~ සසංක පෙරේරා
දිලුම් අමුණුගම යන දේශපාලන නායකයා මෙරට ජනාධිපතිවරයා ගෝලීය යුද අපරාධකරුවෙක් වන ඇඩොල්ෆ් හිට්ලර් මෙන් විය යුතු යැයි මෑතකදී ප්‍රසිද්ධියේ පවසා තිබුණි. එය ඔහු ඉදිරිපත්කර තිබුනේ හුදෙක් ඔහුගේ අදහසක් පමණක් වශයෙන් නොව, සමස්ථ මහජනතාව ද වෙනුවෙනි. වඩාත් පැහැදිලිව ඔහු පවසා තිබුනේ, මහජනතාව විසින් ජනාධිපතිවරයාව තම ඡන්දයෙන් පත්කරගත්තේ ඒකාධිපතියෙකු සේ වැඩකිරීමට බවත්, අවශ්‍ය වැඩකටයුතු සාර්ථකව කරගෙන යාමට නොහැකි වුව හොත්, ඔහු හිට්ලර් කෙනෙකු වියයුතු බවත්ය. මේ අදහස් දෙකම අතිශයින් ගැටලුකාරී බව පැහැදිලිවිය යුතුය. මා දන්නා බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාට චන්දය දුන්නේ ඔහු ඒකාධිපතියෙකු කරන්නට හෝ හිට්ලර් කෙනෙකු කරන්නට හෝ නොවේ. ඔවුන් ඔහුව බලයට පත්කර ගත්තේ, තම බලාබොරොත්තු ඉටුකර ගැනීමට හා රට සංවර්ධනය කිරීමටය. මේ පුළුල් බලාපොරොත්තු දෙකට සිදුවී ඇත්තේ කුමක්ද යන්න වෙනමම සලකා බැලිය යුතු කාරණයකි. කෙසේ වෙතත්, නාමිකව හෝ ප්රජාතන්ත්රවාදී යැයි කියාගන්නා රටක මහජන ඡන්දයෙන් බලයට පත්වන්නෙකු ඒකාධිපතියෙකු හෝ හිට්ලර් කෙනෙකු වියයුතු යැයි ප්‍රසිද්ධියේ සිහින දැකීම අතිශයින් භයානක දෙයකි.
ලංකාවේ පාර්ලිමේන්තුව වැනි ඉතාමත් අඩු අධ්‍යාපන, බුද්ධිමය සහ දේශපාලන සාක්‍ෂරත්වය නියෝජනය කරන ආයතනයක් විසින් ලබාදී ඇති බලය යටතේ ක්‍රියාත්මක වන නායකයෙකු මෙවන් බුද්ධිවිරෝධි කියමනක් ප්‍රසිද්ධියේ ප්‍රකාශකිරීම අස්වාභාවික දෙයක් නොවේ. මන්ද, අමුණුගම මහතා හා එවන් අන් ඊනියා මහජන නියෝජිතයන්ගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ මෙපමණක් බව අප බොහෝ දෙනා මැනවින් දන්නා නිසාය.
නමුත් වඩාත් භයානක වන්නේ, මේ ගැටලුකාරී ප්‍රකාශයට විශාල මහජන එකඟතාවක් තිබීමය. එනමුත්, මෙරට ජනතාව හිට්ලර් සරණ යන්නට පටන්ගත්තේ අද ඊයේ සිට නොවේ. දෙවන ලෝක සංග්‍රාමයේ මුල් වකවානුව තුළ ද මෙරට යම් දේශපාලන කණ්ඩායම් තුළ හිට්ලර් විරුවෙකු බවට පත්විය. මෙය වඩාත් පැහැදිලිව දැකගත හැකි වූයේ ඒ.ඊ. ගුණසිංහා මහතාගේ කම්කරු ව්‍යාපාරයේ සටන් පාඨ තුළය. ‘වීරයා’ පුවත්පතේ ඇතැම් ලිපි හා කාටුන් ඔස්සේ මේ අදහස වඩාත් උද්ධීපනය කරන ලදී. ඒවා මගින් බොහෝ විට හිට්ලර් හැදින්වූ යේ ‘නව ජර්මනියේ විරුවා’ වශයෙනි. මේ තත්ත්වය මතු වූ එක් පදනමක් වූයේ එමගින් එවකට නැගී එමින් තිබූ බ්‍රිතාන්‍ය යටත්විජිත විරෝධී හැඟීම්ය. එම හැඟීම්වලට එක් අවකාශයක් හිට්ලර්ගේ බ්‍රිතාන්‍ය විරෝධී ස්ථාවරය විසින් සපයන ලදී. අන් පදනම වූයේ, හිට්ලර් සහ නාසි පක්ෂය විසින් ගොඩනැගූ ආර්ය-ජාතික වර්ගවාදී මිත්‍යාව මෙරට ප්‍රචලිතව තිබූ, බ්‍රිතාන්‍ය ප්රාචීනවාදීන් දායාද කළ ආර්ය ආඛ්‍යානය සමග මතුපිටින් ගලපාගැනීමය. කෙසේ වෙතත්, 1930 පමණ සිට 1940 ගණන් දකවා සිදුවූ මේ හිට්ලර් වන්දනාව ඔහුගේ සහ නාසි ජර්මනියේ මානවවිරෝධි අපරාධ ලොව පුරා ප්‍රචලිත වීමත් සමගම මුළුමනින්ම පාහේ මිලින වී ගිය බව පැහැදිලිය.
දැන් මේ මතු වී ඇත්තේ මේ පැරණි වන්දනාවේ නව විකසිතවීමකි. එය මතුවන්නේ හිට්ලර්ගේ සාපරෝධි ඉතිහාසය බොහෝ දුරට අමතක වී ගොස් ඇති, ලංකාවේ අධ්‍යාපනය අයාලේ ගොස් ඇති සහ ලංකාවේ දේශපාලන අවකාශය මූලික වශයෙන් බුද්ධිවිරෝධී තත්ත්වයකට පත්වී ඇති අවස්ථාවකය. මේ තත්ත්ව තුළ හිට්ලර් ලංකාවේ දේශපාලන කතිකාවේ ඇතැම් අංශ තුළ ප්‍රතිනිර්මාණය වී ඇත්තේ, තීරණ ගැනීමට බිය නොවූ අසහාය නායකයෙකු ලෙසිනි. ඒ ප්‍රතිනිර්මාණය තුළ යුදෙව් සංහාරය ඇතුළු ඔහුගේ සාපරාධී ක්‍රියා සියල්ලම අමතක කර දමා ඇත.
මෑත කාලීනව මේ හිට්ලර් වන්දනාව ප්‍රසිද්ධ කතිකාවට එක්කළේ, අස්ගිරිය පාර්ශ්වයේ වෙඬරුවේ උපාලි හිමියන් විසිනි. ඒ 2018 දීය. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වන්නට පෙර සිටම උන්වහන්සේ පැවසුවේ, මහජනතාව ඉල්ලා සිටින නිසා, රටේ උන්නතිය සඳහා රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු විය යුතු බවයි.
අමුණුගම මහතා මේ ඉදිරියට ගෙන යන්නේ මේ ගැටලුකාරී දේශපාලනික ප්රවණතාවයි. මේ ප්‍රසිද්ධ ප්‍රකාශය කළ විගසම ලංකාවේ ජර්මන් තානාපතිවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ පැවසුවේ, හිට්ලර් වැනි අපරාධකරුවෙකු කිසිම දේශපාලන නායකයෙකුට උදාහරණයක් නොවිය යුතු බවයි. මේ ප්‍රතිචාරයට එක් හේතුවක් වන්නේ, හිට්ලර්ගේ සහ නාසි පක්ෂයේ සාපරාධී අතීතය ජර්මන් අධ්‍යාපන ක්‍රමය තුළින් මෙන්ම සාමාන්‍ය දේශපාලන කතිකාව තුළ ද නිරතුරුවම යාවත්කාලීන කරන නිසාය. ඊට හේතුව, වෙවන් සාපරාධී දේශපාලනයක් එරට හෝ යුරෝපයේ නැවත මතුනොවන්නට ඇති වුවමනාවය. ලංකාවේ සිදුනොවන්නේ ද මෙයමයි. ජර්මන් තානාපතිවරයාගේ මැදිහත්වීමට විරුද්ධව සමාජ ජාලා තුළ මතු වී ඇති විරෝධයේ ඇතැම් සටන් පාඨවලින් පවසන්නේ ඔහු ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි නොගැසිය යුතු බවත්, යුදෙව් සංහාරය හැර හිට්ලර් විසින් ජර්මනියේ සංවර්ධනයට කළ සේවය ඔහු නොදන්නා බවත්, තත්කාලීන ජර්මනියේ පදනම ගොඩනැගුවේ හිට්ලර් බවත් වැනි ප්‍රලාපය. මේ සියල්ලෙන්ම පෙනේන්නේ අමුණුගම මහතා වැනි අපගේ දේශපාලන නායකයින් තුළ මෙන්ම බොහෝ සාමන්‍ය ජනතාව තුළ ද ලෝක ඉතිහාසය සහ ගෝලීය දේශපාලනය පිළිබඳ ඇති අතිශයින් මන්දපෝෂිත දැනුම සහ එනිසාම ඔවුන් විසින් එළඹෙන අතිශයින් ගැටලුකාරී හා ආචාර්ධර්මවිරෝධී ස්ථාවරයන්ය.
“හිටලර් සරණං ගච්චාමි” යන නව ලාංකේය දේශපාලනික ගාථාවේ අවසාන යථාව කුමක් ද? හිටලර් සරණ යමින්, මෙරට ජනාධිපතිවරයා ද එසේම වියයුතු යයි පවසන මහජනතාවගේ සහ ඔවුන්ගේ නායකයින්ගේ සිහින ඉටුවුවහොත්, අනාගතයේදී ලංකාවට ලැබෙන්නේ කුමක්ද? අපගේ අනාගතය රටම බංකොලොත්කරන, ඍජු විදේශීය මැදිහත්වීම්වලට අවකාශ විවරකරන, සමූහ-ඝාතක නායකත්වයක් හා ආණ්ඩුවක් ද? ඉතිහාසය විසින් අපට පෙන්වා දී ඇත්තේ, හිට්ලර් විසින් ජර්මනිය සහ ලෝකය සම්බන්ධයෙන් සිදුකර ඇත්තේ නම් මෙය බවයි.
අවශ්‍යවන්නේ හිට්ලර් කෙනෙකු නම්, අනාගතය මෙය මිස අන් කිසිවක් විය නොහැක.