~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය, ඩුනෙඩීන්, නවසීලන්තය
ලංකාවේ මෑත කාලීන මැතිවරණ දෙස බැලූ විට පෙනී යන්නේ ලංකාවේ විකල්ප දේශපාලනය ට ජනතා නියෝජන ක්‍රමය තුළ කිසිඳු කැපී පෙනෙන සළකුණක් සටහන් කිරීමට නොහැකිව ඇති බවයි. ඒ තබා, විකල්ප දේශපාලන කණ්ඩායම් තුළ හෝ ඒවා අතර ප්‍රගතිශීලී සංවාද ගැඹුරු මට්ටමකින් ඇතිවන බව ද පෙනී යන්නේ නැත. මිලිටරිකරණය වූ සහ ජනතා පීඩාකාරී රාජ්‍ය යාන්ත්‍රණ ඇතිවීමේ වගකීමෙන් කොටසක් මෙම විකල්ප දේශපාලන කණ්ඩායම් විසින් ද දැරිය යුතු වෙයි. මේ විශ්ලේෂණය සියලු විකල්ප කණ්ඩායම් පිලිබඳ නොවන නමුත්, බහුතරය පිළිබඳවයි.
විකල්ප දේශපාලනය කල්ලි දේශපාලනයක් ද?
ලංකාවේ විකල්ප දේශපාලන කණ්ඩායම් බොහෝ විට ක්‍රියාත්මක වන්නේ, කල්ලි පදනම් කරගෙනය. බොහෝ විට අසන්නට ලැබෙන දෙයක් වන්නේ, (නා)අඳුනන බව මත එක්ව දේශපාලනයේ යෙදීම හෝ නොයෙදීම තීරණය වන බවයි. බොහෝ කලක් දැන හඳුනාගෙන සිටීම, එකට කල්ලි ගැසී ක්‍රියාකාරකම් කිරීම මත මේ දේශපාලනය පදනම් වී ඇත. එහිදී තමුන්ගේ ‘කල්ලියේ’ නොවන හෝ ‘නාඳුනන’ නමුත් මතවාදීමය වශයෙන් යම් සමානාත්මතාවක් දරන්නන් සමඟවත් දේශපාලනයේ යෙදීමට මෙම කණ්ඩායම් අපොහොසත්ය. එහිදී මෙම ‘කල්ලි වාදය’ සහ රාජපක්ෂ ‘පවුල් වාදය’ අතර ඇත්තේ ඉතාම නොසැලකිය යුතු තරමේ වෙනසකි. තමුන්ගේ කල්ලිය රැකීමේ නිරතවන විකල්ප දේශපාලන කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කොන්දේසි පවා මඟ හැර යන්නේ, කල්ලියේ ඒකමතික කැමැත්තෙනි. තම කල්ලිය විසින් පිහිටුවා ගන්නා කණ්ඩායමක් මෙහෙයවන මොවුහු, තම කණ්ඩායම තුළවත් අවම ප්‍රජාතන්ත්‍රවාදයක් රැකගැනීමට අසමත් වෙයි. එවැනි විකල්ප දේශපාලනයක් සාම්ප්‍රදායික පුරුෂාධිපත්‍යමය බල ව්‍යුහයම නියෝජනය කරන අතර, ඔවුන්ගේත් පවතින පීඩාකාරී ව්‍යුහයේත් වෙනසක් නැත. මෙහිදී පුරුෂාධිපත්‍ය ආකෘති ලෙස මම අදහස් කරන්නේ, හුදෙක් පිරිමින් විසින් පවත්වාගෙන යන දේශපාලන කල්ලි පමණක් නොවෙයි. මේවා ස්ත්‍රීන් ද ඇතුළු ඕනෑම අයෙකු විසින් පවත්වාගෙන යන විකල්ප දේශපාලන කල්ලි ද විය හැකිය. එවැනි දේශපාලනික කල්ලිවලට ජනයා ආකර්ෂණය කරගැනීමේ ප්‍රශ්නයක් තිබීම අවබෝධ කරගැනීම අපහසු කරුණක් නොවෙයි. මෙම විකල්ප දේශපාලන කණ්ඩායම්වල සාමාජිකත්වය දැරිය හැකි වන්නේ, කල්ලියේ සාමාජිකයෙකු වන්නේ නම් හෝ කල්ලියට අවනත වීමෙන් පමණකි. මෙවැනි කල්ලි තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඇත්තේ ඉතාම අඩු ඉඩකි.
වාමාංශික වීමේ වෙළෙඳපොල: “අපි තමයි හොඳටම කළේ”
මෙම විකල්ප කණ්ඩායම් බොහෝ විට “වාමාංශික සබුද්ධික බව” තම දේශපාලනයේ මතවාදය ලෙස ඉදිරිපත් කරයි. ඇත්තෙන්ම, මෙවැනි කණ්ඩායම්වලට සැබැවින්ම සමාජය වෙනස් කරීමේ හෝ සැබැවින්ම සමාජ වෙනසක් දැකීමේ හෝ අවශ්‍යතාවක් ඇති බවක් පෙනෙන්නට නැත. මන්ද යත්, එවැනි විකල්ප කණ්ඩායම් අත්කරගත් දේශපාලන ජයග්‍රහණ ඉතාම අල්ප බැවිනි. සමාජ වෙනසක් වෙනුවට මෙම කණ්ඩායම් සිදු කරන්නේ, ධනවාදය තුළ වාමාංශික අදහස්වල ඒකාධිකාරය පවත්වාගෙන යාමයි. ඒ හරහා ධනවාදය තුළ වඩාත් හොඳ වෙළෙඳපොළක් ඇති වාම අදහස් පවත්වාගෙන යන කණ්ඩායම බවට පත්වීමට මේ කණ්ඩායම් උත්සාහ දරයි. එහිදී ඇතිවන අගතිය වන්නේ” මෙම කණ්ඩායම් තමා හා සමාන කණ්ඩායම් අතර කරන තරඟයෙන් එහාට තම දේශපාලනය පුළුල් නොකිරීමයි. මොවුන් මාක්ස්වාදය හෝ ඒ ආශ්‍රිතව පැනනැඟී ඇති අදහස් තම පෞද්ගලික දෙපොළක් ලෙස පවත්වාගෙන යයි. මෙවැනි කණ්ඩායම් තුළ සංවාද හා විසංවාදවලට ඇති ඉඩකඩ අවමය. එවැනි තත්වයක් තුළ, මෙම කණ්ඩායම් —අපි තමයි හොඳටම කළේ˜ යන ජනප්‍රිය සටන් පාඨයෙන් ඔබ්බට යන්නේ ද යන ගැටලුව ඇතිවෙයි. එනම්” මෙම කණ්ඩායම් නිරතව සිටින්නේත් අගතිගාමී සහ පීඩිත ව්‍යුහ පවත්වාගෙන යන ජනප්‍රිය දේශපාලන ක්‍රිකාරීත්වයක බව පෙනී යයි.
ධුරාවලි
අන් සියලු රාජ්‍ය ආයතනගත ව්‍යුහ ආකාරයටම මෙවැනි කණ්ඩායම් තුළත් ධුරාවලීන් ඇත. වෙනසකට ඇත්තේ, මෙම විකල්ප කණ්ඩායම්වල පොරොන්දුව බලය මත පදනම්වූ ධුරාවලීන් රහිත සමාජයක් ගොඩනැගීම වීමයි. එවැනි පොරොන්දුවක් දෙන මෙම කණ්ඩායම් තුළ පවතින බල ධුරාවලි වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයක පවතින බල ධුරාවලිවලින් වෙනස් වන්නේ නැති තරම්ය. මොවුන් තම දේශපාලන ව්‍යාපාර පදනම් කරගන්නේ බටහිර ආනයනය කළදැනුම මතය. ඒ අනුව, මෙම කණ්ඩායම් හොඳින් කියවා ඇති සාමාජිකයින් කෙරෙහි විශාල ලැදියාවක් දක්වයි. තම අභ්‍යන්තර කවවලට ඇතුළත් කරගන්නේ, හොඳින් කියවා ඇති සාමාජිකයින්ය. කියවා සහ ලියා ඇති දේ අනුව ඔවුන් මිනිසුන් වර්ග කරන අතර” ප්‍රසිද්ධියේ එසේ ඇසීමට ද පැකිලෙන්නේ නැත. මෙවැනි කොටස්” සාක්ෂරතාව නොමැති හෝ අධිපතිවාදී කතිකාව අනුව “අධ්‍යාපනය නොලැබූ” කණ්ඩායම් සමඟ වැඩ කිරීමේදී පවත්වාගෙන යන ධුරාවලිය ගැන මෙයින් ඉඟි සපයයි. එමෙන්ම, ප්‍රධාන ධාරාවේ දේශපාලන අවකාශ මෙන්ම මේවා පුරුෂ අවකාශ වෙයි. එසේ නොවන අවස්ථාවල වුවත්” මේවා තුළ ක්‍රියාත්මකවන බල ධුරාවලිය පුරුෂාධිපත්‍ය ආකෘතිවලින් ගලවා ගැනීම ඉතාම අපහසු කාර්යයකි.
භාෂාව
මෙම විකල්ප කණ්ඩායම්වල භාෂාව අතිශය විදග්ද එකක් වෙයි. මෙම කණ්ඩායම්වලටම සුවිශේෂී වූ එම භාෂාව හරහා මහා සමාජයේ දැනටමත් පවතින බල ධුරාවලි තව තවත් ශක්තිමත් කරන අතර” ඒ බල ධුරාවලි තුළ සහභාගී වෙමින්” එම බල ධුරාවලි නඩත්තු කරයි. ඒ භාවිතකරන භාෂාව හරහා
“දැනුම” හා “සාක්ෂරතාව” කෙරෙහි අසීමිත බලයක් ලබා දී ඇත. මෙසේ “දැනුම” හරහා ගොඩනඟන පීඩාකාරී ප්‍රචණ්ඩ ව්‍යුහය තුළ සිදු කරන්නේ, “දැනුම නැති” යැයි මහා සමාජයේ ස්ථාපිත අධ්‍යාපන පද්ධතිය විසින් හඳුනා ගන්නා ජන කොටස් එම විකල්ප දේශපාලන කණ්ඩායම්වල න්‍යෂ්ටිය බවට පත්වීම වළකා දැමීමයි. මෙවැනි විකල්ප දේශපාලන කණ්ඩායම් සිදු කරන්නේ, දැනටමත් සටන්කරන ජන සමූහයකට හේත්තු වී, අධිපතිවාදී පාලකයින් සමඟ ගණුදෙනු කරන මැදිහත් කරුවන් බවට පත්වීමයි. ඒ හරහා කිසිඳු අරගලයක සැබෑ ලෙස සහභාගී නොවන මොවුන් දැනටමත් පවතින අරගල වලට අයිතිය කියා පාමින් ඉතාම තක්කඩි දේශපාලනයක නිරත වෙයි. යම් මොහොතක අධිපතිවාදී “දැනුම නැති” ජන කොටස්වල අරගල වෙනුවෙන් මෙම කණ්ඩායම් පෙනී සිටියත්” තමුන්ගේ පටු තක්කඩි වුවමනාවන් උදෙසා මිස මිනිසුන් දිනවීම උදෙසා නොවේමය.
විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?
මෙවැනි කණ්ඩායම් පවත්වාගෙන යන ඇතැම් පුද්ගලයින්” මෙවැනි කණ්ඩායම් කිහිපයකම සාමාජිකයින්ය. මෙවැනි ඇතැම් විකල්ප දේශපාලන කණ්ඩායම් ඇතිවන්නේ යම් ප්‍රශ්නයක් මතු වූ විටයි. ප්‍රශ්නයක් දීර්ඝ කාලීනව පවතින සමාජ ව්‍යුහය හා බැඳුනු දෙයක් ලෙස සලකා ඒ සමඟ ගනුදෙනු කිරීම වෙනුවට, යම් ප්‍රශ්නයක් මතු වූ විට “දන්නා හඳුනන” කිහිප දෙනෙකු එකතුවී සාදාගන්නා මෙවැනි සාමුහික නව ලිබරල්වාදයේ ලක්ෂණයක් බවට පත්ව ඇත. ජනතා ව්‍යාපාර වෙනුවට නව ලිබරල්වාදය විසින් ඉල්ලා සිටින්නේ මෙවැනි හතු පිපෙන්නා මෙන් ඇතිවී” හතු පරවෙන්නා මෙන් නැතිවී යන ව්‍යාපාරය. මෙවැනි ව්‍යාපාර කිසිදා අරගල සිදුනොකරන අතර” අරගල සිදුවන නොවන මායා ලක්ෂයක නිරන්තරවම ස්ථානගත වෙයි. එවැනි ලක්ෂයක ස්ථානගතවීම පහසු වනවා පමණක් නොව, ධනවාදය තුළ තම වාම “ව්‍යාපාරය” (වෙළඳ අර්ථයකින්) පවත්වාගෙන යා හැකි වන්නේ ත් එසේය. අරගලය සිදුවන්නේත් නැත” නොවන්නේත් නැත!
මේ තත්ත්ව තුළ විකල්ප දේශපාලනය ප්‍රගතිශීලි වන දවස එන තෙක් මා බලාපොරොත්තුවෙන් සිටිමි.
(කාටූනය ඩේලි මිරර් වෙතිනි)