(Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia. ((වි)සම්බන්ධිත අධිරාජ්‍යය: අධිරාජ්‍යවාදී පෘතුගාලය, ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකත්වය හා ආසියාවේ හැබ්ස්බර්ග් ආක්‍රමණයක නිර්මාණය). සොල්ටාන් බීඩර්මන්. ඔක්ස්ෆර්ඞ්: ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, 2018. පිටු: 255. ISBN: 9780198823391, doi: 10.1017/S002191181900233X (රෙදි කවරය සහිතව).
___________
විමර්ශනය: නිරා වික්‍රමසිංහ, ලයිඩන් විශ්වවිද්‍යාලය
පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න
(Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia කෘතිය මගින් සොල්ටාන් බීඩර්මන් ගවේෂණය කරන්නේ අධිරාජ්‍යවාදී පෘතුගාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ රාජ්‍ය තාන්ත්‍රික සහ වානිජ සබඳතාව ආක්‍රමණයක් දක්වා වර්ධනය වූ අයුරු ය. මෙහි හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඔහු හඳුනා ගන්නේ ස්පාඤ්ඤ හැබ්ස්බර්ග්වරුන් විසින් 1580 වසරේ දී මුල පුරන ලද ස්පාඤ්ඤ හා ප්‍රතුගීසි රාජ්‍යයන් අතර ඇතිකර ගත් රාජවාංශික සංධානයයි. කෘතිය එක් අව්‍යාජ හා සරල ප්‍රශ්නයකට පිළිතුරු දීමට උත්සහ කරයි. ඒ, ‘ශ්‍රී ලංකාව ආක්‍රමණය කළේ කුමක් නිසාද සහ කෙසේ ද?’ යන ප්‍රශ්නයයි. පොතේ අඩංගු පරිච්ඡේද අට යටත්විජිත ආක්‍රමණයේ ව්‍යුහය පිළිබඳ අංග සම්පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කරයි.
කෝට්ටේ යුගයේ ප්‍රභූ දේශපාලනය පිළිබඳව මනා අවබෝධයක් ප්‍රදර්ශනය කරන බීඩර්මන්, “ඛන්ඩිත, බහු-කේන්ද්‍රීය රාජධානිවලින්” (2018: 60) සැදුම්ලත් දේශීය සන්දර්භය පාඨකයාට දක්ෂ ලෙස විස්තර කර දෙයි. එම කාලයේ, කෝට්ටේ දිවයිනේ තිබූ බලවත්ම රාජධානිය බවට පත්ව තිබුණි. කෝට්ටේ රජු වෙනත් රාජධානිවලින් කප්පම් අය කළ චක්‍රවර්ති කෙනෙකු ලෙස ස්ථාපිත වී සිටි අතර, ඒ අනෙකුත් රාජධානි මෙකී බැඳීම් මග හැරීමට නිරතුරුවම උත්සාහ කළේ ය. මෙම පොත අවසන් වන්නේ 17 වන ශතවර්ෂයේ පළමු දශකයේදී දෙවන ෆිලිප් විසින් දිවයින ආක්‍රමණය කිරීම විස්තර කිරීමත් සමගිනි.
ක්‍රමක්‍රමයෙන් සිදු වූ අපසාරිතාවන් (divergence) ආක්‍රමණයක් කරා වර්ධනය වූ අයුරු පිළිබඳ බීඩර්මන්ගේ තර්කය ටිකිරි අබයසිංහ හා චන්ද්‍ර රිචර්ඩ් ද සිල්වාගේ ආරම්භක කෘති මත මෙන්ම ඇලන් ස්ට්‍රැතර්න්ගේ විශිෂ්ට වඩාත් මෑතකාලීන දායකත්වය මත ද ගොඩනැගුණකි.1 ඔහු පෘතුගීසීන්ගේ පැමිණීම ආක්‍රමණයම අරමුණු කරගත් දේශගවේෂණයක් ලෙස දකින ජාතිකවාදී ඉතිහාසවේදී සම්මුතියට, පුද්ගලයන් නම් නො කරමින්, අභියෝග කරයි.2 බීඩර්මන් තර්ක කරන්නේ, පෘතුගීසීන්ගේ අධිරාජ්‍යවාදී අභිලාෂ අධිතක්සේරු කිරීමේ ප්‍රවණතාවලට ප්‍රතිවිරුද්ධ වන මුල් නූතන යුගය පිළිබඳ සංශෝධනවාදී ඉතිහාසයක් ලිවීම තුළින් “හරවත් වියමන් රැසකින්” යුත් අතීතයක් ග්‍රහණය කරගැනීමට හැකිවන බවයි. මෙය සිදු කරනු ලබන්නේ සන්ජේ සුබ්‍රමනියන් විසින් මුලපුරණ ලද ‘සම්බන්ධිත ඉතිහාසයේ’ (connected history) මූලධර්ම බාරගැනීමෙනි.3 බීඩර්මන් ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයක් නොව, 1500 ගණන්වල තිබූ අන්තර් සම්බන්ධිත ලෝකය පිළිබඳ ආවර්ජනයකි. ඒ අනුව, මෙහිදී ආක්‍රමණයක් සිදු වුව ද, එසේ සිදුවන්නේ යම් එකඟතාවක් නැතහොත් සම්මේයතාවක් (commensurability) විසින් විවිධ පාර්ශ්ව අතර සංවාදය සඳහා ද අවකාශයක් තිබූ කාල පරිච්ඡේදයකින් පසුව ය.
පොතේ පළමු භාගයේ, බීඩර්මන් යෝජනා කරන්නේ ඇතැම් අදහස් සහ ඒ වටා බැඳුණු දේශපාලන ව්‍යවහාරයන්, විශේෂයෙන්ම අධිරාජ්‍යය යන විශ්වීය අදහස සහ “පාලනය කරන ලද ගැටුම” (contained conflict) (2018: 22) යන සංකල්පය, විවිධ පාර්ශ්ව විසින් සම්මේය ලෙස සැලකුණ ද, විසංවාදී අවස්ථාවන් ද විරෝධතාවන් ද මතු වූ බවයි. පෘතුගීසීන් ලංකාවේ ප්‍රාදේශීය රජවරුන් අතර සිදු වූ බල අරගලවල පැටලුණේ බල තණ්හාවෙන් යුත් දේශීය ප්‍රභූන්ගේ ක්‍රියාවන් තුළින් බව ඔහු නොපැකිලී ප්‍රකාශ කරයි. එවකට රටේ ආධිපත්‍යය දැරූ කෝට්ටේ රජවරුන්ට රයිගම හා සීතාවක යන රාජධානිවලින් රාජ්‍යත්වය සඳහා තරඟකළවුන් බලවත් වීම වැළැක්වීම සඳහා බාහිර වෙළඳාම හා හමුදා සම්පත් ද ලබා ගැනීම අවශ්‍ය විය. එනිසා ඔවුන්ට අධිරාජ්‍ය කේන්ද්‍රය මත යම් පාලනයක් ඇති කරගැනීමට අවශ්‍ය විය. මෙය අසාමාන්‍ය චර්යාවක් නොවේ. විදෙස් රාජධානිවලට කප්පම් ගෙවීම අතීතයේ සිටම සුපුරුදු ක්‍රියාමාර්ගයක් වූයේ, 14 වන සියවසේ සිටම පාලකයන් චීනයටත් දකුණු ඉන්දීය රාජධානිවලටත් කප්පම් ගෙවා තිබූ නිසා ය.
පොතේ හයවැනි පරිච්ඡේදයෙහි, 1557 වසරේ කතෝලික ආගම වැළඳගෙන බෞතීස්මය ලැබූ කෝට්ටේ ලාබාල රජෙකු වූ ධර්මපාල පිළිබඳ පුවත නැවත ඉතා ආකර්ෂණීය ලෙස විස්තර කරයි. මෙම සිදුවීම ආගමික විශ්වාසය මත පදනම් වූවක් නොව, දේශපාලන අරමුණු මත තීරණය වූවකි. මෙම සිද්ධිය වැදගත් ප්‍රතිවිපාක දෙකක් ඇති කළේ ය: ඉන් එකක් වූයේ, සිංහලයින් අතර අමනාපයක් ඇති කිරීම වූ අතර, එය අවසන් වූයේ බෞද්ධ භික්ෂූන් තිස් නමක් ඝාතනයට ලක් කළ කෝලාහලයකිනි. තව ද ඉන් රාජධානිය තුළ කතෝලිකයන්ගේ උන්මූලකරණයට (radicalization) තුඩු දුන් අතර, මෙ මගින් බෞද්ධ විහාර ගණනාවක් විනාශයට පත් වුණි. මෙම කැලඹීම මධ්‍යයේ, 1580 වසරේ සිදු වීමට නියමිතව තිබූ කෝට්ටේ රාජධානියේ පරිත්‍යාගය සඳහා අවැසි සන්දර්භය සැකසෙමින් තිබුණි. එනම්, ධර්මපාල රජුගේ මරණයෙන් පසු කෝට්ටේ රාජධානිය පෘතුගාලයේ රජුටත් ඔහුගේ උරුමක්කාරයන්ටත් භාර දීම සඳහා පදනම සැකසීමය. “ශ්‍රී ලංකාව සම්පූර්ණ හා නීත්‍යානුකූල ලෙස අයිබීරියානු අධිරාජ්‍යයට ඒකාබද්ධ කරවීමට” (2018: 160) මෙම පරිත්‍යාගය සමත් වුණි. බීඩර්මන් කියා සිටින්නේ, මෙම ක්‍රියාව සීතාවක රාජධානියේ ව්‍යාප්තිය නැවැත්වීමේ අරමුණින් සිදු වූවක් බවයි. එහෙත්, පෘතුගීසීන් මෙය තේරුම් ගත් ආකාරය අනුව, කප්පම් ගෙවීම් මත පදනම් වූ පැරණි ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවට, දිවයිනේ ස්වෛරීභාවය පෘතුගාල රජුට පවරා දීම දිවයිනට සහනයක් විය. මෙසේ මෙම ‘ක්‍රීඩාවේ’ නීතී රීති යළි අර්ථ දැක්වීම මගින් ස්වාභාවිකවම ආක්‍රමණය සඳහා මග පෑදුණි.
(Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia කෘතියේ විෂය පථය ඉතා පුළුල් බැවින්, ගෝලීය ඉතිහාසය යන රාමුවට එය මනා ලෙස අනුකූල වේ. ඉතා සැලකිලිමත් ලෙස කරන ලද පර්යේෂණයක් වන මෙහි, බීඩර්මන් රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍ර, දේශපාලන ලිපි, සිතියම් සහ කලා වස්තු ඇතුළු පෘතුගීසි භාෂාවෙන් ලියැවුණු මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් යොදා ගනියි. එනමුත්, දේශීය කටහඬවල් නම් මෙහි නිහඬ වී ඇත. ඇතැම් විට, කවියෙකු, නඩු කාරයෙකු හා සිවිල් සේවකයෙකු වූ, සිංහල රජුගේ රාජසභාවේ මෙන්ම පෘතුගීසී පාලකයන් යටතේ ද සේවය කළ අලගියවන්නගේ කාව්‍ය කෘති ද පරීක්ෂා කර බැලුවේ නම්, යටත්විජිත මූලාශ්‍ර ඔස්සේ පමණක් කියන ලද මෙම කතාන්දරයට වෙනත් කෝණයකින් ප්‍රවේශයක් ද එකතු කරගැනීමට බීඩර්මන්ට හැකි වන්නට ඉඩ තිබුණි.4
බීඩර්මන්ගේ ලේඛනය මගින් ඥානාලෝකයක් සපයනවා වෙනුවට සිදුවන්නේ කියා දීමකි (explanation). පාඨකයා වෙනුවෙන් අතීතයේ පැවති ලොවක් හා කාලයක් ප්‍රතිනිර්මාණය කරනු වෙනුවට සිදුවන්නේ එය අර්ථකථනය කරන ආකාරය විස්කර කිරීමය. ඒ අනුව ඔහුගේ රචනයේ හිස් තැන් බොහොමයක් ඉතිරි වේ. උදාහරණයක් වශයෙන්, යුද්ධය පිළිබඳ කතාවේදී එතරම් බලවත් නොවූ පුද්ගලයින්ගේ බෙහෙවින් වැදගත් වූ භූමිකාව මග හැරේ. මෙනිසා, පොතෙහි ගෝලීය ඉතිහාසය, විශ්වදේශවාදය සහ අධිරාජ්‍යය පිළිබඳ යාවත්කාලීන න්‍යායාත්මක නියැලීම් තිබියදීත්, එහි යම් යල් පැන ගිය ගතියක් ද නැතුවා නොවේ. ඒ අනුව, පෘතුගීසීන් ‘අධිරාජ්‍යවාදීන් ලෙස හැසිරීමට පසුබට වූ කණඩායමක්’ ලෙස අර්ථකථනය කර ඇති මේ කෘතිය, එතරම් ප්‍රසිද්ධ නොවූ සිදුවීම්වලට නොවැදගත් ස්ථානයක් නොව කේන්ද්‍රීය ස්ථානයක් ලබා දුන්නේ නම්, මේ කෘතිය බෙහෙවින් වෙනස් කෘතියක් ලෙස අපට පරිකල්පනය කිරීමට පුළුවනි. මෙවන් අප්‍රකට නමුත් වැදගත් සිද්ධීන් සහ ප්‍රවණතා සඳහා නිදසුන් ලෙස 1551 වසරේ දළඳා මාලිගය මංකොල්ල කෑම, කුලය සහ ශ්‍රමය යන සංස්ථා ද්විත්වයෙහි පරිවර්තනය වෙමින් පැවති ව්‍යුහය, ජන වර්ගය (race/පෘතුගීසි බසින්, raça) යන අදහසේ උපත ආදිය දැක්විය හැක. එහෙත්, මේවා බීඩර්මන්ගේ කථාව තුළ හුදු සේයා මාත්‍රයක් පමණි.
කෘතිය සමග මට තිබෙන මෙවැනි කුඩා ගැටළු පසෙකලා කිව හැක්කේ (Dis)connected Empires: Imperial Portugal, Sri Lankan Diplomacy, and the Making of a Habsburg Conquest in Asia ඇගයිය යුතු, විචක්ෂණශීලී කෘතියක් බවත්, බර භාෂා විලාශයකින් යුතුමුත්, මැනැවින් තර්ක කරන ලද කෘතියක් ද බවයි. බීඩර්මන් දක්ෂ ලෙස විග්‍රහ කරන මෙම සංකීර්ණ, එකිනෙක හා පැටළුණු ඓතිහාසික මාවත් ඔස්සේ ඔහු හා ගමන් කිරීමට කැමැති, ගෝලීය ඉතිහාසය, ආසියානු සබඳතා හා යටත්විජිතවාදය පිළිබඳ උනන්දුවක් දක්වන විශේෂඥ පාඨකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් විශිෂ්ට කෘතියක් ලෙස මෙය හැඳින්විය හැක.
පසු සටහන්
- Tikiri Abeyasinghe, Portuguese Rule in Ceylon, 1594–1612 (Colombo: Lake House, 1966); Chandra Richard de Silva, The Portuguese in Ceylon, 1617–1638 (Colombo: H. W. Cave, 1972); Alan Strathern, Kingship and Conversion in Sixteenth-Century Sri Lanka: Portuguese Imperialism in a Buddhist Land (Cambridge: Cambridge University Press, 2007).
- පෘතුගීසී පාලනය පිළිබඳ තිබෙන ජාතිකවාදී ඉතිහාසවේදයෙන් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ ජනප්‍රිය ඉතිහාසය යන කාණ්ඩයට වන අතර, ඒවා යැපෙන්නේ පෘතුගීසි මූලාශ්‍රවල පරිවර්තන මත ය. බලන්න: C. Gaston Perera, The Portuguese Missionary in 16th and 17th Century Ceylon: The Spiritual Conquest (Colombo: Vijitha Yapa, 2009).
- Sanjay Subrahmanyam, ‘Connected Histories: Notes towards a Reconfiguration of Early Modern Eurasia, Modern Asian Studies 31, no. 3 (1997): 735–62.
- බලන්න: Stephen C. Berkwitz, Buddhist Poetry and Colonialism: Alagiyavanna and the Portuguese in Sri Lanka (Oxford: Oxford University Press, 2013).
(මෙම විමර්ශනය මුලින්ම පළකරන ලද්දේ The Journal of South Asian Studies සාර-සංග්‍රහයේ 79 වන වෙළුමේ පළමුවැනි කොටසේය (පෙරවාරි 2020). එය පඨිත සංග්‍රහයේ පළකිරීමට අවසර දීම සම්බන්ධයෙන් පඨිත සංස්කාරක මණඩලයේ ස්තූතිය මහාචාර්ය නිරා වික්‍රමසිංහ වෙත හිමිවේ. රූපය ‘අමෙසින්ග් ශ්‍රී ලංකා’ බ්ලොග් අඩවියෙනි)