිය යන්න මා මෙයින් අදහස් නොකරමි.

වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ, ජනතාව විසින් සිය කැමැත්තෙන් ම මෙවන් අතිවිශාල බල සංකේන්ද්‍රණයක් ජනාධිපති ධුරය මත පටවන්නට හැකියාව දෙන පදනම සකස් කළේ මන්ද යන්න විමසා බැලීමය. එක් පැහැදිලි හේතුවක් නම්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ ප්‍රධාන දේශපාලනික විපර්යාස ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් දීර්ඝකාලිනව කෙතරම් වැදගත් වුව ද, ඒ සංශෝධනයේ තිබූ ඇතැම් ගැටළු නිරාකරණය කර නොගැනීම නිසා සහ එයින් ඇතිවූ අස්ථාවර දේශපාලන තත්ත්වය යටතේ රාජ්‍ය පාලනයේ දී රනිල් වික්‍රමසිංහ – මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව විසින් රටට ප්‍රදර්ශනය කළ අතිශය අකාර්යක්‍ෂ්මතාව හා නිසි දැක්මක් නොතිබීම යන කරුණු නිසා රට ආර්ථිකමය හා දේශපාලනමය වශයෙන් අර්බුදකාරී තත්ක්වයකට පත්වීය. අනාගතය පිළිබඳ බලාපොරොත්තු නැතිවීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ ඇති විශ්වාසය පවා මෙනිසා පළුදු වීය. පසුගිය මැතිවරණ දෙකේම ප්‍රතිඵල මේ බලාපොරොත්තු සුන්වීමේ පැහැදිලි උදාහරණ වේ. එනම්, බහුතර ජනතාව සිය ඉඡ්චාභංගත්වය ප්‍රකාශ කිරීම හා වඩාත් ප්‍රයෝගික යැයි ඔවුන් විශ්වාස කළ දේශපාලන ව්‍යාපාරයක් සමග එක්වීමය.

මීට හේතු වූ දෙවන කාරණය නම්, මේ බලය සංකේන්ද්‍රණය කිරීමට බහුතර ජනතාව පසුගිය මැතිවරණ දෙකෙන් අවකාශ විවර කර ඇත්තේ දීර්ඝකාලීනව ජනාධිපති ධුරය පිළිබඳ තාර්කිකව හා සියුම්ව සිතා බලා නොව, වත්මත් ජනාධිපතිවරයාගේ පෞරුෂය චිත්තවේගීයව සැලකිල්ලට ගනිමින්ය යන කාරණයයි. එනම්, ජනාධිපතිවරණයේ දී වත්මත් ජනාධිපතිවරයා ලංකාවේ සිවිල් යුද්ධය ජයග්‍රහණය සඳහා කළ දායකත්වය රටට සෞභාග්‍ය උදාකරලන්නට ද යොදා ගනීය යන විශ්වාසය ඔවුන්ට තිබුනි. එය ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේ සටන් පාඨයක් ද වීය. රට එවකට මුහුණ පා සිටි අකර්මණ්‍යභාවය ද මීට අමතර බලවත් පදනමක් වීය. එලෙසින් ම, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට ජනාධිපතිවරයා දුන් නායකත්වය මේ අපේක්‍ෂිත ඉදිරි සංවර්ධනයේ උදාහරණයක් සේ සලකා, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු නියෝජනය කළ පක්‍ෂයට විශාල බලයක් ද ලබා දුනි. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වී ඇත්තේ සීඝ්‍රයෙන් රටේ යම් සාධනීය වෙනසක් සිදුවේය යන්නය. ඒ බලාපොරොත්තුවලට පදනම සපයන චිත්තවේගී හැඟීම් හා අත්දැකීම්වලට එම බලය නිසා ඒ ධුරයට දීර්ඝකාලීනව සිදුවන්නේ කුමක් ද යන්න කල්පනා කිරීම හෝ බලයට අවතීර්ණ වූ පසු පුද්ගලයින්ට සාමාන්‍යයෙන් වැලඳෙන බලකාමය පිළිබඳව තාර්කිකව සිතා බැලීම හෝ අදාල වන්නේ නැත. ලොව සැම තැනකින් ම හා සෑම කාලයකම අපට පෙන්වා දී ඇත්තේ ජනප්‍රිය දේශපාලනයේ ස්වාභාවය මෙය බවයි.

කාටූනය: අවන්ත ආටිගල

ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳව මතුවී ඇති දෙවන ප්‍රවේශය පිළිබඳව දැන් සලකා බැලිය හැක. එහි මුඛ්‍යාර්ථය වන්නේ, මේසා බල සංකේන්ද්‍රණයකින් සිදු වන්නේ ඉදිරියේදී ඒ බලය අව-භාවිතා කිරීම බවයි. එනම්, එමගින් අසීමිත බලය පාලනය කිරීමට තිබූ සංවරණ හා තුළණ යාන්ත්‍රණ අහෝසි කර ඇති බවයි. ගෝලීය හා දේශීය තත්ත්ව පිළිබඳව විමසා බැලීමේදී මේ ස්ථාවරය බෙහෙවින් වැදගත්වන බව පැහැදිලිය. අප රටේ වුව ද ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිරයාට ඔහු 1978 දී ගෙන ආ ව්‍යවස්ථා ප්‍රතිසංවිධානයට අවශ්‍ය ජනවරම පැහැදිලිවම තිබුනි. එයින් ඔහු සතුකර ගත් අසීමිත බලය පිළිබඳ පැහැදිලි අදහසක් ද ඔහුට තිබුනි. තමන්ට කළ නොහැක්කේ පුරුෂයෙක් ස්ත්‍රියක් බවට පත්කිරීම හා ස්ත්‍රියක් පුරුෂයෙකු බවට පත්කිරීම පමණක් යැයි ඔහු වරක් පැවසූ බව කියවේ. එයින් ඇතිවූ දේශපාලනික ආදිනවයන්ගෙන් අප තවමත් මිදී නැත. ඒ ව්‍යවස්ථාව පිළිබඳව තිබූ ප්‍රධානතම විවේඡනය වූයේ එමගින් ඒකාධිපති ජනාධිපති ධුරයක් ස්ථාපනය කළ බවයි. ජන වරම, දේශපාලනික ජනප්‍රියත්වය හා එහි ආදිනව පිළිබඳව අපි ප්‍රවේසමෙන් සිතා බැලිය යුතුය. ඇඩොල්ෆ් හිට්ලර් නාසි ජර්මනියේ පාලනය බාර ගන්නා විට ඔහුට ද විශාල ජනබලයක් තිබුනි. සිම්බාබ්වේ රාජ්‍යයේ රොබර්ට් මුගාබේට ද එසේමය. ෆිලිපීනයේ ෆර්ඩිනැන්ඞ් මාකෝස්ටත් එසේමය. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි අතිවිශාල උදාහරණවලින් ඉහත දැක්වූයේ උදාහරණ කිහිපයක් පමණි. මේ සියළු නායකයින්ගේ මුල් කාලීන ජනප්‍රියත්වයම ඔවුන් පසු කාලීන දේශපාලන බලකාමයකට යොමු කළ අතර, පසුව එකී රටවල් බරපතල විනාශයක් කරා යොමු කිරීමට පදනම යෙදූ බව ද යුරෝපීය, අප්‍රිකානු, මැදපෙරදිග හා ආසියානු රටවල 20 වන සියවසේ ඉතිහාසය ඇසුරින් පැහැදිලිව තේරුම් ගත හැකිය.

දැනට යෝජිත 20 වන සංශෝධනයෙන් මූලික වශයෙන් සිදුවන්නේ ජනාධිපති ධුරය මත අසීමිත බලයක් සංකේන්ද්‍රණය කිරීම පමණක් නොවේ. එමගින් ව්‍යාවස්ථාදායකය හා අධිකරණය ද ජනාධිපති ධුරයේ ආධිප්‍යයට පැහැදිලිවම යටත් කරයි. ජනාධිපති ධුරය හොබවන්නාට විනිසුරුවරුන් පත් කිරීමේ බලය ලබාදීමෙන් හා මහජන ඡන්දයෙන් පත් වූ පාර්ලිමේන්තුව තම අභිමතය අනුව වසරකට පසු විසිරුවා හැරීමේ බලය ලබාදීමෙන් ද සිදුවන්නේ ඔවුන් සියළු දෙනාම තම අභිමතයට යටත්කර ගැනීමට හැකියාවක් ජනාධිපතිවරයාට ලැබීමය. 1978 ව්‍යවස්ථාව යටතේ ද මෙය සිදුවූ බව ඉතිහාසය අපට කියා දී ඇත. දැනට ඉදිරිපත් කර ඇති සංශෝධනයේ රෙගුලාසිවලට අනුව, ජනාධිපති ධුරය හොබවන්නාගෙන් සිදුවිය හැකි බල දූශණය පිළිබඳ සොයා බැලීමට හා එය පාලනය කිරීමට කිසිදු යාන්ත්‍රණයක් නොමැත. ඔහුට විරුද්ධව නඩු මාර්ගයට බැසීමට තිබූ මහජන අයිතිය ද අහෝසි කිරීමට යෝජනා කර තිබේ.

මෙවන් තත්ත්ව යටතේ රටක අනාගතය තනි පුද්ගලයෙකු ගේ අභිමතයට හෝ ධුරයකට නීත්‍යානුකූලව නතු කරන්නේ නම්, එකී ධුරය හොබවන්නා සියළු කෙළෙස් ජයගත් බෝසත් වරයෙකු හෝ දෙවි කෙනෙකු හෝ විය යුතුය. එනම්, තමන් සතු බලය අපයෝජනය නොකරන්නෙකු විය යුතුය. එනමුත්, අප රට ද ඇතුළුව ලෝක දේශපාලනයේ කිසිම තැනක එවන් පරමාදර්ශී පුද්ගලයින් සොයා ගත නොහැක. බලය පාලනය කිරීම සඳහා සියළු ශිෂ්ඨසම්පන්න සමාජවල ව්‍යවස්ථා හා නීති පද්ධති මගින් සංවරණ හා තුළණ යාන්ත්‍රණ ක්‍රියාත්මක කර ඇත්තේ මේ නිසාය. මීට අමතරව, අපගේ අවාසනාව වී ඇත්තේ පසුගිය දශක කිහිපය තුළ අප රටේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ හුදු දේශපාලනඥයින් මිස රාජ්‍ය තාන්ත්‍රිකයින් (statesmen and stateswomen) බිහිකර නොතිබීමය. මගේ විශ්වාසය වන්නේ, ලෝකයේ සෑම රටකම දේශපානඥයින් මූලික වශයෙන් ක්‍රියාත්මකවන්නේ පටු දේශපාලන අරමුණු උදෙසා බවයි. බුද්ධිමත්ව හා තම හෘද සාක්‍ෂියට අනුව ක්‍රියා කිරීමට ඔවුන් ට අවශ්‍ය නැත. මීට සාපේක්‍ෂව, රාජ්‍යතාන්ත්‍රිකයින්ට, එනම් ජවහර්ලාල් නේරු, නෙල්සන් මන්ඩෙලා හා තත්කාලීන ලෝකයෙන් ගත් කළ, නවසීලන්තයේ ජසින්ඩා ආඩන් වැන්නවුන්ට මේ පටු දේශපාලනික හා පුද්ගලික සීමා අතික්‍රමණය කිරීමට අවශ්‍ය දර්ශනය, ඥානවන්තකම හා ආත්ම ශක්තිය ඇත. ඔවුන් ජනප්‍රියත්වය හඹා නොයනවා මෙන්ම පුද්ගලිකත්වය අතික්‍රමණය කළ හා අවශ්‍ය විට උඩුගං බලා පිහිනීමේ හැකියාව ඇත්තවුන්ය.

20 වන සංශෝධනය පිළිබඳ විවාදයේදී හා එය අවසනදී කුමණ ස්වරූපයකින් පාර්ලිමේන්තුවේ දී අනුමත කරයි ද යන කාරණය මත අපගේ නායකයින් හෘද සාක්‍ෂියක් සහිත බුද්ධිමත් රාජ්‍යතාන්ත්‍රිකයින් ද නැතිනම් එසේ නොමැති පටු දේශපාලන අවශ්‍යතා සඳහා පමණක් ක්‍රියාත්මකවන අනාගතය නොපෙනෙන දේශපාලනඥයින් ද යන යථාව පැහැදිලිවම අපගේ ඉතිහාසයට, වර්තමානයට හා අනාගතයට එක් කරනු ඇත.

Leave a comment

This website uses cookies to improve your web experience.