Obeyesekere, Gananath. Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our Time (උඩරට රාජධානියේ අනේකවිද පැතිකඩ 1591-1765: අපගේ යුගය සඳහා ගතහැකි පාඩම්). කොළඹ: සේල් ෆිශ් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 195. ISBN 978-955-7743-060-6. මිල: ශ්‍රී ලාංකේය රුපියල් 1, 200.00 (මෘදු කවරය සහිතව).
~ විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය
ගනණාත් ඔබේසේකර විසින් මෑත කාලීනව ශ්‍රී ලංකාවේ පළකරන ලද කෘති දෙකෙන් නවතම කෘතිය වන්නේ Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our Time 1591-1765 යන කෙටි ඓතිහාසික කෘතියයි. එය මූලික වශයෙන් පදනම්ව ඇත්තේ, 2013 නොවැම්බර් 8 වැනිදා නව දිල්ලියේ ‘සංවර්ධනය වෙමින් පවතින සමාජ අධ්‍යයනය සදහා වූ කේන්ද්‍රයේ’ (Centre for the Study of Developing Societies) පැවැත්වූ ‘A Still-born Cosmopolitanism: Buddhists, Catholics And Other Strange Beings in the Kandyan Kingdom, 1591-1739‘ යන දේශනය සදහා පදනම් වූ තොරතුරු හා මූලික තර්කය වැඩි දුරටත් ප්‍රවර්ධනය කිරීම මතය. මේ කෘතියට පෙර ඔහු විසින් පළකළ The Doomed King: A Requiem for Sri Vikrama Rajasinha (2018) යන කෘතිය මෙන්ම මෙහි ද දැකගත හැකි ප්‍රධාන කාරණයක් වන්නේ, දැනට සොයාගත හැකි ඓතිහාසික මූලාශ්‍රවලින් ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානි යුගයේ අතීතය පිළිබඳව පවතින කතිකා ඔස්සේ මේ වන විට පැමිණ ඇති නිගමනවලට වඩා බෙහෙවින් වෙනස් නිගමනවලට එළඹෙන්නට ඔහු ගෙන ඇති උත්සාහයයි. මේ සාපේක්ෂ සංශෝධනවාදී ඉතිහාසකරණ ක්‍රියාවලියේ මූලික පදනම වන්නේ, පරිශීලනය කර ඇති තොරතුරු හා මූලාශ්‍ර වෙනස් වීම නොව, පවතින තොරතුරු ම වඩාත් නිර්මාණශීලී ලෙස අර්ථකථනය කිරීමට ඔහු ගෙන ඇති උත්සාහයයි. එසේ කරනුයේ අධිඅර්තකතනයක අවදානම ද මගහරවා ගනිමින්ය. මාගේ විශ්වාසයය නම්, ඔබේසේකරගේ මේ උත්සාහය වඩාත් උනන්දුසහගත වී ඇත්තේ, සාම්ප්‍රදායික ඉතිහාස රචනයන්ට වඩා මේ කෘති සඳහා ඓතිහාසික මූලාශ්‍ර පාඨනය කිරීමේ දී හා අර්ථකතනය කිරීමේදී ඔහු විසින් සිය අර්ථවිවරණාත්මක මානව විද්‍යා පුහුණුව මැනැවින් යොදාගෙන ඇති නිසා බවයි.
කෘතියේ ප්‍රධාන සහ වඩාත් උනන්දුසහගත උත්සාහය වන්නේ cosmopolitanism (විශ්වපෞරවාදය) යන සංකල්පය ඔස්සේ උඩරට රාජධානියේ බලපැවැත්වූ සමාජ, සංස්කෘතික හා දේශපාලන ගතික සහ භාවිත විස්තර කිරීමය. ඒ මූලික වශයෙන් පලමු විමලධර්මසූරියසූරිය රජතුමාගේ (1591-1604) සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ (1747-1782) පාලන කාලය තුළ උඩරට රාජ වංශයේ ප්‍රතිපත්ති හා රාජකීය භාවිත පිළිබඳ තත්කාලින වාර්ථා කියවීම ඔස්සේය. මෙහිදී විශ්වපෞරවාදය යන්නෙන් අදහස් කරනුයේ මේ යුගයේ රාජවංශය තුළ හා රාජකීය භාවිත තුළ මෙන්ම උඩරට ප්‍රදේශයේ පුලුල් වශයෙන් ද දැකගත හැකි වූ විදේශීය මෙන්ම අනේකවිද අන් සංස්කෘතික අංග හා ආභාශ තම භාවිතයන්ට ආදේශ කරගැනීමේ හා එවන් භාවිත අවැසි දේශීයකරණයන් ද සහිතව නව්‍යකරණය කරගැනීමේ ප්රවණතාවන්ය. මේ ප්රවණතාවේ අනිවාර්ය තවත් වැදගත් අංගයක් වූයේ, මේ යුගයේ සිංහල හා බෞද්ධ නොවන අන්‍යයන් ට එම සමාජය තුළ විවෘතව ජීවත්වීමට හැකි අවකාශ සැලසීම හා ඔවුන් එම සමාජයේ ම සාමාජිකයින් සේ සැලකීම යන ප්රවණතාවන්ය. මේ පාඨනය සිදුවන්නේ ‘හැඳින්වීමට’ අමතරව, පරිඡ්චේද 11ක් හා කෙටි නිගමන සටහනක් ඔස්සේය. ඔබේසේකරගේ කියවීමට අනුව, උඩරට විශ්වපෞරවාදයේ නිර්මාතෘවරයා වන්නේ, එම රාජධානියේ ප්රබලතම රජතුමා වූ පළමු විමලධර්මසූරිය රජතුමාය. ඔබේසේකර යෝජනා කරනුයේ, විමලධර්මසූරිය රජතුමා ප්‍රචලිත කළ ඒ ප්රවණතාවට පදනම සැපයූයේ බෞද්ධ ඉගැන්වීම් මෙන්ම පෘතුගීසි බස ප්‍රගුණ කිරීමෙන් ඔවුන්ගේ සංස්කෘතික ප්රවණතා හා රුචිකත්ව සමීපව ඇසුරුකිරීම හා ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ වසර ගණනාවක් ජීවත් වීමෙන් එවකට පැවති පුලුල් ලෝකය පිළිබඳව ඔහු ලබාගත් දැනුම හා අත්දැකීම් බවය.
විමලධර්මසූරිය රාජ්‍ය කාලයේ පැහැදිලිවම ආරම්ඹ වී ඉන් පසුව ද පැවති දේශපාලන ප්‍රතිපත්තියක් මෙන්ම සාමාන්‍ය භාවිතයක් ද වූයේ ආගමික නිදහස යන්නය. තත්කාලීන ඕලන්ද ඉතිහාසඥයෙකු වූ ෆිලිපස් බල්ඬේයස් විමලධර්මසූරිය රජතුමා පිළිබඳව ලියූ වාර්ථාවකින් පැවසුවේ ඔහු සියලුම ආගම්වල ආධානග්රාහී ස්ථාවර ඉවතලූ බවත්, ඒ වෙනුවට රාජධානියේ සිටි සියලුදෙනාටම නිදහසේ තමතමන්ගේ ආගම් ඇදහීමේ අවකාශ සලසා තිබූ බවත්ය (ඔබේසේකර 2020: 25-26). මේ ප්‍රවණතාව ඔහුගෙන් පසු රාජ්‍යත්වයට පත් වූ සෙනරත් හා දෙවන රාජසිංහ යන රජවරුන්ද අනුගමනය කළහ. ඔවුන් එක් අතකින් ඕලන්දයින් විසින් හිංසනයට ලක්කළ කතෝලිකයින්ට උඩරට රාජධානිය තුළ ආරක්ෂාව සැපයූ බව පැහැදිලිය (ඔබේසේකර 2020: 29-30). ඊට අමතරව, පෘතුගීසීන් විසින් සිය ප්‍රදේශවලින් පිටුවහල් කළ මුසල්මානයින් හාරදාහක් පමණ උඩරටට පැමිණි විට, සෙරනරත් රජතුමා තම බලය පැවති නැගෙනහිර පලාතේ ප්‍රදේශයක ඔවුන්ව පදිංචි කරවන ලද බවත් වාර්තාවේ (ඔබේසේකර 2020: 29-30).
එමෙන්, උඩරට රාජධානි ප්‍රදේශය තුළ නොයෙකුත් ජනවර්ග හා ආගමික කණ්ඩායම් විවෘතව ජීවත් වූ බව තත්කාලින වාර්තාවලින් පැහැදිලි වේ. පළමු විමලධර්මසූරිය රාජ්‍ය කාලයේ උඩරට රාජධානියට පැමිනි ඕලන්ද තානාපතිවරයෙකු වූ යෝරිස් ෆන් ශ්පීල්බර්ගන් පවසන්නේ, සිංහලයින් අතර මුවර් හා තුර්කි ජාතිකයින් මෙන්ම අන් ආගමිකයින් ද ජීවත් වූ බවත්, ඔවුන්ටම සුවිශේසී වූ නීතිරීති ඔවුන් අනුගමනය කළ බවත්ය (ඔබේසේකර 2020: 31). ශ්පීල්බර්ගන් තවදුරටත් පවසන්නේ, ඔහුව මහනුවර නගරයට රැගෙන යාමට නගර සීමාවට පැමිණ සිටි දාහක පමණ වූ රාජකීය සන්නද්ධ සොල්දාදුවන් අනේකවිද ජාතීන්ට අයත් වූ බවයි (ඔබේසේකර 2020: 32). මොවුන් අතර සිංහලයින් මෙන්ම මුවර් ජාතිකයින්, තුර්කිවරුන්, අප්‍රිකානුවන් හා සිය හමුදා ඛණ්ඩවලින් පැනවිත් සිටි පෘතුගීසි ජාතිකයින් ද ඇතුළත් විය (ඔබේසේකර 2020: 32).
සිව්වන පරිච්ඡේදයේ සිට ඔබේසේකර ඉදිරිපත්කරන විස්තර අතර නායක්කර් රජවරුන් දකුණු ඉන්දියාවේ මධුරායි නගරය සමග තිබූ විවාහක හා සංස්කෘතික-දේශපාලනික සබදතා නිසා විශේෂයෙන් උඩරට රාජසභාව ආශ්‍රිතව ගොඩනැගුණු භාවිත හා උත්සව දකුණු ඉන්දීය සංස්කෘතික ලක්ෂණ ඉදිරිපත්කළ ආකාරය විස්තර කරයි. නූතන ලාංකේය ඉතිහාසකරණය මධුරායි සම්භවයක් ඇති නායක්කර් රජවරු විදේශීන් ලෙස තත්කාලීන උඩරට ජනයා සැලකූ බව පැවසුවද ඔබේසේකර යෝජනා කරනුයේ දීර්ඝකාලීනව ඔවුන් උඩරට රාජසභාව හා එම ප්‍රදේශය සමග ඇතිකරගෙන තිබූ සමාජ-සංස්කෘතික හා දේශපාලනික සබඳතාවන් නිසා, ඔවුන් විදේශීන් ලෙස තත්කාලීන ජනයා සැලකුවේය යන්න සැකසහිත බවයි (ඔබේසේකර 2020: 49-60).
සිව්වන පරිඡ්චේදයේ සිට කෘතියේ අවසානය දක්වා — විශේෂයෙන් කෘතියේ දෙවන කොටස තුළ — එහි මුල් කොටසින් විශ්වපෞරවාදය වෙත දැක්වූ අවධාරණය වෙනත් තේමා කිහිපයක් වෙත යොමු වේ. මේ තේමා අතර ඕලන්දයින් හා උඩරැටියන් අතර සිදු වූ යුද්ධ, ඕලන්දයින් හා නායක්කර් රජවරුන් සහ උඩරට රාජසභාවේ නිලධාරීන් අතර ඇතිවූ සබදතාවන්ගේ ස්වභාවය, මහනුවර නගර සැලසුමකරණයේ ඇති සංකේතීය ලක්ෂණ හා ශ්‍රී ලාංකේය ඉතිහාස රචනයේ දී නායක්කර් රාජ පරම්පරාව නිශේධනීය ආකාරයකින් දැකීමේ පදනම යනාදිය වේ. මේ පරිඡ්චේදවල අන්තර්ගතය තොරතුරු සම්බන්ධයෙන් කෙතරම් උනන්දුසහගත වුවද, මේ තේමාමය පරිවර්තනය නිසා කෘතියේ මූලික අවධාරණය යම් දුරකට ඛණ්ඩනය වේ. සැබැවින්ම එහි දෙවන කොටසින් සිදුවන්නේ කෘතිය ඔබේසේකර ඊට පෙර ලියූ The Doomed King: A Requiem for Sri Vikrama Rajasinha කෘතියේ තේමාව වෙත වඩාත් සමීප වීමය.
ඔබේසේකරගේ රචනාකරණය සමස්තයක් ලෙස ගත් කළ, මේ කෘති දෙක ම ඔහු විසින් 1950 ගණන් අග භාගයේ සිට ගෝලීය වශයෙන් ලියා පලකර ඇති කෘතිවලට වඩා ආකාර කිහිපයකින් පැහැදිලිවම වෙනස් වේ. එනම්, 1967දී ඔහු ප්‍රකාශයට පත්කළ ඔහුගේ මුල්ම කෘතිය වන Land Tenure in Village Ceylon කෘතියේ සිට 2012 දී පලකළ The Awakened Ones: Phenomenology of Visionary Experience යන සියලුම කෘති හා සසඳන විට, ඒවායේ ඇති සංවිධානාත්මක බව, රචනා ශෛලිය, න්‍යායික ප්‍රවේශවල තීව්ර බව හා භාෂාව මෙහෙයවීම මේ මෑතකාලීන කෘති සම්බන්ධයෙන් පැහැදිලිවම වෙනස් වී ඇති බව පෙනේ. වඩාත් පැහැදිලිව කියන්නේ නම්, ඔහුගේ පෙර කෘති තරම් මේ මෑතකාලීන කෘති රචනාමය වශයෙන් සූක්ෂ්ම නැති බව මගේ විශ්වාසයයි. ඒ කෙසේ වුව ද, ඔහු මෙතෙක් ලියා ඇති සියලුම කෘතිවලට වඩා ශ්‍රී ලාංකේය සමාජ දේශපාලන සන්දර්භය තුළ දී වඩාත් වැදගත් වන්නේ මේ කෘති ද්විත්වය බව ද මාගේ විශ්වාසයයි. එමෙන්ම රට තූළ වඩාත් පහසුවෙන් සොයා ගත හැකි වන්නේ ද වඩාත් පහසුවෙන් කියවිය හැකි වන්නේ ද මේ කෘති දෙක නිසා, ඒවායේ ඇති දේශපාලනමය හැකියාව වඩාත් තීව්ර වේ. එයින් ද, කේන්ද්‍රීයව තත්කාලීන සමාජ දේශපාලන කතිකාව ට වඩාත් බලපෑම් කළ හැකි වන්නේ The Many Faces Of The Kandyan Kingdom 1591-1765: Lessons for Our Time කෘතියයි. ඒ කෘතියේ අනු-මාතෘකාව වන ‘lessons for our time’, නැතහොත් “අපගේ යුගය සඳහා ගතහැකි පාඩම්” යන පද පෙළෙන් ඔහු දක්වා සිටින්නේ ම ඒ අතීතය පිළිබඳ වෘතාන්තය තත්කාලකාලීන දේශපාලනය සමග සම්බන්ද කරගැනීමට ඇති හැකියාව පිළිබඳ ඉඟියකි. මාගේ තේරුම්ගැනීම නම්, උඩරට යුගයේ මුල් කාලයේ දැකගත හැකි වූ බෙහෙවින් දියුණු විශ්වදේශවාදය නිසා එකළ ප්‍රචලිතව තිබූ ආගමික නිදහස හා ජනවාර්ගික නිදහස වැනි ඓතිහාසික හා අනුභූතික යතාවන් වර්තමානයේදී අස්ථාවර වී ඇත්තේ කුමන හේතු නිසා ද යන ප්රශ්නය මතු කරගැනීමටත්, ඊට චිත්තවේගීමය නොවූ පිළිතුරු සොයාගැනීමටත් ඔබේසේකරගේ කෘතිය ආරධනා කරන බවයි. එමෙන්ම, අතීතයේ පැවති මෙවැනි අවස්ථා අපගේ සාමුහික මතකයෙන් ගිලිහී ඇති මොහොතක ඒවා අපගේ මතකයට නැවත ඇතුලු කරන්නට ඔබේසේකර ගෙන ඇති උත්සාහය වැදගත්ය. එනමුත් එහි බුද්ධිමය-දේශපාලනික ජවය වඩාත් තීව්ර කරගතහැකි වන්නේ, මේ කෘතියේ සාර්ථක පරිවර්තන සිංහල හා දෙමළ භාෂාවලින් ලබාගත හැකි වූ පසුය.