සටහන හා ඡායාරූප: සසංක පෙරේරා –
තත්කාලීන ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ අවකාශය පුරා පැතිර ඇති නොයෙකුත් බිත්ති මත, බැලූ බැල්මට පැහැදිළි තේමාවකට හෝ තේමා කිහිපයකට හෝ සීමා නොවූ, අනේකවිධ පණිවිඩ ගෙනෙදෙන චිත්‍ර ඇඳීමේ ප්‍රවණතාවක් 2019 වසරේ නොවැම්බර් මාසයේ පමණ සිට පැතිර යමින් පවතී. ඒ පිළිබඳ පුලුල් කතාබහක් ද මූලික වශයෙන් අන්තර්ජාලය ඔස්සේ පැතිර යමින් පවතී. මීට යම් දේශපාලනික, පුද්ගලික හා ව්‍යාපාරමය සම්මාදම් වීමක්ද ඇති බව පෙනේ. එනමුත්, මේ පිළබඳ තවමත් ගැඹුරැ හා න්‍යායික වශයෙන් සූක්ෂම කියවීමක් ඉදිරිපත් වී නැත. කෙසේ වුවද, රාජ්‍ය දෙපාර්තමේන්තුවල මග පෙන්වීම යටතේ පැහැදිළි තේමා හා අධීක්ෂණයකට යටත්ව, මෙවන් චිත්‍ර ඇඳීමේ ප්රවණතා මීට පෙර ද මේ රටේ පාසල් හා තෝරාගත් රාජ්‍ය ආයතන ආශ්‍රිතව සිදු වී ඇත.
මේ ඡායාරූ රචනයේ ඇති චිත්‍ර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පට්නා විශ්වවිද්‍යාලය අවට එම විශ්වවිද්‍යාලයේ සිසුන් හා අන් පුරවැසියන් විසින් අඳිනු ලැබූ ඒවාය. ඒවා ඡායාරූපගත කරනු ලැබුවේ 2019 ඔක්තෝබර් මසදීය. පට්නා නගරයේ අන් ස්ථාන බොහෝමයකද මෙවැනි චිත්‍ර සම්ප්රදායක් දැකගතහැකි වුවද ඉන් බොහොමයක් බිහාරය ආශ්‍රිතවම සම්ප්‍රදායිකව ගොඩනැගී තිබුණු මයිථීලි චිත්‍ර සම්ප්රදාය අනුගමනය කරමින් සිතුවමට නගන ලද සාම්ප්‍රදායික, ආගමික හා මිත්‍යාමතික අන්තර්ගතයකින් යුක්ත චිත්‍රය. ඉන් බොහෝමයක් සුප්‍රසිද්ධ මිත්‍යා කතාවල යම් කොටස් චිත්රණය කර තිබූ අතර, අන් චිත්‍ර පැරණි සම්ප්‍රධායම අනුගමනය කරමින් තත්කාලීන දේ චිත්‍රයට නගා තිබුණි. මේ සාපේක්ෂ ප්‍රමිතිකරණයට හේතුව මේ චිත්‍ර ව්‍යාපෘතිය පට්නා නගර සභාවේ අනුමැතිය, අධීක්ෂණය හා උපකාර මත සිදු වූ නිසාය. මෙවන් ප්‍රසිද්ධ අවකාශයේ මුදා හරින, රාජ්‍ය අනුග්‍රහය සහිත චිත්‍ර ව්‍යාපෘති දිල්ලිය, බුබනේශ්වර්, බැංගලෝර් ආදී ඉන්දීය නගර ගණනාවකම දැකගත හැකිය.
එනමුත්, මෙහි ඉදිරිපත්කර ඇති චිත්‍ර පට්නා නගරයේ සාමාන්‍යයෙන් දැකගතහැකි ප්‍රමිතිකරණයට නතු වූ ඒවා නොවේ. ඒවා මගින් තත්කාලීන ඉන්දීය දේශපාලනය, දලිත් කුල දේශපාලනය හා අනන්‍යතා ව්‍යාපාර, මිත්‍යා කතා මෙන්ම හුදෙක් පුද්ගලික පරිකල්පනය මත පමණක් පදනම් වූ චිත්‍ර ද ඇතුළත් අතිශයින් සම්මිශ්රිත සංකේත ක්ෂේත්රයක් ඉදිරිපත් කරයි.
ශ්‍රී ලංකාවේ දැනට දැකගත හැකි ප්‍රසිද්ධ අවකාශීය චිත්‍ර ගතිකත්ව තේරුම්ගැනීමට මේ ජනප්‍රිය ඉන්දීය සම්ප්‍රදායන් හා ඒවායේ දේශපාලනය යම්දුරකට උපකාරී විය හැක.