Ahilan, Then There Were No Witnesses: Poems, translated by Geetha Sukumaran (අහිලන්, එවිට සාක්ෂිකරුවෝ නොසිටියහ: කවි, ඉංග්‍රීසි පරිවර්තනය ගීතා සුකුමාරන් විසිනි). ටොරොන්ටෝ: මවෙන්සි හව්ස් ප්‍රකාශන සමාගම, 2018. පිටු: 117. ISBN 978-1-988449-35-7. මිල: කැනේඩියානු ඩොලර් 24.95 (මෘදු කවරය සහිතව).
විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය
මා පක්‍යනාදන් අහිලන් කවියෙකු බව මීට සති කිහිපයකට පෙර වන තුරු දැන සිටියේ නැත. මා ඔහු දැන සිටියේ කලා ඉතිහාසඥයෙකු වශයෙනි. ඒ මූලික වශයෙන් මීට දොළොස් වසරකට පමණ පෙර පඨිත සාර සංග්‍රහය මුලින්ම දියත් කළ කාලයේ, එහි පලකිරීම සඳහා ඔහුගේ ලිපි කිහිපයක සිංහල පරිවර්තන කියවීම තුළින්ය. ඒවා පරිවර්තනය කළේ සාමින්දන් විමල් විසිනි. ඔහුගේ කවීත්වය පිළබඳ මා අහම්බෙන් දැනගත්තේ 2018 වසරේ ඉංග්‍රීසියෙන් පළවූ Then There Were No Witnesses කවි එකතුවේ පිටපතක් මා මිත්‍ර සී. අන්ජලේන්ද්‍රන් මෑතකදී මට ලබා දුන් විටය. එය දෙමළ බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබුනේ ගීතා සුකුමාරන් බව දැනගත් විට, එය කියවීමට මට අමතර රුචියක් ඇතිවූයේ, ඇයගේ පරිවර්තන හැකියාව පිළබඳව මා ඒ වන විටත් මැනැවින් දැන සිටි නිසා මෙන්ම, වෙනත් බුද්ධිමය කටයුත්තක් සඳහා ඇය සමග සාකච්චා කරමින් සිටි නිසාත්ය. අහිලන්ගේ කවීත්වය පිළබඳ මා දැන නොසිටින්නට හේතුව කුමක්දැයි පොත කියවීම ආරම්භ කිරීමට පෙර දින දෙකක් පමණ තිස්සේ මා කල්පනා කළෙමි. මා පැමිණි නිගමණය මීට පෙර කිහිප අවස්ථාවකදීම ශ්‍රී ලාංකේය සිංහල හා දෙමළ නිර්මාණ සාහිත්‍යය හා කවි පිළබඳ මා දක්වා ඇති අදහසමය. එනම්, අප රට තුළ මේ ජනවාර්ගික-භාෂා ප්රජාවන්ගේ සංස්කෘතික හා සමාජයීය පසුබිම පිළිබඳව ගැඹුරින් දැනගැනීමට සුදුසුම මාර්ගය වන්නේ, ඔවුනොවුන්ගේ නිර්මාණ සාහිත්‍යය හා කවි අනෙකා ගේ බසින් කියවීමේ හැකියාව ලබා දීම තුළින් බවයි. නමුත් මෙය අද වන තුරුම පුළුල් යථාවක් බවට පත්වී නැත. එසේ නම්, මා වැන්නෙකුට අහිලන් ගේ හෝ වෙනත් දෙමළ කවියෙකුගේ කෘති කියවිය හැකි වන්නේ, ඒවා දෙමළ ඩයස්පෝරාවේ සංස්කෘතික මැදිහත්වීම මගින් ඉංග්‍රීසියට පෙරලී, ඒවා අප රට වෙත පැමිණුනොත් හෝ වෙනත් රටකදී මිලදී ගතහැකි වුවහොත් හෝ අන්තර්ජාලය ඔස්සේ විසරණය වන්නේ නම් හෝ පමණි. මා ආර්. චේරන්, එම්. ඒ. නුහ්මාන්, වී.අයි.එස්. ජයපාලන් හා එස්. විල්වරත්නම් වැන්නවුන්ගේ කවි වරින් වර කියවා ඇත්තේ මෙලෙසිනි. දැන් අහිලන්ගේ කවි එකතුව කියවන්නේ ද එලෙසිනි. එනමුත් මෙරට ජීවත්වන ප්‍රජාවක් පිළබඳ සංස්කෘතික දැනුම ලබාගැනීම අහඹුවක් හෝ ආයාසයක් නොවිය යුතුය. එසේ වීම ම මා දකින්නේ මෙරට පශ්චාත්-නිදහස් යුගයේ සංස්කෘතික දේශපාලනයේ අතිවිශාල පසුබෑමක් ලෙසයි.
කෙසේ වුව ද, එක බසකින් ලියූ කවි එකතුවක් වෙනත් බසකට පරිවර්තනය වූ පසු, එය තුන්වන බසකින් සාර්ථකව විමර්ශනය කළහැකි යැයි මා සිතන්නේ නැත. එබැවින් මා උත්සාහ ගන්නේ, අහිලන් ගේ කවි සහ ඒ පිළබඳ ගීතා සුකුමාරන්ගේ දීර්ඝ හැදින්වීම කියවීමේදී සිතේ මතු වූ යම් කාරණා කිහිපයක් සනිටුහන් කිරීමය. මේ එකතුවේ තේමා හතරක් යටතේ කවි 48ක් ඉදිරිපත් කර ඇත. මේවා සංවිධානය කර ඇති තේමා හතර වන්නේ, ‘ගැටුම් සමය’ (Years of Conflict); ‘ආදරය හා ජීවිතය පිළබඳව’ (Of Love and Life); ‘2009 සිදුවූ විනාශය’ (The Devastation of 2009) සහ ‘විචාර පූර්වක සිතුවිලි’ (Ruminations) යන ඒවාය. මේ කිසිඳු කවියක් ශ්‍රී ලාංකේය දෙමළ සමාජය වසර තිහක පමණ කාලයක් මුළුල්ලේ සිවිල් යුද්ධයට හා දේශපාලන ප්‍රචණ්ඩත්වයට මුහුණදුන් ආකාරය යන සන්දර්භ සමග ගලපානොගෙන තේරුම්ගත නොහැක. එනම්, අහිලන්ගේ කවිවලට, අන් බොහෝ ප්‍රසිද්ධ මෑතකාලීන දෙමළ කවියන්ගේ නිර්මාණවලට මෙන්ම ස්වාධීනව විකසිත විය නොහැක. ඒවා අර්ථවත් වන්නේ සහ එහි අරුත් පරිපූර්ණ වන්නේ, මෙරට දෙමළ සමාජයේ මෑතකාලීන සමාජ-දේශපාලනික අත්දැකීම් තුළ ස්ථානගතවීමෙන් පමණි. සුකුමාරන් සිය හැදින්වීමේ දක්වා ඇති පරිදි, අහිලන් ඔහුගේ ප්‍රථම කවි එකතුවේ සඳහන් කරන ආකාරයට, ඔහුගේ පරම්පරාවට අයත්වූවන් ගේ සවිඥානකත්වය හා දැක්ම ගොඩනගාගෙන ඇත්තේ යුද්ධය, ක්ෂතිය, දේශපාලන පෙරලිය හා විශේෂයෙන්ම බලාපොරොත්තු සුන්වීම යන වේදනාකාරී අත්දැකීම් මගින්ය (xix). ඒ පුළුල් සාමාන්‍යකරණය මේ කවි එකතුවට ද එක සේ බලපා ඇති බව පෙනේ. වඩාත් පැහැදිලිව, මේ අත්දැකීම් අතර බංකර්වල ජීවත්වීම, නිරන්තර අවතැන්වීම, නොයෙකුත් සන්නද්ධ කණ්ඩායම් අතර සිදු වූ සටන්වල ප්‍රතිපල, සදාතනික බිය, බිහිසුණු හා හදිසි මරණය යනාදිය දැක්විය හැක. මේ සියලුම තේමා අහිලන් ගේ කවිවලින් පැහැදිලිව මතු වේ. සුකුමාරන් යෝජනා කරන්නේ, ඔහුගේ සමස්ථ කාව්‍යමය ව්‍යාපෘතියම දුක පිළබඳ දීර්ඝ එක් කවියක් ලෙස තේරුම්ගත හැකි බවයි (xxi). එමෙන්ම, භාෂාමය හා ව්‍යුහමය අතින් ඇය පවසන්නේ, මේ එකතුවේ ඇතුළත් කර ඇති අහිලන් ගේ කවි ශතවර්ෂ ගණනාවක් ඈතට දිවෙන දෙමළ සංස්කෘතික හා සාහිත්‍යමය සම්ප්රදායන්ගේ ආභාෂය මෙන්ම රෝමාන්තිකවාදී, නූතනවාදී හා පශ්චාත් නූතන ශිල්පක්රමවලින් ද අභාෂය ලබා ඇති බවයි (xx).
අහිලන්ගේ කවි එකතුව කියවීම තුළින් මා අන් දෙමළ කවීන් ගේ නිර්මාණ සහ පර්යේෂණ දැනුම ඔස්සේ මීට පෙර ද නොයෙක් වර කර ඇති ලෙසින්, මෙරට දෙමළ ප්‍රජාවේ අත්දැකීම් වෙත නැවත වරක් දුරස්ථ ලෙස අවතීර්ණ වුනෙමි. නමුත් අහිලන් වැන්නවුන්ට මේ කවි හුදු නිර්මාණ හෝ දුරස්ථ අත්දැකීම් නොවේ. ඒවා තම ප්‍රජාවේ මෑතකාලීන සාමුහික ජීවිතය පිළිබඳ ඓතිහාසික වෘතාන්තය; ශෝකජනක මතක සටහන්ය. ඒවා පුළුල් ලෙසින් සිංහල ප්‍රජාවට කියවීමට නොලැබීම මෙන්ම සිංහල නිර්මාණකරණය දෙමල ප්‍රජාවට පුළුල් ලෙස කියවීමට නොලැබීම ද යුගයේ අතිවිශාල ඛේදවාචකයකි. මට පෙනන පරිදි, දෙමළ ඩයස්පෝරාවේ වඩාත් ප්‍රයෝජනවත් සංස්කෘතික දායකත්වය වන්නේ, විශේෂයෙන් දෙමළ කවි ගෝලීය පරිභෝජනය සඳහා ඉංග්‍රීසි බසට පෙරලීමය. ඒවා අපට ඉංග්‍රීසියෙන් හෝ කියවන්නට ලැබෙන්නේ, මේ ව්‍යාපෘතියේ අතුරු-ප්‍රතිපලයක් වශයෙනි. 1970 දශකයේදී පමණ නවසිලු වැනි ඉංග්‍රීසියෙන් පළවූ සඟරාවකින් හා අන් සීමිත උත්සාහ කීපයකින් සිංහල කවීන් ගේ නිර්මාණ ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමට මූලික උත්සාහයන් ගත්ත ද, එය ඉහත සඳහන් කළ දෙමළ පරිවර්තන ව්‍යපෘතිය මෙන් පුළුල්ව අද වන තුරුම සිදු වී නැත. ඊට සිංහල ඩයස්පෝරාවේ උනන්දුවක් ඇති බව ද මෙතෙක් පෙනී නැත. සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් මේ භාෂා ද්විත්වයේ නිර්මාණ ලොවට ගෙනයා හැකි, සීමිත ජනවාර්ගික අනන්‍යතාව මත පමණක් ගොඩනොනැගුනු ලාංකේය හෝ ඩයස්පෝරා උත්සාහයක් නොතිබීම ද කනගාටුවකි.
කෙසේ වෙතත්, අහිලන් ගේ මීළඟ කවි එකතුව යුද්ධයේ සීමාවෙන් ඔබ්බට ගොස් තත්කාලීන තත්ත්ව සමග වඩාත් සමීපව සම්බන්ධවනු ඇතැයි යන්න මාගේ බලාපොරොත්තුවයි. එයින් අදහස් වන්නේ, එය රෝසමල් යහනක පොපියන සහජීවනය පිළබඳ සුරංගනා ලොවක් නියෝජනය කළ යුතුය යන්න නොවේ.