Skip links

ලාංකේය සංක්‍රමණික ප්‍රජාව දෙස ලාංකිකයින් බලන ආකාරය යෝග්‍ය ද?

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ කෝවිඩ් වෛරස් තත්ත්වය බරපතල වෙමින් පවතී. වෛරස ව්‍යාප්තියේ වේගය හේතුවෙන් ආසාදිතයන්ට අවශ්‍ය තරම් සෞඛ්‍ය පහසුකම් සපයා දීම අභියෝගත්මක වී තිබේ. රටක් ලෙස ඉතා අසීරු සමයක් පසු කරද්දී, මෙකී තත්ත්වය සමනය කර ගැනීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග දෙස රටවැසියන් ඉතා උනන්දුවෙන් බලා සිටී. එසේම, තනි තනිව හෝ ස්වේච්ඡා කණ්ඩායම් වශයෙන් හෝ නොයෙකුත් පුද්ගලයින් කෝවිඩ් මර්දනයට සහයෝගය දීම ද හැකි පමණ සිදු කරයි. රජයටත් රට තුළ රැඳී සිටින ශ්‍රී ලාංකික රටවැසි අපටත් අමතරව, තවත් අපට සබැඳි ජන ප්‍රජාවක්, ලෝකයේ කෝවිඩ් ව්‍යාප්තිය පිළබඳ පොදුවේත්, ලංකාවේ කෝවිඩ් ව්‍යාප්තිය පිළබඳ නිශ්චිතවත් බලා සිටී. ඒ ශ්‍රීලොව නොයෙක් තැන්වල ජීවත්වෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවයි.

තමන් ද කෝවිඩ් අවධානමක සිටින අතරේ දී පවා තමන්ට හැකි පමණින් ලංකාවේ වෙසෙන සිය සහෝදර රටවැසියන් වෙත සෞඛ්‍යාධාර ලබා දීමට ඇතැම් සංක්‍රමණිකයින් උනන්දු වෙන බවක් පෙනේ. රටින් බැහැරව වෙනත් රටක ජීවත් වුවත්, සිය මව් රාජ්‍ය වන ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔවුන් වැඩි අවධානයකින් පසුවන බවත්, ඒ උනන්දුව ඔස්සේ සිය මැදිහත්වීම් සිදු කිරීමට පෙළඹෙන බවත් අපට නිතරම දැකිය හැකි ය. ඒ අතර, රට තුළ සිටින බහුතර රටවැසියන්, රටින් එතෙර ජීවත්වන අපගේ සහෝදර රටවැසියන් පිළිබඳ දක්වා ඇත්තේ ඊට වෙනස් හා ප්‍රතිවිරෝධී ප්‍රවේශයකි. කෝවිඩ් සමයේ අත්දැකීම් මුල් කර ගනිමින් මෙම කෙටි ලිපියෙන් අවධානය යොමු වන්නේ, රට තුළ ජීවත් වන අප විසින් රටෙන් ඔබ්බෙහි ජීවත්වෙන සංක්‍රමණික ඔවුන් පිලිබඳ දක්වන ප්‍රවේශයේත්, ඔවුන් අප කෙරෙහි දක්වන ප්‍රවේශයේත් ඇති වෙනස්කම් සහ ඒවාට බලපා ඇති හේතු පිලිබඳ නිරීක්ෂණ කිහිපයක් කෙරෙහි අවධානය යොමුකිරීමට ය.

අපෙන් ඔවුන්ට

කෝවිඩ් පළමු රැල්ලේ දී, ඉතාලියේ සහ දකුණු කොරියාවේ රැකියාවල නිරත ව සිට කෝවිඩ් හේතුවෙන් අසරණ භාවයට පත්ව, ආරක්ෂාව උදෙසා සිය රටට පැමිණීමට තමන්ට ඇති නීතිමය අයිතිය භාවිත කළ පිරිස් පිළිබඳ ඇතැම් රටවැසියන් සහ මාධ්‍ය දැක්වූයේ ප්‍රබල ප්‍රතිවිරෝධයකි. එම අදාළ පිරිස් ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූයේම සිය මව් රටට ඇති අනාදරය සහ  අතෘප්තිය හේතුවෙන් ය යන්න ඔවුන්ගේ එක් අදහසක් විය. මේ නිසා, අදාළ සංක්‍රමණිකයින් ශ්‍රී ලංකාවට දක්වන පක්ෂපාතීත්වය ප්‍රශ්ණ කළ ඔවුහූ, ඒ වන විට කෝවිඩ් බහුලව ව්‍යප්තව තිබූ රටවල සිට ලංකාවට  ඒමට තැත් දැරුවේ, එකී මාරාන්තික වෛරසය මෙරට තුළ ද ව්‍යාප්ත කිරීමේ කුහක අරමුණෙන් බව ද ප්‍රකාශ කළහ. මෙම ආඛ්‍යානය තුළ, සංක්‍රමණික රටවැසියන්ට ඇති අයිතීන් වන අවශ්‍ය ඕනෑම මොහොතක සිය මව් රට පැමිණීමට තිබෙන නීතිමය අයිතිය සහ අසරණ භාවයට පත්ව ඇති මොහොතක සිය මව් රටේ රජය වෙතින් පිහිට පැතීමට ඇති අයිතිය යනාදිය සඳහා කිසිසේත් ඉඩක් ලැබුණේ නැත.

මව් රට අතහැර වෙනත් රටක් බලා යන සංක්‍රමණිකයන් දෙස එම මව් රටේ රටවැසියන් නිෂේධනාත්මක ඇසකින් බැලීම ලංකාවට පමණක් පොදු කරුණක් නොවේ. මෑත ඉතිහාසය තුළ ලොව පුරාම තත්ත්වය එසේ විය. රටවැසියන් ලෙස රටකට ඇති පක්ෂපාතීත්වය හා ආදරය ආදියේ අවංකත්වය තීරණය කිරීම සඳහා අදාළ භූමිය තුළ භෞතිකව ජීවත් වීම යන භෞමික සාධකය වැදගත් විය. මෙයට හේතු වූයේ, අතීතයේ සංක්‍රමණික ජීවිත පිළිබඳව තිබූ අඩු අවබෝධයත්, රටින් පිටව යන පිරිස් සමග අඛණ්ඩ සබඳතා පවත්වා ගැනීමේ හැකියාවක් නොතිබීමත් ය. මීට දශක ගණනාවකට පෙර පුද්ගලයෙක් මව් රටින් සංක්‍රමණය වූයේ නම්, ලිපි මගින් හැර මව් රට සමග ගනුදෙනු කිරීමට වෙනත් පහසු මගක් නොතිබිණි. ඒ නිසා ශාරීරිකව රට හැර යාම, සමාජීයව, දේශපාලනිකව, නීත්‍යානුකූලව සහ චිත්තවේගීව ද රට හැර යාමක් ලෙස පෙනුණි.

කෙසේ වුවත්, වර්තමාන ලෝකය තුළ ගමනාගමන  සහ සන්නිවේදන ක්ෂේත්‍රවල දියුණුවත් සමගම, ශාරීරික වශයෙන් මව් රටේ ජීවත් නොවූව ද, ඉහළ තීව්‍රතාවයකින් මව් රට සමග සමාජ සබඳතා පැවැත්වීමට හැකිය. නිදසුනක් ලෙස, ඔබේ සමාජ මාධ්‍ය තුළ සිටින වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගෙන් ඇතැම් පුද්ගලයින් කොතරම් සක්‍රීයව මව් රටේ තොරතුරු පිළබඳව උනන්දු වෙනවා ද, ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම් සිදු කරනවා ද  සහ  අදහස් පළ කරනවා ද යන්න පිළබඳ  සිතා බලන්න. මෙහිදී භෞමික සාධකය නොමැති වුවත්, සමාජීයව, දේශපාලනිකව සහ චිත්තවේගීයව මව් රට සමග අඛණ්ඩ බැඳීමක් පවත්වාගෙන යාමට  තත්කාලීන සංක්‍රමණිකයින්ට හැකියාව තිබේ. ලොව පුරා ද්විත්ව පුරවැසිකම යන්න ප්‍රචලිත වීමත් සමග, එම සබඳතාව නීතිමය ලෙස පවත්වා ගැනීමට ද හැකි විය. එම නිසා, තව දුරටත් මව් රට තුළ ශාරීරිකව රැඳී නොසිටින සංක්‍රමණික පිරිස් මව් රටෙන් සපුරා වියුක්ත වූ අපක්ෂපාතී පිරිස් යැයි සිතීමට සංක්‍රමණ විෂයේ විද්වතුන් දිරි ගන්වන්නේ නැත.

ඔවුන්ගෙන් අපට

ඔවුන් අප දෙස බල ආකාරය පිළබඳ නිදසුනක් ගෙන බලමු. ශ්‍රී ලංකාවෙන් එපිට ජීවත්වන සිංහල සංක්‍රමණික ප්‍රජාව අතරින් සංඛ්‍යාත්මකව වැඩිම ජන සංකේන්ද්‍රණයක් සහ තීව්‍රතාවයකින් වැඩි සංක්‍රාන්ති-ජාතිකත්ව (transnational) ක්‍රියාකාරීත්වයක් දැකිය හැක්කේ ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමණික ප්‍රජාවෙනි. එහිද, මෙල්බන්, සිඩ්නි, ඇඩිලේඩ් වැනි නගර ප්‍රධාන වේ. 2016 ඔස්ට්‍රේලියානු සංගණනයට අනුව, ශ්‍රී ලංකාවේ උපන්, ඔස්ට්‍රේලියාවේ වාසය කරන ජනගහණය 109, 853 කි. මෙකී ජනගහනයෙන් සියයකට හැටක ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානු රටවැසිබව ලබා ඇති අතර, සියයට පනහකට වැඩි පිරිසක් ජීවත් වන්නේ, මෙල්බන් නගරය තිබෙන වික්ටෝරියා ප්‍රාන්තයේයි. ලංකාව තුළ තුන්වන කෝවිඩ් රැල්ල ඇති වීමත් සමගම ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෝ  පිරිසක් එක්ව මෙරටට එවීම සඳහා අරමුදල් රැස් කිරීමක් සිදු කළහ. මේ සඳහා මෙල්බන් ඇතුලු නගර ගණනාවක තිබෙන විවිධාකාරයේ ශ්‍රී ලාංකික සංවිධාන එකට එක් ව තිබේ.  ‘හුස්මට හයියක්’ යන තේමාව සහිතව ආරම්භ වූ මෙම අරමුදලට දින කිහිපයක් තුළ ඔස්ට්‍රේලියානු ඩොලර් 125, 000 ක මුදලක් එකතු වී තිබේ. මේ සඳහා 2000කට වැඩි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් දායක වී තිබේ. ‘මව්බිමින් දුර රටක සිටියද, හිතින් හිත අප සැවොම එක්වෙමු’, ‘උපන් බිමට වෙමු සවියක් හොඳ දූ පුතෙකු  වෙලා’ ආදී ප්‍රකාශ තේමා පාඨ බවට පත් වී තිබුණි. මේ සියල්ලෙන් ම පෙනෙන්නේ, මෙකී සද්ක්‍රියාව සඳහා සක්‍රීයව සම්බන්ධ වන්නන්, ඒ සඳහා පෙරට එන මූලික හේතුවත් සිය මව් භූමිය සහ එහි සිටින සිය සහෝදර රටවැසියන් කෙරෙහි ඔවුන් තුළ  සංවේදනය බවයි.

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලාංකික දෙමළ ජනයා සඳහා ද සෞඛ්‍යාධාර ලබා දීමට දෙමළ සංක්‍රමණිකයින් ඉදිරිපත් වී ඇති බවත්, රජයේ අවසරය ඇති නම් එකී ආධාර ලබා ගැනීමට හැකියාව ඇති බවත් සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර තිබුණි. දෙමළ සංක්‍රමණිකයින් පිලිබඳ ඇති දේශීය ප්‍රතිවිරෝධී අර්ථයෙන් — නිදසුනක් ලෙස දෙමළ ඩයස්පෝරාව පිලිබඳ ඇති එරෙහි වීම — විග්නේශ්වරන් මහතාගේ ප්‍රකාශය දේශපාලනික වශයෙන් සංවේදී එකක් විය හැක. එය පසෙකින් තැබුව හොත්, මෙම නිදසුන් දෙකෙන්ම ප්‍රකාශ වන පොදු කාරණයක් තිබේ. එනම්, රටින් එපිට සිටියත්, ලංකාවේ සිටින සහෝදර ශ්‍රී ලාංකික වැසියන් පිලිබඳ සිංහල – දෙමළ සංක්‍රමණික ප්‍රජාවන්ට යම් පැහැදිලි සංවේදනයක් තිබෙන බවයි. මීට පෙර ද මෙවැනි නිදසුන් ඕනෑ තරම් දැකගත හැකිව තිබුණි. විශේෂයෙන්ම, සිවිල් යුද්ධයෙන් පසු උතුරු-නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය සඳහා දෙමළ සංක්‍රමණිකයින් විශාල වශයෙන් මැදිහත් වී තිබේ. එම සියළු නිදසුන් ගැඹුරින් නිරීක්ෂනය කිරීමේදී ඒවායේ සාධනීය සහ නිෂේධනීය පැතිකඩ තිබෙන බව අනිවාර්ය සත්‍යයකි. කෙසේ නමුත්, එකී මැදිහත්වීම් හරහා පෙනෙන පොදු කරුණක් වන්නේ, මව් රාජ්‍යයේ කටයුතු පිලිබඳ සංක්‍රමණිකයින්ගේ සංවේදනයත් ඒවා සඳහා මැදිහත් වීමට ඔවුන්ට ඇති අභිරුචියත්ය.

සංක්‍රමණික අනන්‍යතාවය සකස් වීම කෙරෙහි මව් රාජ්‍යයේ භූමිකාව

ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාව වාර්ගික අනන්‍යතාව මත විභේදනය වී තිබෙන ප්‍රජාවකි. ඔවුන්ව අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ, මෙසේ සිංහල, දෙමළ ආදී ලෙස සිය වාර්ගිකත්වය මත පදනම් අනන්‍යතාවක් ගොඩ නගා ගැනීම ඔවුන්ගේ පැවැත්මේ මූලික ස්වභාවයක් බවයි. සංක්‍රමණය පිළිබඳ අධ්‍යයන සාහිත්‍යය අපට කියා දෙන්නේ, සංක්‍රමණික ප්‍රජාවන් ස්වභාවයෙන්ම සිය අනන්‍යතාව ගොඩනගා ගැනීම පිළිබඳ අර්බුධයක සිටිනා පිරිසක් බවයි. මෙය ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවට පමණක් අදාළ නොවේ. තමන්ට හුරු පුරුදු මව් භූමියෙන් එපිට වෙනත් රාජ්‍යයකට ස්වීකරණය (assimilation) වීමේ ක්‍රියාවලිය තුළ සිය මව් භූමියෙන් තමන්ට ලැබුණු අනන්‍යතාව පවත්වා ගැනීමේ අවශ්‍යතාවයත්, එසේම ආගන්තුක රාජ්‍යයේ අනන්‍යතාවයට අනුවර්තනය වීමට ගන්නා උත්සාහයත් එකවර සිදු කිරීම ඉතා වෙහෙසකර කටයුත්තකි.

මෙකී වෙහෙසකර කටයුත්ත සඳහා මුහුණ දීමේදී, බොහෝ සංක්‍රමණිකයින් තෝරා ගන්නා ක්‍රමයක් වන්නේ, ආගන්තුක රාජ්‍යයේ වාසය කරන, තමන් අයත් බවක් දැනෙන (sense of belonging) සහ මව් භූමියේ තම හැසිරීම් සහ පුරුදු යනාදිය යළි ප්‍රතිනිෂ්පාදනය කළ හැකි (reproduce) පුද්ගලයින් සමග කණ්ඩායම්ගත වීමයි. ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් බැලූ බැල්මට මෙම බෙදුම් රේඛාව මගින් පෙන්නුම් කරන්නේ, වාර්ගික බෙදීමකි. එනම් සිංහල, දෙමළ ආදී ලෙසය. පී. රීව්ස් ට අනුව ශ්‍රී ලාංකික සංක්‍රමණ ප්‍රජාව යනුවෙන් එක් සමජාතීය ප්‍රජාවක් නැත. ඒ වෙනුවට ඇත්තේ සිංහල සහ ශ්‍රී ලාංකික දෙමළ සංක්‍රමණිකයින් යනුවෙන් වෙන වෙනම ක්‍රියාත්මක වෙන ප්‍රජාවන් දෙකකි. නමුත් තවත් සමීපව බැලුවහොත්, එකී වාර්ගික බෙදීම් තුළත්, අනු බෙදීම් ගණනාවක් තිබේ. නිදසුන් ලෙස, සිංහල සංක්‍රමණ ප්‍රජාව තුළ තමන් අයත් පන්තිය, පැලැන්තිය, වෘත්තිය, මව් රටේ ගිය පාසල් අනුව සහ දේශපාලනික අදහස් ආදී ලෙසත්, දෙමළ ප්‍රජාව තුළ කුලය, ආගන්තුක රාජ්‍ය වෙත ආගමනය වූයේ සරණාගතයෙක් ලෙස ද වෘත්තීය සංක්‍රමණිකයෙක් ලෙස ද යන කාරණා ද, දේශපාලනික දෘශ්ටිවාදය වැනි වර්ගීකරණයන් වශයෙන් ද සංක්‍රමණික කණ්ඩායම් බෙදී සිටිනු දක්නට ලැබේ. මෙවැනි බෙදීම් කිසි ලෙසකින් හෝ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් අතර පමණක් පවතින ඒවා නොවේ. නිදසුනක් ලෙස, ඉන්දීය සංක්‍රමණිකයින් සිය භාශාව, තමන් අයත් ඉන්දියාවේ නගරය හෝ ගම ආදී හේතු මත කණ්ඩායම් ගත වී තිබේ.

එනම්, ආගන්තුක රාජ්‍ය තුළ සංක්‍රමණික ප්‍රජාවන්ගේ පැවැත්ම උදෙසා මව් රාජ්‍යයේ අනන්‍යතාව ප්‍රතිනිෂ්පාදනය කිරීමට ඇති හැකියාව තීරණාත්මක වේ. මෙම අර්ථයෙන්, ශාරීරිකව තව දුරටත් සංක්‍රමණිකයින් සිය මව් භූමියේ ජීවත් වන්නේ නැති වුව ද, ඉතා ප්‍රබල ලෙස මව් භූමිය පිළිබඳ ඇති සිය බැඳීම, මතකයන් සහ අභිරුචිය, ඔවුන්ගේ මානසික සහ සමාජීය ලෝකය තුළ ජීවමාන වේ. නීනා ජී. ස්කිලර් ට අනුව, මෑත කාලීනව ඇතිවූ ප්‍රවාහන සහ සන්නිවේදන ක්ශේත්‍රයේ දියුණුවත් සමග, තමන්ගේ මෙම සංක්‍රාන්ති-ජාතිකත්වය (transnationalism) වැඩි තීව්‍රතාවයකින් ප්‍රතිනිෂ්පාදනය කිරීමට ද සංක්‍රමණික ප්‍රජාවන්ට හැකි වී තිබේ.

අවසන් වශයෙන් කිව යුත්තේ, රට තුළ ජීවත් වන අප, රටින් බැහැරව ගිය සංක්‍රමණිකයින් සහ ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ වඩා විවෘත ඇසකින් බැලීමට කාලය එළඹ තිබෙන බවයි. කෙනෙක් ශාරීරිකව සිය මව් රාජ්‍යයෙන් නික්මී යාම, එකී මව් රටට කළ අපහාසයක් හෝ පාවා දීමක් හෝ ලෙස සලකමින්, ඔවුන් මව් භූමියේ ක්‍රියාකාරීත්වය සඳහා දක්වන අභිරුචිය හුදෙක් වංචාකාරී එකක් යැයි පොදුවේ සැලකීම නොකළ යුත්තක් වේ. ගෝලීයකරණය ආදී ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුව ඇති ලෝකය තුළ, සංක්‍රමණය යනු බෙහෙවින් සංකීර්ණ ප්‍රපංචයකි. රයිනර් බාබක්ගේ අනුමානයන්ට අනුව, ඉදිරියේදී සංක්‍රමණයේ තීව්‍රතාවය තව තවත් වැඩි වී, රාජ්‍යයන්ට නිශ්චිත ජනගහණයක් (රට තුළ ස්ථීරව ජීවත් වන) නොමැති වී, සංක්‍රමණ ජනගහණයක් සමග ගනුදෙනු කිරීමට පවා සිදු විය හැකිය. එම නිසා, ඔවුන් දෙස පොදුවේ සැකයෙන් බලනු වෙනුවට විවෘතව බලමින්, ඔවුන්ගෙන් ලැබෙන ආර්ථික වරප්‍රසාද මෙන්ම ඔවුන් තුළ සිය මව් රට පිළබඳව තිබෙන පක්ෂපාතීත්වය හා සංවේදනය ද පිළිගනිමින්, වඩා ප්‍රගතිගාමීව රට සමග සම්මුඛ කරගැනීමට කාලය එළඹ තිබේ.

මූලාශ්‍ර

Bauböck, Rainer. 2018. ‘Knowledge for Change # 6: Professor Rainer Bauböck, European University Institute in Florence.’ Video/YouTube: https://www.youtube.com/watch?v=0jtgcocjYqY&t=4833s

Bauböck, Rainer. 2003. ‘Reinventing Urban Citizenship’. In, Citizenship Studies, 7(2), 139-160.

Bauböck, Rainer. 2010. ‘Studying Citizenship Constellations.’ In, Journal of Ethnic and Migration Studies, 36 (5), 847-859.

Reeves, P, Ed., 2013. The Encyclopaedia of the Sri Lankan Diaspora. Singapore: Editions Didier Millet.

Schiller, N. G., L. Basch and C. Blanc-szanton. 1992. ‘Transnationalism: A New Analytic Framework for Understanding Migration.’ In, Annals of the New York Academy of Sciences, 645(1), 1–24.

(ආචාර්ය පවිත්‍රා ජයවර්ධන කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යනාංශයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. නවසීලන්තයේ වෙලිංටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලැබූ ඇය ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලැබූයේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි. ඇයගේ විශේෂ පර්යේෂණ උනන්දුව ඇත්තේ පුරවැසිභාවය, සංක්‍රමණය, ලාංකේය සංක්‍රමණික ප්‍රජාවන් වැනි තේමා කෙරෙහිය)    

Leave a comment

This website uses cookies to improve your web experience.