Skip links

මතවාදී පරිණාමය, පඨිත කියවීම, ස්ථානගතකිරීම සහ ස්ථානගත වීම: ධර්මපාල සහ ඔබේසේකර

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

මෙම කෙටි ලිපිය ලිවීමට හේතු වූයේ, මෑතකාලීනව සමාජ මාධ්‍ය තුළ විවාදයට ළක්ව ඇති අනගාරික ධර්මපාල තු​මා සොයා යාමේ කතිකාවයි. සිංහල ජාතිකවාදී කඳවුර විසින් අනගාරික ධර්මපාල තු​මා ඊනියා ‘සම ලිංගිකත්වයෙන්’ මුදවා ගැනීමේ විශාල පරිශ්‍රමයක් දරමින් සිටින බව පෙනීයන අතර, එහිදී මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ එක් රචනය​ක් මේ කරුණ සමඟ සම්බන්ධ කරමින් විවේචනයට ළක්කරනු දැකිය හැකි විය. අනිත් කඳවුර විසින්, එනම් නිර්-ජාතිකවාදී ලිබරල් කඳවුර විසින් නිරන්තරවම උත්සාහ කරනු ලබන්නේ අනගාරික ධර්මපාල තු​මා ජාතිකවාදී කඳවුර වෙත ලඝු කිරීමටය. මේ කාර්ය දෙකම මා නම් දකින්නේ, සමාජ මානව විද්‍යා දැනුම නිෂ්පාදනය කරන්නන් හා භාවිත කරන්නන් විසින් ඉතාම පරිස්සමෙන් කළයුතු කාර්යක් බවයි. අවාසනාවන්ත ලෙස, අපට කෙසේ හෝ ගනුදෙණු කිරීමට සිදුව තිබෙන්නේ මෙම බුද්ධිමය කණ්ඩායම් දෙක සමඟය. අනගාරික ධර්මපාල තු​මා ජාතිකවාදීද, එසේ නොවන්නේද, ඔහු සමලිංගිකයෙක්ද යන කරුණු මෙම ලිපිය තුළ මා විසින් සාකච්ඡා නොකරන බව කිව යුතුය. එසේ සාකච්ඡා නොකරන්නේ, එවැනි නිගමනවලට එළඹීම සඳහා ජීවිත කාලයක පර්යේෂණ අවශ්‍ය බව මා විශ්වාස කරන බැවිනි. ඒ වෙනුවට, මා විසින් මේ කෙටි ලිපිය තුළ අවධානය යොමු කරන්නේ චින්තනයේ පවතින ඛණ්ඩනය පිළිබඳවය.

අනගාරික ධර්මපාල තු​මා

එකම පුද්ගලයාගේ බුද්ධි ලෝකය, විවිධ සමාජ, ආර්ථික සහ දේශපාලන සන්දර්භවලින් ව්‍යුක්ත යමක් නොවන අතර, එය පරිණා​මීය මොහොතක් ලෙස විශ්ලේෂණය කිරීමෙන් වඩාත් සියුම් කියවීමකට යා හැකි බව මාගේ අදහසයි. ධර්මපාල තු​මා ජාතිවාදියෙක් හෝ ජාතිකවාදියෙක් නොවේ යන රලු සහ ඉතාම ජනප්‍රිය ආකාරයේ විශ්ලේෂණයට ඒමට වඩා ඔබ්බට ගිය, වඩාත් සියුම් ආකාරයට ධර්මපාල තු​මාගේ ලෝකය කියවීම වටී. එසේ කියවීමේදී ධර්මපාල අදාළ දේශපාලන-ආර්ථික ව්‍යුහ තුළ, එනම් පරිණාමයට ළක්වන සමාජ-ආර්ථික-දේශපාලන ව්‍යුහ තුළ ස්ථානගත කිරීම වටින්නේය. ස්ටීවන් කෙම්පර් විසින් රචිත Rescued from the Nation: Anagarika Dharmapala and the Buddhist World කෘතිය තුළ, ඔහු විසින් මූලිකවම කිරීමට බලාපොරොත්තු වන්නේ, ධර්මපාල තු​මා, ‘ජාතිය’ යන පටු විශ්ලේෂණයෙන් ඔබ්බට ගෙන ගොස්, වඩාත් ගෝලීය ආස්ථානයක පිහිටුවා කියවීමයි.

තවත් ශාස්ත්‍රඥයින් කිහිප දෙනෙක් අතර, ඔබේසේකර විසින් ධර්මපාල තු​මා කියවීම කෙම්පර් විසින් විවේචනය  කරන්නේ සරල ජාතිකවාදී විශ්ලේෂණයකින් ධර්මපාල තු​මා මුදවාගත යුතු බව දක්වමිනි. නමුත් කොළඹදී කෙම්පර්ට සවන් දීමෙන් පසු මා අවබෝධකරගත්තේ, කෙම්පර්ට එසේ කිරීමේ අයිතිය ලැබෙන්නේ මුළු ​ජීවිත කාලයක් ධර්මපාල තු​මා පිලිබ​ද ලිවී​ම සහ ඔහු​ගේ ජීවිතය අධ්‍යනය කිරීමෙන් පසුව බවයි. එමෙන්ම ධර්මපාල දිනපොත්, සිංහල බෞද්ධයා මෙන්ම ඔහු අතින් ඉංග්‍රීසි බසින් සංස්කරණය කරනලදThe Mahabodi and the United Buddhist World යන මුලාශ්‍ර පරිශීලනය කිරීමේදී, ඔහුගේ මතවාදය කාලානුරූපීව මෙන්ම තමා විසින් ආමන්ත්‍රණය කරන්නාවූ ජනතාව අනුවද වෙනස් වී ඇති බව පෙනීයයි. එමෙන්ම, ධර්මපාල තු​මා පිළිබඳ අදහස් දක්වා ඇති මහාචාර්ය ඔබේසේකර සමාජ වියමනක් කියවන ආකාරය පිළිබඳවත්, ඔහුගේ මුල්කාලීන ලිවීම්වලින් වෙනස් වන්නාවූ මෑත කාලින ලිවීම් තුළින්, ඔහුගේ මතවාදයේ සිදුවූ වෙනස්කම් පිළිබඳවත් අවබෝධකර ගැනීම වටින්නේය.  ඔබේසේකර විසින් 1976 දී ලියනලද, ‘Personal Identity and Cultural Crisis: The Buddhist reforms of Anagarika Dharmapala’  යන කෙ​ටි ලිපිය ආශ්‍රය කරගෙන ඔහුගේ අදහස් විවේචනය කිරීමට වඩා, ඉන් පසුව ඔහු විසින් තම ආස්ථානය වෙනස්කරගෙන ඇත්ද සහ එසේ වෙනස්කරගෙන ඇත්නම් ඒ කෙසේද යන්න වටහාගත යුතුවෙයි. මේ සියල්ල එසේ තිබියදී පවා මහාචාර්ය ඔබේසේකරයන්ගේ ආස්ථානය ප්‍රශ්න කරන්නේ නම්, එය කළයුත්තේ ඔ​හු​ට පරිභව කිරීමෙන් නොව,ඔ​හු ව​සි​න් ගෙනහැර දක්වනලද කරුණු විවාදාපන්න බව පෙන්වා දීම සඳහා අවශ්‍ය ප්‍රමාණික අධ්‍යයන කිරීමෙන් පසුවය. ඒ සදහා ගෝරනාඩු කිරීමෙන් පලක් නැත. පැහැදිලිවම, ඔබේසේකර ධර්මපාල තු​මා පිලිබද විශේෂඥක් නොවේ. ඔහු මේ ලිපිය සදහා යොදාගෙනෙ ඇති යටත්විජිත පොලිස් වාර්තා, ඒ වර්තාවල ස්වභාවය නිසාම ගැටලුකාරී වන නිසා, ඒවා පරිස්සමින් පාඨනය කළ යුතු බව පැහැදිලිය. එමෙන්ම, ධර්මපාල තු​මා සමලිංගිකද යන ප්‍රශ්නය පවා ඔහුගේ ඉතිහාසමය භූමිකාව තේරුම්ගැනීමේදී ප්‍රයෝජනාවත් නොවේ. තවද, මෙය ඔබේසේකරගේ රචනයේ ඇති කෙටි සදහනක් පමණි. මේ නිසා ඔබේසේකර විවේචනය කි​රීමේ පදනම විය යුත්තේ ඔහුගේ මූලාශ්‍ර හා ඒ මත පදනම් වූ අර්තකතන ව්‍යුහවිභාගනය කිරීම මිස ඒ පිලිබදව පදනමක් නැතිව තැන තැන කෑගැසීමෙන් නොවේ.

මහාචාර්ය ගණනාථ ඔබේසේකර

කෙසේ වෙත​ත්, ඔබේසේකර තමා විසින් ලියා ඇති දේ පදනම් වී ඇත්තේ කුමන ලේඛන මතද යන්න දක්වා තිබීමෙන්, ශාස්ත්‍රඥයෙකු සතුවිය යුතු අවංක සහ විවිනිද භාවය එම ලිවීම තුළ පවත්වාගෙන ඇත. මේ සියල්ල සළකා බැලීමෙන් පසු,  යමෙකු ඔබේසේකර කියවිය යුත්තේත්, ධර්මපාල කියවිය යුත්තේත්, පරිණාමයවන මතවාද ලෙස මිසක, පැතලි, රලු සහ නීරස ‘දෙනලද’ මතවාදයක් ලෙස නොවන බව මාගේ අදහසයි. එමෙන්ම එසේ කියවීමේදී, කියවන්නා වන තමුන්ද ආර්ථික-දේශපාලන සහ සමාජ සන්දර්භයක් තුළ ස්ථානගතවන බවත්, එයද නිරන්තරවම වෙනස්වීම්වලට ළක්වන බවත් තේරුම් ගැනීම වටී.

මහාචාර්ය ඔබේසේකර  විසින් යොදා ගන්නා ක්‍රම වේද වඩාත් බර වන්නේ සමාජ මනෝ විශ්ලේෂණවාදයටයි. කියවන්නා විසින් ඔබේසේකර නියමාකාරයෙන් ස්ථානගත නොකිරීමෙන් ඇතිවිය හැකි අගතීන් බොහෝය. මෙහිදී ‘නියමාකාරයෙන්’ යන්න සාපේක්ෂ බව මම දනිමි. නමුත් කර්තෘ නිර්ධය ලෙස ඝාතනය කිරීමට පෙර, කර්තෘ හැඳිනගැනීමේ උත්​සාහයක් හෝ දැරීම කියවන්නාගේ යුතුකමකි. එමෙන්ම,  ‘බටහිර ගැති’ යයි මහාචාර්ය ඔබේසේකර වෙත නඟන චෝදනාව අර්ථ විරහිත එකකි. 2012 වර්ෂයේදී ප්‍රකාශිත, ඔහුගේ The Awakened Ones: Phenomenology of Visionary Experience කෘතිය කියවීමේදී මට හැඟී ගියේ, බටහිර විසින් දෙනලද පඨිත කියවීමේ ක්‍රමවේදය ඔබේසේකර විසින් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, ඒ වෙනුවට පෙරදිග චින්තන ක්‍රම පර්යේෂණ ක්‍රමවේදයක් ලෙස ගෝලීය සමාජ මානව ක්ෂේත්‍රයට එක් කිරීමේ පර්යේෂණාත්මක වෑයමද ඔහු විසින් දරන බවයි.   නමුත් මේ පොත මෙරට බොහෝ දෙ​නා කියවා ඇතැයි මා සිතන්නේ නැත.

ක්‍ෂුද්‍ර ඉතිහාස විශේෂඥයෙකු වන කාර්ලෝ ගින්ස්බර්ග්  වරක් ප්‍රකාශකළ පරිදි, ඉතිහාසඥයෙකුගේ කාර්ය වන්නේ අපට මෙතෙක් කල් කියා දී ඇති දෙයෙහි ප්‍රතිපක්ෂය සමග ගනුදෙනු කිරීමයි. ඉතිහාසයේ මිනිසුන් වෙත අපට ඇති සමීපත්වය ව්‍යාජ එකක් වන අතර, එසේ වන්නේ ඔවුන් අපේ ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් ලෝකයක සිට පැමිණෙන බැවිනි. ඔබ ඔවුන්ගේ ලෝකය වඩ වඩාත් අධ්‍යයනය කරනවිට, ඔවුන් ඔබගේ ලෝකයෙන් කෙතරම් දුරස්ථද යන්න ඔබට වැටහෙනු ඇති බව ගින්ස්බර්ග් ප්‍රකාශ කරයි.

අවසාන වශයෙන්,  පඨිතයක් කියවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ වඩාත් සියුම්ව සිතා බැලිය යුතුය යන්න මගේ හැඟීමයි.  එය පුද්ගලයෙකු විසින් දරනලද මතයකට ලඝු කිරීමෙන් සිදුවන්නේ, ලෝකයේ සමාජ මානව විෂය විසින් අත්කරගන්නාලද ජයග්‍රහණ සියල්ල පසෙක දමා, පුද්ගලයා,  පඨිත හෝ ප්‍රපංච යනු අහසින් ප්‍රාදුර්භූත වූ ඒවා මෙන්ම ස්ථිතික ඒවාය   වඩාත් ජනප්‍රිය ආකාර සහ පටු කියවීමකට එළඹීම පමණි.

ReplyForward

Leave a comment

This website uses cookies to improve your web experience.