~ අනුෂ්කා කහඳගමගේ, ඔටාගෝ විශ්වවිද්‍යාලය
වැලිමඩ සද්ධාශීල නම් භික්ෂුවක් ගැහැණු දරුවන් උපදින්නේ දෙමාපියන් පෙර ආත්මවල කියූ බොරු හේතුවෙනි යන බණක් පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවිය. එයට සමගාමීව සද්ධාශීල හිමි කියූ බණ නිවැරදි බවට ද මතයක් සමාජගත වූ අතර, එම පිරිසේ ප්‍රධාන තර්කය වූයේ එවැනි කරුණක් ත්‍රිපිටකයේ ඇති බවත්, සද්ධාශීල හිමියන්ගේ බණ නිවැරදි බවත්ය. ඒ අනුව එම පිරිස විසින් පාරමිතා ප්‍රකරණයේ ‘සත්‍ය පාරමිතාවේ’ (ඛුද්දක නිකායේ ජාතක පාලිය) ඇති කොටසක් උපුටා දක්වමින් මෙම බණ සත්‍ය බවත්, එය ත්‍රිපිටකයේ අඩංගු බවටත් අදහස් දක්වන ලදි. මීට ප්‍රතිවිරුද්ධ අදහසක් ලෙස වල්පොල රාහුල ආයතනය විසින් කියා සිටියේ මෙවන් අදහසකි:
“මුල් බුදුසමය ලෙස සැලකෙන්නේ සූත්‍ර පිටකයේ දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය සහ ඛුද්දක නිකායේ ඇතැම් කොටස්ය. ඛුද්දක නිකායේ ජාතක පාලිය ඇතුළු කොටස් කිහිපයක් මුල් බුදුසමයට අයත් ලෙස සැලකෙන්නේ නැත.”
මා මෙම පාඨයේ වැරදි හෝ නිවැරදි බව සොයන්නට නොයමි. ඒ වෙනුවට ත්‍රිපිටකය කාලය සහ අවකාශය අභිබවා යන පරම සත්‍යයක් ලෙස දකිනවා වෙනුවට, ඓතිහාසිකව කියවිය යුතු යමක් ලෙස තේරුම්ගත යුතු බව මෙම කෙටි ලිපියෙන් අවධාරණය කරමි.
පාලි ත්‍රිපිටකය කාලය සහ අවකාශයෙන් වියුක්ත යමක් නොවෙයි. චාර්ල්ස් කීස් (1983) නම් මානව විද්‍යාඥයා ප්‍රකාශ කරන ආකාරයට, සියලු ප්‍රධාන ආගම්වලට එක් ධර්ම ග්‍රන්ථයක් හෝ එවන් ග්‍රන්ථ ගණනාවක් හෝ පවතී. නමුත් ධර්මය එය උත්පාදනය වූ ස්ථානයෙන් සහ කාලයෙන් පිටතට පැමිණීමත් සමඟම මෙම ධර්ම ග්‍රන්ථ එම කාලයේ සහ අවකාශයේ හැඩය ගැනීම නොවැලැක්විය හැකි කරුණකි. උදාහරණ ලෙස, ලාඕසයේ සහ තායිලන්තයේ පාලි පිටක විශාල ලෙස එකිනෙකින් වෙනස් වන බව ඔහු උදාහරණ දක්වමින් පෙන්වා දෙයි. ඒ අනුව කීස් විසින් දිගු කලක් තිස්සේ පාලි පිටක පරම බුදු දහම ලෙස උපකල්පනය කරනු ලැබූ අදහස අභියෝගයට ලක් කරයි. මින් පසු ස්ටීව් කොලින්ස් (1990) මෙම අදහස තවදුරත් තහවුරු කරමින් කියා සිටින්නේ, පාලි ත්‍රිපිටකය මුල් බුදු සමයට සමාන කිරීම කළ නොහැක්කක් බවයි. ඒ අනුව ඔහුගේ යෝජනාව වන්නේ, උදාර හෝ පරම සත්‍යය වන ත්‍රිපිටක උත්පාදන ආඛ්‍යානයක් වෙනුවට වඩාත් යතාවාදී ඓතිහාසික පර්යාලෝකයකින් ත්‍රිපිටක සම්පාදනය දෙස බැලිය යුතු බවයි. ඒ අනුව ඔහු තවදුරටත් යෝජනා කරන්නේ, පාලි ත්‍රිපිටක ග්‍රන්ථ ථෙරවාද සම්ප්‍රදාය ආරම්භයේ පදනම ලෙස තේරුම් ගැනීමට වෙනස්ව, ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ ලංකාවේ මහා විහාර ගුරුකුලයේ සුජාතභාවය තහවුරු කිරීම සඳහා කරනලද උපක්‍රමික නිපදවීමක් ලෙස තේරුම් ගත යුතු බවයි.
ක්‍රි.පූ. 01 වන සියවසට පෙර සියලු බෞද්ධ පෙළ සුරක්ෂිත කරනු ලැබ ඇත්තේ වාචිකවයි. එවිට විවිධ මුලාශ්‍රවලින් එන කරුණු බොහෝ විට විවිධ ප්‍රතිවිරෝධතාවලින් යුතු වූ අතර, ඒවා මගහරවා ගැනීම සඳහා බොහෝ රැස්වීම්, නැතහොත් ‘සංගීති’ පැවැත්වුණි. මෙම පාලි ත්‍රිපිටකය සහ අට්ටකතා ක්‍රි.පූ. 03 වන සියවසේදී ලංකාවට ගෙන ආ අතර, වාචික සම්ප්‍රදාය ඔස්සේ පවත්වාගෙන එනු ලැබීය (කොලින්ස් 1990). පසුව ක්‍රි.පූ 29-17 සියවස අතර කාලයේ රජකම්කළ වළගම්බා රජු සමයේ මේවා ග්‍රන්ථාරූඪ කෙරුණි. මේ වනවිට මහාවිහාර සම්ප්‍රදාය තුළ විරුද්ධ අදහස් ඇතිවෙමින් තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අභයගිරිය බිහිවිය. මෙහිදී වැදගත් වන්නේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට මූලික වූ වළගම්බා රජු මහාවිහාරයට එරෙහිව අභයගිරි විහාර සම්ප්‍රදායට අනුග්‍රහය දැක්වීමයි. නමුත් 1 වන පරාක්‍රමබාහු රජ සමයේ මහාවිහාරය නැවතත් රාජ්‍ය අනුග්‍රහය දිනාගත් අතර, බුදු දහම පිළිබඳ බලය මහාවිහාරයට පැවරුණි. මින් පසු අභයගිරි විහාර සම්ප්‍රදායේ ලිවීම් බොහෝමයක් විනාශ වූ බවට සාක්ෂි ඇත (ස්කිලින්ග් 1993, කොලින්ස් 1990). මේ අනුව කොලින්ස් මූලිකවම තර්ක කරන්නේ, ත්‍රිපිටක නිෂ්පාදනය, රාජ්‍ය අනුග්‍රහය වෙනුවෙන් තරඟකළ විහාර සම්ප්‍රදායන්ගේ ප්‍රතිඵලයක් බවයි. එමෙන්ම, අග්නිදිග ආසියාවේ මෙන්ම දකුණු ආසියාවේ ද ත්‍රිපිටකය භාවිත වී ඇත්තේ ත්‍රිපිටකයේ දහම් කරුණු භාවිත කිරීමට වඩා තම ගුරුකුලයේ බලය පවත්වාගෙන යාමට සහ ගුරුකුල සුජාතකරණය වෙනුවෙන් බවයි (කොලින්ස් 1990).
එමෙන්ම බ්ලැක්බර්න් ‘විධිමත් ත්‍රිපිටකය’ සහ ‘ප්‍රායෝගික ත්‍රිපිටකය’ අතර වෙනසක් දක්වා ඇත. ‘විධමත්’ ත්‍රිපිටකය, කොලින්ස් විසින් සඳහන් කරන ලද ආධිපත්‍යය වෙනුවෙන් පැන නඟින අතර, ‘ප්‍රායෝගික ත්‍රිපිටකය’ මඟින් විහාරවල ප්‍රායෝගිකව භාවිතවන ත්‍රිපිටකය නිරුපණය කරයි (බ්ලැක්බර්න් 1999). එමෙන්ම, 18 වන සියවසේදී රාජකීය අනුග්‍රහය සහ අවධානය ලබාගැනීම සඳහා භික්ෂූන් නව ඉගැන්වීම් සහ පෙළ උපක්‍රමික ලෙස හඳුන්වා දුන් අයුරු චාර්නේ සඳහන් කරයි (2006).
ඉහත කරුණු වලින් පෙනී යන පරිදි, ත්‍රිපිටකය යනු විවිධ මත අනුව වාචික සම්ප්‍රදාය ඔස්සේ පැවත ආ, පසුව ග්‍රන්ථාරූඪකරන ලද, විවිධ භාෂාවලට පරිවර්තනය වූ, විවධ සමාජ දේශපාලනික ආර්ථික වෙනස්කම් මත විවිධ සමාජවල පැළපදියම් (නො)වූ, රාජ්‍යයේ අනුග්‍රහය මත සත්‍යය හෝ සත්‍ය නොවන බව වරින් වර තීරණය වූ ඓතිහාසික පෙළක් මිසක, බුදුන් විසින් ලියා තැබූ ලියවිල්ලක් නොවෙයි. එය බුදුන් විසින්ම ලියා තැබූව ද යම් පෙළක් අර්ථකතනය කරගැනීමේදී අප ඒ සඳහා ප්‍රවේශ වන්නේ, අපේ සංජානනයේ ප්‍රමාණය අනුව බැවින්, ඒ පෙළ ඒ අයුරින්ම වටහා ගැනීම හෝ අර්ථකතනය කරගැනීමේ හැකියාවක් නොමැත.
ඒ අනුව, පළමු තර්කය වන්නේ, වැලිමඩ සද්ධාශීල භික්ෂුව විසින් කියන ලද කරුණ හුදූ ලිඛිත පෙළක් ලෙස තිබූ පමණින්, එය ත්‍රිපිටකයේ තිබූ දෙයක් බව විශ්වාස කිරීම දෝෂ සහිත බවයි. එමෙන්ම, දෙවනුව එය ත්‍රිපිටකයේම තිබූ දෙයක් වුවත්, ත්‍රිපිටකය කාලය සහ අවකාශයෙන් ව්‍යුක්ත ශුද්ධ ලියවිල්ලක් පමණක් ලෙස සැළකීම ද දෝෂ සහිත වෙයි.
ආශ්‍රේය පෙළ
Blackburn, Anne M. 1999. ‘Looking for the Vinaya: Monastic Discipline in the Practical Canons of the Theravada.’ In, Journal of the International Association of Buddhist Studies 22(2), pp. 281–309.
Charney, Michael W. 2006. Powerful Learning: Buddhist Literati and the Throne in Burma’s Last Dynasty, 1752–1885. Ann Arbor: Centers for South and Southeast Asian Studies, University of Michigan.
Collins, Steven. 1990. ‘On the Very Idea of the Pali Canon.’ In, Journal of the Pali Text Society, 15, pp. 89–126.
Keyes, Charles. 1983. ‘Merit-Transference in the Kammic Theory of Popular Theravada Buddhism,’ pp. 261–86. In, Charles Keyes and E. V. Daniel (eds.), Karma. Berkeley: University of California Press.
Skilling, Peter. 1993. ‘A Citation from the Buddhavamsa of the Abhayagiri School.’ In, Journal of the Pali Text Society.