~ ක්‍රිෂාන් සිරිවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය
මෙම කෙටි ලිපිය අනුෂ්කා කහඳගමගේ විසින් පඨිත වෙබ් අඩවියට ‘ලංකාවේ විකල්ප දේශපාලනය සැමදා විකල්පයක් ද’ යන මැයෙන් ලියූ ලිපිය මගින් ඉස්මතු කරන කරුණු පිළිබඳව සංවාදයක් ඇති කිරීමේ අරමුණෙන් ලියවෙන්නකි.
ශ්‍රී ලංකාවේ ‘විකල්ප දේශපාලන’ ප්‍රවණතා පිළිබඳව අනුෂ්කා කහඳගමගේ විසින් සිදු කරන සියුම් නිරීක්ෂණ මෙන් ම විවේචන ද සමකාලීන මොහොත අවබෝධ කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වේ. විකල්ප දේශපාලනය පිළිබඳ සිදුකරන විවේචන, අධිපති දේශපාලන කතිකාව විවේචනය කිරීමට වඩා ප්‍රහාරයන් ට ලක් විය හැකි ක්ෂේත්‍රයක් බව කිව මනාය. වරෙක මෙරට සිනමා විචාරකයෙක් විසින් සිනමා පටයක් විචාරය කළ පසු, එම සිනමා පටයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, ‘ඔබ මීට වඩා හොඳ චිත්‍රපටයක් නිර්මාණය කළහොත් මා ඔබේ විචාරය පිළිගන්නම්’ යනුවෙනි. විකල්ප දේශපාලනයේ විරුද්ධභාසයන් හෝ ගැටලුකාරී තැන් විවේචනය කරන අයෙකුට ද ඉතා පහසුවෙන් එල්ල කල හැකි විවේචනය නම් ‘ඔබ මොනවාද කරලා තියන්නේ’ වැන්නකි. එවැනි අවස්ථා අප මෑත කාලීනව ඔනෑතරම් දැක ඇත. කෙසේනමුත්, කහඳගමගේ විසින් මතු කරන කරුණු පිළිබඳ සාධනීය කතිකාවක් වෙසෙසින්ම අවැසි මොහොතක් ලෙස තත්කාලීන මොහොත දැක්විය හැකිය.
මෙරට මෑතකාලීන දේශපාලනය නිරීක්ෂණය කළ විට පෙනී යන්නේ, විකල්ප දේශපාලනය යන අදහසම ඉතා සංකිර්ණව තේරුම් ගත යුතු එකක් බවයි. දේශපාලනය බලය සහිත අවස්ථාවල ප්‍රධාන ධාරාවේ දේශපාලනය සමග සමපාත වී, බලය නොමැති තැන විකල්පයේ පෙර ගමන්කරුවන් වූ පුද්ගලයන් පිළිබඳව උදාහරණ එමටය. නූතන මහජන අවකාශය තුළ විකල්ප දේශපාලන මත දැරීම නිසා හිමිවන සමාජ ප්‍රාග්ධනය නිසාම පවතින විකල්ප මතධාරීන් හා කණ්ඩායම් ද පවතින බව අමතක නොකළ යුතුය. විකල්පය සහ විකල්ප නොවන (ප්‍රධාන ධාරාවේ) දේශපාලනය අතර තිබූ රේඛාව මේ වන විට බොඳ වී තිබේ. එනිසා අප විකල්ප දේශපාලනය ලෙස දකින්නා වූ බොහෝ මැදිහත්වීම් පවතින්නේ, ප්‍රධාන ධාරාව නමැති අනෙකාගේ පැවැත්මට සාපේක්ෂවය.
මෙරට විකල්ප දේශපාලනයේ කල්ලිවාදී ස්වරූපය පිළිබඳව කහඳගමගේ මතු කරන කරුණ අපට දේශපාලනය තුළ පමණක් නොව, කලා හා සංස්කෘතික කව තුළ පවා ඉතා ප්‍රබලව දක්නට ලැබෙන්නකි. මෙය වඩාත් හොදින් විද්‍යාමාන වන්නේ ‘විකල්ප’ කණ්ඩායම්වල සමාජ මාධ්‍ය භාවිතය තුළය. ගෝලීය විමුක්ති දේශපාලනයක් පිළිබඳව කටයුතු කරන යම් පිරිස් ස්වකීය සමාජ මාධ්‍ය අවකාශ ඉතා හිංසනීය ලෙස භාවිත කරන ආකාරය දක්නට ලැබේ. තමන්ට විරුද්ධ මත දරන්නන් සමග සංවාදය කෙසේ වෙතත්, දේශපාලනිකව යම් සමාන අදහස් දරන පිරිස් පවා බහිෂ්කරණය කෙරෙන ආකාරයක් දක්නට ලැබේ. තමන්ට වඩා වෙනස් දේශපාලන මත දරන්නන්ට එරෙහිව බලමුළු ගැන්වෙන මෙවැනි කණ්ඩායම් තුළ දක්නට ලැබෙන ගෝත්‍රවාදී ලක්ෂණයක් නම්, කොන්දේසි විරහිතව ස්වකීය සාමාජිකයන්ගේ අගතිගාමී ක්‍රියා වෙනුවෙන් පෙනී සිටීමයි.
කහඳගමගේ සිය ලිපියෙන් මතු කරන තවත් කරුණක් නම්, විකල්ප කණ්ඩායම්වල ට සමාජය වෙනස් කිරීමේ අවශ්‍යතාතාවක් ඇති බවක් පෙනෙන්නට නොමැති අතර, විකල්ප කණ්ඩායම් අයත්කරගෙන තිබෙන දේශපාලන ජයග්‍රහණ ද ඉතාම අල්ප බවයි. මෙහිදී මෙහිදී මා කහඳගමගේ සමග එකඟ නොවන්නේ, කරුණු දෙකක් නිසාවෙනි. පළමුවැන්න නම්, අප විකල්ප යයි හඳුන්වන දේශපාලනයේ නිරත බොහෝ දෙනකුට යහපත් සමාජයක් පිළිබඳව සිහිනයක් තිබේ. ඔවුන් ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් ද සිදු කරයි. එහෙත් භාවිතයේ ඇති ගැටලුකාරීත්වය නිසාම සිය සීමිත කව තුළ අමන්දානන්දයට පත්වනවා හැරෙන්න වඩා යමක් සිදුව නොමැත. එමෙන්ම, විසඳුම් සෙවීම මූලධාර්මිකව ම ගැටළුවක් බවට පත්වන්නේ, විකල්පය ද මූලික ප්‍රශ්නයේම පාර්ශවකරුවෙක් වන බැවිනි.
දෙවැන්න නම්, සමකාලීන සමාජ පර්යාය තුළ විකල්පයට දේශපාලන ජයග්‍රහණ ලැබීම එතරම් පහසු කටයුත්තක් නොවේ. මෙහිදී වැදගත් වන්නේ, විකල්පයේ දේශපාලන ජයග්‍රහණ මොනවා ද යන්න විමසීමට වඩා, විකල්ප දේශපාලනය කෙතරම් ප්‍රජාතන්ත්‍රීය හා මානවවාදී ප්‍රවේශයකින් ක්‍රියාත්මක වනවා ද යන්න සොයාබැලීමයි. විකල්ප දේශපාලනයට ඉදිරිය පිළිබඳව සුභවාදී බලාපොරොත්තුවක් ඇතිකරගන හැක්කේ එවැනි පුළුල් දැක්මකින් හා ප්‍රවේශයකින් පමණි.
ලංකාවේ විකල්ප දේශපාලන ව්‍යාපාර හා ප්‍රවණතා නිසා විශාල දේශපාලන පරිවර්තන සිදු නොවුන ද දැනුම සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම නොතකා හැරිය නොහැකිය. පසුකාලීනව ඇතිවූ බෙදීම් නිසා කුමන තත්ත්වයන් ඇති වුව ද, ‘X කණ්ඩායම’ සිදු කළ මැදිහත්වීම මෙරට දැනුම පිළිබඳව ප්‍රභූ කතිකාවට විශාල අභියෝගයක් එල්ල කළේය. වර්තමානයේ පවා වාමවාදී නැඹුරුවක් ඇති පිරිස් අන්තර්ජාලය ඔස්සේ කාලීන බුද්ධිමය කතිකාවන් පවත්වාගෙන යන ආකාරයක් දක්නට ලැබේ. මෙහිදී වැදගත් වන්නේ, එම සංවාද හැකිතාක් ජනතාව අතරට ගෙන යා හැකි සංවාදමය භාෂාවක් භාවිතා කිරීමයි. යම් දාර්ශනිකයකුගේ නම උච්චාරණය කරන්නේ කෙසේ ද යන්න හෝ දාර්ශනිකයන්ගේ දැනුම තම දේශපාලන බූදලයක් බවට පත් කරගැනීමට හෝ වඩා පුළුල් තලයකට විකල්ප දේශපාලන සංවාද ගෙන ඒම මේ මොහොතේ ඇති කේන්ද්‍රීය අවශ්‍යතාවකි.
කහඳගමගේ සිය ලිපියෙන් මතු කරන තවත් කරුණක් නම්, හතු පිපෙන්නා සේ විවිධ අවස්ථාවල මතුවන ප්‍රශ්න මත පදනම් ව බිහිවන දේශපාලන ව්‍යාපාරයන්හි ඇති සීමාවන්ය. මෙය එක අතකින් යම් පුද්ගලයන් හා කණ්ඩායම් සිය විකල්ප දේශපාලන අනන්‍යතා නඩත්තු කරගැනීමේ ම දිගුවක් ලෙස දැක්විය හැකිය. කෙසේ නමුත්, විවිධ අවස්ථා මත බිහිවන ව්‍යාපාරයන් ට බලපෑමක් ඇති කළ නොහැකි බවක් මින් නොකියවේ. උදාහරණයක් ලෙස, වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ යම් විකල්ප කණ්ඩායම් විසින් සිදු කළ දේශපාලන මැදිහත්වීම මෙන්ම ක්ෂුද්‍ර මූලය ණය ගැටලුව සම්බන්ධයෙන් සිදු කළ මැදිහත්වීම් ඒ මොහොතේ සිදු විය යුතුව තිබුණකි. නමුත් මෙහිදී වැදගත් වන්නේ, මෙම මැදිහත්වීම් සිය ක්ෂුද්‍ර කණ්ඩායම්වලින් ඔබ්බට ගොස්, බහුතරයකට සම්බන්ධ විය හැකි ආකාරයේ ප්‍රජාතන්ත්‍රීය හා විකල්ප අවකාශ බවට පත් කරගැනීමයි.
මේ මොහොතේ වැදගත් වන්නේ, විකල්ප කණ්ඩායම් සෙසු විකල්ප කණ්ඩායම්වල ට එරෙහිව සිදු කරන විකල්ප දේශපාලනයකට වඩා, ප්‍රධාන ධාරාවේ අධිපති කතිකාවට අභියෝග කළ හැකි, හුදු බහිෂ්කරණය වෙනුවට අනෙකා දිනා ගැනීම අරමුණු කොට ගත් දේශපාලනයකි.