~ පරුල් භන්දාරි, ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලය
Suitable Boy චිත්‍රපට කතා මාලාව මේ වන විට ‘නෙට්ෆ්ලික්ස්’ සේවය ඔස්සේ විකාශනය වේ
මා වික්‍රම් සෙත් ගේ Suitable Boy නවකතාව මුලින්ම කියවූයේ 2000 දශකයේ මැද භාගයේදීය. මා මීරා නයර්ගේ Monsoon Wedding චිත්‍රපටය නැරඹූයේ 2001 දීය. මේ කෘති දෙකම බැලූ බැල්මට ගනුදෙණු කරන්නේ විවාහය සඳහා සහකරුවෙකු සොයාගැනීම පිළිබඳව සහ ඒ හා සම්බන්ධ විවාහ මංගලෝත්සව සංවිධානය කිරීමේ දී මතුවන ගැටලු හා කලාබැගෑනි පිළිබඳව වුවද, ඒවා ඉන්දීය සමාජීය සහ දේශපාලනික යථාර්ථ පිළිබඳ සංකීර්ණ ඉඟි ද සපයයි. මේ නිසා මීරා නයර් විසින් Suitable Boy කෘතිය චිත්‍රපට මාලාවක් බවට පරිවර්තනය කළ පසු, එය බැලීමට මට මහත් උනන්දුවක් ඇති විය. සෙත් ගේ කෘතියෙන් කරනුයේ 19 හැවිරිදි තරුණියක වන ලතා තරුණයන් තිදෙනෙකු අතරින් සැමියෙකු තෝරාගන්නා අන්දම ගවේෂණය කිරීමය. එසේ කිරීමේදී ඔහු පෙන්වා දෙන්නේ, පුද්ගලයෙකු සහකරුවෙකු හෝ සහකාරියක සොයා යන ගමන සමාජය මගින් හැඩගස්වන අයුරු සහ එනිසාම පෞද්ගලික දේ කොතෙක් දුරට දේශපාලනික වන්නේ ද යන්නයි.
මෙලෙසින්ම නයර්ගේ චිත්‍රපට මාලාව ද ආමන්ත්‍රණය කිරීමට අතිශයින් අපහසු සහ සංවේදී වාද විෂයන් වන ළමා අපචාර හා මිථ්‍යාචාරය වැනි දේ ගවේෂණය කරන්නේ විවාහ මංගලෝත්සව මගින් සපයන බෙහෙවින් විනෝදකාමී වූ විශ්ලේෂණ රාමුව ඔස්සේය.
පිටු 1, 500 කින් සමන්විත වූ මේ අගනා නවකතාව චිත්‍රපට මාලාවක් බවට පෙරළීමට ගත් තීරණය ම නයර් විසින් ගන්නා ලද නිර්භීත තීරණයකි. මක් නිසාද යත්, පොතේ දක්වා ඇති චරිත හා බැඳී ඇති දේශපාලනික සිදුවීම් හා පුද්ගලික අරගල හා සම්බන්ධ සංකීර්ණතා චිත්‍රපට මාලාවෙන් මගහැරී යාමට ඕනෑ තරම් අවකාශ තිබූ නිසාය. කෙසේ වුවද, මේ චිත්‍රපට මාලාව අපට ආකර්ෂණය වන්නේ එය තත්කාලීන සමාජයට ද බෙහෙවින් වැදගත් වන තේමා දෙකක් නවකතාවෙන් මැනැවින් උකහාගෙන ඇති නිසාය. මේවා නම්, අන්තර්-ආගමික විවාහ සහ ආදරය පිළිබඳව ඇති එකිනෙකට වෙනස් වූ අර්ථ යන තේමා ද්විත්වයයි.
ලතා සමඟ විවාහ වීමට මුලින්ම කැමැත්ත ප්‍රකාශ කළ කබීර් දුරානි වෙත ඇයගේ සිත යන ආකාරය සහ ඔහු හා ඇය අතර ඇති ගැලපීම විස්තර වන්නේ, පශ්චාත්-නිදහස් ඉන්දියාවේ හින්දු-මුස්ලිම් සබඳතා පිළිබඳ පසුබිම මතය. මුස්ලිම් පල්ලියක් අසලම හින්දු දේවස්ථානයක් ඉදිකිරීමේ දී මතු වූ වාර්ගික උණුසුම මධ්‍යයේ කබීර් විසින් ලතා වෙත සිය ආදරය ප්‍රකාශ කිරීම ඇය ඔහු සිය සැමියා ලෙස තෝරා ගැනීමට පදනමක් සැපයීමට තරම් ප්‍රමාණවත් නොවීය. ලතාගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ, කබීර්ට එරෙහිව කිසිවක් ඔවුන්ගේ සිත් තුළ නොමැති බවයි. එනමුත් ඔවුන් ලතාට මතක් කර දුන්නේ, පවතින අර්බුදකාරී වාතාවරණය තුළ මුස්ලිම්වරයෙකු හා විවාහ වීම එතරම් ඥානවන්ත ක්‍රියාවක් නොවන බවයි. 1990 ගනන්වල රචනා කළ මේ නවකතාව පදනම් වී ඇත්තේ 1950 දශකයේ ඉන්දීය සමාජ තත්ත්ව මතය. එනමුත් සෙත් විසින් කබීර්ගේ චරිතයට පණපොවා ඇති ආකාරය තත්කාලයට ද බෙහෙවින් අදාළ වේ. මක්නිසාද යත්, හින්දු-මුස්ලිම් විවාහවලට ඇති විරෝධය අද වන විට ද සමාජය තුළ පවතින නිසාය.
සෙත් ගේ නවකතාව ඔස්සේ ලතාට වඩාත්ම සුදුසු සහකරුවා කවුරුන්ද යන්න පිළිබඳව නොයෙකුත් විවාද ඉන්දීය සමාජය තුළ ඇති වුණි. ඇතැමුන්ගේ අදහස වූයේ, සිය වෘත්තීයමය ජීවිතය පිළිබඳ අවධානය යොමුකළ හරේෂ් කපූර් තම සැමියා ලෙස ලතා විසින් තෝරාගැනීම අතිශයින් සාම්ප්‍රදායික තත්ත්වයක් පෙන්නුම්කරන බවයි. වඩාත් රොමාන්තික (romantic) අදහස් දරන්නන්ගේ කැමැත්ත වූයේ ඇය බෙහෙවින් ප්‍රසන්න හා ප්‍රියශීලී නීතිඥයෙකු සහ පසුව කවියෙක් බවට පත්වූ අමිත් චැටර්ජි සිය සැමියා ලෙස තෝරා ගත යුතු බවයි. සමාජයේ සිටි වඩාත් නිර්භීත අදහස් දරන්නන් පැවසුවේ ඇය සිය පාසැල් මිත්‍රයා සහ මුස්ලිම් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වූ කබීර් දුරානි සිය සැමියා වශයෙන් තෝරා ගත යුතුව තිබූ බවයි.
මේ චරිත ගොඩනැගීමේදී සෙත් විසින් ඉතාමත් සංවේදී සාකච්ඡාවක් සමාජය තුළ මතුකරන ලදී. එය පදනම් වී තිබුණේ ආදරය පිළිබඳ එකිනෙකට වෙනස් වූ ආකෘති පවතීය යන අදහස මත සහ මේවායින් විවාහය සඳහා පදනම සැපයිය යුත්තේ කුමන ආකෘතිය ද යන කරුණ මතය. මෙහිදී ආදරය පිළිබඳ ආකෘති, නැතිනම් ආදරයේ ආකාර වශයෙන් මතුවී ආවේ අනුරාගය (passion), ගැලපීම (compatiblity) සහ යුතුකම (duty) යන කාරණාය.
මේ කතා මාලාවේ ප්‍රබල ලක්ෂණයක් වන්නේ හරේෂ් කපූර්ගේ චරිතය මැනැවින් ගොඩනඟා තිබීම ය. එසේම, ඒ ගොඩනැගීම ඔස්සේ ආදරය පිළිබඳව පවතින මේ එකිනෙකට වෙනස් වූ අර්ථ පිළිබඳ විවාදයට එය දායකත්වයක් සපයයි. නයර් විසින් හරේශ්ගේ ගේ චරිතය ගොඩනගා ඇත්තේ මධ්‍යම පාන්තික අගයන්ට හා සදාචාරාත්මක ස්ථාවරයන්ට වඩාත් සරිලන, මනා රැකියාවක් ඇති සහ සුදුසු කුල පසුබිමකින් පැමිණෙන තරුණයෙකු වශයෙන් අති සරල ආකාරයට නොවේ. ඒ වෙනුවට ඇය පෙන්වා දෙන්නේ, ලතා සිය සැමියා වශයෙන් හරේශ්ව තෝරා ගන්නේ ඔහු තුළ ඇති අවංක කම සහ ඇය වෙනුවෙන් සිය ජීවිතයේ යම් වෙනස්කිරීම් සිදු කිරීමට ඔහු තුළ තිබූ කැමැත්ත මෙන්ම තමාට අවැසි පෞරුෂය ගොඩනගා ගන්නට ඔහු විසින් ඇයට අවකාශ සලසනු ඇතැයි යන විශ්වාසය මත බවයි.
එනමුත් මේ සියුම් චරිත ගොඩනැගීමේ කාර්යය අමිත් චැටර්ජිගේ චරිතය ගොඩනැගීම සම්බන්ධයෙන් මීරා නයර් සිදුකර නැත. ඔහු අපට දිස්වන්නේ ලතාට කැමැත්තක් ඇති, එනමුත් ඇය කැමති නැති තරමට නූතන වූ, සමාජ ජීවිතයේ දැඩි ලෙස ගැලී සිටින චරිතයක් වශයෙනි.
එනමුත් නවකතාවේදී අපට පෙනෙන්නේ අමිත් සහ ලතා එකිනෙකාට බෙහෙවින් ආකර්ෂණය වී සිටි බවයි. ඒ ඇතැම් විට දෙදෙනාම කවියට දැක්වූ කැමැත්ත මත විය හැක. නමුත් අමිත් ලතා වෙත ඇති සිය ආකර්ෂණය ඇයට නිරන්තරයෙන් පවසන්නේ නැති නිසා, ලතා සිතන්නේ ඔහු ස්ථාවර පුද්ගලයකු නොවන බවයි. මේ නිසා, විවාහය වැනි බැඳීමකට ඔහු සුදුසු කෙනෙකු නොවන බව ඇය විශ්වාස කරන්නීය.
ආදරය සහ ආකර්ෂණය පිළිබඳ මේ අත්දැකීම් හා කතාබහ මට පෙනෙන ආකාරයට වඩාත් වැදගත් වන්නේ මූලික වශයෙන් සභ්‍ය (urbane) ගති ලක්ෂණ ඇති තරුණ කණ්ඩායම්වලටය. මකක්නිසාද යත්, රොමාන්තික හා තීව්ර ආදරය මත පමණක් විවාහය පදනම් විය යුතුය යන්න ඔවුන් බොහෝදෙනා විශ්වාස කරන බැවිනි. මේ අනුව, ඉන්දීය සන්දර්භය තුළ මේ කතාමාලාව පැරණි විවාදයක් නැවතත් ආරම්භ කර තිබේ. එනම්, තීව්ර රාගය මත පදනම් වූ ආදරයක් මත හැර අන් දෙයක් මත විවාහයක් සිදු විය යුතුද යන ප්රශ්නයයි. එනමුත්, මෙහි දී යමෙකු නූතනත්වය පිළිබඳව දරන අදහස් නිතැනින්ම ප්‍රශ්න කරන්නේ ද නැත.
කෙසේ වුවද මේ කතාමාලාව මැනැවින් ග්‍රහණය කරගෙන ඇත්තේ පෞද්ගලික දේ කොතරම් දුරට දේශපාලනික වන්නේද යන යථාවයි. එමෙන්ම එය ආගම, මාන්නය හා චේතනාව යන කාරණා එක්කර සංකීර්ණ සම්බන්ධතා ජාලයක් ස්මාජයේ ගොඩනැගෙන ආකාරයත්, තමන්ට සුදුසු සහකරුවෙකු සොයා යන ගමන මේ සංකීර්ණ ජාලය හරහා අනිවාර්යයෙන් යා යුතු බවත් විස්තර කරයි.
(පරුල් භන්දාරි ඉන්දියාවේ ඕ.පී. ජින්දල් ගෝලීය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහාය මහාචාර්යවරියක් වේ. ඇය Matchmaking in Middle Class India: Beyond Arranged and Love Marriage කෘතියේ කතුවරියයි. මේ රචනය මුලින්ම පළවූයේ නොවැම්බර් තුන්වනදා පළවූ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේය. එහි සිංහල පරිවර්තනය මෙහි පළකිරීමට අවසර දීම සම්බන්ධයෙන් කතුවරියට සහ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ සංස්කාරකවරුන්ට පඨිත සංස්කාරක මණ්ඩලයේ ස්තූතිය හිමිවේ. මුල් ලිපියට මෙතැනින් පිවිසිය හැක)