Skip links

අපේ කොරෝනා පැණිය!

~ ධනංජය කරුණාරත්න

ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවූ බව කියන පැණියට මේ තරම් විශාල ජනතා ඉල්ලුමක් ඇති කළේ ජාතික තලයේ මාධ්‍ය ද භාවිත කරමින් රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදීමත් සමගයි. රජයට එවැන්නක් කිරීමට තරම් ධෛර්යය ලැබෙන්නේ, රජය හොඳින් දන්නා පරිදි, එවැනි දේ විශ්වාස කරන ජනකොටසක් සිටීම නිසයි. 

මේ ජනතාව විසින් රජයෙන් ඇසිය යුතු ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, රජයට මේ බෙහෙත මේ තරම් විශ්වාසයෙන් තම ක්‍රියා කලාපයන් ඔස්සේ ජනතාවට අනුමත කරන්නට හැකි නම්, ඔවුන්ට මේ බෙහෙත ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ වෙලාවේ හඳුන්වා දීමට නොහැකි මන්ද?  එලෙසින්ම, එය ලෝක වෙළදපොළට යවා, එක අතකින් සේවයක් ද ලබාදී, අනිත් අතින් විශාල ආදායමක් ද ලබා ගන්නට හැකි  අවස්ථාවක් පැහැර හරින්නේ මක් නිසාද? රජය එසේ නොකරන්නට ඇත්තේ, මේ බෙහෙත පිළිබඳ ඔවුන්ට තියෙන අඩු විශ්වාසය නම්, ඔවුන් එවැනි අවදානම් දෙයක් වෙත  තමන්ගේම ජනතාව තල්ලුකිරීම තුළින් පෙන්වන්නේ පිටස්තර ජනතාවට වඩා තමන්ගේ ජනතාවගේ ජීවිත පිළිබඳ ඔවුන්ට ඇත්තේ අඩු වටිනාකමක් බව නොවේද?

මේ ජනතාව මෙවන් උගුලකට අහුවන්නට ප්‍රධානම හේතුවක් නම්, මාධ්‍යය මගින් හෝ රජය විසින් හෝ, එනම් යමෙක් කියන දේ ප්‍රශ්න කිරීමකින් හා විමර්ශන ඥානය භාවිත නොකර විශ්වාස කිරීමේ චරිත ලක්ෂණය නිසයි. විශේෂයෙන් රජය සහ මාධ්‍ය වැනි දේ සම්බන්ධයෙන් ඔවුන්ට තාමත් ඇත්තේ විවේචනාත්මක දෘෂ්ටියකට වඩා සාමාන්‍යයෙන් බොහෝ නාගරික සහ නූතනකරණයට ලක් නොවූ ජන කොටස් තුළ ඇති ගෞරවය මුසු භක්තිමත්භාවයක්. එලෙසම, මෙවැනි  අගතිගාමී අමනෝඥ චරිත ලක්ෂණ ඇතිවීම පිටුපස ‘සිංහල’ රාජ්‍යය අධ්‍යාපනය  ප්‍රධාන භූමිකාවක් ඉටුකර ඇති  බව  නැවතත් මතක් කර දී යුතුව තිබේ.  එය යමක් ප්‍රශ්නකර පිළිගැනීමට අවශ්‍ය  විමර්ශනාත්මක ඥානය ගොඩනගා ගැනීමට උගන්වන, එය අභ්‍යාස  කිරීමට පුහුණුකරන  දියුණු අධ්‍යාපනයක් නොවේ. ඒ අධ්‍යාපනය තුළ විද්‍යාව විෂයක් ලෙස කොතරම් ඉගෙන ගත් ශිෂ්‍යයෙක් වුව ද නොයෙකුත් ප්‍රපංච  දෙස  විද්‍යාත්මකව බලන්නට නොපෙළඹෙන්නේ මේ නිසාය. තර්ක ශාස්ත්‍රය, ගණිතය වැනි විෂයන් කෙතරම් විෂයන් ලෙස  ඉගෙන ගත්ත ද යමක් තර්කයට භාජනය කරන ආකාරය නොදන්නේ මේ නිසාය. එනමුත්, මේ බෙහෙත පිළිනොගන්නා සියලුම දෙනා අනිවාර්යයෙන්ම එකී  අධ්‍යාපනික අර්බුදය ජයගත්තවුන්  යැයි ද මෙයින් අදහස් නොවේ. ඔවුන්ට ද මෙම  විඥානයම ඇතිමුත්, අන් විවිධ හේතු නිසා මේ බෙහෙත පිළිනොගත්තා විය හැකිය.  

කොරෝනා  රෝගයට බෙහෙතක් සොයා ගැනීම සම්බන්ධයෙන්, දියුණු රටවල් ඒ සම්බන්ධව දැවැන්ත මුදල් කන්දරාවක් සහ දියුණු දැනුම සහ පර්යේෂණ යොදා කරන අරගලයක් සමග අතිශය තීරණාත්මක ගෝලීය කතිකාවක් ඇතිවී තිබේ. මේ කතිකාව පිළිබඳ යම් අදහසක් ඇති කිසිවෙක් මෙවැනි  ප්‍රාදේශීය පැණියකින් එය කරන්නට පුළුවන් වේවි යැයි කිසිවිටෙක නොසිතනු ඇත. එබැවින්, අපේ මේ ජන කොටස බණ්ඩාර මහතා ගේ පැණිය වෙත පෙල ගැසීමෙන් පෙන්වන්නේ, කොරෝනාවලට ප්‍රතිකාර හොයාගැනීම සම්බන්ධයෙන් ඇති  ඒ පුළුල් ගෝලීය යථාර්ථය  පිළිබඳව තමන්ට ඇත්තේ ඉතා අඩු අවබෝධයක් බවයි.   එබැවින්, මෙවැනි විශ්වාස සහ උගුල්වලට අසුවන බහුතරය සාමාන්‍යයෙන් වැටෙන්නේ තම ප්‍රාදේශීය අවකාශයට ඔබ්බෙන් ඇති ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරැදි අවබෝධය අඩු, සියල්ල ශ්‍රී ලංකාවේ සිංහල මාධ්‍යවලින් සහ සිංහල ටෙලිනාට්‍යවලින් කියාදෙන ලෙස තේරුම් ගැනීමට නැඹුරුවක් දක්වන,  මූලික වශයෙන් සිංහල භාෂාවෙන් පමණක් ගනුදෙනු කරගන්නා, වඩාත් ප්‍රාදේශීය ජන විඥානයක් මත ගොඩනැඟුණු පිරිසකින් සැදුම්ලත් කුලකයටය. බොහෝවිට, වගකීමක් නැති  කැලෑ-වෙදුන්ගේ, පේන කියන්නන්ගේ හා අභිචාරී  මායාකරුවන්ගේ කූට ප්‍රාදේශීය ප්‍රතිකාරවලට හසුවන්නේ මොවුන් ය. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි කතාකරන නාගරික ඉහල මධ්‍යම පංතියෙන් කිසිවෙක් මේ පැණිය ගන්නට නොයන්නේ ඒ නිසයි. හේතුව නම්, ඔවුන්ට රට තුළ සිදුවන මෙවැනි ක්‍රියාකාරකම්, බාල මාධ්‍ය භාවිතයන්, දේශපාලකයින්ගේ පටු ඥානය සහ ඔවුන්ගේ කූට උපක්‍රම යම් විශ්වීය සන්දර්භයක තබා චිත්‍රණය කරගැනීමේ  හැකියාව තිබීම නිසාය. එසේම, ඒ සමාජ ස්ථරයේ මෙවැනි දේවල ඇති බොරුව තේරුම් ගැනීමට ප්‍රමාණවත් තරම් අදහස් සහ දැනුම සංසරණය වීම ද වැදගත් සාධකයකි.

රජය, ධම්මික බණ්ඩාර මහතා සහ මාධ්‍ය ඇතුළු  මේ ව්‍යාපෘතියට මුල් වූ පිරිස් නොයෙකුත් මූල්‍යමය, භෞතික සහ සංකල්පමය වටිනාකම් මේ තුළින් අත්පත්කර ගන්නා බව ද අපට වටහා ගැනීමට අපහසු නැත.  විශේෂයෙන් රජය පැත්තෙන් ගත කළ, කොරෝනා මර්දනයට රජයක් ලෙස ජාතික වශයෙන් අපටත් යමක් කළ හැකිය යන ජාතිකවාදී සංකේතාත්මක අර්ථය වැදගත් බව පෙනේ. ලෝකයේ ජර්මනිය, ජපානය, ඇමරිකාව ආදී බොහෝ දියුණු රටවල්වල ද ජාතිකත්වය පිළිබඳ අදහස ක්‍රියාත්මකවන විටත්, ඔවුන් අනෙකාගේ නූතන විද්‍යාත්මක සොයාගැනීම් සහ දැනුම තමන්ගේ දැනුමට බැරකරගෙන,  එය ප්‍රයෝජනයට ගැනීමේදී ජාතිකත්වය කිසි විටෙකත් බාධාවක් කරගත්තේ නැත.  එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙය බොහෝ විට වටහා ගෙන තිබෙන්නේ, එකී විවිධ රටවල්වල ඇති විද්‍යාත්මක දැනුමේ සහ පර්යේෂණවල ආභාෂය ලබා ගන්නවාට වඩා, හැකි තරම් ප්‍රාදේශීය අමුද්‍රව්‍යවලින් යමක් නිෂ්පාදනය කර අනිකාගේ දේ ප්‍රතික්ෂේප කර පෙන්වීම, ජාතික ජයග්‍රහණයක් ලෙසටය. එහි  ප්‍රායෝගික ප්‍රතිඵලය කුමක් හෝ වේවා සිංහල අවුරුදු චාරිත්‍ර ලෙසින්ම මේවා ද සංකේතාත්මකව සිදුවුණත් එය මහා ජයග්‍රහණයක් ලෙස දැකීමට අප බොහෝ දෙනා හුරු වී සිටීම අවාසනාවකි.

(මේ සටහනේ මුල් අත්පිටපත ධනංජය කරුණාරත්න ගේ මුහුණු පොත් පිටුවේ 2020 දෙසැම්බර් 9 වනදා පළවිය. එහි සංස්කරණය කළ පිටපතක් වන මේ ලිපිය මෙහි පළකරන්නේ කතුවරයා ගේ අවසරය ඇතිවය. ධනංජය කරුණාරත්න ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන නාට්‍යවේදියෙකි)

Leave a comment

This website uses cookies to improve your web experience.