Skip links

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය සහ උතුරුකරයේ ‘ගෙදර’ පිලිබඳ හැඟීම

In My Mother’s House: Civil War in Sri Lanka (මගේ මවගේ නිවසේ: ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය). ශාරිකා තිරාණගම. ෆිලඩෙල්ෆියාව: පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2011. පිටු 296. ISBN: 9780812222845. මිල: අමෙරිකානු ඩොලර් 29.95 (මෘදු කවරය සහිතව).

විමර්ශනය: දියෝතිමා චත්තෝරාජ්, රුඅර් විශ්වවිද්‍යාලය, ජර්මනිය
පරිවර්තනය: හිරණ්‍යදා දේවසිරි

___________

උතුරේ ශ්‍රී ලාංකික දෙමළ සහ මුස්ලිම් ජනයා අතර ‘ගෙදර’ (home) යන්නට ලැබෙන ප්‍රතිවිරුද්ධ අර්ථ සමග මෙම කෘතිය සවිස්තරාත්මකව ගනුදෙනු කරයි. තිරාණගම මෙහිදී නිරූපණය කරන්නේ, යමෙකුගේ ගෙදර (ur,18 පිටුව) පිළිබඳව දැනගත හැකි දෑ මත පදනම් වී යම් අයෙකුගේ චරිතය නිශ්චය කරන්නාවූ උතුරේ දෙමළ ජනයාවයි. තමන් උපන් බිමේ පස සමග ඇති සම්බන්ධය ඔවුන්ට අන් කවරකටත් වඩා වැදගත් ය. විශේෂයෙන්ම ගෙදර සහ අවතැන්වීම (home and displacement) යන සංකල්පයන්ට අදාළව, දේශපාලන මානවවිද්‍යාව (Political Anthropology) හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ මානවවංශ ලේඛනකරණය (Ethnography of Violence) යන ක්ෂේත්‍රයන්ට විශාල දායකත්වයක් ලබාදෙන මේ කෘතිය මගින් පස සමග ඇති මෙම සම්බන්ධය මැනැවින් පර්යේෂණයට ලක් කොට ඇත. මෙහිදී කතුවරියගේ විමර්ශනයට භාජනයවන විවිධ වාද විෂයන් අතර කැපී පෙනන ඒවා වන්නේ, පුළුල් ලෙස පුද්ගලයින් අවතැන්වූ පසුබිමක දික්ගැසුණු යුද්ධයක් විසින් ඌර් (ur) යන අදහසේ අර්ථයන්ට සිදුකළ බලපෑම, පාරම්පරික සහ කුටුම්භික අත්දැකීම්වල සිදුවූ පරිවර්තනය (5) හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ. ය) හා ශ්‍රී ලංකා රාජ්‍යය විසින් සිවිල් ජනයා මත පමුණුවන ලද දේශපාලන හිංසනයේ බලපෑම (18) යන ඒවායි.

වඩාත් පුළුල් සන්දර්භයක් තුළ, මෙම කෘතිය අවධානය යොමු කරන්නේ, 1983 වසරේ සිට ශ්‍රී ලංකා රාජ්‍යය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවති,  2009 දී මතභේදකාරී හා උද්වේගකර ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද පරාජයත් සමග අවසන් වූ දීර්ඝ සිවිල් යුද්ධය වෙතටයි. මෙම ගැටුම මගින් උතුරු හා නැගෙනහිර පළාත් වල ජනයා විශාල වශයෙන් අභ්‍යන්තරිකව හා බාහිරව අවතැන් කරවන ලදී. එමෙන්ම, මෙම ගැටුම පදනම් කරගෙන දේශපාලන ප්‍රචණ්ඩත්වය, ගැටුම්, බලහත්කාරයෙන් නැවත පදිංචිකිරීම, ක්ෂතිය, ජාතිකවාදය හා ජනවාර්ගික-ආගමික අනන්‍යතා නිර්මාණය යන ඉසව් පිළිබඳ ශාස්ත්ත්‍රීය අධ්‍යයනයන් ගණනාවක් ද බිහිකර ඇත. ශ්‍රී ලංකාවේ ‘ගෙදර’ යන සංකල්පය දෙස නැවුම් ප්‍රවේශයකින් බලන තිරාණගමගේ මෙම කෘතිය ඉහත කී අධ්‍යයනයන්ට ඉතා වැදගත් අනුපූරකයකි. යුද්ධයෙන් විපතට පත් ජනයාගේ ආස්ථාන හා ඔවුන්ගේ සිත්සතන් තුළ ‘ගෙදර’ යන්න පිළිබඳව ඇති අදහස් හැඩගස්වන ‘ඓතිහාසික හා දේශපාලනික ගමන්පථ’ (19) විභාග කිරීම ඇයගේ ප්‍රධානතම අරමුණයි. ඇය ගෙදර යන ප්‍රපංචය අධ්‍යයනය කරන්නේ ‘ආදරයේ, ස්නේහයේ, මනෝභාවයේ හා මතකයේ එදිනෙදා භාෂාවක්’ (19) ලෙසයි. කෘතියේ වැදගත්ම දායකත්වය ලෙස මා දකින්නේ, එමගින් අභ්‍යන්තරිකව අවතැන්වූ (IDPs) බොහෝ දෙනා විසින් අර්බුදකාරී කාලවල ‘ගෙදර’ යන්නේ අර්ථ ගවේෂණය කරන ක්‍රම පිළිබඳව පහදා දීමයි. යුද්ධය සම්බන්ධයෙන් තරුණ හා වැඩිහිටි පරම්පරා අතර ඇති අත්දැකීම්වල වෙනස්කම් කේන්ද්‍ර කරගනිමින්, පරම්පරා හා පාරම්පරික වෙනස්කම් දෙස බැලීමට තිරාණගම නව්‍ය දෘෂ්ටිකෝණයක් යොදවයි. ඉහත සඳහන් කරන ලද ගැටළු ද්විත්වයට මෙම විමර්ශනය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත.

කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් ගවේෂණය කරමින්, ස්වයං-මානවවංශකරණ (auto-ethnography) ප්‍රවේශයක් ඔස්සේ ආරම්භවන මේ කෘතිය, මෙකී ස්වයං-චරිතාපදානීය විස්තර වඩාත් පුළුල් සංස්කෘතික, දේශපාලන හා සමාජ අර්ථ සහ තේරුම්ගැනීම් සමග සම්බන්ධ කරයි. මෙම ස්වයං-මානවවංශ ප්‍රවේශය විසින් පිළිබිඹු කරන්නේ අවතැන් වීම හා නැවත පැමිණීම කතුවරිය විසින් අත්දකින ලද ආකාරය වන අතර, ඇය මේවා අභ්‍යන්තරිකව අවතැන්වූවන්ගේ පුළුල් අත්දැකීම් සමග සම්බන්ධ කරන්නීය. කෘතියේ පළමු කොටස යුද්ධය පිළිබඳව, කඩාකප්පල් වූ සිවිල් ජන ජීවිත පිළිබඳව, එල්.ටී.ටී.ඊ සංවිධානයේ පරිණාමය හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ද සවිස්තරාත්මකව සාකච්ඡා කරයි. යාපනයේ ඉහළ පාංන්තික ජනයා විසූ පෙදෙසක ඉපිද හැදී වැඩුණු තිරාණගම, ප්‍රසිද්ධ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක් හා විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් වූ ඇයගේ මව 1989 සැප්තැම්බර් මස එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කළ පසු, එම සිදුවීමේ ගොදුරක් බවට පත්වේ. එනිසා 1989 වර්ෂයේ දෙසැම්බර් මස ඇයට හා ඇයගේ සොයුරියට ශ්‍රී ලංකාවෙන් පිටවී, ලන්ඩන් නගරයේ ආරක්ෂාව පැතීමට සිදුවේ. 2000 ගණන්වල මුල් අවධියේ ඇය නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1990 දශකයේ නිශ්චිතවම සිදුවුයේ කුමක්ද යන්න දැනගැනීමේ අරමුණින් අභ්‍යන්තරිකව අවතැන්වූවන් සම්බන්ධ කරගනිමින් මානව වංශ ක්ෂේත්‍ර පර්යේෂණ (ethnographic field research) ආරම්භ කිරීමටයි. උතුරු හා බස්නාහිර පළාත්වල පිහිටා තිබූ සරණාගත කඳවුරුවල සිටි අභ්‍යන්තරිකව අවතැන්වූවන් අතුරින් එක්රැස් කරගන්නා ලද සාක්ෂි පිළිබඳව මෙම කෘතිය කතා කරයි. එමෙන්ම, ලන්ඩන් සහ ටොරොන්ටෝ යන නගරවල වර්ධනය වූ දෙමළ ඩයස්පෝරාවේ තත්ත්වය ද මෙම කෘතිය විසින් ගෙන හැර දක්වයි. වසර 12කින් පසු ඇයට ලන්ඩන් නුවරදී හමුවූ ඇයගේ ළමා කල මිතුරියක් විසින් පවසන තම අවතැන්වීම පිළිබඳ කතාව ද කතුවරිය විසින් අපට හඳුන්වාදෙයි. මෙම කතාව තිරාණගමගේ ජීවිතය මෙන්ම ඇයගේ පරම්පරාවේ ‘කාලික පර්යාවලෝකය’ (temporal perspective) (41) සමග එකට බැඳී ඇත. ඉන්පසු ඈ පරිපීඩනයේ විවිධ අවකාශ තුළින් අවතැන් වූ දෙමළ සහ මුස්ලිම් ජනයාගේ ජීවිත කතා හා ඒ පිළිබඳ ආඛ්‍යාන වෙත එළඹෙන අතර, විවිධ වාර්ගික හා ආගමික අනන්‍යතා නිසා විපතට පත්වූවන් හා ඔවුන් එසේ විපතට පත් කළවුන් අතර ඇති සම්බන්ධතා නිරූපණය කරමින් යුද්ධයේ බලපෑම් සාකච්ඡා කරයි.   

උතුරේ ජනයා අභිබවූ නැගෙනහිර මුස්ලිම් ප්‍රජාවේ ප්‍රබල භූමිකාව පිළිබඳ අදහසක් ලබා දීම මගින් බොහෝ විට නොසලකා හරින ලද දෙමළ-මුස්ලිම් සබඳතාව හෙළි කිරීමට ද මෙම අධ්‍යයනය කටයුතු කරයි. ඌර් නැතිනම් නිවස පිළිබඳව ඔවුන් දරණ අදහස් කේන්ද්‍ර කරගනිමින්, ඔවුන්ගේ වත්මන් වාසස්ථාන ‘ගෙදර වගේ නොවීම’ (un-homeliness) සහ ‘ගෙදර වගේ වීම’ (homeliness) යන අත්දැකීම් සාකච්ඡා කරමින්, ඇය උතුරේ මුස්ලිම් ප්‍රජාවගේ ආඛ්‍යාන නිරූපණය කරනවා මෙන්ම, පදිංචි ස්ථානවලින් ඔවුනට ඉවත් වීමට සිදුවීම යන අත්දැකීම මත ගොඩනැගුනු හද සසල කරවන කතා තවදුරටත් අප වෙත ඉදිරිපත් කරන්නීය (19). විවිධ ප්‍රමුඛතා මත පදනම්ව, ‘ගෙදර’ යන අදහස පිළිබඳව විවිධ පරම්පරා අතර ඇති අදහස් හා ඒ අදහස්වල ඇති වෙනස්කම් ද ඇය විසින් පැහැදිලි කර ඇත. වයෝවෘධ පුද්ගලයින්ට ඔවුන්ගේ ගෙදර ගැන ඇති මතකයන් විසින් ඌර් නැතිනම් තම පැරණි නිවස වෙත නැවත යාමට තදබල ආශාවක් ඇතිකරයි. එනමුත්, වඩාත් තරුණ පුද්ගලයින් යුද සමයේ ඔවුන් පෙර පදිංචිව සිටි නිවෙස් පිළිබඳව ඇති වේදනාත්මක මතකයන් නිසාම නැවත ඒවා වෙත පැමිණෙන්නට පැකිලෙයි. මේ පරම්පරා දෙක අතරමැද සිටින කණ්ඩායම ඔවුන්ගේ නිවහන් ගැන මතකය හා ඔවුන්ව ඒවායින් ඉවත් කළ සිදුවීමේ මතකය අතර සිරවී සිටියි. මෙම විශ්ලේෂණය මගින් උතුරේ සම්භවයක් ඇති මුස්ලිම් ප්‍රජාවන් මුහුණ දෙන, නැවත තමන් පැමිණි ප්‍රදේශවලට යෑමට ඇති නොහැකියාව යන ගැටලූව ද ආමන්ත්‍රණය කරයි.

සුළු ජාතීන් කණ්ඩායම් කිහිපයකටම බොහෝ කලක් මුළුල්ලේ නවාතැන වූ කොළඹ නගරයේ පිහිටි ‘අනාගත නිවහන’ යන අදහසේ ගැටලුව විස්තර කරමින් තිරාණගම ඇයගේ අධ්‍යයනය අවසන් කරයි (20). කොළඹ නගරයේ ඓතිහාසික විෂමජාතීත්වය ගවේෂණය කරන ඇය ‘කොළඹ දෙමළ’ (Colombo Tamil) යන සංකල්පයට හැඳින්වීමක් ලබාදෙයි (228). වර්තමානයේදී, වඩාත් යහපත් අනාගතයක් අත්පත් කරගැනීමේ අදහසින් රටින් පිටවීමට මගක් පුර්වාපේක්ශාවෙන් සිටින දෙමළ ජනයා කොළඹ නගරයේ බහුලව ජීවත් වෙති. මෙසේ සංක්‍රාන්ති භූමියක් (transit arena) බවට පත්ව ඇති කොළඹ, බොහෝ පුද්ගලයින්ට ‘ස්ථිර අවිනිශ්චිතභාවයක්’ (permanent limbo) අත්පත් කර දී ඇත (247). අවසාන වශයෙන්, සුළු ජාතීන්ට ‘නිවහනක් තිබුනද නිජබිමක් නොමැති’, එමෙන්ම තම පැරණි නිවහනට අනුරූපී නොවන නව නිවහන් ඇති (255) ‘දෙමළ කොළඹ අනාගතය’ (253) යන අත්දැකීම පිළිබඳව ද කතුවරිය විමර්ශනය කරයි.

මනාව රචනා කර ඇති මෙම කෘතිය දේශපාලන මානවවිද්‍යාව හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ මානවවංශකරණය යන ක්ෂේත්‍රයන්ට දායකත්වයක් ලබා දුන්නද, එයට ඉන් ඔබ්බට ගිය පුළුල් වැදගත්කමක් ද ඇත. යාපනයේ දෙමළ කාන්තාවක් ලෙස ඇයව ස්ථානගත කරගැනීමෙන්, දෙමළ නොවන පර්යේෂකයෙකුට සාපේක්ෂව දෙමළ හා මුස්ලිම් ජනයාගේ තත්ත්වය පිළිබඳව වඩාත් පරිපූර්ණ හා විදර්ශනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට කතුවරියට ඉඩ ලැබී ඇත. දකුණු ආසියාව පිළිබඳ කියවන්නන්ට හා දකුණු ආසියානුවේදීන්ට පමණක් නොව, ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් විපතට පත්වූවන් පිළිබඳ වැඩිදුර දැනගැනීමට උනන්දුවක් දක්වන සැමට සහ අර්බුද සමයකදී තම නිවහන හා ඇති බැඳීම පිළිබඳව වඩාත් ගැඹුරු වැටහීමක් සොයනා අයටද මෙම කෘතිය වැදගත් වනු ඇත. එමෙන්ම, ගෝලීය ඩයස්පෝරාවට තව තවත් දෙමළ ජනයා එක්වීමත් සමග එම පුද්ගලයින් සහ ඔවුන් හා සම්මුඛවන ඕනෑම අයෙකුගේ අනාගත වර්ධනයන්ට ‘ගෙදර’ යන සංකල්පය බහුවිධ වශයෙන් බලපෑම් සිදුකරන නිසා, මෙම අධ්‍යයනය තව බොහෝ කලක් යන තුරු වැදගත් වනු ඇත.

(මේ විමර්ශනය මුලින්ම පළවූයේ South Asia Research සාර-සංග්‍රහයේ 35 වන වෙළුමේ පළමු කොටසේය. චයාරූපය: සසංක පෙරේරා, මුලතිව්, 2012)

Leave a comment

This website uses cookies to improve your web experience.