Skip links

කාටූන් දෙකක් පිළබඳ කෙටි සටහනක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

ගැරී ලාසන්ගේ සුප‍්‍රසිද්ධ ‘Anthropologists! Anthropologists!’ යන පාඨය සහිත කාටූනය මා මුලින්ම දුටුවේ 1986දී පමණ මානව විද්‍යාව පිලිබඳ දර්ශන-සූරී උපාධි කටයුතු ආරම්භ කිරීමට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ගොස් සිටි සමයේදීය. ලාසන්ගේ එම කාටූනය පළවී තිබුනේ ඔහු සති පතා පුවත් පත් ගණනාවකට එකළ සම්පාදනය කළ ‘Far Side’ යන කාටූන් මාලාවේ කොටසක් වශයෙනි. මා මිත‍්‍ර ෆ්‍රෙඞ් ක‍්‍රිස්මන් ඊට අවරුදු දෙකකට පෙර පළවූ එම කාටූනය මා ඇතුළු තවත් කීප දෙනෙකුට පෙන්වා උත්සාහ කළේ මානව හා සමාජ විද්‍යා පර්යේෂණ නිසා ඇතිවන හා ඇතිවිය හැකි ආචාරධර්මීය ගැටළු පිළිබඳ කතා කිරීමටය. කාටූනයෙන් පෙන්වන්නේ යම් කිසි ස්ථානයක ක්‍ෂේත‍්‍ර පර්යේෂණ සඳහා මානව විද්‍යාඥයින් කණ්ඩායමක් පැමිනෙනු දුටු ස්වදේශීන් පිරිසක් ඔවුනට නොැපෙනෙන පරිදි සිය විද්‍යුත් උපකරණ සගවා තැබීමට උත්සාම දැරීමය.

පැවති කතිකාවට අනුව, ඊට හේතුව වූයේ මානව විද්‍යාඥයින් තමන්ට අවශ්‍ය කතිකා ගොඩනැගීමේදී බොහෝ විට අර්ධ සත්‍යයන් ප‍්‍රකාශයට පත්කරන බවත්, එමගින් ඔවුන් පර්යේෂණ කරන සමාජ පිළිබඳ විශ්වසනීය තොරතුරු නොලැබේය යන්න පිළිබඳවත් ඇතැම් මානව විද්‍යාඥයින් තුළ තිබූ සාංකා සිහිත සැකයයි. මීට අමතරව, අපගේ කතාබහට මූලිික පදනමක් වූයේ ඇමරිකානු මානව විද්‍යාව තුළ 1980 දශකයේ පමණ සිට මානව විද්‍යා පර්යේෂණ හා රචනාකරණය පිළිබඳව එකල ඇතිවූ පුළුල් විවාද මෙන්ම මානවවංශ තොරතුරු අර්ධ සත්‍ය (partial truths) නොවේද යන සැකයත්ය. මේ සමස්ථ විවාදය හැදින්වූයේ ‘සංස්කෘතිය ලිවීම පිළිබඳ විවාදය’ (writing culture debate) වශයෙනි. මේ සියල්ලම එකල ඇමරිකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල මානවවිද්‍යාව හැදෑරූ වප වැනවුන්ගේ විධිමත් පුහුණුවේ කොටසක් වීය. අනෙක් අතට, ෆ්‍රෙඞ් කි‍්‍රසිමන් මෙන්ම මාගේද ගුරුවරයෙකු වූ මහාචාර්ය නැපෝලියන් ශැග්නොන් දකුණු ඇමරිකාවේ වෙනිසියුලාව ආශි‍්‍රත යනමාමී ගෝති‍්‍රකයින් සම්බන්ධයෙක් කළ පර්යේශණවලින් මතුව තිබූ ආචාරධර්මීය ගැටළු ඒ් වන විටද ප‍්‍රභල කතිකාවක් වී තිබීම නිසා, ඒ තොරතුරු අප සියළු දෙනාගේම අවිධිමත් පුහුණුවේ කොටසක් වී තිබුනි. ශැග්නොන්ට එරෙහිව එල්ලවූ බරපතලම චෝදනා වූවේ ඔහු යනමාමී සමාජ කණ්ඩායම් කිසිම වගවිභාගයකින් තොරව විපර්යාසයට ලක්කිරීමේ පදනම සැකසීමට උපකාර කළේය යන්න සහ එම ගෝති‍්‍රකයින් පිළිබඳ ලියූ දේ මෙන්ම ඒ පිළිබඳ සිදුකළ අර්ථකතන යථාවෙන් බොහෝ දුරස් වූයේය යන්නය. මේ කාටූනය පිළිබඳ මාගේ අතීත මතකය බොහෝ කලකට පසු නැවතත් අවදි කළේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ මා මිත‍්‍ර දේව් නාත් පාඨක් හා මා එක්ව සංස්කරණය කළ දකුණු ආසියාවේ හාස්‍යය හා දේශපාලනය පිළිබඳ කෘතියේ (Humour and the Performance of Power in South Asia: Anxiety, Laughter and Politics in Unstable Times) හැදින්වීමේ කොටසක් ලිවීම සඳහා ඔහු යොදාගෙන තිබෙනු දුටු විටය. ඒ මාගේ කිසිදු මගපෙන්වීමක් නැතිවය.

ගමීලා සමරසිංහ , 2001

මේ කාටූනයේ මතකය අවදිවීමත් සමගම, ඒ තේමාව හා සම්බන්ධ වෙනත් කාටූනයක් ද මාගේ සිහියට නැගුනි. ඒ 2001 වසරේ ශී‍්‍ර ලාකාවේ සමාජ හා මානව විද්‍යා සම්ප‍්‍රදාය පිළිබඳ ප‍්‍රවාද සාර සංග‍්‍රහයේ විශේෂ කලාපයක් (ප‍්‍රවාද, ජලි – දෙසැම්බර් 2001, අංක 19 හා 20, පිටු අංක: 132) සම්පදානය කිරීමට සමාජ විද්‍යාඥයින්ගේ සංගමයට සහාය වීමේදී, මාගේ ඉල්ලීම පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ගමීලා සමරසිංහ විසින් සම්පාදනය කළ ‘මෙන්න බොලේ රිසර්ච්’ යන පාඨය රැගත් කාටූනයයි. එහිදී පෙන්වන්නේ තරුණ ලාංකේය පර්යේශිකාවන් දෙපොළක් වැදි ප‍්‍රජාවේ වැඩිහිටියෙකුගෙන් ඔවුන් දඩමස් වැඩිකල් තබා ගැනීම සඳහා භාවිත කරන සාම්ප‍්‍රදායික විධික‍්‍රම පිළිබඳ වමසා සිටීසමත්, ඊට පිළිතුරු වශයෙන් ඔහු තමන් සතු ශීතකරණය මේ දෙපලට පෙන්වන ලෙස සිය බිරිදගෙන් ඉල්ලා සිටීමත්ය. මේ කාටූනයට පදනම් වූ හාස්‍යමය කතාව එකළ සිංහල සමාජයේ පුළුල් වශයෙන් සංසරණය වී තිබුනි. මෙයින් පෙන්වන්නේද පර්යේශකයින් තමන් පර්යේශණයට භාජනය කරන ප‍්‍රජාවන් පිිලිබඳ අනේකවිද අභිනතීන් ද උපකල්පනයන්ද සහිතව පර්යේෂණ කි‍්‍රයාවලියට අවතීර්ණවීමේ යථාවය.

මේ කාටූන් දෙකෙන්ම පෙන්වන ආකරයේ ගෝති‍්‍රක කණ්ඩායම් සම්බන්ධයෙන් නම්, ඔවුන් වෙනසට භාජනය නොවන, සදාතනිකවම සම්ප‍්‍රදායේම ගැලී සිිටින්නන්ය යන යන අති සරල හා ජනපි‍්‍රය විශ්වාසය ලොව බොහෝ තැන්වල දැකගත හැකිය. මෙය බොහෝ ගැඹුරින් සාකඡ්චා කළ යුතු ප‍්‍රශ්නයක් වුුවද, ඒ සඳහා අවකාශය මෙය නොවේ. ගැටළුව වන්නේ, මෙවැනි විශ්වාස බොහෝ විට පර්යේෂණ මෙන්ම ලිවීමේ කි‍්‍රයාවලියේදීද නිරාකරණය කරනොගැනීම හා ඒ පිළිබඳ පුළුල් හා ගැඹරු කිතිකාවක්වත් ඇතිකර නොගැනීමය. සැබැවින්ම ඉහත සඳහන් කළ ප‍්‍රවාද සාර සංග‍්‍රහය සම්පාදනය කිරීමට ප‍්‍රධානතම හේතුව වූයේ ශී‍්‍ර ලාකාවේ සමාජ හා මානව විද්‍යා සම්ප‍්‍රදායයේ ඉතිහාසය, එහි තත්කාලීන භාවිත, එහි ගැටළු හා එහි පර්යේෂණ හා රචනාකරණ ආචාරධර්ම පිළිබඳව විශ්වවිද්‍යාල සම්බන්ධ කරගෙන පුළුල් සම්මන්ත‍්‍රණ හා රචානා මාලාවක් ගොඩනැගීමේ අපහසුතාවයි.

එවැන්නක් අද වන තෙක්ම සිදුවී ඇතියි මා විශ්වාස නොකරමි.

(ගැරී ලාසන්ගේ කාටූනය ලබා ගත්තේ ‘Anthropology.net – Beyond Bones & Stones’ වෙබ් අඩවියෙන්ය. ගමීලා සමරසිංහගේ කාටූනය සම්පාදනය කිරිම සම්බන්දයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සුනන්දා ප්‍රේමසිරිට මාගේ ස්තූතිය හිමිවේ)

Leave a comment

This website uses cookies to improve your web experience.