ගාඩර්, යූස්ටේන් (පරිවර්තනය: සසංක පෙරේරා). කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක්. මහරගම: අහස පොත්. 2019. පිටු 160, ISBN 978-955-3425-06-5, රුපියල් 450.00.
———-
විමර්ශනය: අනුෂ්කා කහඳගමගේ
මොකද්ද ඔය පාපකාරී කියන දේ තේරුම බිෂොප් තුමනි? මොකද්ද ඔය දරුණු නැත්තම් පුහු කියන එකේ තේරුම? ඔයා ඔය විදියට පිළිකෙව් කරන හැම දේම අපිව දෙවියන් වහන්සේගෙන් පැහැදිළිවම ඈත් කරන දේ නොවේද?
යූස්ටේන් ගාඩර් විසින් රචනා කරන ලද කෙටි නවකතාවක් වන ‘Vita Brevis: A Letter to St Augustine’ සසංක පෙරේරා විසින් ‘කෙටි දිවියක මතකය: කුසුමකින් උපන් හසුනක් ‘ වශයෙන් සිංහල බසට නගා ඇති අතර, එය 2019 සැප්තැම්බරයේදී අහස ප්‍රකාශකයින් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙම නිර්මාණ කෘතියට පාදක වන්නේ, කතෝලික පල්ලියට මෙන්ම සමස්තයක් වශයෙන් බටහිර දර්ශනයට ද බලපෑම්කිරීම තුළින්, ස්ත්‍රිය පිළිබඳ ඛෙහෙවින් පසුගාමී අදහස් ගොන්නකට පදනම සැපයූ ශාන්ත ඔගස්ටීන් නමැති දේවධර්මවාදියා වෙත ඔහුගේ ගිහිකළ පෙම්වතිය විසින් ලියූ දාර්ශනික ලිපියයි.
ශාන්ත ඔගස්ටීන් පූජකත්වයට ඇතුලූ වන්නට පෙර ඔහු වසර දොළහක කාලයක් ෆ්ලෝරියා නමැති ඔහුගේ පෙම්වතිය සමඟ එකට ජීවත් වූ අතර, ඔවුන්ට අඩියෝඩේටස් නමැති පුත්‍රයෙක්ද විය. අඩියෝඩේටස් මෙන්ම ඔගස්ටීන්ගේ පෙම්වතිය ඓතිහාසික චරිත වේ. අඩියෝඩේටස් නාමිකවද ඔගස්ටීන්ගේ දීර්ඝකාලීන පෙම්වතිය නිර්නාමිකවද ඔහුගේ ‘පාපොච්චාරණ’ කෘති පෙළ තුලින්ම වරින් වර මතුවේ. කෙසේ වෙතත්, ගාඩර්ගේ නවකතාවෙන් දක්වන ආකාරයට, ඔගස්ටීන්ගේ මව මොනිකා ඔවුන්ගේ පෙමට විරුද්ධ වූ අතර, නිරන්තරව ඔගස්ටීන්ට බලකර සිටියේ තම සමාජ තත්වයට ගැලපෙන නෛතික විවාහයකට එළඹෙන ලෙසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔගස්ටීන්ගේ මව විසින් ඔහුගේ විවාහය උසස් සමාජ තත්ත්වයක් ඇති දැරිවියක සමඟ තීන්දු කරන අතර, ඇයගේ වයස දස වසක් පමණක් බැවින්, රෝම නීතියට අනුව ඇයට නිසි වයස එළඹෙන තෙක් වසර දෙකක කාලයක් ගත කිරීමට ඔගස්ටීන්ට සිදුවෙයි. දේවධර්මය සහ දර්ශනය වෙත මහත් නැඹුරුවක් දැක්වූ ඔහු වසර දෙක අවසන් වීමට ප්‍රථම පූජක දිවියට එළඹෙයි. මවගේ සහ පෙම්වතියගේ සෙනෙහසට මැදි වීම සහ මවගේ කීම මත බොහෝ කලක් ඇසුරුකළ සහ, තම දරුවාගේ මව වූ ගැහැ‚යගෙන් ඈත් වීමට සිදුවීම නිසා දැඩි මානසික කම්පනයකට සහ පස්චාත්තාපයකට ළක්වන ඔගස්ටීන් ‘පොපොච්චාරණ’ නමැති සම්භාව්‍ය කෘති පෙළ රචනා කරයි. එය වෙලූම් දහතුනකින් යුක්ත වන අතර, පළමු වෙලූමේ සිට නව වන වෙලූම දක්වා තම චරිතාපදානයත්, අවසන් වෙලූම්වලදී ලෝකයේ ආරම්භය පිළිබඳ අදහසුත් දක්වයි. කෙසේ වෙතත්, ඔහු මුළු කෘති පෙළ පුරාම උත්සාහ දරන්නේ දෙවියන් පැසසුමට ළක් කරමින්, දෙවියන් වෙත තමා සමීප වූ ආකාරය හා එමගින් ඇති වූ ජීවිත පරිවර්තනය තම ජීවිතාන්දරය තුළින් ප්‍රතිනිර්මාණය කිරීමටයි. එහිදී ඔහු විසින් ‘පාපය’ යන සංකල්පය ආකෘති ගතකරන්නේ කාන්තාව පාපයේ මූලික ඇරඹුම් ලක්ෂය ලෙස හඳුනා ගනිමිනි. කතෝලික පල්ලිය විසින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ ලිංගිකත්වය තුළ ස්ත්‍රිය මත පටවන්නාවූ බර වෙත ඔගස්ටීන්ගේ මතවාද විශාල ලෙස බලපෑ අතර, ඔහු ලිංගිකත්වය හඳුනා ගන්නේ මානව පාපයේ රෝග ලක්ෂණයක් ලෙසිනි. ඔහු ප්‍රකාශ කරන ආකාරයට, තමුන්ගේ බිරිඳ මෙන්ම මව වුවත් ඊඩ්න් උද්‍යානයේදී පාපයේ ගැලූනු ‘ඒව’ නැමැති දෙවියන් වහන්සේ විසින් මුලින්ම මැවුවා යැයි සැලකෙන ස්ත්‍රිය හා සම වෙයි.
දැන් අපි ඔගස්ටීන්ට යම් අයුරකින් පිළිතුරු සැපයීමක් ලෙස සැලකිය හැකි පරිවර්තන කෘතිය වෙත හැරෙමු. ඔගස්ටීන්ගේ පෙම්වතිය මෙසේ ලියන්නීය: ‘ඔයාම ඉතින් ලියලා තියෙනවානේ, හැම දේකටම ඉහළින් දෙවියන් වහන්සේ මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බ්‍රහ්මචාරී බව කියලා. මට නම් ඔය වගේ දේවල් බලාපොරොත්තුවන දෙවියෙක් ගැන අබමල් රේණුවකවත් විශ්වාසයක් නැහැ…. ඇත්තටම මේ විදියට මිනිස් බිල්ලක් ඉල්ලා හිටින දෙවි කෙනෙකු ගැන නම් මගේ කිසිම විශ්වාසයක් නැහැ. පිරිමියෙකුගේ ආත්මය බේරලා දෙන්න ගෑනියෙකගේ ජීවිතය කාලකන්නි කරන දෙවිකෙනෙක් ගැනත් මගේ විශ්වාසයක් නැහැ’. ෆ්ලෝරියාගේ මේ අදහස් මගින් තත්කාලීන ස්ත්‍රීවාදය අබිභවා ගිය මානව වාදයක් මතුකරන අතර, අසාධාරණ යැයි ඇයට පෙනෙන දෙවියන් වහන්සේ ප්‍රශ්න කිරීමට නොපැකිළෙන්නීය. තමා සමඟ දස වසකට අධික කාලයක් ප්‍රේමයෙන් ජීවත් වූ ආදරවන්තයා තමාගෙන් ඈත්කරන්නට තරම් කුරිරු වන දෙවියන් වහන්සේ පිළිබඳ ඇයට ඇත්තේ සැකයකි.
ඔගස්ටීන්ට අනුව ස්ත්‍රී පුරුෂ අසමානතාව දෙවියන්ගේ ලෝක නිර්මාණ ව්‍යායාමයේම කොටසකි. එමෙන්ම පාපය හේතුකරගෙන මානවයා තම අපූර්ව අමරණීයත්වය මෙන්ම කැමැත්ත පිළිබඳ නිදහසද නැතිකරගන්නා ලදි. එහිදී පුරුෂයාට තම කැමැත්තට අනුව තම ශරීරය පාලනය කරගත නොහැකි බවත්, කාන්තාව එහි නිමිත්ත වන බවත් ඔගස්ටීන් සඳහන් කරයි. නමුත් මෙයට පිළිතුරු සපයන අප කතා නායිකාව ශරීරයේ තමන්ට පාලනයකළ හැකි කොටස් ගැන සටහනක් තබමින් කියා සිටින්නේ මෙවන් දෙයකි: ‘එහෙම නැත්නම් ඔයා විශ්වාස කරනවාද ඔයාගේ ලිංගයට වඩා ඔයාගේ ඇස් දෙකයි කන් දෙකයි වඩාත් දිව්‍යමය ලෙස නිර්මාණය වෙලා ඇති කියලා? ඔයා හිතනවාද මානව ශරීරයේ ඇතැම් කොටස්වලට, තවත් කොටස්වලට වඩා දෙවියන් වහන්සේගේ බැල්ම අඩුවෙන් ලැබිලා තියෙනවා කියලා?’.
වඩාත්ම සිත් ගන්නා සුලූ කරුණ වන්නේ, මෙම දාර්ශනික ආදර හා විරහ කතිකාව තුළ කාන්තාව පිළිබඳ පසු කාලීනව වික්ටෝරියානු අදහස්වලට පදනම සැපයූ මූලික අදහස් මෙන්ම, රැඩිකල් ස්ත්‍රීවාදයේ කේන්දී්‍රය අදහස්ද ඇතුළත්ව තිබීමයි. ප්‍රේමය විග්‍රහ කිරීමේදී පසු කාලීනව වඩාත් මතුව එන ශරීරය සහ ආත්මය අතර ඛණ්ඩනය මෙන්ම එම අදහස ප්‍රශ්න කිරීමේ ඉඟිද ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසේදී තරම් ඈත කාලයකදී සිදුවීම මවිත කරවන සුලූයි. ඔගස්ටීන් ප්‍රේමය දෙවියන් වහන්සේට ළඟා වීමට ඇති බාධාවක් ලෙස දකින අතර, ෆ්ලෝරියා ප්‍රේමය දෙවියන් කෙරෙහි ළඟා වීමේ මාර්ගය ලෙස දකින්නීය.
කෘතියේ පරිවර්තක මහාචාර්ය සසංක පෙරේරා, ෆ්ලෝරියාගේ ලිපියෙහි පවතින ආදරය මුසුවූ ශෘංගාරය මෙන්ම, වියෝවේ වේදනාව සහ එම පෞද්ගලික අත්දැකීම දාර්ශනික පොදු අවකාශයක් සමඟ මුසු කිරීමේ වෑයම වඩාත් සූර ලෙස තම පරිවර්තනය තුළට ගෙන එයි. තම පැරණි පෙම්වතාට ලියන නමුදු, වෙන්වීමෙන් ඇතිකරනලද දුරස්ථ භාවය මෙන්ම ස්ත්‍රියක් ලෙස අත්කර ගැනීමට නොහැකි අවකාශයක් යයි ඔගස්ටීන් විසින් සළකුණු කරන්නාවූ බුද්ධිමය සහ දාර්ශනික තලයට ඇය ඇතුලූ වූ බව ලියමන තුළ සෘජුව සහ වක්‍රව ඇය කියා සිටින්නීය. කෙසේ වෙතත් පරිවර්තනයට ළක්වූ කෘතිය, සත්‍ය ලිපි පදනම්ව ලියවුණු ප්‍රබන්ධයක් බව අමතක නොකට යුතුය.
සසංක පෙරේරා ඉන්දියාවේ නව දිල්ලි නුවර දකුණු ආසියා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අතර, දැනුමේ නිම්වළලූ පුලූල් කරනු පි‚ස සහ අධ්‍යනික ප්‍රජාව සාමාන්‍ය ජනතාවගෙන් වෙන් කරන්නාවූ ඉංග්‍රීසි භාෂා ආධිපත්‍ය නිරන්තරව ප්‍රශ්න කරනු ලබයි. ඒ අදහස අනුව යමින් ඔහු විසින් සිංහල බසට නැගුණු කෘතියකි ‘කෙටි දිවියක මතකය¦ කුසුමකින් උපන් හසුනක්’.