~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය
2022 ජූලි 26 දින ප්‍රතිවාද වෙබ් අඩවියේ පළවූ ‘රනිල ශාකයේ ශාපය’ නමැති ලිපිය කියවීමෙන් පසු මෙම කෙටි සටහන තබමි. එම ලියුම් කරුවා (හෝ ලියුම් කරුවන්) සඳහන් කරන ආකාරයට, 2022 ජූලි 9 වනදා අතිමහත් බලයක් සහිත විධායක ජනාධිපතිවරයා මහජන නැගිටීමක් හරහා බලයෙන් නෙරපා හැරීම විප්ලවයක් නම්, ඊට ප්‍රතිපක්ෂව බලහත්කාරයෙන් බලයට පත්වූ නව ජනාධිපතිවරයා ඉතාම කෘර ලෙස ගෝල්ෆේස් අරගල බිමට එල්ලකළ ප්‍රහාරය ‘ප්‍රතිවිප්ලවයකි.’ ලිපියේ සාරාංශය වන්නේ, එසේ දියත්කළ ‘ප්‍රති-විප්ලවයත්’ ඒ හේතුවෙන් ‘විප්ලවයේ/අරගලයේ’ මීළඟ රැල්ල දියවී නොයෑමට නම්, නිශ්චිත දේශපාලන සන්ධානයක මග පෙන්වීම නොමැති වීම නම් වූ දුර්වලතාව අතික්‍රමණය කළයුතු බවයි. එසේ කිරීමේ සමෝසම වගකීම ‘ඊනියා නිර්පාක්ෂිකත්වයකට ලොල් කරන විරෝධතාකාමීන්ට වගේම, සාංසිද්ධික මහජන නැගිටීම් සමග නිර්මාණශීලී ලෙස මුහු වීම සම්බන්ධයෙන් සංවිධානාත්මක දේශපාලන හා වෘත්තීය සමිති බලවේගවලටත්’ (ලියුම්කරු/ කරුවන්) පවතින බවයි.
පළවෙනි කාරණය නම්, මාස ගණනාවක් තිස්සේ ජනතාව දියත්කළ දේශපාලන අරගලය විප්ලවයක් වුවත්, ඊට ප්‍රතිපක්ෂව නැගෙන මර්දනය ‘ප්‍රති-විප්ලවයක්’ ලෙස හැඳින්වීම ජනතාවාදී අදහසක් ලෙස දැකිය නොහැකි බවයි. අතිමහත් බහුතරයකින් බලයට පත්වූ සහ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අසීමිත බලයක් හිමිකරන ලද, අතිශය ප්‍රබල මිලිටරි පුරුෂත්වයක් වූ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීම නිසැක වශයෙන්ම ජනතා විප්ලවයකි. එය අවිවාදිතය. නමුත් බලහත්කාරයෙන් සහ විකෘති පාර්ලිමේන්තු නියෝජනයේ ප්‍රතිඵලයක් ලෙස පත්වූ නව ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ප්‍රති විප්ලවයක් ලෙස හැඳින්වීම, ඔහුට අනවශ්‍ය වටිනාකමක් දෙන අදහසකි. ඒ වෙනුවට, ඔහු විසින් සිදුකරමින් සිටින්නේ කෘර, නින්දිත සහ ප්‍රචණ්ඩකාරී ජනතා මර්දනයකි.
දෙවනුව, ලියුම්කරු/කරුවන් යෝජනා කරන්නේ ‘ඊනියා නිර්පාක්ෂික විරෝධකාමීන්’ සහ ‘සංවිධානාත්මක දේශපාලන හා වෘත්තීය සමිති බලවේග’ දේශපාලන සන්ධානයක මඟ පෙන්වීම ලබාගත යුතු බවයි. අරගලය ආරම්භ වූයේ තැනින් තැන විසිරුණු ග්‍රාමීය ගොවි සහ ධීවර විරෝධතා මෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගෘහණියන් විසින් දියත්කලා වූ කුඩා විරෝධතා රැල්ලක ප්‍රතිඵලයක් ලෙසිනි. එය පුපුරා ගියේ, මේ වසරේ මාර්තු 31 සහ අප්‍රේල් 01 වන දෙදින රැයක් පහන් වන තුරු මිරිහානේ දී ඇතිවූ ප්‍රබල විරෝධතාවත් සමඟිනි. මේ මුල් අවදියේම වාම පක්ෂ මෙන්ම අනෙකුත් විකල්ප අවකාශ ඔස්තාද්ලා මෙම නැගිටීම නායකත්වයක් නොමැති, දිශානතියක් නොමැති, මධ්‍යම පාන්තික නැගිටීමක් ලෙස ලේබල් ගසමින් සිටියහ. ඒ සම්බන්ධව ප්‍රකාශන පවා නිකුත් කළහ. නමුත් අරගලය දිනෙන් දින වර්ධනය වන විට මේ සියල්ලෝ අරගලයේ වලිගයේ එල්ලී, කෙමෙන් අරගලයේ මධ්‍යය කරා ගමන්කර, එහි පුරෝගාමී කොටස් සමඟ එකතු විය. එහි වරදක් නැත. නමුත් අරගලයට නායකත්වයක් නොමැති නම්, එය නිර්පාක්ෂික නම්, එය ක්‍රියාකාරී දේශපාලන සංධානයක් යටතට ගෙන ඒමේ වගකීම වෙනත් කවර කණ්ඩායමකටත් වඩා පැවරෙන්නේ මේ විකල්ප සහ සංවිධානාත්මක දේශපාලන කණ්ඩායම්වලටයි. දේශපාලනික කණ්ඩායම් අක්‍රිය සහ නිර්-දේශපාලනික වීම ‘ඊනියා විරෝධතාකරුවන්’ ගේ වගකීමක් හෝ වරදක් නොවෙයි. එමෙන්ම, අරගලය වර්ධනය වන මොහොතේ එහි අයිතිය කියා පාන්නටත්ම, මාධ්‍ය සාකච්ඡාවලට පෙනී සිටින්නටත් ඔය කියන දේශපාලන කණ්ඩායම්වල සාමාජිකයෝ ඉදිරිපත් නොවූ බව කිව නොහැකිය. එනම්, අරගලය ඔය කියන ආකාරයේ ශුද්ධ වශයෙන් ‘නිර්-දේශපාලනික’ එකක් වී යැයි කිව නොහැකිය. නමුත් අරගලය දිය වී යන මොහොතේ එහි වගකීම ‘ඊනියා නිර්පාක්ෂික’ අරගලකරුවන් වෙත පැවරීම මෙන්ම සංවිධානාත්මක දේශපාලන බලවේගවලට සුවපහසු සහ එතරම් දැඩි නොවන කම්මුල් පහරක් දීම විසින් කැඳවන යහපතක් නොමැත. ඒ වෙනුවට සිදුකළ යුතුව ඇත්තේ, අරගලකරුවන් එහි ආරම්භයේ සිටම ‘නිර්පාක්ෂික’ අරගලයක් කැඳවීමට හේතු වූ සාධක යම් ආකාරයකින් විග්‍රහකර ගැනීමයි.
ජනතාවගෙන් ඇතැම් කොටස් ‘නිර්පාක්ෂික’ අරගලයක් ඉල්ලා සිටින්නේ ඇයි ද යන්න විග්‍රහකර ගත යුතුව ඇත. එසේ ඉල්ලා සිටීමට එක නිශ්චිත හේතුවක් හෝ හේතු කිහිපයක් පමණක් පෙන්වා දිය නොහැකි වුවත්, දේශපාලන පක්ෂ කෙරෙහි පවතින අප්‍රසාදය සහ අවිශ්වාසය මෙහි ආසන්නතම හේතුව ලෙස උපකල්පනයකළ හැකි වෙයි. ප්‍රධාන ධාරාවේ පක්ෂ කෙරෙහි එවැනි අප්‍රසාදයක් පැවතීම පහසුවෙන් විග්‍රහ කරගත හැකි වුවත්, අනෙකුත් දේශපාලන බලවේග කෙරෙහිත් ඒ අප්‍රසාදය පැවතීම සීරුවෙන් සිතා බලා විග්‍රහකර ගත යුතුව ඇත. උදාහරණ ලෙස, ජනතා විමුක්ති පෙරමුණට එල්ලවන ප්‍රධාන චෝදනාවක් වන්නේ 88/89 කැරැල්ල සහ ඒ ආශ්‍රිතව ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්වයයි. එහිදී ඊට පවතින ප්‍රති-ආඛ්‍යානය වන රාජ්‍ය ත්‍රස්තවාදය පිළිබඳ ආඛ්‍යානය ප්‍රමාණවත් අයුරින් සමාජගතව නොමැත. ජනතා විමුක්ති පෙරමුණ තම ප්‍රචණ්ඩත්වය ප්‍රසිද්ධියේ පිළිගත යුතු බව ජනතාව කියා සිටියත්, රාජ්‍යයේ ප්‍රචණ්ඩත්වය රාජ්‍ය විසින් ප්‍රසිද්ධියේ පිළිගෙන සමාව ගත යුතු බවට ජනතාව ඉල්ලා සිටින්නේ නැත. එසේ වීමට හේතුව, රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහි ප්‍රති-ආඛ්‍යාන ගොඩ නැඟීමේ දුර්වලතාව බව විකල්ප දේශපාලන අවකාශ තේරුම් ගත යුතුව ඇත. ‘නිර්පාක්ෂික’ යැයි හංවඩු ගසා ඇති අරගලය විසින් මෙවැනි ප්‍රති-ආඛ්‍යාන සඳහා වූ ඉඩකඩ හා අවකාශ පුළුල්කර දී ඇත. නමුත් තවමත් මේ විකල්ප ‘සංවිධානාත්මක’ යැයි කියාගන්නා දේශපාලන පක්ෂ ඒ ඉඩකඩ නිසි අයුරින් ප්‍රයෝජනයට ගන්නා බවක් පෙනෙන්නේ නැත. ‘ඊනියා නිර්පාක්ෂික’ අරගලකරුවන් විසින් සිදුකර ඇත්තේ, විකල්ප හෝ වාම දේශපාලන පක්ෂවලට බොහෝ කලක් තිස්සේ විවරකර ගත නොහැකි වූ අවකාශයක් විවර කර දීමයි. එබැවින්, මේ සමාජ මොහොත නිවැරදිව කියවාගෙන අරගලයේ ඉදිරි අදියර සඳහා නායකත්වය දීමට මේ ‘සංවිධානාත්මක’ යැයි කියාගන්නා දේශපාලන පක්ෂ ඉදිරිපත් විය යුතුය. අරගලය හෝ විප්ලවය අනෙකා විසින් සිදුකරන තුරු බලා හිඳ එය විවේචනය කරනවාට වඩා, මේ මොහොතේ පටන් හෝ එයට නායකත්වය දිය හැකි ආකාර සොයා ගත යුතුව ඇත. පුළුල් ජන ප්‍රජාවකගේ විශ්වාසය දිනාගත යුතුව ඇත.
ස්වයං-විවේචනයක අවශ්‍යතාව ඇත. එනම්, නිර්පාක්ෂික අනෙකා මත වගකීම පැවරීම වෙනුවට ‘සංවිධානාත්මක’ විකල්ප දේශපාලන අවකාශ පැහැදිලි ස්වයං-විවේචනයක නිරත විය යුතුය. ඔවුන් සමාජය හෝ සමාජ මොහොත නිවැරදිව කියවා ගැනීමේ නොහැකියාව හඳුනාගත යුතුව ඇති අතර, පොතේ පවතින විප්ලවයේ පරමාදර්ශී ආකෘති වෙනුවට ජනතාව විසින් හඳුන්වා දෙන ආකෘති සමඟ ඒකාබද්ධව ජනතාව දේශපාලනික කිරීමේ වගකීම මෙම පක්ෂ හෝ සංවිධාන විසින් තමන් වෙත පවරා ගත යුතුව ඇත. ඒ සඳහා ඉතාම යෝග්‍ය මොහොත උදාවී ඇත. එයට හේතුව, ජනප්‍රියවාදී දේශපාලන මතවාද අන් කවර දාකටත් වඩා ලාංකේය සමාජය විසින් ප්‍රතික්ෂේප කරමින් සිටීමයි. ඒ මොහොත තමාගේ කරගැනීම මෙම විකල්ප දේශපාලන පක්ෂ වෙත පැවරී ඇති වගකීමයි.