~ අනුෂ්කා කහඳගමගේ
මේ මොහොතේ මදක් නැවතී මේ තත්ත්වය විශ්ලේෂණය කිරීමට තරම් වරප්‍රසාද සහිත තත්වයකට මා ඔසවා තැබුවාට නිදහස් අධ්‍යාපනයට සහ ඒ වෙනුවෙන් බදු ගෙවූ ජනතාවට ප්‍රථමව ප්‍රණාමය පුද කරමි.
විශාල සමාජ විපරිවර්තනයක අංකුර මතුවෙමින් පවතින මේ මොහොත, ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් මෙන්ම වෙනස්ම ආකාර සන්ධිස්ථානයක් ලෙස දකිමි. ඒ මොහොත තුළ බොහෝ ධනාත්මක දේ ඇති අතර, ඒ ධනාත්මක දේ තවත් ප්‍රගතිශීලී මාවත් කරා යොමුකළ යුතුව ඇත.
ඉතාම දීර්ඝ කාලයක් ජාති ආගම්, කුල මල, ස්ත්‍රී පුරුෂ මෙන්ම සමාජ පන්ති අනුවත් බෙදී සිටි ජනතාවක් එක රොත්තට මෙම නිල නොවන මිලිටරි පාලනයට විරුද්ධ වීම අනාගතය ගැන සුබ නිමිත්තකි. එමෙන්ම, කුඩා දරුවාගේ සිට වයස් භේදයකින් තොරව ජනතාව යුක්තිය වෙනුවෙන් පෙනී සිටිති. තවද, තම ඉතාම කුඩා දරුවා පවා අරගල බිමට රැගෙන ඒමට තරම් ඇතැම් දෙමාපියන් නිර්භීත වීම මෙන්ම එම දරුවන්ට යුක්තිය වෙනුවෙන් සටන්කළ යුතු බවට දෙන පණිවිඩය අතිශය වැදගත්ය.
වාමාංශික නැඹුරුවක් සහිත පක්ෂ කිසි දින පාර්ලිමේන්තුවේ සැළකිය යුතු බලයක් අත්කර නොගත් බව සත්‍යයකි. නමුත් ජනතාව, පොලීසිය සහ හමුදාව සමඟ තර්ක කරන ආකාරය දකින විට පෙනී යන්නේ, වාමාංශික දේශපාලනය සමාජය තුළ යම් සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බවයි. නමුත් ජන නැඟිටීමට ප්‍රමුඛත්වය දීමට ඔවුන්ට නොහැකි වූ අතර, මේ වනවිට සිදුවෙමින් පවතින්නේ ජනතාවගේ නැට්ටේ එල්ලී දිව්‍ය ලෝකයේ යාමට මේ ඇතැම් පක්‍ෂවලට සිදු වීමයි. එම තත්වයත් මා නම් දකින්නේ ප්‍රගතශීලි ලෙසයි. ජනතාවගෙන් තොර බටහිර න්‍යායවලින් පමණක් සමන්විත සාමජවාදයක් නොමැති බව හිතුවක්කාර වම තේරුම් ගත යුතුව ඇත.
එමෙන්ම මෙම සටන මධ්‍යම පාන්තික සටනක් බවට හංවඩු ගසමින් තිබේ. එසේ හංවඩු ගසන්නේ, මිනිසුන් සමඟ එකට සිට ගන්නවා වෙනුවට සටන විශ්ලේෂණය කිරීමට වරප්‍රසාද ඇති ඉහළ මධ්‍යම පාන්තිකයින් වීම කණගාටුවට කරුණකි. මධ්‍යම පන්තියේ සාමාජිකයින් සටන තුළ සක්‍රීයව දායක වෙයි. එහි ඇති වරදක් නැත. එහෙත් සටන තුළ සහභාගී වන්නේ මධ්‍යම පන්තිය පමණක් නොවේමය. ඒ වෙනුවට, සියලු ආකාර සමාජ තලවල පීඩාවට පත් ජනයා සටන තුළ විවිධ ආකාර වලින්, විවිධ මට්ටම් වලින් සහභාගී වෙමින් සිටිති. ඒ සියලු සමාජ පන්ති, අරගලය තුළ සමාන්තරව පැවැත්මට එයි.
එමෙන්ම දැන් දැන් සමාජ මාධ්‍ය වල දකින්නට ලැබෙන අදහසක් වන්නේ, සටන මෙහෙයවිය යුතු ආකාරය, සටන් පාඨ ‘නිවැරදි’ විය යුතු ආකාරය, සටන ‘අල’ නොකළ යුතු ආකාරය ගැන විවිධ විද්වතුන් විසින් දක්වන අදහස්ය. මම සිතන ආකාරයට එක් එක් පුද්ගලයා සටන් කරන ආකාරය වෙනස් විය හැකිය. යමෙක් සටන් කිරීම විලාසිතාවක් ලෙස දැකිය හැකිය. එමෙන්ම විවිධ පුද්ගලයින්ගේ සටන් පාඨ විවිධ පුද්ගලයින්ට පවතින ගැටළු මත වෙනස් විය හැකිය. එක්තරා පෝස්ටුවක පියුමි හංසමාලි ගැන විවේචනයක් වූයේ, ඇය සටන අල කරන බවය. ඇයගේ සටන් පාඨය වූයේ ‘අපේ සල්ලි අපිට දියව්’ යන්නය. ඇය චන්දිමාල් සමඟ පින්තුරයකටද පෙනී සිටී. පියුමි හංසමාලිට අරගල කිරීමේ අයිතියක් නැතිද? ඕනෑම පුද්ගලයෙකුට තම සටන් පාඨය සමඟ අරගල කිරීමේ අයිතියක් ඇත. එම සටන් පාඨ යමෙකුට නොගැලපෙන්නේ නම්, ඒ, එම පුද්ගලයා හෝ එම පුද්ගලයා නියෝජනය කරන මතවාදී කල්ලිය ‘නිවැරදි’ යයි ඔවුන් සිතනා සටන් පාඨ සමාජගත කිරීමට අපොහොසත් වීම නිසාය. ‘නිවැරදි’ සටන් පාඨය කුමක්දැයි කියා දීමේ අයිතියක් කිසිම ඔස්තාද් කෙනෙකුට නැත. එමෙන්ම ජනතාවගේ ‘විනය’ හදන්නට ආ ගෝටා සහ මෙම සටන් පාඨ ‘නිවැරදි’ කරන්නට කියා ජනතාව ලැජ්ජාවට පත්කරන කණ්ඩායම් අතර වෙනසක් මම නොදකිමි. අරගලය පාරිශුද්ධ කළයුතු නැති අතර, ඕනෑම දේශපාලනික කණ්ඩායමකට වැඩ කිරීමට සිදු වන්නේ මේ ජනතාව සමඟය. මේ මොහොතේ දේශපාලනික කණ්ඩායම් ජනතාව නිසා නිර්මාණය වනවා මිස දේශපාලනික කණ්ඩයක් නිසා ජනතාව නිර්මාණය නොවන්නේය. සටන් පාඨ නිවැරදි විය යුතු නම්, එසේ විය යුත්තේ මතවාද වෙනස් කිරීමකින් මිස, වීදිවලට පැමිණ සිටින ජනතාවට ඇඟිල්ලෙන් ඇනීමෙන් නොවේ. එමෙන්ම, අරගලය විලාසිතාවක් බවට පත්වී ඇත්නම්, එයද සිදුවන්නට ඉඩ දිය යුතු බව මගේ අදහසයි. නිදහස් අදහස් නිදහසේ ප්‍රකාශ කළ යුතුය. ඒ ප්‍රකාශනයේ ආකාර වෙනස් විය හැකිය. එය දරා ගන්නට නොහැකි වන්නේ අරගලයේ පාලනය තමා සතුව තිබිය යුතු යයි සිතන කුහකයින්ටය. අරගලයේ මාවත, දිශානතිය ප්‍රගතිශීලී කිරීමට නම් වඩාත් සියුම් මතවාදී වෙනසක් දියත් කිරීම අවශ්‍ය වන අතර, එය ජනතාව අපහසුතාවට පත් කිරීමෙන් සහ ලැජ්ජා කිරීමෙන් නොකළ යුතුය. පැන නැඟුණු තවත් අදහසක් වන්නේ, සමාජ මාධ්‍යවල තමාව සලකුණු කරගැනීම සඳහා අරගල සිදු කරන බවයි. මෙසේ කියන ඔබද මාද ඇතුළු සියලු දෙනා ම අරගලයට සහභාගී වීමෙන් අප අත්පත් කරගත යුතු යයි සිතන සමාජ ප්‍රාග්ධනයක් නැද්ද? ඔබ පාරිශුද්ධ ද? ඔබ අරගල කරන විට ඔබ එය ලෝකයට කියන්නේ නැද්ද? ලකුණු දාගන්නේ නැද්ද? මේ අරගල කරන්නේ ජනතාව වෙනුවෙන් නම්, ඒ ජනතාවට ඔබ අයිති නැද්ද? ඔබ ඒ ජනතාවට වඩා ඉදිරියෙන් හෝ ඉහලින් සිටින මහා වැදගතෙක්ද? අපි හැමෝම එක රෑනකය.
අරගලය මිලිටරි පාලනයක් විසින් ඩෑහැ ගැනීමට ඉඩක් ඇත. මෙහිදී ඉදිරිපත් වූ තර්කයක් වූයේ දැනටමත් පවතින්නේ මිලිටරි පාලනයක් බවත්, මීට වඩා තත්ත්වය අන්ත විය නොහැකි බවත්ය. මෙම අදහස ඉතාම භයානක අදහසකි. මේ අදහසට සමගාමීව ශවේන්ද්‍ර සිල්වා බලය ලබාගෙන ගෝඨාභය එලවා දැමිය යුතු බවට අදහසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පැවතුනි. මෙවැනි අදහස් අතිශය භයානක ඒවාය. අපි දැනට නොනිල මිලිටරි පාලනයක් භුක්ති විඳින මුත්, ඒ පාලනය මැතිවරණයකින් අප විසින් තෝරාගත් පාලනයකි. නමුත් සැබෑ මිලිටරි පාලනයක් යනු අතිශය භයානක තත්ත්වයක් වන අතර, කිසිඳු උද්ඝෝෂණයක් ලේ විලකින් මෙහා නොනවතිනු ඇත. එබැවින් කිසිම අයුරකින් මිලිටරි පාලකයින් ගෙන ඒම මේ මොහොතේ හෝ වෙනත් ඕනෑම මොහොතක හෝ යෝජනා නොකළ යුතු භයානක යෝජනාවකි.
මෙතැනදී අප වඩාත් පරිස්සම් විය යුතු කාරණය නම් 225 ම එපා නම් ඊළඟට ලැබෙන්නේ කුමක්ද යන්නයි. මේ මොහොතේ කිසිඳු පාර්ශවයකින් මේ පිලිබඳ පැහැදිලි යෝජනාවක් ඉදිරිපත්වන බවක් පෙනෙන්නට නැත. ලංකාවේ පවතින ආර්ථික අර්බුධකාරී තත්ත්වය අනුව මැතිවරණයකට යාමද මේ මොහොතේ කළ නොහැක්කකි. කළ හැකි එක් විකල්පයක් වන්නේ, සියලු පක්ෂවලින් සැදුම් ලත් කණ්ඩායමක් හරහා රට පාලනය කරන අතර, මේ අරගලයේ කොටස්කරුවන් — ගොවීන්, කම්කරුවන් සහ ශිෂ්‍යයින් වැනි පාර්ශව — කිසියම් ආකාරයකින් පාලන තන්ත්‍රය හා සම්බන්ධ කරගැනීමයි. ඔවුන්ට ඍජුව තීරණ ගැනීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ වීමට සහ තම කණ්ඩායම්වල අදහස් පාලන තන්ත්‍රයට සම්ප්‍රේෂණය කිරීමට අවකාශ සැලසීමයි. එමෙන්ම ගෝඨාභය රාජ්‍ය සමය තුළ අතුගා දැමුනු රාජ්‍ය යාන්ත්‍රණය තුළ දැනටමත් පවතින ක්‍රමවේද නැවත පණ ගන්වා, අවංක නිලධාරීන් අදාළ තීරණ ගැනීමේ තනතුරුවල පිහිටුවීමයි. එහිදී වියත් මග වැනි ‘උගත්’ යයි වහසි බසින් හැඳින්වූ පාර්ශව වෙනුවට ‘නිල’ නොවන දැනුම් පද්ධතිවලින් පැන නැඟුණු පිරිසක් මෙන්ම නිලධාරීන්ද මේ යාන්ත්‍රණය තුළ සිටිය යුතු බව මගේ අදහසයි. එමෙන්ම, ඉතාම ඉක්මනින් 20 වෙනි සංශෝධනය අහෝසි කළ යුතු වෙයි. මේවා ඉතාම පොදුවේ යෝජනා කෙරෙන විකල්ප වන අතර, එසේ යෝජනා කරන්නේ, මේ පිලිබඳ මට වඩා බොහෝ දැනුම ඇති අය ඒ කටයුත්තට දායක වේය යන අභිලාශය ඇතුවය.
අවසාන වශයෙන් කියන්නට ඇත්තේ, මේ ඓතිහාසික මොහොත තුළ ජිවත් වීමට හැකි වීම මාගේ භාග්‍යයක් කොට මා සළකන අතර, අරගල බිමේ විවිධ අයුරින් සටන් කරන ශක්තිමත් ගැහැණුන්ද, දරුවන්ද ඇතුළු සටන් සගයන්ට ශක්තිය සහ ජය පතමි.