~ අනුශ්කා කහඳගමගේ
මේ වන විට අරගලය ගැන විවිධ මත පළවෙමින් පවතී. ඉන් ප්‍රධානම චෝදනාවක් වන්නේ, අරගලයට නායකයෙකු නොමැති බවයි. ඊයේ දිනයේ අප සමඟ කතාවට පැමිණි එක් පුද්ගලයෙක් අපෙන් ඇසුවේ “දැන් ඔයාල හිතන විදියට රටේ නායකයා වෙන්න ඕන කවුද?” යනුවෙනුයි. අපගේ පිළිතුර වූයේ, කිසිඳු පුද්ගලයෙක් තරු බවට පත්කිරීමට මෙම අරගල කරුවන්ට වුවමනාවක් නොමැති බවයි. අපෙන් ප්රශ්නය ඇසු පුද්ගලයා රාජ්‍යයේ නිල හෝ නොනිල තෝල්කකරුවෙකු බව මාගේ අදහසයි. ඔහුට අවශ්‍යව තිබුණේ අරගලය දේශපාලනික පක්ෂයක ග්‍රහණයේ තිබෙන්නේදැයි යන්න දැනගැනීමටයි. අප ඉල්ලා සිටින්නේ, ඕනෑම පුද්ගලයෙකුගේ නායකත්වය ප්‍රශ්න කළ හැකි අධිකරණයක් සහ පාර්ලිමේන්තුවකි. අධිකරණයට, විධායක ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට කිසිඳු අනවශ්‍ය බල සංකේන්ද්‍රණයක් නොතිබිය යුතුය. අප ඉල්ලා සිටින්නේ, ක්‍රමය විසින් ‘නායකයා’ පාලනය කරන තත්වයක් මිස, පුද්ගලයා විසින් ක්‍රමය අත්තනෝමතික ලෙස පාලනය කරන ක්‍රමවේදයක් නොවෙයි.
දැනට පවතින දේශපාලන පක්ෂවල — වාමාංශික පක්ෂ ද ඇතුළුව — දුර්වලතාව වන්නේ, පක්ෂය තුළ ප්රජාතන්ත්රවාදයක් නොමැති වීමයි. එකෙක් නායකයෙක් වූ පසු ඔහු/ඇය සදා නායකයින්ය. ඔවුන්ගේ දරුවන්, සහෝදරයින් සහ මිත්රයින් නිරන්තරව එම පක්ෂවල නායකත්වයට පත්වෙයි. මෙම දේශපාලන පක්ෂවල දෙවෙනි පෙළක් ඇතැයි පක්ෂය විසින් කියා ගන්නා නමුත්, එවැනි දෙවෙනි පෙළක් පොදු ජනතාව වන අපට පෙනෙන්ට නැත. ඒ වෙනුවට අපට පෙනෙන්ට ඇත්තේ සැබෑ අරමුණ නොපෙනෙන, එකිනෙකා සමඟ මතවාදීමය වශයෙන් කා කොටා ගන්නා සහ මතවාද ගොන්නක එල්ලී සිටින නායකයින් පිරිසකි. එහෙත්, අරගල භූමියේ මා දුටු විශේෂත්වය වන්නේ, නිරන්තරව වෙනස්වන නායකත්වයයි. කථිකයින් විවිධය; විවිධ සමාජ පන්ති, තරාතිරම් සහ ස්ත්‍රී පුරුෂ විවිධත්වයෙන් යුතුය. වැදගත්කම ඇත්තේ කථිකයාගේ පෞරුෂයේ හෝ එම පුද්ගලයා අයත්වන සමාජ පන්තියේ හෝ තරාතිරමේ නොව, ඔවුන් කියන දේ තුළය. ඔවුන් කියන දේ විසින් සියලු ධුරාවලි කුඩු පට්ටම් කරනු ලබයි. ඒ විවිධත්වය නිසාම අරගලය පැවතීම පහසුය. සියලු දෙනාටම දැනේනේ තමුන් මෙහි සම අයිති කරුවෙකු ලෙසින්ය. සියලු අරගලකරුවෝ අරගලය දරා සිටිති. දේශපාලනයක පැවැත්ම විය යුත්තේ මෙයයි. එනම්, පුරවැසියන් තම දේශපාලන ව්‍යාපාරයේ සම අයිතිකරුවන් වීමයි.
මා මෙම නායකයින් බහුල අරගලය උත්කර්ෂයට නැංවීමෙන් අදහස් කරන්නේ, දැනට පවතින දේශපාලනික අර්බුධය පාර්ලිමේන්තුවෙන් තොරව විසඳිය හැකි බව නොවෙයි. දැනට පවතින දේශපාලන අර්බුධය විසඳිය හැක්කේ පාර්ලිමෙන්තුවෙන්ම පමණි. නමුත් මා කියන්නේ වීදියේ අරගලකරුවන් පක්ෂ දේශපාලනයට වඩා බොහෝ දුර ගොස් ඇති බවයි. එසේ දුර ගොස් ජනතාව සමඟ එකතු වීමට පක්ෂ දේශපාලනය තව බොහෝ මුහුකුරා ගොස්, ආත්මර්තකාමයෙන් තොර දෙයක් බවට පත්විය යුතුය.
ඒ සමඟම අරගල බිමේ මිනිසුන්ට ආමන්ත්‍රණය කළ ආදරණීය තරුණයෙක් කියූ දේ ගැන ද මෙහිදී කෙටියෙන් සටහන් කරමි. අරගල බිමේ සිටි පුද්ගලයෙක් අරගලය පසු කරමින් ගිය මෝටර් රථයක වැදුණු අතර එහිදී කලබල වූ අරගලකරුවෝ මෝටර් රථය දෙසට දිවගියහ. නමුත් ඒ මෝටර් රථයටවත්, එය ධාවනයකළ පුද්ගලයාටවත් කිසිඳු අනතුරක් වීමට අරගලකරුවෝ ඉඩ නුදුන්හ. අරගලය ප්‍රචණ්ඩත්වයෙන් තොරය. සියලු දෙනා එක හඬින් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයකි. මේ සිද්ධියෙන් පසු එක තරුණයෙක් ඒ මහා ජනතාව ඇමතීය. ඔහු කතා කළේ ප්‍රචණ්ඩත්වයෙන් තොර අරගලයක් ගැනයි. අප තරම් සංවේදී ජාතියක් මේ ලෝකයේම නොමැති බවත්, අප ප්රචණ්ඩ නැතහොත් කලහකාරී ජාතියක් බව අපගේ මනසට කාවද්දා ඇත්තේ දේශපාලකයින් විසින් බව ඔහු කියා සිටියේය. ඒ දේශපාලකයින් විසින් අපගේ මනසට කා වද්දා ඇති අදහස විසින් ක්‍රියාත්මක කරනු ලබන අපි එකිනෙකා සමඟ ඉතා ඉක්මනින් භේද වන්නෙමු. නමුත් මේ තරුණයා කියා සිටියේ අපේ මනුස්සකම් සහ සංවේදීකම් මේ සියල්ලටම වඩා ඉහළින් පවතින බවයි. කතෝලිකයින් අරගල භුමියේ කුරුසියක් සිටුවා තම ආගම සමරද්දී, ඒ සැමරීම ගැන කිසිවක් නොදැන සිටි සියලු දෙනා ඒ සැමරීම සමඟ එක්වූ අයුරු ඔහු විස්තර කළේය. දේශපාලකයා විසින් අපට සවිකර ඇති ප්රචණ්ඩත්වයේ වලිගය කපා දැමිය යුතු බව ඔහුගේ යෝජනාව විය. මග තොටදී හමුවන රියදුරෙකුට බැණ වැදීමේ සිට, ගෘහස්ථය තුළ තම බිරියට, දරුවාට එරෙහිව සිදුවන ප්රචණ්ඩත්වය මුදා හැරීම දක්වා ඔහු කළ විශ්ලේෂණය වඩාත් ප්‍රායෝගික සහ සරල එකක් විය. අප අනෙකා මත ප්රචණ්ඩත්වය මුදා හරින්නේ අපි ප්රචණ්ඩ නිසා නොව, බොහෝ කලක් තිස්සේ අප පීඩාවට පත්වූ යාන්ත්‍රණ තුළින් බැට කෑම සහ සහ ඒ යාන්ත්‍රණ විසින් අප ප්රචණ්ඩ ජාතියක් බව නිරන්තරව කියා පෑම නිසා බව ඔහු කියා සිටියේය. ඔහුගේ වචනයෙන් ‘අපි හරි පව්’ ජාතියක්ය. මම ඔහු සමඟ සම්පුර්ණයෙන් එකඟ වෙමි. අපි හරි පව් ජාතියක්ය.
නමුත් අපි තවදුරත් ‘පව්’ නැත. මෙම යතාර්ථ තේරුම් කරදීමට සමත් ජන අරගලකරුවන් පිරිසක් බිහිවෙමින් සිටී. මේ අරගලය පාර්ලිමේන්තුවේ ජය නොලැබුවත් ජාතියක් ලෙස අප ලැබූ ජයග්‍රහණ බොහෝය. ඒ ජයග්‍රහණ අතර ප්රමුඛ වන්නේ, (මෙය මා නැවත නැවත ලියමි) සියලු ජාතීන් සහ ජන කොටස්, කිසිඳු භේදයකින් තොරව එක්සත්ව අරගලයේ සහභාගී වීමයි.
දිවා රෑ අරගල බිමේ සිටින, හිත හයිය ඒ සියලු මිනිසුන්ට මගේ ආචාරය!