Slave in a Palanquin: Colonial Servitude and Resistance in Sri Lanka (දෝලාවක නැගුනු වහලෙක්: ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ වහල්කම සහ ප්‍රතිරෝධය). නිරා වික්‍රමසිංහ. නිව් යෝක්: කොලොම්බියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2019. පිටු: 312. ISBN 9780231197632. මිල: ඇමරිකානු ඩොලර් 35.00 (ඝන කවරය සහිතව)
———
විමර්ශනය: අනුශ්කා කහදගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය
නිරා වික්‍රමසිංහ තම නවතම කෘතිය වන, Slave in a Palanquin: Colonial Servitude and Resistance in Sri Lanka හරහා කලාතුරකින් අධ්‍යයනය සඳහා විෂය වූ ඉන්දියානු සාගර කලාපයේ වහලුන් බවට පත්කරන ලද පුද්ගලයින්ගේ ඉතිහාසය සාකච්ඡාවට බඳුන් කරයි. මෙම කලාපය තුළ දේශ සීමා හරහා සංචාරයේ යෙදුණේ තම අභිලාශය මත සැරිසැරූ සංචාරකයින්, ගවේෂකයින්, ආක්‍රමණිකයන්, වෙළෙඳුන් හෝ ආගමික චරිත පමණක් නොවන අතර, තම ජීවිත පිළබඳ විස්තර විධිමත් ඉතිහාස ආඛ්‍යානවලින් නෙරපා හරිනු ලැබූ සහ බලහත්කාරයෙන් විවිධ ප්‍රදේශ වෙත නැව්ගතකළ ‘වහලුන්’ ද මේ පිරිසට ඇතුළත් වෙයි. ඔවුන්ගේ ඉතිහාසයන් යම් එක් භූගෝලීය ප්‍රදේශයකට පමණක් සීමා නොවේ. එම ඉතිහාසයන් ඔවුන් මුලින් ම ජීවත්වූ ප්‍රදේශ සමග බැඳී ඇති ප්‍රජා ඉතිහාසයන් මෙන්ම ඔවුන්ව බලහත්කාරයෙන් ගෙනවුත් අත්හරිනලද ප්‍රජාවන්ගේ ඉතිහාසයන් සමග ද සම්බන්ධ වෙයි. එනයින්, ඔවුන්ගේ අක්මුල් යම් ප්‍රදේශයකට පමණක් සීමා නොවේ. එමෙන්ම, VOC නැතහොත් ලන්දේසි නැගෙනහිර-ඉන්දියානු සමාගමමේ නැව් ජාලය තුළ, වහල්භාවයට පත්වූවන් වෙනත් ප්‍රදේශවලට ගෙනයන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සංක්‍රාන්තික අවකාශයක් වශයෙන් වැදගත් වූ බැවින් මෙරට වහලුන්ගේ ජීවිතවලට ද බෙහෙවින් කේන්ද්‍රීය වූ බැව් කිව යුතුය. එබැවින්, මෙම කතාවේ තීරණාත්මක සන්ධිස්ථානයක ශ්‍රී ලංකාව ආස්තානගත වෙයි. මෙම ග්‍රන්ථය රජවරුන්, බිසෝවරුන් හෝ වරප්‍රසාද ලත් ජන කොටස් පිලිබඳ ලියන ලද සරල ආඛ්‍යානයක් නොවේ. එය වහල් භාවයට පත්කරන ලද පිරිස සමූහයක් හෝ ප්‍රවර්ගයක් හෝ ලෙස සලකා ලියන ලද පොතක් ද නොවේ. ඒ වෙනුවට කතුවරිය උත්සාහ කරනුයේ, වහල් භාවයට පත්කරන ලද පුද්ගලයින්ගේ ආඛ්‍යාන කිහිපයක් වෙන වෙනම ගෙන සුවිශේෂී ලෙස ඉදිරිපත් කිරීමටයි. වහල් භාවයට පත්කරනලද පුද්ගලන් පිළබඳ ආඛ්‍යාන ගොනු කිරීම බෙහෙවින් අපහසු කාර්යයක් වන්නේ, ඒවා එම පුද්ගලයින් විසින් නොලියන ලද ඒවා වීම නිසා පමණක් නොව, ඔවුන් පිලිබඳ දැනටමත් පවතින වාර්තා එම පුද්ගලයින්ට පසමිතුරු ලෙස ගොඩනැගී තිබීම ද නිසාය. එබැවින් මෙම පුද්ගලයින් පිලිබඳ අසම්පුර්ණ ආඛ්‍යාන විවිධ මුලාශ්‍ර පුරා විසිරී ඇති අතර, ඒවා එකට ගොනු කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතු වේ. එක් අතකින්, මෙම පොත එහි ශක්තිය හා එහි මූලික ක්‍රමෝපායික ප්‍රවේශය යන දෙකම උකහා ගන්නේ මෙම අසම්පුර්ණ ආඛ්‍යාන හරහා යයි කීම සාවධ්‍ය නොවේ.
ඉන්දියානු සාගර කලාපයේ පැවති වහල් භාවය පිලිබඳ ආඛ්‍යාන බොහෝ විට මතු නොවන්නේ, වහල් භාවය ජනප්‍රිය කතිකාව තුළ නිරන්තරවම ‘කලු ජාතිකයින්’ සමඟ පුරුද්දා ඇති බැවිනි. ශ්‍රී ලංකාව තුළ වහල් භාවයේ ඉතිහාසය යටත් විජිත මෙන්ම පූර්ව යටත් විජිත සමය දක්වා දිව යයි. කෙසේ වෙතත්, මේ පොත ශ්‍රී ලාංකික ‘වහලුන්’ කෙරෙහි අවධානය යොමු කරන බව වරදවා වටහා නොගත යුතු අතර, එවැනි ප්‍රවර්ගයක් ස්ථාපිත කිරීම අපහසු කාර්යයක් වන්නේ, පුද්ගලයින් වහල් භාවයට පමුණුවන ලද ආකාරය පිළබඳ ඉතිහාසයන්, වාර්තාකරණය තුළ මකා දමා ඇති බැවිනි. ඒ වෙනුවට වික්‍රමසිංහ වහල් භාවයට පත්ව, ශ්‍රී ලංකාව තුළ ජීවත්වූවන් වෙත අවධානය යොමු කරයි. එවන් වහලුන් මෙරටට ලොව නොයෙකුත් ස්ථානවලින් පැමිණි අය වූහ. ‘වහල්භාවය’ සහ ‘කළු’ යන සංකල්ප ලාංකේය ජන විඥානය තුළ විපරිවර්තනයට ලක්වූ ආකාරය සහ දිවයින හා සම්බන්ධ වහල් වෙළඳාම, වහල් භාවය පිළිබඳ කතිකාවලින් අතුරුදහන් වූයේ කෙසේද යන්න පිළිබඳව ඇය සාකච්ඡා කරයි. යටත් විජිත සමයේ මුල් කාලීනව, ‘සුදු’ නොවන සියලුම ප්‍රජාවන් ‘කළු’ ලෙස හඳුනාගෙන තිබුණි. කෙසේවෙතත්, අවසානයේදී, ‘කළු’ යන්න අප්‍රිකානුවන් හැඳින්වීමට පමණක් සීමා වූ විට, වහල් භාවයට පත්වන්නන් අප්‍රිකානුවන් පමණක් ලෙස සංවාදයක් ගොඩනැගුනි. මේ සන්ධර්භය තුළ, වෙනත් භූගෝලීය ප්‍රදේශවල වහලුන් පිලිබඳ සංවාදය, වහල් භාවය පිලිබඳ කතිකාවෙන් අතුරුදහන් විය. 1723 දී ඔහුගේ වහලුන් විසින්, ලන්දේසි නිලධාරියෙකු කොළඹදී ඝාතනය කිරීමේ සිද්ධිය පළමු පරිච්ඡේදය සඳහා ප්‍රවේශය සපයයි. වහලුන්, නිල වාර්තා සහ ජනප්‍රිය කතිකාව තුළ ක්‍රමිකව ‘කලු ජාතිකයින්’ සමග සමපාත වීමට පටන්ගන්නා ආකාරය කතුවරිය මෙම පරිඡේදය තුළ සාකච්ඡා කරයි.
දෙවන පරිච්ඡේදය ආරම්භ වන්නේ එකම නැවක පටවන ලද කුළුබඩු, ලුණු, කෝපි සහ මිනිසුන්ගේ මිල සහිත වාර්තාවක් පිලිබඳ විස්තරයකිනි. වහලුන් ලෙස නම් කරන ලද මිනිසුන්ට ද, භාණ්ඩ සමඟ වෙළද මිලක් නියම විය. මෙම පරිච්ඡේදයෙන් වහල් භාවයේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු පිළබඳ විස්තර හෙළි වේ. මේ සිව්දෙනා අතර, 1820 දී තම අලුත උපන් දරුවා ඝාතනය කළ සෙලෙස්තිනා නමැති වහල් කාන්තාව; වහල් භාවයෙන් පලා යන අතරතුර මරදානේ දී ඝාතනයට ලක්වූ වැලන්ටයින්; තම නිදහස උදෙසා විශාල උද්ගෝෂණයක් කළ ගාල්ලේ දී විකුණන ලද ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ කාන්තාවක් සහ අසල්වැසියන් හා බ්‍රිතාන්‍ය නිලධාරියෙකු විසින් බේරාගනු ලැබූ අරාබි වහල් වෙළඳපොළක් වෙත රැගෙන යාමට තැත්කළ කුඩා දරුවෙක් යන්නවුන් ඇතුළත් වේ. වහල් භාවයට පමුණුවනු ලැබූ පුද්ගලයින්ට ප්‍රචණ්ඩත්වය අමුතු දෙයක් නොවීය. එය ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් විය. කතුවරිය ඔවුන්ගේ ජීවිත පිළබඳව නොයෙකුත් ස්ථානවල විසිරී තිබූ ආඛ්‍යාන කොටස් එක්කොට, ඒවා වරප්‍රසාද ලද්දවුන් පිලිබඳ සහ ඔවුන් උදෙසා ලියවී ඇති ලිඛිත ඉතිහාසයන් තුළ අන්තර්ගතව ඇති ආකාරය සාකච්ඡා කරයි.
තුන්වන පරිච්ඡේදය ආරම්භ වන්නේ යාපන අර්ධද්වීපයේ සිටි තරුණ වහලෙකු තම ස්වාමියාගේ දෝලාවේ නැගී ගමන් කිරීමෙන් පසුව ඔහුට විඳින්නට සිදුවූ දඬුවම පිලිබඳ සඳහන් කිරීමෙනි. දෝලාවේ නැඟී ගමන් කිරීම යන මෙම ක්‍රියාව පිළබඳව යටත් විජිත බ්‍රිතාන්‍ය නිලධාරීන් අතර පමණක් නොව, යාපනයේ ඉහළ කුල සමාජය තුළ ද සංවාදයක් ගොඩනැගුණි. දඬුවමෙහි නිත්‍යානුකූල භාවය පිලිබඳ නීතියේ අර්ථ නිරූපණය මත පදනම්ව විවාදයක් ගොඩනැඟුන ද, දඬුවමක් ලබා දීම කෙතරම් දුරට සදාචාර සම්පන්න ද යන්න පිළිබඳ කිසිදු සංවාදයක් ඇති නොවීය. ඉහත සඳහන් කළ කතාවට අමතරව, යාපනය අර්ධද්වීපයේ වහල් භාවයට එරෙහි ප්‍රතිරෝධය දැක්වීම් කිහිපයක් පිලිබඳව ද කතුවරිය සඳහන් කරයි. තමාට ඇතුළුවීමට තහනම් වූ නල්ලූර් කෝවිල ඉදිරිපිට ආභරණවලින් සැරසී උජාරුවෙන් සිටි පවුලක් පිළබඳ කතාව, තම දරුවා ලියාපදිංචි නොකළ ගෙහිමියාට විරුද්ධව නඩු දමා ඔහුව උසාවි ගෙන ගොස්, තම දරුවා වහල් භාවයෙන් මුදවා ගත් කාන්තාවගේ කතාව ආදිය ඒ අතර වැදගත් වෙයි. මෙවැනි වහලුන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිරෝධී ක්‍රියාවන් පිළිබඳ බොහෝ ආඛ්‍යාන කතුවරිය ගෙනහැර දක්වයි.
සිව්වන පරිච්ඡේදය වෙන්වන්නේ ඊනියා හලාවත ‘අත්හදා බැලීම’ සඳහාය. මෙම ව්‍යාපෘතිය යටතේ යාපනය ප්‍රදේශයේ සිටි ඇතැම් වහලුන්ගේ නිදහස යටත් විජිත රජය විසින් මිලදී ගන්නා ලද අතර, නැවත යාපනය වෙත පැමිණීමෙන් පසු ‘නිදහස්’ කිරීමේ පොරොන්දුව මත ඔවුන්ව හැතැප්ම සිය ගනණක් දුරින් පිහිටි හලාවත ප්‍රදේශයේ ඇළ මාර්ගවල සහ අන් පොදු වැඩ සඳහා යොදවන ලදී. මේවා විශාල ලෙස ශ්‍රමය වැයකළ යුතු සේවා විය. යටත් විජිත රජය විසින් හඳුන්වා දෙන ලද මෙම ක්‍රමය පැවති වහල් ක්‍රමයෙන් වෙනස් වූයේ අල්ප වශයෙනි. එමෙන්ම නැවත යාපනයට පැමිණි පසු මොවුන්ට සම්පුර්ණ නිදහස නොලැබුණේ, නිදහස යනුවෙන් කුමක් අදහස් කරන්නේ ද යන්න යටත් විජිත රජය විසින් දැනුම් දී නොතිබුණු බැවිනි.
පස්වන පරිච්ඡේදය ආරම්භ වන්නේ, කොළඹ කුඩා මුස්ලිම් ප්‍රජාවක ජීවත් වූ පකීර් පුල්ලේ රාවෝතන් නම් පුද්ගලයෙකු තම පුතාගේ චර්ම ඡේදනය සඳහා කොළඹ දිස්ත්‍රික් මුස්ලිම් මුලාදෑනියාගෙන් අවසර ඉල්ලා සිටීමත්, මුස්ලිම් ප්‍රජාවේ ඇතැම් කොටස් මෙම ඉල්ලීමට විරෝධය දැක්වීමත් පිලිබඳ වූ සිද්ධියකිනි. මෙම කොටස එසේ විරෝධය දැක්වූයේ පකීර් පුල්ලේ රාවෝතන් ට ‘වහලුන්’ සමග තිබූ ඥාතීත්වය හුවා දක්වමිනි. මොවුන්ට අනුව, චර්ම ඡේදනය කළහැකි වූයේ ගෞරවාන්විත මුස්ලිම් ජාතිකයෙකුට පමණක් වූ අතර, රාවෝතන් ඒ ගණයට අයත් වූයේ නැත. 1820දී කොළඹ ජීවත් වූ මුස්ලිම් ප්‍රජාවේ සන්දර්භය තුළ ආස්තානගත කරමින් කතුවරිය මෙම සිද්ධිය විශ්ලේෂණය කරයි. පසුව පකීර් පුල්ලේ රාවෝතන්, මුස්ලිම් ප්‍රජාව තුළ තමාට නැතිව ගොස් තිබූ ගෞරවය ලබා ගැනීම සඳහාත්, යටත් විජිතය තුළ අනෙක් වැසියන් හා සමානව සැලකුම් ලැබීමට ඇති අයිතිය සඳහාත් සිදුකළ අරගලය කතුවරිය විග්‍රහ කරයි.
අවසාන පරිඡේදය වෙන්ව ඇත්තේ, ශ්‍රී ලංකාවේ වහල්භාවය ‘මර්ධනය කරන ලද මතකයක්’ බවට පත් කිරීමට හේතු සහ ඒ හා බැඳුණු තත්ත්ව විග්‍රහ කිරීමට මෙන්ම, දිවයිනේ වහල් භාවය පිළිබඳ ආඛ්‍යානය ‘කෆීර්’ ප්‍රජාව සමඟ පමණක් සම්බන්ධ වීමට හේතු විශ්ලේෂණය කිරීමටත් ය. කතුවරියට අනුව, 19 වන සියවසේ වඩාත් වෙන් වෙන් වශයෙන් සිය අනන්‍යතාවන් ගොඩනගා ගත් ජනවාර්ගික ප්‍රජාවන්, තම ප්‍රජාව පාරිශුද්ධ භාවයට ඔසවා තැබීමේ උත්සාහයක් ලෙස දිවයිනේ වහල්භාවයේ ඉතිහාසයන් සාමූහික මතකය තුළින් මකා දැමීමට කටයුතු කළා විය හැකිය. එනම්, තම තමන්ගේ අනන්‍යතාවන් පිළිබඳ ඉතිහාසයන් තුළින් ඒවා සමග සම්බන්ධ වී තිබූ වහල් බව පිළිබඳ මතකයන් ඉවත් කිරීමය.
මානව අවකාශයන්ගෙන් වෙන්කරන ලද පුද්ගල ඉතිහාසයන් කරළියට ගෙනඒමට කතුවරිය සමත් වෙයි. ප්‍රධාන ධාරාවේ ඉතිහාස ආඛ්‍යාන විසින් අමතකකර ඇති මෙම ඉතිහාසයන් සහ පුද්ගල පෞරුෂවලට නැවත පණදෙන්නට කතුවරිය සමත් වෙයි. මිනිසුන් වහල්භාවට පත් කරනු ලැබුවේ විදේශික පිටස්තරයින් පමණක් නොව, ඔවුන්ගේ ප්‍රජාවේම වරප්‍රසාදලත් පුද්ගලයින් ද විසිනි. හුදු සමජාතීය ප්‍රජාවක් ලෙස නොව, විශේෂිත පෞරුෂ සහිත අතිශය ගැටලුකාරී තත්ත්ව තුළ ජීවත්වීමට නිරන්තරයෙන්ම උත්සාහ දැරූ පුද්ගලයින් ලෙස මොවුන් ඉතිහාසයට එක් කිරීමට කතුවරිය සමත් වෙයි.