Skip links

රචනා චෞරත්වය

~ සසංක පෙරේරා,  දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

පසුගිය දින කිහිපය තුළ​ ස​මාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස කතාබහට ලක්වී ඇත්තේ ගංගා සුදුවැලිකන්ද විසින් පරිවර්තනය කල නවකතාවක් වූ සීතලෙන් සීත වුණු සීත සමය කෘති​යේ ඇතුළත් වූ කොට​​ස්​ කිහිපයක් සුජාතා අලහකෝන් විසින් රචනා කළ නවකතාවක් වන ඒත් අපි පියාඹමු යන කෘතියට ඇතුළුවීම පිළිබඳ ගැටලුවයි.  යමෙක් රචනාකරණයේ යෙදෙන විට නොයෙකුත් සාහිත්‍ය මූලාශ්‍රවලින් අනුප්‍රාණය ලැබීම (inspiration) සාමාන්‍ය දෙයකි. ඒ රචකයින් අවංක නම්,  ඔවුන් අනුප්‍රාණය ලැබූ මූලාශ්‍ර සහ පුද්ගලයින් මොනවාද  සහ කවුරුන් ද යන වග ඔවුන් ගේ කෘතිවල සාමාන්‍යයෙන් සඳහන් කිරීම දැකගත හැකිය. නමුත් රචනා චෞරත්වය (plagiarism) යනු මීට වඩා බෙහෙවින් වෙනස් දෙයකි. එය අදහස් හා වචන සොරකම් කිරීමකි.  අප අතර සිටින බොහෝ දෙනා  මේ අන්ත දෙක අතර වෙනස පැහැදිලිව වටහා ගෙන  නොතිබීම කනගාටුවට කරුණකි. ඉහත කෘති සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව බැලූබැල්මට රචනා චෞරත්වය ට අග​​නා​ උදාහරණයක්​ ​ ​සපයයි.  

අවාසනාවන්ත කා​ර​ණ​ය වන්නේ, ශ්‍රී ​ ලංකාවේ රචනා චෞරත්වය පිළිබඳ වාද විශය මේ වන තෙක් පුළුල් ලෙස​ හෝ ​ ගැඹුරින්​ ​​​කතාබහ​ට ලක් වී නොතිබීමයි. ​මට පෙනෙන ලෙසින්, ​මේ වන තුරු රචනා චෞරත්වය පිළිබඳ යම් සරල කතාබහක් හෝ ඇතිවී තිබෙන්නේ බොහෝ දුරට​ ​අවිධිමත්​ ​ මට්ටමින් විශ්වවිද්‍යාල  පද්ධතිය තුළයි.​ ​ඒද සාපේක්ෂ වශයෙන් නිහඬ හා බොහෝ දුරට රහසිගත මිමිණුම් වශයෙනි. මේ කතාබහට පදන​ම සපයා ඇත්තේ, ඇතැ​ම්  තරුණ විද්‍යාර්ථීන් විසින් තමන් කියවන ​පොත්පත් හා ලිපිවලින් ලබාගන්නා දේ ඒවායේ මූලාශ්‍ර සඳහන් නොකර, තමන්ගේ අදහස්​ සහ වචන​ මෙන් ​තමන් ලියන  නිබන්ධන සහ වාර පත්‍රිකා වැනි ලියවිලි වලට ගෙනඒමේ ගැටලුව පිළිබඳවයි.  මූලික වශයෙන් රචනා චෞරත්වය යනු මෙයයි.  එනම්,  යම් යම් අදහස් සහ වාක්‍ය ඛණ්ඩ ඒවායේ මූලාශ්‍ර සඳහන් නොකර එලෙසින්ම තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ ලෙස පළකිරීමයි. නමුත් මෙය  විශ්වවිද්‍යාලවල තරුණ විද්‍යාර්ථීන් අතින් පමණක් සිදුවන වැරැද්දක් නොවේ. ඇතැම් විට​,​ විශ්වවිද්‍යාලවල ජේෂ්ඨ ගුරුවරුන් ද රචනා චෞරත්ව​​යේ​ යෙදී සිටින බව විශ්වවිද්‍යාල ගුරුවරුන් මැනවින් දන්නා කරුණකි.  

පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ඇතැම් මිත්‍රයින් මා​ ​හා පවසා​ ඇත්තේ, මා සිංහලෙන් ලියා ඇති ලිපි ලේඛන අත​ලොස්සෙ​න්​ ඇතැම් කොටස් ​නොයෙකුත් විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් වරින්වර​ මූලා​ශ්‍ර​ සදහන් නොකර, තම ලේඛනවල පළකර ඇති බවයි. නොඑසේ නම්, තම අදහස් ලෙස සම්මන්ත්‍රණවල දී ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම, මීට බොහෝ කාලයකට පෙර​, මා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ කටයුතුවල යෙදී සිටින අවධියේ​ එකල​ ​මාගේ ​ශිෂ්‍යයෙක්​ ​මා​ හා පැවසුවේ​ ​මා​ ප්‍රථම වසර සිසුන් සඳහා කළ දේශන පදනම් කරගෙන තවත් අ​යෙකු මූලික සමාජ විද්‍යාව පිළිබඳ​ කෘතියක් නිර්මාණය කර ඇති බවයි.  ඒ මාගේ දේශනවලින් සෘජුවම උකහා ගත් දේ බව ඔහු දන්නේ කෙසේදැයි මා ඇසූ විට, ඔහු මට දුන් පිළිතුර වූයේ, එම දේශනවලදී ලබාදුන් ඇතැම් උදාහරණ පොත්පත්වලින් ලබා නොගත් ඒවා නිසාත්, ඒවා මා පුද්ගලිකව දන්නා කරුණු හා දැක ඇති දේ බව මා දේශනවලදී සඳහන් කළ නිසාත්,  එම කරු​ණු එලෙසම මේ කෘතියේ සඳහන් කර තිබුණ බැවි​න්, ඒ දේශන සටහන් පිටපත් කිරීමෙන් මේ කෘතිය යම් දුරකට ලියා ඇති බව ඔහුගේ විශ්වාසය බවයි.  මෙය ද රචනා චෞරත්වයේ තවත් ආකාරය​ක් පිළිබඳ උදාහරණයකි.  නමුත් මා හා සම්බන්ධ මේ සිදුවීම් කිසිවක් පිළිබඳව මා විධිමත්ව හෝ අවිධිමත්ව මෙතෙක් සොයා බලා නැත.  එවැන්නක් කිරීමට මට කාල වේලාව හෝ උනන්දුවක් එක​ල තිබුණේ ද නැත.  රචනා චෞරත්වය ලංකාවේ ඇතැම් අවකාශ තුළ —  විශේෂයෙන් විශ්වවිද්‍යාල කතිකා තුළ — තීව්‍ර වී ඇති බව දැ​න් පෙනී යන නිසා,  මේ සිදුවීම් සිදු වූ කාලයේම ඒ පිළිබඳ යමක් කළේ නම් වඩාත් යහපත් යැයි මට දැන් සිතේ.

කෙසේ වෙතත්, ගංගා සුදුවැලිකන්ද ගේ නිර්මාණයකින් තවත් සහෝදර ලේඛිකාවක් සුදුවැලිකන්ද ගේ  අනුදැනුම නොමැතිව හෝ අවම වශයෙන් ඒ වාක්‍යය ඛන්ඩව​ල මූලාශ්‍ර හෝ සඳහන් නොකර, ඇය විසින් රචනාකර ඇති කෘතියක ඇතුලත් කිරීමෙන් මේ රචනා චෞරත්වය පිළිබඳ අදහස් මීට පෙර සිදු නොවූ අයුරින් අප සමාජයේ ජනප්‍රිය මට්ටමේ කතිකාවට හදිසියේ ම එකතු වී ඇත.  මාගේ විශ්වාසය නම්, මේ අවස්ථාවෙන් අප බුද්ධිමය සහ ආචාර ආචාරධර්මීය වශයෙන් ප්‍රයෝජ​න ගත යුතු බවයි. එනමුත් එය හුදු කෑගසා ගැනීමකින් ඔබ්බට යා යුතුයි. එනම්, මේ සිදුවීම පදනම් කරගෙන අප කළ යුත්තේ, රචනා චෞරත්වය පිළිබඳ පුළුල් කතිකාවක් දියත් කිරීම සහ ඒ පිළිබඳ යම් පැහැදි​ලි දැනුවත්වීමක් හා ආචාර ධර්ම පද්ධතියක් සමාජගත කිරීමයි.

ගංගා සුදුවැලිකන්දගේ පරිවර්තනය හා සුජාතා අලහකෝන්ගේ කෘතිය සම්බන්ධයෙන් මතුවී ඇති රචනා චෞරත්වය පිළිබඳ ගැටලුව වඩාත් තීව්‍ර වන්නේත්, එය පුද්ගලික ආචාරධර්ම ක්ශේත්‍රයේ සිට ආයතනික වෘත්තීය  භාවිත  පිළිබඳ ක්ෂේත්‍රයකට අවතීර්ණ වන්නේත්, අලහකෝන් ගේ කෘතියට මේ  වන විට සම්මාන දෙකක් ​ද ලැබී තිබෙන නිසාය. එනම්, මෙය දැන් එක් ලේඛිකාවකගේ ගැටලුකාරී ආචාරධර්මීය භාවිතයක් පමණක් නොවේ. ඊට අමතරව, එය ලංකාවේ පොත් ප්‍රකාශකයින් නියෝජනය කරන ප්‍රධාන සංවිධාන දෙකක වෘත්තීයමය ක්‍රියාදාමයන්ගේ ඇති ගැටලු ද ඉස්මතු කරයි. එනම්, නිර්මාණ සාහිත්‍ය සඳහා සම්මාන ලබා දෙන ලොව අන්  සංවිධානවලින් මූලික කටයුත්තක් ලෙස සිදුකරන රචනා චෞරත්වය පිළිබඳ ගැටලු සොයා බැලීමේ කාර්යය මේ සංවිධාන විසින් කර නොමැත්තේ ද යන ප්‍රශ්නය මතුවේ. එය බරපතල ප්‍රශ්නයකි. මක් නිසාද යත්, එමගින්  ඔවුන් ගේ සම්මාන ක්‍රියාවලිය සහ ඒ සඳහා කෘති තෝරා ගැනීමේ සමස්ත ක්‍රියාවලියේම ඇති ඒකාග්‍රතාව පිළිබඳ ගැටලු හා සැක සංකා මතුවන නිසාය.

මා දැනට උගන්වන දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයට එම්.ඒ. සහ පී.එච්.ඩී. මට්ටමින් සිසුන් ඇතුලත් කර ගන්නා විට ඔවුන්ට මුලින්ම ලබාදෙන අනුස්ථාපන වැඩසටහනෙන් ඉදිරිදිරිපත් කරන කරුණු අතරට රචනා චෞරත්වය පිළිබඳ ප්‍රශ්නය මෙන්ම ඒ පිළිබඳ විශ්වවිද්‍යාලයේ සහ අධ්‍යයනාංශයේ  ස්ථාවරය සහ ඒ සඳහා ලැබෙන දඬුවම් ද පැහැදිලිව විස්තර කරයි.   එනම්,  සරසවියට සිසුන් ඇතුළුවන විටදීම රචනා චෞරත්වය සහ එහි ආදීනව පිළිබඳ සියලුම දේ ඔවුන්ට පැහැදිලිවව ම දැනුම් දෙනු ලැබේ.  ඉන්පසුව ද ඔවුන් ඒ කටයුත්තේ නිරත වුවහොත්, ඒ සඳහා ලැබෙන දඬුවම් ද ඉතාමත් පැහැදිලිය.  ඒ  දඬුවම් ලැබූවන් කිහිපදෙනකු මේ වන විටද විශ්වවිද්‍යාලය තුළින් මතු වී සිටිති.  මේ සඳහා ගුරුවරුන්ට උපකාර වීම සඳහා සිසුන් විසින් අපට ඉදිරිපත් කරන නිබන්ධන හා වාර පත්‍රිකා  රචනා චෞරත්වයේ නිෂ්පාදන ද නැද්ද යන්න හඳුනාගැනීම සඳහා අත්‍යාවශ්‍යය  සහ භාවිත කිරීමට පහසු මෘදුකාංග කිහිපයක් විශ්වවිද්‍යාලය මගින් ගුරුවරුන් සතු කර ඇත.  මේ සියල්ලෙන් ම සිදුවන්නේ රචනා චෞරත්වය අපගේ ශාස්ත්‍රාලයීය සීමාව තුළ පැහැදිලි ගැටලුවක් බව තේරුම් කිරීම සහ එයින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැකි තරම් ඈත් කිරීමට උත්සාහ ගැනීමය. මේ  මා විස්තර කළේ, ඉතාමත්  මෑතකදී ආරම්භකළ විශ්වවිද්‍යාලයක සහ අධ්‍යයනාංශයක රචනා චෞරත්වය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගයයි.  මෙය ඉතාමත්   සරල ක්‍රියා මාර්ගයකි. එමෙන්ම, එය ස්ථාපනය කිරීමට ඉතාමත් පහසු ක්‍රියාවලියකි.  මීට සාපේක්ශව, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ හෝ ශාස්ත්‍රීය සහ නිර්මාණ සාහිත්‍යය රචනයේ යෙදී සිටින කණ්ඩායම් තුළ හෝ රචනා චෞරත්වය පිළිබඳ පුළුල් හා විධිමත් අවබෝධයක් තිබේද යන්න බෙහෙවින් සැකසහිතය.  මට දැනට පෙනී ගොස් ඇත්තේ, රචනා චෞරත්වය කුමක්ද සහ එය වැරැද්දක් වන්නේ කෙසේද යන්න පිළිබඳව අප සමාජයේ බොහෝ දෙනා තුළ පැහැදිලි අදහසක් නොතිබෙන බවයි.

අවම වශයෙන් අපගේ වැනි කුඩා සහ මෑතකාලීනව ස්ථාපනය කළ විශ්වවිද්‍යාලයක් මගින් සිසුන්ගේ වාර පත්‍රිකා හා නිබන්ධන කියවන විට, ඒවා “කොපි කරල තියෙනවද කියලා බලන්න” වශ​යෙ​න් ලබා​න ​මූ​ලි​ක ​අවවාදය අප රටේ ජාතික මට්ටමින් ක්‍රියාත්මකවන හා බෙහෙවින්   ස්ථාපිත සම්මාන ප්‍රදානය කරන ආයතන ක්‍රියාත්මක නොකිරීම කණගාටුවට කරුණකි

(ඡායාරූපය: ටොප් පේපර්ස්.කො​ම්)

Leave a comment

This website uses cookies to improve your web experience.