Skip links

ගණනාත් ඔබේසේකරගේ පසුකාලීන කෘති කිහිපයක් පිළිබඳ කෙටි හැඳින්වීමක්

~ සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, නව දිල්ලිය

මට අවශ්‍ය, මට කරපු ආරාධනයට අනුව, මහාචාර්ය ගණනාත් ඔබේසේකර ගේ පසු කාලීන (ඒ කියන්නේ 1990 පස්සේ පලවෙච්ච) පොත් කීපයක් ගැන කතාකරන්න. මම මේ සඳහා පොත් පහක් විතරක් තෝරාගත්තා. නමුත් අවසානයේදී — වෙලා තිබුනොත් — මම කැමතියි ඉතාමත් කෙටියෙන් මේ වගේ ඒකරේඛීය ව්‍යාපෘතිවලින් එහාට යන්න කැමතිනම්, එසේ යා යුත්තේ කොහොමද කියන එක ගැනත් කෙටියෙන් කියන්න.

මට මුලින්ම කතාකරන්න ඕනෙ පොත් දෙක, උතුරු ඇමරිකානු මානව විද්‍යාවේ ඇති වූ  කේන්ද්‍රීය ශාස්ත්‍රීය විවාදයක් නිසා ඇති වූ පොත් දෙකක් කියලා කියන්න පුලුවන්.

මේ විවාදය ඇතිවුනේ, මානව විද්‍යාඥ මාෂල් සහ්ලින්ස් සහ මානව විද්‍යාඥ ගණනාත් ඔබේසේකර අතරයි. මේක සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ‘සහලින්ස් – ඔබේසේකර’ විවාදය කියලයි. මේක පැවැත්වුනේ 1990 දශකයේ.  මේ විවාදය නිසා සහලින්ස් සහ ඔබේසේකර ලිපි ගණනාවක් ලිව්වා වගේම, ඔවුන් දෙදෙනාගේම අනුගාමිකයෝ සහ සිසුනුත් බොහෝ දේ කියල තියෙනවා. ඒවගේම, නොයෙකුත් දේ ලියලා තියෙනවා.

කොහොම වුනත්, ඔබේසේකරගේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් පලවුන පළමු කෘතිය තමයි 1992 දී පලකල, The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific කියන පොත (කපිතාන් කුක්ගේ  දේවත්වාරෝපණය: පැසිෆික් සාගර ප්‍රදේශයේ යුරෝපීය මිත්‍යාවන් ගොඩනැගීම).

ඔබේසේකර ගැන කතාකරනකොට මෙය වැදගත් වෙන්නේ, මේ පොත සහ ඉන් පසු පළවුණු තවත් පොතක් සහ ලිපි කීපයක්ම ඔහුට සුපුරුදු ශ්‍රී ලංකේය පර්යේෂණ ක්ෂේත්‍රයෙන් ඉවත් වී, එතෙක් ඔහුට කිසිදු ආකාරයක පර්යේෂණ අත්දැකීමක් නොතිබුණු පැසිෆික් ප්‍රදේශයේ පර්යේෂණ ආරම්බ කිරීම සහ ඒ මත පදනම්ව රචනාකරණයේ යෙදීම සලකුණු කරන නිසා.

ඒ කාලය වන තුරුම, විශේෂයෙන්ම සහලින්ස් වැනි අයගේ රචනා මත පදනම් ව, කපිතාන් ජේම්ස් කුක්ගේ මරණය හා හවායි දූපත් වාසීන් ගේ එක් විශ්වාසක් ලෙස නම් කළ පිලිවෙත් කීපයක් ගැන ප්‍රධාන මානව විද්‍යාත්මක ප්‍රවාදයක් ගොඩනැගිලා තිබුනා. කුක් ව හවායි දූපත් වාසීන් විසින් මරා දැම්මේ, හවායිවල කෙආල-කෙකුවා බොක්කේ දී  (Kealakekua Bay) 1779 පෙබරවාරි 14 වැනිදා. ඒ, ඔහු නායකත්වය දුන් ‘Resolution’ සහ ‘Discovery’ කියන නැව් දෙකේ තෙවන පැසිෆික් සාගර ගමනේදී. ඊට හේතුව එහිදී ඇති වූ කලබලයකින් ස්වදේශිකයින් කුපිත වීමයි. නමුත් මෙතනදී අප මතක තබා ගන්න ඕනේ ඔහු මරුනේ නැහැ, නමුත් මරා දැම්ම බවයි.

මේ සම්බන්ධයෙන් සහ්ලින්ස් ඇතුළු වෙනත් අය ගොඩනගල තිබුන ප්‍රවාදය තමයි, ස්වදේශික හවායි දූපත් වාසීන් කපිතාන් කුක්ව ‘ලෝනෝ’ නම් දෙවියා ලෙස සැලකූ බව. ලෝනෝ කියන්නේ, එකල පැවති හවායි විශ්වාස පද්ධතියට අනුව,  සාඑල්‍යතාව, කෘෂිකර්මය, වර්ෂාව, සංගීතය හා සාමය වැනි කතිකා සමග සම්බන්ධ වූ දෙවි කෙනෙක්.

නමුත් ඔබේසේකර මේ ප්‍රවාදය එහෙමෙ පිටින්ම ප්‍රතික්ෂේප කළා. මේ ප්‍රතික්ෂේප කිරීමේ පළමු විධිමත් බුද්ධිමය ප්‍රහාරය හැටියට, The Apotheosis of Captain Cook පොත තේරුම් ගන්න පුළුවන්. එක අතකින් ඔහු සිදු කරන්නේ බටහිර අධිරාජ්‍යවාදී ව්‍යාප්තිවාදයේ සෑහෙන වැදගත් වෙච්ච මිත්‍යාවක් ව්‍යූහවිභාගයට භාජනය කිරීමයි. ඒ කියන්නේ, ස්වදේෂීන් බටහිර ශිෂ්ටාචාරය රැගෙන එන්නවුන් බොහෝ විට දෙවිවරු ලෙස සැලකුවා  කියන එකයි. කුක් මේ ප්‍රවාදයට එක උදාහරණයක් පමණයි. ඔය ටාසන්,  රොබින්සන් ක්රූසෝ සහ ස්විස් ෆැමිලි රෝබින්සන් වගේ වෘතාන්ත කතාවල චරිත ගොඩනැගිලා තියෙන්නෙත් මේ අදහස උඩමයි.

ඔබේසේකර තමන්ගේ විවේචනය ගොඩනගන්නේ කපිතාන් කුක් සහ ඔහුගේ  නිලධාරීන් ම පවත්වාගෙන ගිය නාවික වාර්තා ප්‍රවේශමෙන් පරිශීලනය කරලා. ඒවා තාමත් කියවන්න පුළුවන්.

මේ මගින් ඔහු පෙන්නලා දෙන්නේ, කුක් විසින් ශිෂ්ටත්වය නැති තැනකට ඒ ශිෂ්ටත්වය රැගෙන ගිය ශිෂ්ටාචාරයේ පණිවිඩකරුවෙක් හැටියට තමන්ව තේරුම් අරන් තිබ්බ බවයි. අනෙක් අතට, ඔහු පෙන්නලා දෙනවා, හවායිවලදී පොඩ්ඩක් වැඩේ ගස්සුනාම, ඒ කියන්නේ ස්වදෙශීන් කුලප්පු වුනාම, අශිෂ්ට විධියට කුක් ඇතුළු කණ්ඩායම හැසිරුණ බවත්. ඔබේසේකර සහ සහලින්ස් අතර වන මත ගැටුමේ ප්‍රධාන පදනම තමයි, මේ ස්වදේශීන් වෙනම ආරකට සිතන බවට සහලින්ස් ඇතුළු අය දැරූ අදහසත්, ඊට ප්‍රතිවිරුද්ධව සවදේශීන් හිතන්නෙත් අනෙක් අය හිතන විදියටමයි කියලා ඔබ්සේකර දැරූ අදහසත්.

කුක්ගේ දේවත්වාරෝපණය පිළිබඳ මේ ඓතිහාසික ගැටලුව සහ මානව  සමාජවල සිතීම (thinking) පිළිබඳ මතු වූ මේ පරස්පර න්‍යායික හා අර්තවිවරණීය අදහස්  දෙකට අමතරව, ඔබේසේකර ගේ විවිචනයෙන් සහ ඒ සම්බන්ධයෙන් මතු වූ  පුළුල් විවාදයෙන් මතුවෙන තවත් ප්‍රශ්නයක් තමයි, බටහිර ශාස්ත්‍රඥයින්ට බටහිර නොවන සමාජ නිසියාකාරව තේරුම්ගන්න පුළුවන් ද කියන එක. නමුත් මේ කේන්ද්‍රීය කාරණා මෙතනදී දැන් කතාකරන්න පුළුවන් දේවල් නෙවේ.

කොහොම වුනත්, මේ විවාදයේ ප්‍රධාන ස්ථාවර ගැන පුළුල් කතිකාවකට ඇතුළුවෙන්න උනන්දුවක් තියෙන අයට, ඒකට වඩාත් සුදුසු ප්‍රවේශ දෙක තමයි, සහ්ලින්ස් ගේ How “Natives” Think (1994) (ස්වදේශිකයින් හිතන්නේ කොහොමද) කියන පොත සහ ඔබේසේකර ගේ The Apotheosis of Captain Cook කියන පොත.

මම කැමතියි ඊළඟට මේ විවාදයෙන්ම මතුවෙච්ච දෙවන පොතට යන්න. ඒ තමයි, 2005 දී පලවූ, Cannibal Talk: The Man-Eating Myth and Human Sacrifice in the South Seas කියන පොත (පෝරිසාද කතා: දකුණුදිග සාගර ප්‍රදේශයේ පෝරිසාද මිත්‍යාව සහ මිනිස් බිලි පූජා පිළිවෙත්).

ඔබේසේකර මෙතනදී කියන්නේ, හවායිවල පමණක් නෙවේ, සමස්ථ පැසිෆික් සාගර කලාපයම සැලකිල්ලට අරගෙන, කපිතාන් කුක්ගේ දේවාරෝපණය වගේම cannibalism, පෝරිසාද කතා (එහෙමත් නැත්නම් මිනීමස් කෑම පිළිබඳ කතාත්), යුරෝපීය මිත්‍යා අදහස් ගොඩනැගීමේම තවත් එක කොටසක් කියලා.

ඔබේසේකරගේ අදහස තමයි, මේ පෝරිසාද කතා යුරෝපීන් විසින් මෙන්ම ස්වදේශීන් විසින් ද ‘අනෙකා’ (the other) පිළිබඳව ගෙතූ බලසම්පන්න කතිකාවක් නැත්නම් ප්‍රවාද සමූහයක් කියලා.

මෙහිදී ඔබේසේකර මතුකරන ප්‍රධානම කාරණයක් තමයි, බටහිර සංචාරකයින් ලියූ ‘ඇසින් දුටු සාක්ෂ්‍ය’ ලෙස විස්තර කරන දේ දිහා බොහෝ පරිස්සමින් නැවත බැලිය යුතුයි කියන කාරණාව. ඔහු මේ පොතෙන් කරන්නේ, මේ වගේ තොරතුරු, ව්‍යුහවිභාගයකට ලක්කරන එකයි (deconstruct). මේවායේ ප්‍රභවය සහ ව්‍යාප්තිය දිහා බලලා ඔහු යෝජනා කරන්නේ, මේ තොරතුරු තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේවා එක්තරා ආකාරයක නිර්මාණ රචනා විදියට බවයි (fictions). නැත්නම්, නාවිකයින්ගේ සහ ඒ කාලයේ ලොව පුරා කරක් ගහපු නාවිකයින් හා සමාන අනෙක් රස්තියාදු කාරයින්ගේ ඔපාදූප ලෙස බවයි. මේ අධ්‍යයනයට මාත් යම් උදව්වක් පර්යේෂණ පැත්තෙන් කළ නිසා, වෙන වෙලාවක අවශ්‍ය නම් මෙයින් කියවෙන පුළුල් අර්ථ ගැන කතාකරන්න පුළුවන්.

ඇත්තටම අපි මේ මූලාශ්‍ර හොදින් පරිශීලනය කලොත්  පේන්නේ මිනී මස් කෑම වගේ දේ සැබැවින්ම ඇහින් දුටු අය නැති තරම් බවයි. මේවා බොහෝ විට කටකතා සහ ජනප්‍රවාද වගේ දේ මත පදනම්ව, පසුව හැබෑ කතා විදියට වාර්තා වුන ආකාරය මටත් පෙනුනා මේ සමහර මූලාශ්‍ර කියවන කොට.

පැසිෆික් සාගර ප්‍රදේශයේ වගේම යුරෝපයේත්, මිනී මස් කෑම සමාජ යථාවකට වඩා, ඒ පිළිබඳව තිබූ යුරෝපීය රචනාවලින් ගොඩනැගුනු දෙයක් බව පැහැදිලි වෙනවා. නමුත් ඒ රචනාවලින්, ඔබේසේකර පෙන්වා දෙන්නේ, යුරෝපීය සමාජවල තිබූ ඇතැම් භාවිත හා විශ්වාස සහ මිනී මස් කෑම ගැන ඒ අයගේ සිත්වල තිබ්බ උනන්දුව සහ සාංකාව මේ කතාවලින්  මතුවෙන බවයි.

මේකෙන් කියන්නේ නැහැ මිනී මස් කෑමේ භාවිතය පැසිෆික් දූපත් නැත්නම් පොලිනීසියානු දූපත්වල තිබුනේම නැහැ කියලා. මේ සම්බන්ධයෙන් ඉතාමත් සීමිත භාවිතයක් තිබුනේ, මූලික වශයෙන් මිනිස් බිලි පූජා වගේ වත් පිලිවෙත් එක්ක සම්බන්ධ වෙලා. ඒත්, ඇතැම් ප්‍රජාවන් තුල විතරක් තිබුණ සුවිශේසී යාතුකර්මයක් විදියටයි.

ඔබේසේකර අවසානයට කියන්නේ, මිනී මස් කෑමේ පුරුදු පසු කාලීනව මේ ප්‍රදේශවල යම් දුරකට මතු වුනේ, යුරෝපීය ආගමනයත් එක්ක බවයි. ඒ තත්ත්ව තුළ ඇතැම් විට සමහර කණ්ඩායම් විදේශීය වගේම තමන්ගේ අයත් කන්න ගත්තේ යම් පැහැදිලි තත්ත්ව තුල.

මහාචාර්ය ඔබ්සේකර පැසිෆික් සාගර ප්‍රදේශයයේ කළ මේ බුද්ධිමය සංචාරයට පසුව මම කැමතියි ආයෙත්, දකුණු ආසියාව හා ලංකාව කේන්ද්‍රකරගත් වඩාත් මෑත කාලීන පොත් තුනක් වෙත ඉතාමත් කෙටියෙන් ප්‍රවිෂ්ට වෙන්න.

මේකෙන් එකක් තමයි, 2012 දී පලකළ, The Awakened Ones: Phenomenology of Visionary Experience කියන පොත (අවදිවූවන්: විදර්ශනීය අත්දැකීම් පිළිබඳ ප්‍රපංචවේදය)

ඔබේසේකර ගේ මම කියවලා තියෙන පොත්වලින් මට තේරුම්ගන්න සෑහෙන්න අමාරු වුනෙත්, තාම හරියට තේරුම් අරන් නැත්තෙත් මේ පොත. මේ ගැන මම කියවලා තියෙන සහ මට නොයෙකුත් ඉන්දීය බුද්ධිමතුන් කියල තියෙන විමර්ශනවලින් සමාන්‍යයෙන් කියන්නේ, කාරණා දෙකකින් එකක් ගැනයි. එකක් තමයි, මේක අගනා පොතක් බවත්, මේක ඔහුගේ ගැඹුරුම වෘත්තීය දායකත්වය බවත්. තවත් අය කියනවා, මේක ඔහුගේ වඩාත් ව්‍යුහාත්මකව ගැටළුකාරී පොත කියලා. මම ඉන්නේ මේ අන්ත දෙකක අතර. මේ පොත ඉදිරිපත් කරලා තියෙන්නේ එකිනෙකට සම්බන්ධ, නමුත් වෙන්ව කියවන්න පුළුවන් දීර්ඝ පරිච්චේ 8 ක් හැටියටයි. මේ නිසාම, මේ පරිච්චේද ඔහු නම් කරල තියෙන්නේ පොත්, නැත්නම් books විදියට.

මේකේ ප්‍රධාන ප්‍රවේශය විධික්‍රමික එකක් කියලා කියන්නත් පුළුවන්. ඔබේසේකරට අවශ්‍ය නොයෙකුත් මෑත සහ ආදී කාලීන, විශේෂයෙන් ආසියානු චින්තකයින්ගේ අදහස් දිහා බලලා, ‘සත්‍යය’ හැටියට ඔවුන් දුටු දේට සමීප වුනේ කොහොමද කියලා කතාකරන එකයි. මේ චින්තකයින් අතර බුදුන් වහන්සේ මෙන්ම, ටිබෙටන් පූජකයින්, මහායාන චින්තකයින්, දමෝදර් මවලන්කර් වැනි ඉන්දීය චින්තකයින්, පරම විඥානවාදී ව්‍යාපාරයේ හෙලේනා බ්ලවට්ස්කි සහ හෙන්රි ඕල්කොට් වගේ අය වගේම නොයෙකුත් යුරෝපීය ක්‍රිස්තියානි කණ්ඩායම්වල ඇතැම් නායකයින් ද ඇතුලත් වුනා.

තාර්කික සවිඥානිකත්වය (rational consciousness) ඔස්සේ ගව්ෂණය කර, සත්‍යය සොයා ගැනීම ගැන අපි සෑහෙන්න කියවලා ඇති.  ඔබෙසේකරත් මේ ගැන කතාකරනවා. නමුත් මීට අමතරව, විදර්ශනාව හෝ ප්‍රාග්ඥානය (visions) ඔස්සේ ලබාගන්නා දැනුමද ගවේෂණය කළ යුතු බව ඔහු කියනවා. මේ කෘතියේ ප්‍රධාන දායකත්වය මේ ප්‍රවේශයයි. මක් නිසාද යත්, මේ ඔස්සේ ද, ඒ කියන්නේ සිහින සහ එමගින් දකින දේ ඔස්සේ ද, ගැඹුරු දැනුම් පර්ශදවලට යා හැකි බව ඔහු යෝජනා කරන නිසා. මෙය යම් ආකාරයකින් රැඩිකල් විධික්‍රමික ප්‍රවේශයක් කියලා කියන්නත් පුළුවන්.

මේ කතිකාව සඳහා ඔහු බෞද්ධ සහ හින්දු මෙන්ම ඊට පරිභාහිර වූ යුරෝපීය විදර්ශනීය හෝ ප්‍රාග්ඥානමය අත්දැකීම් වෙතත් අවධානය යොමු කරනවා. එසේ කරන්නේ, එවැනි අනුභූතිවල සංකේතීය සහ අතාර්කික සේ පෙනෙන අන්තයන්ද ගවේෂණය කරමින්.

ඔහු මේ ගැන කතාකරන්න බුදුරජාණන්වහන්සේගේ පෙර ආත්ම දැක්මේ දැනුම සහ කල්ප ගනනාවක් ඔස්සේ සිදු වූ ලෝක විපර්යාසය සිහිනයෙන් මෙන් දැකීමේ සිට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම වගේම ක්‍රිස්තියානි සන්නාසීවරියක් වූ මාජරී කෙම්ප් භාවනා කිරීන්මෙන්, සහ ඒ ඔස්සේ ජේසුස්වහන්සේ වේදනා වින්ද ආකාරය දැකීම වැනි විස්තර ඔස්සේ සිතීමෙන්.

කොහොම වුනත්, එක අතකින් ඔහු මේ කරන්නේ මානව විද්‍යාව සහ මනෝවිශ්ලේෂණය සමග ඔහුගේ තිබූ දීර්ඝකාලීන සම්බන්ධතාව වඩාත් නිර්මාණශීලී, එනමුත් ගැටළු ද මතුකරන මට්ටමකට ගෙන යාමයි. ඔහු තර්ක කරන්න උත්සාහ ගන්නේ, මේ මාර්ගයේ ගමන් ගතහොත්, යටිසිතේ පදනම්ව ඇති නොයෙකුත් දැනුම් පර්ෂද අවදි කල හැකි බවයි. පොත The Awakened Ones ලෙස නම් කර ඇත්තේ ද මේ අදහස් නිසයි.

මේ සමස්ථ ව්‍යාපෘතියම මම දකින්නේ සම්භාවනාවක් හැටියට. මේ සම්භාවනාවට ඔහු සිහින සහ විදර්ශනීය අත්දැකීම් පිළිබඳ  ආසියානු සහ යුරෝ-ඇමෙරිකානු අත්දැකීම් වගේම සිග්මන්ඩ් ෆ්රොයිඩ් සහ කාල් යුන්ගේ සිහින පිළිබඳ විශ්ලේෂණත්, විලියම් බ්ලේක් ගේ වඩාත් නිර්මාණශීලී හා සිහින තේරුම්ගැනීමේ මුල් කාලීන උත්සාහ ද අතුලත්කරගෙන තියෙනවා. ඔබේසේකර මේ සඳහා යොදාගෙන තියෙන ප්‍රධාන සංකල්පය තමයි, “dream-ego” කියන අදහස. එයත් යුන්ග් හා ෆ්‍රොයිඩ් ගේ අදහස් මත සෑහෙන දුරට රදා පවතිනවා.

මේ පොතෙන් එක දෙයක් පැහැදිලවම කරන්න උත්සාහ ගන්නවා. ඒ තමයි, බටහිර ශාස්ත්‍රීය දැනුම් පර්ෂදවලට  බෞද්ධ හා හින්දු බුද්ධිමය දැනුම, එහි දාර්ශනික ප්‍රවේෂන්ට අමතරව, එහි ප්‍රාග්ඥානමය අත්දැකීම් ද සමගින් තේරුම් ගන්න යම් දොරටු විවර කිරීම. ඊට, අමතරව මේ ව්‍යයාමයේදී කේන්ද්‍රීය බටහිර දැනුම ද භාවිත කරන නිසා, එමගින් ඒ චින්තන අවකාශවලට නව අර්ථවිවර්ණීය දැනුමක් එකතු කරන්නත් උත්සාහ කරලා තියෙනවා.

නමුත් මම කලින් අදහස් දක්වපු පොත් වගේ සහ ඉස්සරහට කතාකරන පොත් දෙක වගේ, මේකෙන් හරියටම කියන්නේ කුමක් ද කියලා මට කෙටියෙන් කියන්න බැහැ. ඒකට අවශ්‍ය පසුබිම් දැනුම මට දැනට නැහැ. ඒ එක්කම, ප්‍රාග්ඥානමය අත්දැකීම් ගැඹුරු දැනුම් විශේෂයක් ලෙස සලකන්න දැනට මගේ කැමැත්තකුත් නැහැ. ඒ සඳහා මට මගේ පුහුණුව ඉඩ දෙන්නෙත් නැහැ. ඒ දැනුම මේ විදියට ලබාගන්න ඕනෙද කියලා මට දැඩි විශ්වාසයකුත් තාම නැහැ. මේ සමස්ථ උත්සාහය සහ පොතම සම්භාවනාවක් කියලා මම කිව්වේ ඒකයි. මේක අසම්පූර්ණ සම්භාවනාවක්. මට මේ ගැන වඩාත් පරිපූර්ණ අදහසක් දක්වන්න පුළුවන් වෙයි, මම විශ්‍රාම ගියාට පස්සේ වඩාත් වැඩියෙන් කියවන්න සහ හිතන්න වෙලා හොයා ගත්තොත්. මේ පොත ගැන ගැඹුරෙන් කතාකරන්න ලෝකයේ හුගක් තැන් තාම යොමු වෙලා කියලා මට පෙනිලා නැහැ සාර සංග්‍රහ වල පල කළ යම් යම් සාම්ප්‍රදායික විමර්ශන ඇර. මම හිතන්නේ, මට තියෙන මේ ගැටළු තවත් බොහෝ දෙනාට අදාල විය හැකි වුනත්, ඒවා විවෘතව කියයිද කියලා මට විශ්වාස නැහැ.

අවසාන වශයෙන් මම කැමතියි, ඉතාමත් මෑත කාලයේදී ලංකාවේ පලකළ පොත් දෙකක් වෙත යොමුවෙන්න.

මෙයින් එකක් තමයි, Doomed King: A Requiem for Sri Vikrama Rajasinha කියන පොත (කරුමක්කාර රජතුමා: ශ්‍රී වික්‍රම රාජසිංහ සඳහා මෘතශාන්තිකර්මයක්). අනෙක තමයි, The Many Faces of the Kandyan Kingdom 1591-1765: Lessons for Our Time කියන පොත (උඩරට රාජධානියේ අනේකවිද මුහුණුවර, 1591-1765: අපේ කාලයට සුදුසු පාඩම්). මේ දෙකම ලංකාවේ හොයාගන්න පහසුයි, ඔහුගේ අනික් සියලුම පොත්වලට සාපේක්ෂව. නමුත් මේ වෙන කොට ලංකාවේ මේ පොත් දෙකට අමතරව, ඔහුගේ තවත් රචනා සහ පොත් කීපයක් පලවෙලා තියෙනවා. පමා වී වුනත් ඔහුගේ පොත් මෙරට පලවීම වැදගත් ප්‍රවණතාවක්. මේවා සිංහල සහ දෙමල භාෂාවලට පමා නොවී පෙරලීම ඊටත් වඩා වැදගත් දෙයක්.

අපි දැන් Doomed King පොත වෙත යොමු වෙමු. අපිට සාමාන්‍යයෙන් උගන්වලා තියෙන විදියට ලංකාවේ අන්තිම රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ ඉතාමත් දුෂ්ට රජෙක්. ඔහු තමන්ගේ සමීපයින් ගැන සැක කර, ඔවුන්ගෙන් ඇතැමුන් මරා දැම්ම. ඇහෙලපොල කුමාරිහාමි දියේ ගිල්ලලා මැරුව. ඒ පවුලේ කුඩා දරුවෙක් වංගෙඩියක දාල කෙටෙව්වා. පොඩි මද්දුම බණ්ඩාරගේ හිස ගහල දැම්ම. මේ වගේ කතා බොහොමයක් අපිට ඇවිල්ල තියෙනවා. ශ්‍රී වික්‍රම දුෂ්ට රජෙක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ දේවල් එහෙම පිටින්ම පිලිගන්න නිසා.

මේ පොතෙන් ඔබේසේකර උත්සාහ ගන්නේ,  ශ්‍රී වික්‍රම රජතුමාගේ මේ දුෂ්ට චරිතය හැදුන ආකාරය සොයා බලන්න. ඔහු අවසානයට තීරණය කරන්නේ, ශ්‍රී වික්‍රම දුෂ්ට රජෙකුට වඩා, කරුමක්කාර රජෙක් වූ බවයි. ඒ කියන්නේ, ඔහුගේ ඛේදජනක අවසානය, ඔහු රජ වෙනකොටම උරුම කර ගත් බවයි.

රජතුමාගේ කෘරත්වය ගැන බොහෝ අදහස් එන්නේ ජෝන් ඩොයිලිගේ වාර්තා අනුව. අපි ඒවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පිලිගන්නවා. නමුත් ඩොයිලි කියන්නේ බ්‍රිතාන්‍ය චරපුරුෂ සේවයේ මේ කාලයේ කේන්ද්‍රීය භූමිකාවක් කළ අයෙක්. ඒ නිසාම, මේ තොරතුරු අන්ධව විෂයමූලක (objective) කරුණු හැටියට සැලකීමම වැරදියි. නමුත් අපි බොහෝ දුරට කරන්නේ මේකයි.

කොහොම නමුත්, මේ තොරතුරු මෑත කාලයේ බොහෝ දෙනා නොකළ තරම් පැහැදිලිව සහ ප්‍රවේශමෙන් ඔබේසේකර අපිට ඉදිරිපත් කරලා තියෙනවා. එහෙම කරලා ඔහු අහන ප්‍රශ්නයක් තමයි, රජතුමා කෙරේ මහජන අප්‍රසාදයක් ඇති කරන්න මේ මනුස්සය (ඒ කියන්නේ ඩොයිලි) මෙච්චර දෙයක් කළේ රජුගේ කෘරත්වය පෙන්න්වනද නැත්නම්, එය වඩාත් පැහැදිලිව මවා පා, නැති දේවලුත් එක් කර, ඔහු ගේ කෘරත්වය පිළිබඳ කතිකාවක් ගොඩනගා, ඔහුගේ ජනප්‍රියත්වය අකා මකා දමා, රාජ්‍යත්වය පැහැර ගන්න නොවේද කියලා.

ඒ වගේම, ශ්‍රී වික්‍රම රජු ඔහුගේ රාජ්‍යත්වය  බාරගනිද්දීම ඔහුගේ වඩුග සම්භවය නිසා උඩරට ප්‍රභූන් අතර ජනප්‍රිය වුනේ නැහැ. මේ තත්ත්වයත්, ඒ කියන්නේ මේ ප්‍රභූන්ට රාජ්‍ය බලය ලබාගැනීමට තිබූ අවශ්‍යතාව, රටම සින්න කර ගන්න තිබුන  බ්‍රිතාන්‍ය අවශ්‍යතා සමග සමපාත වීම, මේ කෘරත්ව කතිකාව තීව්‍ර වීමට බලපෑවා. අනෙක, ඔහු පැණවූ දරුණු වධ හිංසා ඔහුගේ කෘරත්වය නිසාම  කළ දේවල්වලට වඩා, ඒවා එදා නීතියට අනුව කළ දේවල් බවත් ඔබේසේකර පෙන්වා දී තියෙනවා.

ඔහු මේ අර්ථකතනවලට එනකොට, මීට කලින් ඉතිහාසඥයෝ භාවිත නොකළ ‘කඩඉම් පොත්’, ‘විත්ති පොත්’ වගේ දේශීය මූලාශ්‍ර යොදාගන්නා අතර, ඩොයිලි තරම් ප්‍රසිද්ධ නැති ඇතැම් බ්‍රිතාන්‍ය සෙබළුන්ගේ වාර්තාත් යොදාගන්නවා. ඒවගේම, ඩොයිලිගේ වාර්තා ඔහු කියවන්නේ, ඔහුගේ චරපුරුෂ භූමිකාව සහ ලංකාවේ රාජ්‍ය බල පැහැරගැනීමේ බ්‍රිතාන්‍ය ව්‍යාපෘතිය කියන වැදගත් සන්ධර්භය තුල තියලා මිසක් විෂයමූලක ඓතිහාසික හෝ ශාස්ත්‍රීය රචනයක් කියවන විදියට නෙවේ.

මේ පොතෙන් මේ ප්‍රතිඅර්තකතනය මේ විදියට කෙරෙන්නේ, ඔහු ඉතිහාසය කිවන්නේ මානවදිඥයෙක් විදියට නිසා කියන එකයි මගේ විශ්වාසය. අපි අතීතය දිහා වර්තමානයේ සිට බලද්දී, මේ ප්‍රවේශය විධික්‍රමිකව වැදගත් කියලා මම හිතනවා.

මම අන්තිමට කතාකරන්නේ, The Many Faces of the Kandyan Kingdom 1591-1765: Lessons for Our Time කියන් පොත ගැනයි (උඩරට රාජධානියේ අනේකවිද මුහුණුවර, 1591-1765: අපේ කාලයට සුදුසු පාඩම්). මේකෙන් ඔබ්සේකර මූලික වශයෙන් කරන්නේ, 1591 සහ 1765 අතර කාලයේ උඩරට රාජධානියේ සමාජ-සස්කෘතික වාතාවරණය ගැන කතා කිරීමයි. පොතේ මතෘකාවෙන්ම කියන විදියට ඔහුගේ උනන්දුව මේ අතීතයෙන් වර්තමානයේ දේශපාලනයට යම් ආකාරයේ පාඩම් ලබා ගත හැකිද කියන ප්‍රශ්ණය මතු කිරීමටයි.

ඔබේසේකර භාවිත කරන ඉතිහාසමය මූලාශ්‍ර අපි නොදන්නා දේවල් නෙවේ. නමුත් තත්කාලීන දේශපාලනයේදී සහ දෛනික ජීවිතයේදී ඒවා බොහෝ දුරට අපි අමතක කළ දේවල්. ඔහු පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ, මේ කාලයේ උඩරට රාජධානි ප්‍රදේශයේ සහ රාජ සභාවේ සංස්කෘතික සහ සමාජ විවිධත්වය කොතරම් තිබුනා ද සහ ජනවාර්ගික සහ ආගමික අනෙකා ඉවසීමට සහ ඔවුනට නිදහසේ දිවි ගෙවීමට රජවරුන් සහ එකල නීති කොතරම් උපකාර වුනාද, රාජ සභාවේ සහ යුද හමුදාවේ සංයුතිය කොතරම් විවිධත්වයකින්  යුතු වුනාද, රජවරුන් ගේ ක්‍රියාකලාපය, රාජධානියේ අවකාශීය සැකැස්ම සහ විධිමත් නීති රීති ක්‍රියා කළ ආකාරය ආදී දේ පෙන්වා දීමටයි.

මේ පොත කියවද්දී සහ එමගින් ඉදිරිපත්කරන ඓතිහාසික මූලාශ්‍ර ගැන සිතා බලන කොට පෙනෙන ප්‍රධානතම කාරණය තමයි, උඩරට රාජධානිය කොතරම් විශ්වදේශීය හෝ නානාජාතික වුනාද (cosmopolitan) කියන එක. මේක අපේ සාමුහික මතකයෙන් අද වන විට ගිලිහී ගිහින් තියෙන දෙයක්.

නමුත් ලංකාවේ පල කළ මේ හැම පොතකම වගේ, ඔහුගේ අනෙක් කිසිම පොතක නැති, පහසුවෙන් විසඳාගත හැකිව තිබූ සංස්කරණමය ගැටළු තියෙන බව මේවා මතුපිටින් කියෙව්වත් පේනවා.

මම දැන් කැමතියි ඉතාමත් කෙටියෙන් මේ වගේ ඒකරේඛීය ව්‍යාපෘතිවලින් එහාට යන්න කැමතිනම්, එසේ යා යුත්තේ කොහොමද කියන එක ගැනත් වචනයක් දෙකක් කියන්න.

ඔබේසේකර විසින් ගොඩ නගා තියෙන පුළුල් දැනුම ගැන අපේ රටේ විචාරපූර්වක කතිකාවක් තාම සැලකියයුතු මට්ටමකින් ආරම්බ වෙලා නැති නිසාත්, ඔහුගේ ප්‍රධාන පොත පත තාමත් අපේ රටේ හොයාගන්න අමාරු නිසාත්, ඔහුගේ පොත පත ඒවා කියවිය යුතු බොහෝ අය තාම කියවලා නැති නිසාත්, ඒ වගේ පුළුල් කතිකාවකට යන්න ආරම්භය විය යුත්තේ ඔහුගේ කේන්ද්‍රීය පොතපත්වල අන්තර්ගතය ගැන කෙටියෙන් අදහස් දක්වන මේ වගේ ඒකරේඛීය ප්‍රව්ශයක් කියලා මාත් හිතනවා. මේක තව මද දුරක් මේ විදියට යන්නත් ඕනේ — ඔහුගේ බුද්ධිමය දායකත්වය සැකෙවින් සිතියම් ගත කරන කල්.

නමුත් අපේ අවසාන උත්සාහය විය යුත්තේ මීට වඩා පුළුල් බුද්ධිමය සහ කතිකාමය අවකාශයකට ඇතුලුවෙන එකයි. ඒ කියන්නේ, ඔබේසේකර මේ දැනුම ගොඩනැගුවේ ඇයි, ඒවාට බලපෑ පරිස්තානීය තත්ත්ව සහ ගෝලීය න්‍යායික හා ගුරුකුලමය තත්ත්ව මොනවාද, ඔහු ලංකාව පිළිබඳ දැනුමට ගෙනත් ඇත්තේ කුමනාකාරයේ නව දැනුමක්ද, ඔහු පැවති දැනුම නව්‍යකරණයට භාජනය කළා නම්, ඒ කොහොමද, ඔහු ලංකාවේ හෝ පැසිෆික් සාගර ප්‍රදේශ සම්බන්ධයෙන් කළ පර්යේෂණ ඔස්සේ ගොඩනගා ඇති අලුත් න්‍යායික, සංකල්පීය හා විධික්‍රමික ප්‍රවේශ මොනවාද? ඔහුගේ ප්‍රව්ශයවල ගැටළු තිබේ නම්, ඒ මොනවාද, ඔහු මීට වඩා දකුණු ආසියානු චින්තනයට අවධානය යොමු කළා නම්, නැත්නම් අපි එසේ කලොත්, මේ දැනුම ගෙනයා හැක්කේ කොහාටද ආදී ප්‍රශ්න අපි මේ සමග මතුකළ යුතුයි. නමුත් මේක ගැඹුරු සහ කාලය ගතවෙන බුද්ධිමය ව්‍යාපෘතියක්.

මගේ කැමැත්ත, මේ වගේ දෙයක් ලංකාව තුල සිදුවෙනවා දකින්නයි. ඒවා වෙයිද, නැද්ද, කරන්න කට්ටිය ඉන්නවද සහ සංවිධාන තියෙනවද කියන එක ගැන මට වැඩිය දන්නේ, ලංකාවේ ඉන්න අයයි. මම මේක මතු කළේ, ඒ වගේ වැඩකට ප්‍රවිෂ්ට වෙන්න කැමති නම්, ඒ ගැන දැන් දැන්මම සිතිය යුතුයි, සහ ඒ සඳහා වැඩ කටයුතු පටන්ගත යුතුයි කියල කියන්න විතරයි.

(‘ගණනාත් ඔබේසේකර: දශක හතක ශාස්ත්‍රාලයීය දිවිසැරිය’ යන මැයෙන් සබරගමුව විශ්වවිද්‍යාලය මගින් 2024 පෙබරවාරි 2 වන දින අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කළ අදහස් දැක්වීමේදී ඉදිරිපත් කළ අදහස්)

Leave a comment

This website uses cookies to improve your web experience.