~ අරුණි සමරකෝන්
මම කැමතියි මගේ කතාව කියන්න.
මගේ කතාව කේන්ද්‍ර වන්නේ, පීතෘමූලික සමාජයක ගොඩනැගෙන විකල්ප දේශපාලන ප්‍රවාහයේ පුරුෂ නොවන සංකේතය තුළය. අනුෂ්කා කහඳගමගේ ‘ලංකාවේ විකල්ප දේශපාලනය සදා විකල්පයක් ද?’ සහ ක්‍රිෂාන් සිරිවර්ධන ‘‘විකල්පය’ ද විකල්පයද?’ යනුවෙන් පළකල ලිපි දෙක කියවීමෙ න් පසුව මම මගේ ආඛ්‍යානය ලියමි. එම ආඛ්‍යානය තුළදී අපේක්ෂා කරනුයේ, වාර්ගික කේන්ද්‍රීය හා පීතෘමූලික ශ්‍රී ලංකා විකල්පය තුළ පුරුෂ නොවන දේශපාලන නියෝජනය අර්ථකථනය කිරීම පිලිබඳ මගේ කතාව අවධාරණය කිරීමය. ඒ අනුව, සමස්ත ලිපිය පුරාම ප්‍රතිචාරාත්මක දේශපාලනය දැකගත හැකිවනු අතර, ඒ හරහා මගේ ආඛ්‍යානය ඔස්සේ විකල්ප දේශපාලනය කියවන ආකාරය ද හඳුනා ගත හැකිවනු ඇත. එහෙත්, මගේ ආඛ්‍යානය යනු පරම සත්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න.
ප්‍රධාන සහ විකල්ප දේශපාලන අවකාශ ගොඩනැගෙනුයේ පීතෘමූලික ආකෘතිය තුළය. එවිට, දේශපාලන සමාජානුයෝජනය, ඒ වෙත වන ආකර්ෂණ පසුබිම සහ දේශපාලන විඥානය ද නිරන්තරයෙන්ම ප්‍රක්ශේපණය කරනුයේ පීතෘමූලික බල ධුරාවලියම වේ. රෝස/නිල් පාට බෙදීම, බෝනික්කා සෙල්ලම/ලස්සන සාරි අදින්න පුළුවන් නිසා ලොකුවුනාම ගුරුවරියක් වීමට ආසාක්ත වීම සහ ලොරි රියදුරෙක් වෙලා වේගයෙන් යනවා යන මූලික දේශපාලනික ද්වෛතයේ සිට ස්ත්‍රී-පුරුෂ විභේදනය ඇරඹෙන ශ්‍රී ලංකාවේ පුරුෂ කේන්ද්‍රීය බල අවකාශ පිලිබඳ සංවාදය ආධුනික නොවේ. එසේම, මෙම ප්‍රශ්නය නිරන්තරයෙන්ම විකල්ප දේශපාලන ව්‍යාපෘති තුළ සාකච්ඡා කරන පසුබිමක දී පුරුෂ නොවන නියෝජනය නොමැති වීම ප්‍රශ්න කිරීම ද අර්බුධකාරී බවට විකල්ප දේශපාලන අවකාශ තුළ දී ප්‍රකාශ වී ඇත. එම ප්‍රශ්න කිරීම ලඝු කරනුයේ ද, හුදෙක් ස්ත්‍රී-පුරුෂ ලිංග ගණනය අනුව සිදුවෙන නියෝජනයක් ලෙසිනි. එය පීතෘමූලික බල ප්‍රකාශනයක් වන අතර, මගේ ආඛ්‍යානය තුළදී මා පවසනුයේ, එම නියෝජනය ප්‍රශ්න කිරීම, යම් අංක ගණිතමය සුත්‍රයක් වෙත පමණක් සීමා නොවන බවය.
මෙම යොදාගැනීම ම ජනවාර්ගික අර්බුධය වෙත ආරෝපණය කර බැලූවිට පෙනීයන්නේ ද මෙම කරුණ ම වේ. ජනවාර්ගික විවිධත්වයේ නියෝජනයක් නොමැතිවීම ප්‍රශ්න කිරීම බලහත්කාරයෙන් අවසන් කිරීමේ ප්‍රථිපලය නම්, දිග්ගැසුණු අශිෂ්ට යුද්ධයක් සහ බලහත්කාරයෙන් පවරා තිබෙන ජයග්‍රාහකයකු ගේ සාමය වේ. මනා ලෙස හා පරීක්ෂාකාරීව බලන විට පෙනී යන කරුණ නම්, පුරුෂ නොවන නියෝජන ප්‍රශ්න කිරීම ගණිත අංකයකට ලඝුකරන විකල්ප දේශපාලන පාර්ශව ජනවාර්ගික ස්වායක්තතාව හා ස්වයංනිර්ණ අයිතිය ද ප්‍රතිකෙෂ්ප කරන බවය. ඒ අනුව මගේ තර්කය නම්, මෙම කව/කණ්ඩායම් පුරුෂ නොවන කිසිදු අකාරයක නියෝජන වෙත අවකාශය සැපයීමට රුචිකත්වයක් නොදක්වන බවය.
එසේම, මෙම කණඩායම් නිරන්තරයෙන්ම අවධාරණය කරන කරුණ නම්, විකල්ප දේශපාලනික සාකච්ඡා වෙත තමන් කැඳවන්නේ ප්‍රාමාණික බුද්ධිමතුන් බවය. වෙනත් වචයෙන් පවසන්නේ නම්, තෝරාගත් විෂයේ යම් දැනුමක් තිබෙන කණ්ඩයාම් වෙත අදහස් ප්‍රකාශය වෙනුවෙන් අවස්තාව ලබා දෙන බවය. පීතෘමූලික සමාජ ක්‍රමයක් තුළ දැනුම ලබාගැනීම වෙනුවෙන් පුරුෂ බලය අහිමි කණ්ඩායම් කොතරම් අරගලයක් කළ යුතුද? එසේම, මෙහිදී එම කණ්ඩායම් නිපුණත්වය පෙන්වීම අනිවාර්ය වන්නේ ද පීතෘමූලික දැනුම පිළිබඳව ම වේ. එවැනි පසුබිමක පුරුෂ බලය අහිමි පුද්ගලයන් ට විෂය ප්‍රාමාණික බුද්ධිමතුන් වීමේ හැකියාව නැවත සිතා බැලිය යුතු නොවේද?
එසේම, එම විෂය ඔස්සේ බුද්ධි ප්‍රමාණය තීරණය කිරීමේ බලය කා සතුවේද? නිදසුනක් ලෙස, ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව පිලිබඳ සාකච්ඡා කිරීමේ ප්‍රමාණික බුද්ධිමට්ටම තීරණය කිරීමේ හැකියාව කේන්ද්‍රවන්නේ විශ්වවිද්‍යාල හෝ තෝරාගත් අධ්‍යාපන කවවල ප්‍රධාන භූමිකා නිරූපණය කරණ පුරුෂ ලිංගික පුද්ගලයන් කිහිප දෙනෙකු මතය. ඔවුන් ලබා දෙන රෙකමදාරු මත බලය අහිමි ලිංගිකයෙකු හට තම මතය හඬ ගා විකල්ප දේශපාලනය තුළ පැවසිය හැකිය. එවැනි රෙකමදාරු නොමැති ඕනෑම ලිංගිකයකු ට සිදුවන්නේ, සදාකාලිකව ම ශ්‍රාවක භූමිකාව තුළ කල් ගෙවන්නට පමණි. එසේම, ඔවුන් දෙවන පෙළ බුද්ධි සම්පාදක ශ්‍රමික කාණ්ඩයට පමණක් මෙලෙසින් ඇතුළත් වේ. මේ වන තුරු පැවති පීතෘමූලික විකල්ප දේශපාලනය මෙය ප්‍රශ්න නොකළ ද ස්ත්‍රීවාදී දේශපාලනය මෙය ප්‍රශ්න කිරීමේ කතිකාව සකසා ඇත.
මෙම විකලප දේශපාලන අවකාශ තුළ, රොකට් සෑදීමේ විද්‍යාව පිළිබඳව නොව, නියෝජනය සහ බෙදාහැරීම වැනි මානව සම්බන්දතා පිළිබඳ කතිකාව සැකසෙන පරිසරයක, ඒ වෙනුවෙන් ම රෙකමදාරු වූ ප්‍රමාණික බුද්ධිමතුන් අවශ්‍ය වේ යන මිත්‍යාව මගේ ආඛ්‍යානයෙන් ප්‍රතික්ෂේප කරයි. අනිත් කරුණ නම්, වියත් බව සහිත පාර්ශව විසින් ප්‍රධාන දේශපාලන ධාරාව වෙත සිදු කර තිබෙන දායකත්වය මනාව දර්ශනය වන නිමේෂයක, විෂය ප්‍රාමාණික බුද්ධිමත් ප්‍රජාව නව දේශපාලනයක් නිර්මාණය කිරීම උභතෝකෝටියක් වීමය. එසේම, ජාලගත ප්‍රාග්ධනයක හිමිකාරීත්වය සහ ඒ වෙනුවෙන් වූ කොන්දේසි සමග එකඟවීමට සිදුවීම ද, මෙම බුද්ධි ප්‍රභා කව හේතුවෙන් උද්ගතව තිබේ. එවිට ප්‍රධාන ධාරාවේ මෙන්ම විකල්ප ධාරාවේ ද පවුල/පාසල/විශ්වවිද්‍යාලය/කුලය හෝ සමාජය විසින් ගොඩ නගන ලද අන් සාධක මත සිදුවන නියෝජනය විකල්ප ධාරාව තුළ ද ඇතිවීම වැළැක්විය නොහැකිය.
එසේම, පුරුෂ බලය රහිත කණ්ඩායම් නිරන්තරයෙන්ම වින්දිත භාවය මත ආකෘතිගත කිරීමේ ගැටලුව ද මේ සමඟ දැකිය හැකියි. මෙය නිදසුනක් හරහා පැහැදිලි කිරීමට මා කැමතියි. 2009 දී, ඉතාම අශිෂ්ඨාචාර ලෙස අවසන් වූ යුද්ධය තුළදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම ආදරණීයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමින් අනවරත අරගලයක යෙදෙන බහුතරයේ නියෝජනය ස්ත්‍රීන් වේ. ඔවුන් වින්දිතයන් පමණක් නොව, සමාජ පෙරලිකරුවන් ද බව පීතෘමූලික විකල්ප දේශපාලනය විසින් හදුන්වා දී තිබේද? දෛනික ජීවිතයේ දී ඉතිරි වී සිටින තම ආදරණීයන් සමඟ ආදරය බෙදා ගනිමින් ද, ජීවිකාව වෙනුවෙන් එදිනෙදා කුලීවැඩ කරමින් ද, වාර්ගික රාජ්‍යක් විසින් අතුරුදහන් කරන ලද තම ආදරණීයයන් සොයමින් රෑ දහවල් අව් වැසි නොතකා මාවතේ සරමින් ද සිටින මේ ස්ත්‍රීන් වේදනාවෙන් සලන කදුළු මෙන්ම, ඔවුන් ඒ වෙනුවෙන් ලබාගෙන ඇති චිත්ත වීර්යය ද පුරුෂ නොවන ඉතිහාසයේ සනිටුහන් විය යුතුය. එය කිසි දිනක පීතෘමූලික විකල්ප දේශපාලනය විසින් සිදු නොකරන බව මගේ කියවීම වේ. මන්දයත්, මෙම ස්ත්‍රීන්ට ඔවුන් තීරණය කර තිබෙන දේවල බුද්ධි පරිමාණය හිමි නොවන හෙයින්, ඔවුන් ස්ථානගත වන්නේ, බේරාගත යුතු වින්දිතයන් ලෙස පමණක් ලෙස බැවිනි.
අනෙක් කරුණ නම්, වින්දිතකරණය නොමැතිව පීතෘමූලික විකල්පය ට පැවැත්මක් ද නොමැත. එය මා සම කරනුයේ, ස්ත්‍රීන් නොමැතිව පීතෘමූලික දේශපාලන ධාරාව ට පැවතිය නොහැකි වීම සමගය. එය සුපිරි වීරවරු/වරියන් පැමිණ ආක්‍රමණයට හෝ අනතුරට ලක්ව සිටින වින්දිතයන් බේරා ගන්නා චිත්‍ර කතාවට වඩා වෙනස් නොවේ.
එසේම, පීතෘමූලික විකල්ප දේශපාලන අවකාශ තුළ පුරුෂ නොවන පිරිස් වෙත දෙවන පෙළ සාමාජිකත්වය හිමිකිරීම අවසන් කිරීම මෙන්ම, මනුෂ්‍යයෙකු වීම හේතුවෙන් ම තම ආඛ්‍යානය පැවසීමට ඇති අවකාශයක් ගොඩ නැගීම සිදු කල හැකි එක් ප්‍රවේශයක් ලෙස මා දකිනුයේ ස්ත්‍රීවාදී දේශපාලනය වේ. ස්ත්‍රීවාදී දේශපාලනයේ දී දිරිගැන්වීම සිදු වන්නේ, ඔබගේ කතාව කීමට මිස, පීතෘමූලික ක්‍රමය නිෂ්පාදනය කල බුද්ධි ප්‍රජාවගේ කතාව නැවත කියා පහදා දීමට නොවේ. එවිට විකල්ප දේශපාලනය අප අතර, අප වෙනුවෙන් ගොඩනැගෙනු ඇත.
[1]. පුරුෂ නොවන නියෝජනය යනු බලය අහිමි ඕනෑම පුදගලයෙක් වේ.