~ පණ්ඩුක කරුණානායක, වෛද්‍ය පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය
කොරෝනාව ලංකාව වෙලා ගත් විට, ලංකාව විද්‍යාව තුරුළු කර ගනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් එය ඉතා බොළඳ සිතුවිල්ලක් බව අද වන විට පැහැදිළි ය. අද ලංකාව මිථ්‍යාව තුරුළු කරගෙන ඇත. අවිද්‍යාව ලංකාව වෙලා ගෙන ඇත.
මාගේ බොළඳ සිතුවිල්ලට හේතුව මා හුදෙක් විද්‍යාව හැදෑරු, විද්‍යාවේ අගය හඳුනාගත් අයෙකු වීම නිසා බව පැහැදිළි ය. එහෙත් ඊට තවත් හේතුවක් ඇත. ඒ, මා විද්‍යාව හදාරා ඇත්තේ අසම්පුර්ණ ලෙස වීමයි. මිනිසා — මනසින් තමා උසස්යැයි කියා ගන්නා මේ සත්වයා — ඇත්තෙන්ම සිතන ආකාරය විද්‍යාව මැනැවින දනී. මිනිසා මිථ්‍යාව වැළඳගැනීම විද්‍යාවට නම් පුදුමයක් නොවේ. එහෙත් මා එය දැන සිටියේ නැත. මීට හේතුව විද්‍යාව අපට පාසලේ උගන්වන ආකාරයේ ඇති වරදක් නිසා විය හැකි ය. වරෙක මට සිතෙන්නේ, අපට පාසලේදී විද්‍යාවත්, ආගමත් ඉගැන්වූයේ එක ම විදියට කියා ය! ඒ එක් විෂයකින්වත් ජීවිතයට වැඩක් නො වීය. ලකුණු පමණක් ලැබුණේ ය.
එහෙත් මා පාසල් යන අවධියේ අප සිත් ගත්, විද්‍යාවෙන් සැබැවින් ම පිරිපුන්, පාසලින් පිට සමාජයේ නමක් දිනා සිටි, අපගේ ගුරු පරම්පරාවේ කැපී පෙනෙන චරිත වූ ආචාර්ය්‍ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් සහ මහාචාර්ය්‍ය කාලෝ ෆොන්සේකා වැනි අය, එවන් අසම්පුර්ණ චරිත නොවූහ. ඒ බව ඔවුන් ලියූ හා කියූ දෑ තුළින් එදාත් පෙනුණි. අදත් පෙනෙයි. අද ඔවුන් නොමැතිවීමේ අඩුව අපට හොඳින් දැනේ.
මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස්වන්නේ විඥාණය (consciousness) ඇති බැවින් මිස, උසස් සිතුවිල්ලක් ඇති නිසා නොවේ (එනමුත් ඇතැම් වානරයින්ට ද විඥාණයක් ඇත.) විඥාණය යනු කුමක් ද?
දිවියෙක් බඩගිනි වූ කල ගොදුරක් සොයා ගොස්, එය දඩයම් කර ආහාරයට ගනී. ඉන් පසු නැවතත් ගසක් යටට වී නිදා ගනී. අහසේ දේදුන්නක් පායන විට ඌ එවැන්නක් එහි දකින්නේ නැත; ඌ දකින්නේ පාට සමූහයක් පමණි. ඌ ලෙඩක්-දුකක් ගැන නොදනියි. තව ටික කලකින් වයසට යන බවක් නොදනියි. ඒ ඌට විඥාණයක් නැති බැවිණි.
විඥාණය යනු මනස (mind) විසින් භාවිතා කරන මෙවලමකි (tool). ඊට හේතුපාදක වන්නේ, අප තුල පිහිටා ඇති කල්පනා ශක්තියයි (සිතීමත්, කල්පනා කිරීමත් එකිනෙකින් වෙනස් ය). මෙවලමක් යනු හොඳ දේටත් වැඩදායි දේටත් ලෙසට ම, නරක දේටත් අවැඩදායි දේටත් භාවිත කල හැක්කකි. විඥාණය එබැවින් දැලි පිහියක් වැනි ය.
මිනිසාගේ විඥාණයට ඇසට නොපෙනෙන දේ පෙනෙයි. කාලය දැනෙයි. ඇසට පෙනෙන දේ පවා වෙනස් ව දකියි. පාට සමූහයක් තුලින් දේදුන්නක් ද පායයි. තමා වයසට යන බව, ලෙඩ රෝගවලට ගොදුරු වන බව හා අවසානයේ මිය යන බව ද දනියි. විඥාණයෙන් හොඳ දේ පෙනෙන්නා සේ ම, මෙවන් වූ සිතට කනස්සල්ළ ගෙන දෙන දේ ද පෙනෙයි. ඉන් මිනිසා බියට පත් වෙයි. ජීවිතයේ අවිනිශ්චිතභාවය (fear of the uncertain) අප කා තුලත් බියක් ඇතිකරවයි. එය දාර්ශනිකයින් හඳුන්වන්නේ පැවැත්මේ බිය (existential fear) වශයෙනි.
බියට පත්වූ මනස සැනසිල්ලක් සොයා යන්නේ, බඩගින්නට පත්වූ දිවියෙකු ගොදුරක් සොයා යන ලෙසටම ය. ගොදුර ලැබෙන තෙක් බඩගින්න මනසට කරදර කරන්නාක් මෙන් ම, බිය ද ඊට විසඳුමක් ලැබෙන තෙක් මනසට කරදර කරයි. වධ දෙයි. වාසනාවකට මෙන්, බඩගින්නට මෙන්ම බියට ද මනසේ විසඳුමක් ඇත. එනම්, විශ්වාසයයි (belief).
මනසින් විශ්වාසයක් සොයා ගත් වහා ම, ජීවිතයේ අවිනිශ්චිතභාවය පිළිබඳ බිය තුනී වී යයි. මනස සැනසෙයි. ගොදුරින් බඩගින්න තුනී වී ගියාක් මෙනි. මේ මිනිස් මනසේ ස්වභාවයයි. විඥාණය නම් වූ මෙවලම ඉදිරියේ මනස හැසිරෙන ස්වභාවයයි.
අපට වැරදුන තැන මෙතැනින් සොයා ගත හැකිය. බිය තුනී වීමට අවශ්‍ය වන්නේ හුදෙක් විශ්වාසයක් මිස, නිවැරැදි විශ්වාසයක් නොවේ. තමා විශ්වාස කරන දේ වැරැදි වුවත් (false belief), ඉන් කරදරයක් නොවන තාක් කල්, එමගින් මිනිසා කරදරයට පත් වන දවස පැමිණෙන තෙක්, මනස ඉන් සුවය ලබයි.
ඇතැමුන් හුදු විශ්වාසයෙන් සුවය ලබා, අන්ධ භක්තියෙන් සැනසෙති (blind faith). ඇතැමුන් තම විශ්වාසය අනෙක් අයගේ හිස මත පටවමින්, තම විශ්වාසය පොදු විශ්වාසයක් බවට පත් කරමින් වඩාත් සුවයක් ලබති (prozelytism: ආගමට හරවා ගැනීම, දේශපාලන මතවාදයට හරවා ගැනීම සහ බේබදුකමට හරවා ගැනීම මීට උදාහරණ වේ). ඇතැමුන් තවත් වෙහෙස වී, අනෙක් අයගේ ප්‍රතිවිරෝධ විශ්වාසයන් වැරැදි බව පෙන්වීමට උත්සුක වීමෙන් සුවයක් ලබති.
ඇතැමුන් තම විශ්වාසයේ සැක ඇති තැන් සොයා යමින්, ඒවා ගැඹුරට පරිශීලණය කරමින්, විශ්වාසය තව-තවත් තාත්වික අත්දැකීම් හරහා ඔපමට්ටම් කරමින්, එය තවත් වැඩදායි හා සාර්ථක කරගනිමින්, තවත් සුවය ලබති (reason and empiricism). විද්‍යාඥයා හා විද්‍යාව විශ්වාස කරන්නා සුවය ලබන්නේ මේ ක්‍රමයෙනි.
මේ සියල්ලටම මුල මනසමයි. විඥාණය නිසා බිහි වන බිය ඉදිරියේ, විවිධාකාර වූ මිනිස් මනස් පිනුම් ගසන්නේ එලෙසිනි.
මේ අතර, මුදලින් හෝ බලයෙන් හෝ සමාජ පිළිගැනීමෙන් හෝ තමාට ආරක්ෂාවක් ලබා ගත හැකියයි සින්තන්නෝ ද වෙති. ඔවුහු එවන් ආරක්ෂාවක් කෙරෙහි විශ්වාසය තබති. ඔවුහු අනුන්ගේ බිය මේ උදෙසා අවභාවිත කරති: තම මුදල් බලය, පිරිස් බලය හෝ සමාජයේ පිළිගැනීම එමගින් වැඩි කර ගනී.
ගෝලීය සංඛ්‍යාලේඛණවලට අනුව, කොරෝනා වයිරසය බෝ වූ මිනිසුන් 1000කින් මරණයට පත් වන්නේ 6ක් වැනි ගණනක් පමණි. ඉන් 994 ක්ම සුවය ලබයි. රෝග ලක්ෂණ වැළදුන 100කින් මිය යන්නේ 1ක් වැනි ගණනක් පමණි. මෙහිදී මිථ්‍යාවට රජ වීමට අවශ්‍ය වන කරුණු දෙක මෙපමණකි:
1. බිය සංසිඳවීමට විශ්වාසයක ඇති අවශ්‍යතාව.
2. කොරෝනා රෝගීන්ගෙන් 1000කින් 990ක් ම සුව වන බව.
විශ්වාසයක් පිරිනැමීමෙන් හෝ විකිණීමෙන්, 1000කින් 990ක් ම ඉබේ ම සතුටු කළ හැකි ය. සර්පයින්ගෙන් ගහන වූත්, එහෙත් මාරාන්තික විසකුරු සර්ප විශේෂ 6ක් පමණක් සිටින්නා වූත් අප ලංකාවේ, කොපමණ සර්ප වෙදුන් බෝ වී තිබේ ද? එසේ නම්, කොරෝනා පැණි වෙදුන් බිහිවීමත් පුදුමයක් ද? එම වෙදුන්ට මෙපමණ අනුගාමිකයින් හෝ අවකාශයක් හෝ අනුග්‍රහයක් හෝ ලැබීම පුදුමයක් ද?
විශ්වාසයට අවශ්‍යවන්නේ අත්තක් මිස, ඇත්තක් නොවේ. තමා විශ්වාස කරන දෙය බොරුවක් ලෙස පෙන්වන්නන් සතුරන් ලෙස දකින්නේ, ඔවුන් තම සුවයට බාධා කරන්නන් — ‘අත්ත බිඳින්නන්’ — ලෙස තම මනස විසින් ම, නිරායාසයෙන් ම වරදවා හඳුනා ගන්නා බැවිනි.
අවාසනාවක මහිමය! ඊ. ඩබ්ලිව්. අදිකාරම්ලා, කාලෝ ෆොන්සේකලා නැති අද රටේ, මේ සැඟවුණු විද්‍යාව දන්නේ එමගින් දේශපාලනමය හෝ වාණිජමය හෝ වාසියක් ලබා ගන්නට සැදී පැහැදී සිටින සටකපටයින් පිරිසක් පමණි. ඔවුන්ගේ අතේ විද්‍යාව විජ්ජාවක් වී ඇත.
විද්‍යාවේ කොටසක් පමණක් ප්‍රගුණ කළ අප වැන්නවුන්, දැන්වත් විද්‍යාවේ මුළු මහිමය පිළිබඳව අවබෝධයක් වර්ධනය කර ගත යුතු ව ඇත. පාසලේ උගැන්වූ විද්‍යාවෙන් ඔබ්බට යා යුතුව ඇත. ආචාර්ය අදිකාරම්ගේ වචනයෙන් කියතොත්, පාසලෙන් අප ලබා ගෙන ඇත්තේ ඥාණය පමණයි; විද්‍යාවෙන් අප ලැබිය යුත්තේ අවබෝධයයි. ඥාණයෙන් ලැබෙන්නේ ලකුණු පමණයි. ජීවිතයට ප්‍රයෝජනවත් වන්නේ අවබෝධයයි.
අදිකාරම් හෝ ෆොන්සේකා හෝ අද අප අතර නැතත්, ඔවුන් ලියූ දෑ අදටත් අප අතර ඇත. එය තවත් වැඩි දියුණු ද වී ඇත. දැන් ඒ දෑ නැවත කියවීමට උදා වූ කාලයයි. විද්‍යාවේ අප නොසැලකු දෑ සැලකිල්ලට ගත යුතු කාලයයි. සිතීමට කාලයයි. කල්පනා කළ යුතු කාලයයි. අවබෝධයට කාලයයි.
මේ අවබෝධය අප සියලු දෙනා අතර බෙදා ගත යුතුය. එය, අවබෝධය ලැබූ අය මතට පත්වන වගකීමයි. මේ සඳහා විද්‍යාඥයින් මෙන්ම, මා වැනි විද්‍යාවට ලැදි සියල්ලන් ම සහභාගී විය යුතු ව ඇත. ඊට මාධ්‍යය උදව් කළ යුතු ව ඇත. අප රට අවිද්‍යාවේ අන්ධකාරයෙන් ගොඩ දා ගැනීමේ ශ්‍රමදානයට සහභාගී විය යුතු ව ඇත. මන්ද, අවිද්‍යාවෙන්-මිථ්‍යාවෙන් අප සැවොම අවසානයේ අතරමං වන බැවිනි. මිථ්‍යාව යනු අප නොමග යවන මායාවයි. විද්‍යාව යනු ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. හරි මාර්ගය පාදා දෙන දෘෂ්ටියයි.
අවිද්‍යාව අද අප වෙලා ගෙන ඇතත්, කාලය තවමත් ප්‍රමාද නැත. මට ශාන්ත ෆ්‍රැන්සිස් (St. Francis of Assisi) ගේ අගනා කියමනක් මෙහිදී සිහි වේ: “මුළු ලොවම වෙලා ගත් ඝන අන්ධකාරයට, එක් ඉටිපන්දමක එළියවත් මකා දැමිය නොහැකි ය.” (“All the darkness in a world cannot extinguish the light of a single candle.”)
(පණ්ඩුක කරුණානායක කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙකි; වෛද්‍යවරයෙකි. මේ ලිපිය මුලින් ම පළවූයේ 2021 ජනවාරි පළමුවැනිදා ලංකාදීප පුවත්පතේය. එය මෙහි පළකරන්නේ කතුවරයාගේ අනුමැතිය ඇතිවය)