Skip links

අනගාරික ධර්මපාල තුමා පිළිබඳ  පුලුල් කියවීමක් 

Rescued from the Nation: Anagarika Dharmapala and the Buddhist World (ජාතියෙන් ගලවා ගත් පසු:  අනගාරික ධර්මපාල සහ බෞද්ධ ලෝකය). ස්ටීවන් කෙම්පර්. චිකාගෝ: චිකාගෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2015.  පිටු: 368. මිල; අමෙරිකානු ඩොලර් $69.95 (ඝන කවරය සහිතව). ISBN 9780226199078

___________

විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය 

ශ්‍රී ලංකාවේ සිංහල හා බෞද්ධ පසුබිමක හැදී වැඩුන අයෙකුට අනගාරික ධර්මපාල තුමා ( 1864-1933) කිසිවිටෙකත් මගහැරිය හැකි චරිතයක් නොවේ.  අප සියලු දෙනාම දෛනික සමාජානුයෝජනය තුළින් මැනවින් ඉගෙනගෙන ඇති පරිදි, එතුමා ශ්‍රී ලංකාවේ දහනව වන සියවස අගභාගයේ දී හා විසිවන සියවස මුල් භාගයේ සිදු වූ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප්‍රධානතම මතධාරියා මෙන්ම ක්‍රියාකාරියාද විය.  එනිසාම,   ශ්‍රී ලංකාවේ නූතන යුගයේ සිංහල  බෞද්ධ ප්‍රජාවට වඩාත් ම වැදගත්  සංස්කෘතික විරුවා වන්නේද ඔහුය. පශ්චාත් යටත් විජිත යුගයේ සිංහල හා දමිළ ප්‍රජාවන් අතර ඇතිවූ වාර්ගික විරසකය මගින්ද පසුකාලීනව වසර තිහක් මුළුල්ලේ සිදු වූ සිවිල් යුද්ධයෙන් ද සලකුණු කරන පසුබිම තුළ  එතතුමා බෙහෙවින් ගෞරවනීය ලෙස සිංහල බෞද්ධයින්ගෙන් පිදුම් ලබන අතර,  ජනවාර්ගික අන්‍යයන් එතුමාව දකින්නේ වාර්ගික කණ්ඩායම් අතර භේද ඇති කළ අයෙකු ලෙසිනි.  

එතුමා පිළිබඳව ලියවී ඇති සමාජයීය විද්‍යා ලිපි ලේඛන බොහෝමයකද ඔහුව නිරූපණය කර ඇත්තේ මේ දෙවන ආකෘතියට අනුව ය.   පැහැදිලිවම,  ඔහු දේශීය වශයෙන් දියත් කළ ඇතැම් දේශපාලනික ව්‍යාපාර  සම්බන්ධයෙන් ගත් කළ ද ඔහුගේ දේශීය දේශපාලනික වාග් විලාසයෙන් ද මේ ස්ථාවරය උද්දීපනය කිරීමට  තොරතුරු සපයයි. එනමුත්,  ධර්මපාල තුමා පිළිබඳව ගොඩනැගී ඇති මූලික වශයෙන් දේශීය වූ මේ දේශපාලනික-සංස්කෘතික තේරුම්ගැනීම හා ඔහුගේ දේශීය වාග් ප්‍රහාර පිළිබඳව ලියවී ඇති කතිකාවන් මගින් මූලික වශයෙන් ගොඩ නගන්නේ බෙහෙවින් සංකීර්ණ වූ පුද්ගලයකු පිළිබඳ අතිශයින් පාර්ශවික හා බොහෝ දුරට  අසම්පූර්ණ විස්තරයකි.

ස්ටීවන් කෙම්පර්   සිය කෘතියෙන්  නිවැරදිව පෙන්වා දෙන පරිදි,  මේ දේශීය සංස්කෘතික අර්ථගැන්වීම් මගින් මෙන්ම ධර්මපාල තුමා  පිළිබඳව ගනනාත් ඔබේසේකර, ‍රිචර්ඩ් ගොම්බ්‍රිච්, එස්. ජේ. තම්බයියා හා එච්. එල්. සෙනවිරත්න වැනි ශාස්ත්‍රඥයන්ගේ ලියවිලිවලින් ද පෙනී යන්නේ ධර්මපාල තුමාගේ සමස්ථ ජීවිතයෙන්  හා දේශපාලනයෙන් බොහෝ කේන්ද්‍රීය අංග කතිකාවට හසුකර්ගෙන් නොමැති බවයි (2015: 5-6). මේ ගැටලුව මතු වී ඇත්තේ මූලික වශයෙන් මෙකී කතිකාවන් ධර්මපාලගේ භූමිකාව අනවශ්‍ය ලෙස සිංහල “ජාතියේ” දේශපාලනය සමඟ සමීපව ගළපා ගැනීමට උත්සාහ දැරීම නිසාය.  මේ  අනුව, කෙම්පර් පවසන ආකාරයට,  “ධර්මපාල හුදෙක් ශ්‍රී ලාංකේය සන්දර්භයක පමණක් පිහිටුවීම නිසා,  ඔහුගේ ජීවිතය ශාස්ත්‍රඥයින් මෙන්ම  ජාතිකවාදීන් විසින් ද වැරදියට වටහාගෙන තිබේ” (2015: 9-10).

මේ සන්දර්භය තුළ,  කෘතියේ මාතෘකාවෙන්ම සඳහන් කරන පරිදි (rescued from the nation,  නැතිනම් ජාතියෙන් ගලවා ගැනීම) , කෙම්පර්ගේ ප්‍රධාන උත්සාහය වන්නේ ධර්මපාල තුමාව  “ජාතියේ” ග්‍රහණයෙන් “මුදවා ගැනීමයි.” එසේ  කිරීමේදී, ඔහු උත්සාහ කරනුයේ ධර්මපාල තුමාව ඔහුගේ කාලයේ පැවැති වඩාත් පුළුල් වූ බෞද්ධ ලෝකය තුළ ස්ථානගත කිරීමටය. එතුමා  “එක්සත් බෞද්ධ ලෝකය” යැයි හැඳින්වූ හා වෙනස් කරන්නට උත්සාහ දැරූ සමස්ත කලාපයම පැහැදිලිවම පිහිටා තිබුණේ ශ්‍රී ලංකාවේ දේශ සීමාවන්ට  ඔබ්බෙනි.   කෙම්පර්ගේ මූලාශ්‍ර වශයෙන් ප්‍රධාන ලෙස යොදාගෙන ඇත්තේ ධර්මපාලතුමාගේ සටහන් හා දිනපොත්ය. ඒවායින් බොහොමයක්   අද දක්වාම නිසි ආරක්ශාවක් නොමැතිව ඉන්දියාවේ ස්ථාන කිහිපයක තැන්පත් කර තිබේ.  මීට අමතරව, ධර්මපාල තුමා විසින් ප්‍රකාශයට පත් කළ ලිපි ලේඛනද  කෙම්පර්ගේ මූලාශ්‍ර අතරට පත් වේ. කෙම්පර්ගේ කෘතියෙන් මතුවන්නේ බොහෝ ශ්‍රී ලාංකිකයින් විසින් නිසිලෙස නොදන්නා “වෙනත් ධර්මපාල” කෙනෙකි. එකී සාපේක්ෂ වශයෙන් ආගන්තුක ධර්මපාල චරිතයට අවශ්‍ය වූයේ ඔහු පරිකල්පනයය කළ පරිදි එක්සත් බෞද්ධ ලොවක් (United Buddhist World) නිර්මාණය කිරීමටය. ඒ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට පරිභාහිර වූ ගෝලීය ව්‍යාපෘතියකි.

මේ  බෞද්ධ ලෝකයට නැගෙනහිර ආසියාවේ බෞද්ධ රටවල් මෙන්ම,  බුද්ධ ධර්මය මුළුමනින් ම පාහේ අතුරුදහන් ව ගොස් තිබූ ඉන්දියාව සහ බටහටහිර රටවල් ද ඇතුළත් විය. විශේෂයෙන්ම යුරෝපා හා උතුරු අමෙඇමරිකානු කලාපවල විසූ ඇතැම් ප්‍රභූන් අතර බුද්ධ ධර්මය යම් ආකාරයක බුද්ධිමය ආකර්ශනයක් මේ වන විට අත්පත් කරගෙන තිබුණි.  මීට ප්‍රධානතම හේතුව වූයේ පාලි බසින් රචිත බෞද්ධ පොතපත ඉංග්‍රීසි හා ජර්මන් වැනි භාෂාවලට පරිවර්තනය වීම මෙන්ම එඩ්වින් ආනෝල්ඩ් විසින්  රචනා කල Light of Asia (1879) වැනි පොත්පත් පුළුල්ව විසරසරණය වී තිබීමය. මේ අනුව, ධර්මපාල තුමාගේ චාරිකා, දේශන හා ලිවීම් හරහා කෙම්පර් විස්තර කරන්නේ බොහෝ පරිශ්‍රමයක් දරා දියත් කළ බෞද්ධ විශ්වීය ව්‍යාපෘතියක් (Buddhist universalist project) පිළිබඳ කතාවකි.

එහි නායකයා වශයෙන් ධර්මපාල තුමා ඉස්මතුව එන්නේ බෙහෙවින් මුරණ්ඩු හා ශික්ෂණයකින් හෙබි අයෙකු ලෙසිනි.  මේ පුද්ගලික  චර්යා රටාවන් එතුමාගේ ව්‍යාපෘතියට අවශ්‍ය වන්නේ, එය ක්‍රියාත්මක වූයේ  අන් ප්‍රබල විශ්වීය ව්‍යාපෘති ගණනාවක් මධ්‍යයේ වීම නිසාය.  මේ අන් විශ්වීය ව්‍යාපෘති වූයේ යටත්විජිතවාදය සහ ක්‍රිස්තු ධර්මයයි. ධර්මපාලතුමාට නිරතුරුවම ක්‍රියාත්මක වීමට සිදුවූයේ යටත් විජිතවාදයේ සීමා හා බාධක මධ්‍යයේ මෙන්ම ඒ වන විට යටත් විජිතවාදය මගින් බලගන්වා තිබූ ක්‍රිස්තු ධර්මයේ දේශපාලන බලයද මධ්‍යයේය. එනම්, ඔහු විසින් පරිකල්පනය කල බෞද්ධ විශ්වීය ව්‍යාපාරයට මේ අන් විශ්වීය ව්‍යාපාර සමග නිරතුරුවම තරගකරන්නට හා අරගල කරන්නට සිදුවීය.

මේ ව්‍යාපෘතිය සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්මපාල තුමා යම්දුරකට ජීවත් වූයේ වන්දනා කරුවෙකු ලෙසිනි. මෙනිසා ඔහුගේ වැඩිහිටි ජීවිතයෙන් වැඩි කාලයක් ජීවත් වූයේ ශ්‍රී ලංකාවෙන් පරිභාහිරව කල්කටාව හා ලන්ඩනය යන නගර ආශ්‍රය කරගෙනය. වර්ෂ 1889, 1896, 1902 හා 1913 දී මෙන්ම 1925 සහ 1926 අතර කාලයේ ධර්මපාල තුමා ඉතාමත් පුලුල් ලෙස ජාත්‍යන්තරව  සංචාරය කරමින්  අනුග්‍රාහකයින් මෙන්ම මූල්‍ය සම්පාදකයින් ද සොයන්නට සහ අත්‍යාවශ්‍ය ජාත්‍යන්තර සම්බන්දතා ජාලයක් ගොඩනගන්නටද උත්සුක වීය (2015:  6).  1892 දී එතුමා සිව් වරක් ජපානයේ සංචාරය කල අතර,  බුරුමයේ අක්‍යුබ් ප්‍රදේශයටද ගියේය.  මීට  අමතරව, 1894 දී තායිලන්තයටද,  1899 දී හා 1923 දී උතුරු ඉන්දියාවටද, 1904 දී ලන්ඩනයටද, 1913 දී හවායි, චීනය, කොරියාව සහ බෝරෝ බුදූර් යන ප්‍රදේශවලද සංචාරයේ නිරත විය.  මීට අමතරව, 1925 හා 1926 අතර කාලයේදී එතුමා බටහිර යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ද සංචාරයේ නිරත විය.  ඉන් පසුව, වඩාත් දීර්ග කාලයක් මුලුල්ලේ එතුමා ලන්ඩනයේ පදිංචිව සිටියේය.  යුරෝපයේ ඉදිකරන ලද පළමු බෞද්ධ විහාරය වන ලන්ඩන් බෞද්ධ විහාරය එතුමා විසින් ස්ථාපනය කරන ලද්දේ මේ කාලයේය (2015: 6). එය අද දක්වා පවතින යුරෝපයේ තිබෙන ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයකි. මේ  සංචාරක කටයුතු මගින් ධර්මපාල තුමාගේ ශාරීරික සවි බලය මෙන්ම පෞද්ගලික ධන බලය ද පැහැදිලිව සනිටුහන් කළේය.   එනම්, මේ කාරණා දෙකම ඔහු ආරම්භ කරන ලද ආගමික-දේශපාලන ව්‍යාපෘතියට කේන්ද්‍රීය ලෙස වැදගත් විය.  විශේෂයෙන්ම වැදගත් වන්නේ  මේ සංචාරක කටයුතු සඳහා ධනය සැපයුවේ රාජ්‍ය හෝ ආණ්ඩු විසින් නොව, පුද්ගලයින් විසින බව තේරුම් ගන්න විටය. ඒ අතර ඔහුගේ පෞද්ගලික ධන පරිත්‍යාගය ද බෙහෙවින් වැදගත් වී ය.

කෙම්පර් මැනවින් විස්තර කර ඇති පරිදි,  ධර්මපාල තුමාගේ ජාත්‍යන්තර සංචාරයන්ට අමතරව ඔහුගේ ආයතන ගොඩනැංවීමේ ක්‍රියාවලිය  ද යොමුවී තිබුනේ “එක්සත් බෞද්ධ ලෝකය”  යන එතුමාගේ  පුළුල් ව්‍යාපෘතිය සාක්ෂාත් කර ගැනීමටය.   මේ අනුව,  එතුමා වඩාත් සමීපව දැන සිටි  ථෙරවාද බුද්ධ ධර්මය වෙත යම් චිත්තවේගී පක්ෂග්‍රාහී කමක් දැක්වුව ද, ඔහු අනේක බෞද්ධ දර්ශනවාදයන් ගේ පැවැත්ම පිළිගත්තා මෙන්ම ඒවා නියොජනය කල නායකසින් සමග සම්බන්දතා ද ඇති කර කර ගත්තේය.

මේ ආයතන ගොඩනැගීමේ ක්‍රියාවලිය කොටස් දෙකකට අයත්ය. ඉන් එකක් බුද්ධිමය වන අතර, අනෙක භෞතික වේ.   එනම්,  තම අදහස් ප්‍රචලිත කිරීමට අවැසි බුද්ධිමය අවශ්‍යතාවක් වශයෙන් නිරන්තරයෙන් පළවූ ලිපි සංග්‍රහ ප්‍රකාශයට පත් පත්කිරීම හා සංවාද මණ්ඩප පැවැත්වීම සහ මේ සඳහා අවශ්‍ය වූ ගොඩනැඟිලි හා ආයතන භෞතික වශයෙන් පිහිටුවීම් ද වේ.  මෙයින් ප්‍රදානතම ආයතනයක් වූයේ ඉන්දීය මහාබෝධි සමාගම සහ එහි ආයතනිකික ජාලයයි.  මේ බුද්ධිමය පහසුකම් සලකා බැලීම්දී ඔහු ජීවත් වූ ඓතිහාසික මොහොතේ බලපෑම අපට අමතක කළ නොහැක. එනම්, මුද්‍රණ තාක්ෂණයේ සාපේක්ෂ දියුනුව නිසා පළ කළ පොත්පත් තම කටයුතු වලට පුළුල්ව යොදා ගැනීමේ හැකියාව මෙන්ම ජාත්‍යන්තර තැපැල් සේවය ව්‍යාප්ත වීම නිසා තම අදහස් සාපේක්ෂ වශයෙන් කෙටි කාලයක් තුළදී දෙස් විදෙස් ප්‍රදේශවල ප්‍රචලිත කිරීමට  හැකියාව ලැබීමත්ය.   එමෙන්ම,  දුම්රිය හා වාෂ්ප නැව් සේවය දියුණු වීම නිසාබ් තම සම්බන්ධතා ජාලය ගොඩනඟා ගැනීම සඳහා නිරතුරුව ම විදේශ  සංචාර වල යෙදීමේ  හැකියාවද පුළුල් විය (2015: 7). ඔහු 1911 දී කල්කටාවේදී Journal of the Maha Bodhi Society and the United Buddhist Way පලකිරීම ආරම්ඹ කලේ මේ තත්ත්ව යටතේ ය (2015:  7, 8). මේ සුප්‍රසිද්ධ ලිපි සංග්‍රහයේ නමින්ම (එනම්, එක්සත් බෞද්ධ  ලොවක් යන අදහස) පැහැදිලි වන්නේ, “බෞද්ධයින් සමස්ථ ආසියාතික ප්‍රජාවක් ලෙස සංවිධානය කිරීම හා එම ප්‍රජාව යුරෝපයේ හා අමෙරිකාවේ සිටි අනුග්‍රාහකයින් සමඟ සම්බන්ධ කිරීමේ” අපේක්ෂාවයි (2015: 8)

කෙම්පර් විසින් උත්සාහ ගෙන ඇත්තේ,  ධර්මපාල තුමා ශ්‍රී ලංකාවේ ගෙනගිය සාපේක්ෂ වශයෙන් භේදකාරී දේශපාලන ක්‍රියාවලිය මකා දැමීමේ ප්‍රතිසංස්කරණවාදී බුද්ධිමය ව්‍යාපෘතියක් දියත් කිරීම නොවේ.  ඒ වෙනුවට ඔහු උත්සාහ ගෙන ඇත්තේ, ධර්මපාල තුමාගේ වඩාත් ගෝලීය හා විශ්වීය භූමිකාව කතිකාමය වශයෙන් මතුපිටට ගෙන ඒමයි.   ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කතිකාව තුළ ඒ   විශ්වීය හා ගෝලීය භූමිකාව පිලිබඳ දැනුම සාපේක්ෂ වශයෙන් අල්ප බැව් බැලූ බැල්මට පෙනේ. එමෙන්ම කෙම්පර්ට අවශ්‍ය වූයේ මේ දේශීය හා ගෝලීය භූමිකා ද්විත්වය එකම පුද්ගලයකුගේ බුද්ධිමය පෞරුෂයේ අනිවාර්ය කොටස් බව පෙන්වා  දීමටය.  කෙම්පර් පවසන ආකාරයට, තම කෘතිය මගින් “වෙනස් ධර්මපාල” (different Dharmapala) කෙනෙකු ඉදිරිපත් කරනවාට වඩා උත්සාහ ගෙන ඇත්තේ, ධර්මපාල තුමාගේ සමස්ථ චරිතය  වඩාත් සංකීර්ණ සන්දර්භයක ස්ථානගත කිරීමය (2015: 5).

මේ අනුව, අනගාරික ධර්මපාල නම්  නූතනවාදී සමාජ සංශෝධක‍යා පිළිබඳව ලියැවී ඇති විශ්ලේෂණ අතුරින් වඩාත්ම වැදගත් හා සංකීර්ණතම කියවීම කෙම්පර්ගේ කෘතිය බව මාගේ වැටහීමය.  ඉන් වඩාත් වැදගත් වන්නේ ධර්මපාල තුමාගේ දේශීය හා ගෝලීය භූමිකාව පිළිබඳව එතරම් නොදන්නා දේශීය-ගෝලීය බුද්ධිමය සන්දර්භයක් තුළ   තුල ගෝලීයව පුලුල්ව සංසරණය  වන කෘතියක් ලෙස මේ කෘතිය පළ වීම ය.    එමෙන්ම, මෙම කෘතිය විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් කෙම්පර් විසින් නූතන බෞද්ධ ධර්මය තේරුම් ගන්නට දශක කිහිපයක් මුළුල්ලේ ගෙන ඇති උත්සාහයන් ගණනාවෙන්  වඩාත් මෑතකාලීන උත්සාහය වේ.  නමුත් අවාසනාවන්ත කාරනය වන්නේ මෙවන් උත්සාහ බොහොමයක් සිංහල පාඨකයින් නොදැන සිටීමයි.

(මේ විමර්ශනය මුලින්ම පලවූයේ The Journal of Asian Studies  ලිපි සංග්‍රහයේ 77(3) කලාපයේය, පිටු: 825-826, 2018)

Leave a comment

This website uses cookies to improve your web experience.