Skip links

දේශපාලනික හාස්‍යය හා තත්කාලීන ශ්‍රී ලාංකේය දේශපාලනය

~ සසංක පෙරේරා
දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

අප මැනවින් දන්නා පරිදි, හාස්‍යය යන්න බෙහෙවින් දීර්ඝ ඉතිහාසයක් ඇති කතිකාමය ප්‍රවර්ගයකි. හාස්‍යය ජනකතාවල මෙන්ම ජන කවියේ ද මිථ්‍යා කතිකාවන් ගේ ද තත්කාලීන නිර්මාණ සාහිත්‍යය කෘතිවලද ගෝලීයව දැකගත හැකි කතිකාමය සංකේතයකි. එමෙන්ම දේශපාලන හාස්‍යය යන සුවිශේෂී හාස්‍යමය ප්‍රවර්ගය මගින් සාමාන්‍යයයෙන් කෙරෙන්නේ පවතින දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා හෝ ඊට ‍ එරෙහිව එල්ල කරන විවේචනයක් වශයෙන් හෝ යම් කතිකාවක් සමාජය තුළ ප්‍රචලිත කිරීමයි. මේ අනුව, මෑත මානව ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල දේශපාලන හාස්‍යය ඉදිරිපත් වූයේ ප්‍රචණ්ඩ දේශපාලනයට එරෙහිව බොහෝ දුරට ප්‍රචන්ඩ නොවූ හා බලය රහිත කණ්ඩායම්වල විරෝධාකල්පයක් වශයෙන් හා පවතින තත්ත්වයන්ට යම් ආකාරයකින් කථිකාමය වශයෙන් පිලිතුරු සැපයීමටත් බව පැහැදිලියි.

උදාහරණයක් වශයෙන් දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මනියේ නාසිවාදීන් විසින් විශේෂයෙන් නැගෙනහිර යුරෝපයේ ස්ථාපනය කළ යුදෙව් වද කඳවුරු තුළ සිරගතව සිටි යුදෙව් ජාතිකයින් විසින් තමන්ට හිංසාව එල්ල කළ නාසීන්ට විරුද්ධව මෙන්ම තමන් සිටි අතිශය දුක්ඛදායක තත්ත්වය පිළිබඳව ද අනේක ආකාරයේ කෙටි හාස්‍යමය කතිකා ගොඩ නැඟූ බව මේ පිළිබඳ අධ්‍යනය කර ඇති ඉතිහාසඥයන් පෙන්වා දී ඇත. මෙවැනි තත්ත්ව තුළ දී හාස්‍යය ක්‍රියාත්මක වන්නේ යම් ආකාරයක සැඟවුණු සහ සමාජයේ බලය නැති කණ්ඩායමකගේ කතිකාවක් වශයෙනි. මහාචාර්ය ජේම්ස් ස්කොට් විසින් 1980 ගණන් වල මැලේසියාවේ කරන ලද ක්ෂේත්‍ර පර්යේශන ඔස්සේ ඉදිරිපත් කරන ලද Weapons of the Weak යන කෘතියෙන් පෙන්වා දෙන්නේ බලය රහිත දුගී ගොවියන් විසින් තමන්ව පාලනය කරන ඉඩම් හිමියන් හා අසමාන බල ධූරාවලියක් තුළ ක්‍රියාත්මක වන විට ඔවුන්ට යම් යම් ආකාරවලින් ප්‍රතිරෝධය දක්වන ආකාරයයි. මෙය සිදුවන්නේ සෘජුව හා විවෘතව නොවේ. එය සිදු වන්නේ තමන් විසින් කළ යුතු කාර්යය ඉතාමත් හිමින් කිරීමෙන්, ඒවා අතපසු කිරීම මගින්, එසේත් නොමැති නම්, තමන් පාලනය කරන ඉඩම් හිමියන් වෙත යම් පිලිගත් ආකාර මගින් හාස්‍යමය ලෙස ප්‍රතිචාර දැක්වීම මගිනි. මේ සියල්ලම පවතින තත්ත්ව තුළ පිළිගැනීමට ලක් වී ඇති ක්‍රම වේ. ඒවා මගින් ප්‍රතිචාර දැක්වීමෙන් පවතින ක්‍රමයට අනුව, ගැමියන්ට දඬුවම් කිරීමේ හැකියාවක් ද නැත.

එමෙන්ම, මහාචාර්ය සුදිර් කකාර් විසින් 1980 ගණන්වල කළ පර්යේෂණවලින් පෙන්වාදී ඇත්තේ ඉන්දියාවේ යකුන් හෝ දෙවියන් ආවේශවීම යන ක්‍රියාවලිය තුළ සාමාන්‍යයෙන් සමාජයේ බලය නොමැති පුද්ගලයින්ට ආවේශ ක්‍රියාවලිය තුළදී සමාජය සාමාන්‍යයෙන් පිළිනොගන්නා ආකාරයකින් හැසිරිය හැකි බවත්, එසේ කරන විට ඒ සඳහා ඔවුන්ට දඬුවම් ලබාදිය නොහැකි බවත්ය. මේ අනුව, ස්ත්‍රීන් තම සැමියන්ට පරුෂ වචනයෙන් ප්‍රසිද්ධියේ බැන වැදීමත්, සමාජ ධූරාවලියේ පහත් ස්ථානවල සිටින පුද්ගලයින් වඩාත් බලවත් සමාජීය නායකයින්ට අවමාන කිරීම වැනි දේ මේ තත්ත්ව තුල සිදුවෙන බව පෙනේ. නමුත් මේවා පිළිගැනෙන්නේ සාමාන්‍ය තත්ත්ව තුළ සිදු නොවන ක්‍රියාවන් වශයෙන් හා ආවේශය තුළ පමණක් සිදුවෙන දේ ලෙසය. ශ්‍රී ලංකාවේ වුවද නොයෙකුත් යාතුකර්මවල මෙන්ම කෝලම් හා නාඩගම් වැනි නාට්‍යමය අවකාශවල ද අපට පෙනෙන්නේ හාස්‍යය මගින් බලවතුන්ට සමච්චල් කිරීමට අවකාශ තිබූ බවයි.

බොහෝදුරට තත්කාලීනව ගෝලීයව ප්‍රචලිත වී ඇති දේශපාලනික හාස්‍යය අපට තේරුම්ගත හැකි එක් ප්‍රධාන ප්‍රවේශයක් නම්, ඉහත විස්තර කළ ආකාරයට, ඒවා බලය සාපේක්ෂව වශයෙන් රහිත කණ්ඩායම් විසින් බලය සංකේන්ද්‍රණය වූ කණ්ඩායම් වෙත හා පාලනතන්ත්‍ර වෙත ඉදිරිපත් කරන විවේචනයක් වශයෙනි.

මේ අනුව බලන විට, මෙවැනි දේශපාලනික හාස්‍යය කතිකාවන් කියවීම මගින් පවතින දේශපාලන තත්ත්ව පිළිබඳ ගැඹුරු කියවීමකට ගමන් කළ හැකි බව අප තේරුම්ගත යුතුය. එනමුත්, ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ අන් රටවලත් තත්කාලීන දේශපාලනික හාස්‍යය පිළිබඳ න්‍යායික හා විශ්ලේෂනීය වශයෙන් සූක්ෂ්ම සමාජ විද්‍යාත්මක කියවීමකට යෑමට තරම් කලාපීය ශාස්ත්‍රාලයීය සමාජවිද්‍යාව හා දේශපාලන විද්‍යාව උනන්දුවක් දක්වා නැත. නැතහොත්, එවන් උනන්දුවක් දැක්වීමට අවශ්‍ය බුද්ධිමය පසුබිම මෙකී කලාපීය සමාජයීය විද්‍යාවන්ට අ හිමි වී ඇත.

මා සිතන ආකාරයට තත්කාලීන ශ්‍රී ලංකාවේ පවතින අනේකවිධ දේශපාලන ආන්දෝලනයන් හා මත ගැටුම් පිළිබඳ වඩාත් සවඥානික සහ විචාරශීලී දේශපාලන කතිකාවක් ඉදිරිපත් කරන්නේ ප්‍රසිද්ධ කාටුන් ශිල්පීන් විසින් චිත්‍රණය කරන කාටුන් මගින් මෙන්ම වඩාත් නිදහසේ අන්තර්ජාලය ඔස්සේ විසරණයවන හාස්‍යමය ග්‍රැෆික් චිත්‍ර හා කෙටි වාක්‍ය කොටස් (memes) ආදිය මගින් බවයි. උදාහරණයකට පහත සඳහන් වාක්‍ය ඛණ්ඩ ගෙන බලන්න:

මෙම වසරේ විශිෂ්ටතම තාත්වික රංගනය වෙනුවෙන් කුසලතා සම්මාන සඳහා යෝජනා වී ඇත්තේ,

”අයියත් එක්ක බෑ” චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා

සුභ ගමන් කොරෝනා” චිත්‍රපටයේ ගරු රඟපෑම වෙනුවෙන් පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය

”හොරු සමග හෙලුවෙන්” චිත්‍රපටයේ උදයංග වීරතුංග මහතා

”චිකන් කැලි කාටද” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් නිශ්සංක සේනාධිපති මහතා

”සයින්දමරුදු” චිත්‍රපටයේ ගොලු දරුවකුගේ චරිතය වෙනුවෙන් අතුරලියේ රතන හිමියන්.

මෙමගින් පවතින ප්‍රධාන පෙලේ දේශපාලන කතිකාව වෙත සමාජයේ ජීවත්වන සියලු දෙනාටම තේරෙන ආකාරයේ විවේචනයක් ඉදිරිපත් වන්නේ නැද්ද? ඒ විවේචනය යම් ආකාරයකින් සාධාරණ නොවන්නේද? එමෙන්ම, චිත්‍රපටි දැන්වීම් වශයෙන් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන ග්‍රැෆික් චිත්‍ර උදාහරණයකට ගෙන බලන්න:

මෙමගින් ඉදිරිපත් වන්නේද පවතින දේශපාලනයට ප්‍රතිවිරුද්ධ කතිකාවකි. පවතින දේශපාලනය පිළිබඳ සුපැහැදිලි විවේචනයකි. බොහෝ විට නිදහසේ සංසරණය වන මෙවැනි වාක්‍ය ඛණ්ඩ හා ග්‍රැෆික් චිත්‍රවලට කතෘවරු දැකගත නොහැක. ඒවා යම් යම් පුද්ගලයින් විසින් නිපදවා අන්තර්ජාලය වෙත මුදා හරින අතර, ඒවා තවත් පුද්ගලයින් එලෙසින්ම නිදහසේ බෙදාහදා ගැනීම මගින් සිදුවන්නේ තමන් මේ ඉදිරිපත් කරන විවේචන සමග එකඟ වන බව හෝ ඒවාට විරුද්ධ වන බව කියා පෑම වේ. මෙමගින් අවසාන වශයෙන් සිදු වන්නේ වඩාත් ගතික වූ දේශපාලනික කතිකාවක් ගොඩ නැගීමයි.

ඇතැම්විට පවතින දේශපාලන තත්වය මගින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම වැනි මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම පාහේ අසුරා දමන තත්ත්ව තුළ, රටක වැසියන්ට ඉතිරිවන්නේ මෙවැනි ක්‍රම මගින් එම පවතින තත්ත්වය හා ගැටීමට සහ ඊට මුහුණදීමට අවශ්‍යය අවකාශ සොයා ගැනීම පමනක් විය හැක. එම තත්ත්ව යටතේ පුද්ගලයින්ට වඩාත් ආරක්ෂාකාරී වන්නේද මෙවැනි ක්‍රම පමණක් විය හැකිය.

තත්කාලීන ශ්‍රී ලංකාවේ වඩාත් දියුණු හා බෙහෙවින් ගතිකමය අතින් වැදගත් වූ දේශපාලන කතිකා ප්‍රවර්ගය අන්තර්ජාලය හරහා මෙසේ සංසරණය වන නාමික කාටුන් සහ අනේකවිධ වූ අන් නිර්නාමික හාස්‍යමය ප්‍රවර්ග බව පැහැදිලිය.

Leave a comment

This website uses cookies to improve your web experience.