Ameena Hussein, Chasing Tall Tales and Mystics – Ibn Battuta in Sri Lanka: A personal Journey (අමීනා හුසේන්, විශ්වාස කළ නොහැකි කතා සහ මුනිවරු හඹා යෑම – ලක්දිවට පැමිණි ඉබන් බතුතා: පෞද්ගලික සංචාරයක්). කොළඹ: සේල් ෆිෂ් ප්‍රකාශන සමාගම, 2020. පිටු: 294. ISBN 978-955-7743-05-9. මිල: ශ්‍රී ලංකා රුපියල් 1, 500.00 (මෘදු කවරය සහිතව).
විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය
අමීනා හුසේන් 1304 හා 1369 අතර කාලය තුළ ජීවත් වූ සුප්‍රසිද්ධ මොරොක්කානු සංචාරකයෙකු සහ ඉස්ලාම් ධර්මය පිළිබඳ ශාස්ත්රඥයෙකු ද වූ ඉබන් බතූතා පිළිබඳ පොතක් ලියමින් සිටින බව මා හා පැවසුවේ 2019 වසරේදීය. සමාජ විද්‍යාඥයෙකු ලෙස විධිමත් පුහුණුවක් ලබා ඇති සහ ඉංග්‍රීසි භාෂා නිර්මාණ කතා රචකයෙකු ලෙස ද මෙරට වඩාත් ප්‍රසිද්ධ ව සිටින ඇය මෙවැනි ඓතිහාසික ආඛ්‍යානයකට කෙසේ පිවිසෙනු ඇත් ද යන්න මා තුළ කුතුහලය දල්වා ලූ ප්‍රශ්නයක් විය. ඊට පිළිතුරක් ලැබුනේ, පරිච්චේද 22ක් සහ සිතියම්, චායාරූප හා චිත්‍ර 115 ක් ද ඇතුලත්ව තිබෙන ඇයගේ උනන්දුසහගත කෘතිය මීට දින කිහිපයකට පෙර මා අතට පත් වූ විටය. පැහැදිලිවම, එය මා මීට පෙර කියවා ඇති ආකාරයේ ඓතිහාසික ආඛ්‍යානයක් නම් නොවේ. එය බතූතා ලොව සැරූ අතීතය වෙත මෙන්ම ඉන් පසුකාලීන ඇතැම් යුග වෙතත්, කතුවරියගේ පවුලේ ඉතිහාසය වෙතත්, කෘතිය සඳහා කළ යුතු වූ පර්යේෂණ චාරිකා ඔස්සේ තත්කාලීන අත්දැකීම් ගණනාවක් වෙතත් අපව කැඳවාවාගෙන යන්නේ, ඇතැම් විට කාල වකවානු අතර ඇති සාම්ප්‍රදායික සීමා ඛණ්ඩනය කරමින් හා ඒවා අතර ඇති මායිම් බොඳ කරමිනි. මේ අර්ථයෙන් ගත් කළ, ඇයගේ ව්‍යායාමය කෘතියේ මාතෘකාවෙන් ම දක්වා ඇති පරිදි ‘පෞද්ගලික’ සංචාරයකි. කෙසේ වුව ද හුසේන්ගේ මූලික අවශ්‍යතාව බතූතාගේ ලංකා ගමන පිළබඳ යම් අදහසක් ඉදිරිපත් කිරීමය.
ඉබන් බතූතා ගේ සංචාර පිළබඳ ඔහු විසින් ලයන ලද කෘතිය සමාන්‍යයෙන් හැදින්වෙන්නේ රීලා (චාරිකා) වශයෙනි. මෙය මේ වන විට ලෝක භාෂා කිහිපයකින්ම කියවිය හැක. මේ මුල් කෘතිය යුරෝපීය භාෂවන්ට පරිවර්තන ඔස්සේ ඇතුළු වූ ආකාරය පිළබඳ කෙටි ඉතිහාසයක් මෙන්ම සිය කෘතිය සඳහා ඇය විසින් භාවිතයට ගන්නා ලද ඉංග්‍රීසි පරිවර්තන පිළබඳ කෙටි සටහනක් ද හුසේන් විසින් ඇයගේ කෘතියේ මුලින් ම ඉදිරිපත් කරන්නීය. කෘතියේ මාගේ සිත වඩාත් ඇදී ගියේ සිය නිර්මාණ සාහිත්‍ය රචනාකරන්යෙන් ඇය ගොඩනගාගත් සරල හා යම් දුරකට සෙල්ලක්කාර භාෂා විලාසය මේ කෘතියට ද ගෙනැවිත් තිබීම නිසාය. මෙමගින් බතූතා සාම්ප්‍රදායික ඓතිහාසික සාහිත්‍ය ක්ෂේත්රයේ සාමාන්‍යයෙන් රඳවා තිබෙන සම්භාව්‍යය තලයේ සිට සාමාන්‍ය ජනයාගේ තලයට ගෙනැවිත් ඇති බව මගේ විශ්වාසයයි.
බතූතාගේ ලංකා ගමනේදී ඔහු සාමාන්‍යයෙන් ගොඩබට ස්ථානය ලෙස සැලකෙන්නේ පුත්තලම හෝ ඒ අවට ප්රදේශයකි. මේ අනුව හුසෙන් ගේ කෘතිය ආරම්භ වන්නේ ද පුත්තලමෙනි. බතූතාගේ නමින් වීදියක් සහ ගොඩනැගිල්ලක් එම නගරයේ පිහිටා තිබුණ ද, හුසේන් නගරයේ නොයෙකුත් දෙනා සමග කරන කතාබහෙන් අපට පෙනෙන්නේ ඔහු පිළබඳ මතකය සමාජයේ ජනප්‍රිය කතිකාවෙන් බොහෝ දුරට මේ වන විට මිලින වී ගොස් ඇති බවයි. රත්නපුර ප්‍රදේශයේ මුල්සිම් දේවස්ථානයක් හා සම්බන්ධ පුද්ගලයෙක් පවසන්නේ, බතූතා රුසියාවෙන් පැමිණි බවයි.
බතූතාගේ සංචාර පිළිබඳ දැනුම මේ වන විට ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ කතිකාවක්ය. මෙනයින් බලන කළ, හුසේන් විසින් බතූතා පිළබඳව අප වෙත ඉදරිපත්කරන කරුණුවල වැදගත්කම නම්, ඔහු විසින් මෙරට කළ සංචාර හා දුටු දේ එක්තැන් කර, අප වෙත ගෙන ඒමය. විදික්රමික වශෙයෙන් බතූතාගේ ලංකා ගමන පිළබඳ වර්තමානයේ සිට සොයා බලන්නට යාමෙදී ගැටළු කිහිපයකට මුහුණපාන්නට ඕනෑම රචකයෙකුට සිදු වේ. මේවා අතර ප්‍රධාන වන්නේ, බතූතා විසින් යොදා ඇති ස්ථාන නාම පහසුවෙන් හදුනාගන්නට නොහැකි වීම සහ ඔහුගේ විස්තර බොහෝ විට අතිශයින් සංක්ෂිප්ත වීමය. එමෙන්ම, තත්කාලීනව බතූතාගේ කාලය සමග සම්බන්ධවීමට උත්සාහ කිරීමේදී, ඔහුගේ සංචාරය පිළිබඳ විශ්වසනීය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක මෙරටින් සොයාගැනීමට නොහැකිවීමත් විශාල ප්රශ්නයකි. මේ විදික්රමික ගැටලු සාර්ථකව විසදීමට අද දින හැකියාවක් නැති බව මගේ විශ්වාසයයි. හුසේන් විසින් මේ ගැටලුවලට අවතීර්ණ වන්නේ මූලික වශයෙන් පරිකල්පනය ඔස්සේ ය. උදාහරණයක් ලෙස, බතූතා මෙරට අගනුවර ලෙස හදුන්වා දී ඇත්තේ ‘කුනර්කා’ නම් ස්ථානයක්ය. ඇය පවසන්නේ මේ කුරුනෑගල විය යුතු බවයි (108-119). ඊට හේතුව බතූතා ගේ විස්තරයේ ඇති අන් සංක්ෂිප්ත තොරතුරුය. නමුත් ඒ තොරතුරු එකළ දිවයිනේ අන් බොහෝ ස්ථාන විස්තර කිරීමට වුව ද ප්රමාණවත්ය. මෙවන් අර්ථකතන කෘතියේ බොහෝ තැන්වල දැකගත හැක. මේවා විධිමත් ඓතිහාසික අර්තකතනවලට පහසුවෙන් පදනමක් සැපයුවේ නැති වුවද, හුසේන් විසින් සන්ධාර්භයනුකූලව දක්වන කරණු සමග කෘතියේ ගලායෑම පහසු කරන අතර, පැහැදිලිවම එය රසවත් කිරීමට ද දායක වේ. බතූතා විසින් සාපේක්ෂ වශයෙන් දීර්ඝ ලෙස විස්තර කර ඇති කරුණක් වන්නේ, ඔහුගේ ශ්‍රී පාද ගමන පිළිබඳවයි. එනිසාම හුසේන් ද ඒ පිළබඳ වඩාත් දීර්ඝ විස්තරයක් අපට ලබා දෙයි (161-175). බතූතා විසින් සිය ගමන් පිළිබඳ සපයා ඇති තොරතුරුවලට අමතරව, ශ්‍රී පාදය හා සම්බන්ධ පළමු විජයබාහු, දෙවන පරාක්‍රමබාහු හා පසුකාලින ඕලන්ද සංචාරකයෙකු වූ ජේකබ් ගොඩ්ෆ්‍රීඩ් හාෆ්නර් මෙන්ම ශ්‍රීමත් ජෝන් කොතලාවල හා සම්බන්ද තොරතුරු ද අප වෙත හුසේන් ඉදිරිපත් කරයි. මේ සියලුම තොරතුරු ශ්‍රී පාදය හා සම්බන්ද වුව ද ඒවා සන්ධර්භයානුකුකව හා කාලාවකාශීයව බෙහෙහෙවින් එකිනෙකට වෙනස් වේ. මෙලෙස නිරතුරුවම වෙනස්වන කාලවකාශ පරාසය මගින් මතුකරන අභියෝගය කෘතිය ප්‍රවේශමෙන් කියවන්නෙකුට පහසුවෙන් නිරාකරණය කරගැනීම අපහසු වේ. එනමුත් කෘතිය වඩාත් විනෝදාස්වාදීය කරණු මත කියවන්නෙකුට මෙය ගැටළුවක් නොවනු ඇත.
කෘතියේ මුඛ්‍යාර්ථය ඉබන් බතූතා ගේ ලංකා ගමන පිළිබඳ අදහස් දැක්වවීමක් වුවද, ඒ තොරතුරුවලට වඩා බෙහෙවින් වෙනස්, එමෙන්ම වඩාත් උනන්දුසහගත අන් තොරතුරු ද එමගින් අප වෙත ලැබේ. මට නම්, වඩාත් කුතුලය දැනවූයේත්, උනන්දුවක් අතිකරලන්නට හැකිවූයේත් මේ කරුණු සම්බන්ධයෙන්ය. එයින් එකක් නම්, කතුවරියගේ පෞද්ගලික පවුල් ඉතිහාසය ඔස්සේ ඇයගේ පෞද්ගලික ඉතිහාසය අප රටේ වඩාත් පුළුල් වූ සමාජ-සංස්කෘතික ඉතිහාසය සමග සම්බන්ධ වී ඇති අකාරය තේරුම්ගැනීමය. උදාහරණයක් වශයෙන්, කාලයක් කතානායක නිල නිවාසය වූ මුම්තාස් මහල් ගොඩනැගිල්ල ඇයගේ පියා කුඩා කාලයේ ජීවත් වූ, ඇයගේ සීයා විසින් ගොඩනගන ලද ඔවුන්ගේ මහා ගෙදරය. සුප්‍රසිද්ධ කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ද මෙලෙසින්ම ඇයගේ සමීප මුතින්මිතෙකු විසින් ගොඩ නගන ලදී. අප සැම දන්නා පරිදි, මේවා ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ඉතිහාසය පිළිබදව කතාකිරීමේදී අනිවාර්යයෙන් සඳහන් කළ යුතු උදාහරණය. එනමුත් මේවා හෝ ඒවායේ ඉතිහාසය හා සමග කෙලෙසින්වත් බතූතා සම්බන්ධ නොවේ. කතුවරිය ද එවැන්නක් පවසන්නේ නැත. ඒවා කෘතියට සම්බන්ධවන්නේ බතූතා පිළිබඳ තත්කාලීන මතකය ගවේෂණය කිරීමේදී මුස්ලිම් දේවස්ථාන වැනි ස්ථාන වෙත යන විට, කතුවරියගේ අනන්‍යතාව තතහවුරු කරගැනීමට දැරූ උත්සාහයන් ඔස්සේය. එනම්, මෙවන් විස්තර කෘතියට ඇතුළු වී තිබෙන්නේ එහි විධික්රමික භාවිත පිළිබඳ කෙරෙන අතුරු විස්තර ඔස්සේය. එනමුත්, ඒ අතුරු විස්තර හුසේන්ගේ ආඛ්‍යානය ගලායන ආකාරය අනුව කේන්ද්‍රීය ස්ථානයක් කෘතිය තුළ අත්පත් කර ගනී. මෙලෙසින්ම, කෘතියෙන් මතුවන තවත් වැදගත් අතුරු කාරණයක් වන්නේ, මෙරට මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ තොරතුරුය. ඒ තොරතුරු බතූතා ගේ සපැමිණීමට පෙර කාලයේ සිට ඔහුගේ කාලයෙන් පසු යුග හා වර්තමානය දක්වාම දිව යයි. මේ ප්‍රවණතාව ද කෘතියට පැමිණ ඇත්තේ වක්රානුකූලව අතුරු කතිකා එකතුවක් ලෙස වුව ද, ඒවා කෘතිය තුළ විකසිතවන්නේ කේන්ද්‍රීය භූමිකාවක් සනිටුහන් කරමිනි.
මෙසේ බලන කළ, හුසේන්ගේ කෘතිය අප තේරුම් ගත යුත්තේ කෙසේද? ඇයගේ විධික්රමික භාවිත පිළබඳ විධිමත්ව බැලීමේදී පර්යේෂණ ප්‍රවේශ සහ අර්ථකතන පිළිබඳ ගැටළු තිබේ. මෙය සිදුවී ඇත්තේ, ඇය සිය උත්සාහය විධිමත් ඓතිහාසික විමර්ශනයකින් ඔබ්බට ගෙන ගොස්, එය ‘පෞද්ගලික’ හා යම් දුරකට චිත්තවේගීය ද වූ විමර්ශණයක් දක්වා ව්‍යාප්ත කිරීමේදී මතු වූ ප්‍රතිඵලයක් ලෙසිනි. මාගේ යෝජනාව නම්, මේ කෘතිය දෙස අප බැලිය යුත්තේ, හුදු ඓතිහාසික විමර්ශනයක් වශයෙන් නොවන බවයි. ඒ වෙනුවට, අප එය තේරුම්ගත යුත්තේ, බතූතා ගේ ලංකා ගමන ප්රාරම්භක ප්‍රවේශයක් ලෙස ගෙන, ලංකාවේ මුස්ලිම් ආගමික හා ප්‍රජා ඉතිහාසය සහ ඒ ඉතිහාසය තුළ කතුවරියගේ පවුලේ ඉතිහාසය ද සනිටුහන් කළ උනන්දුසහගත හා පහසුවෙන් කියවිය හැකි කෘතියක් ලෙසිනි. කෙසේ වෙතත්, බතූතා පිළිබඳ තොරතුරුවලට වඩා කේන්ද්‍රීයව කෘතිය තුළින් මතුවන්නේ මේ ආඛ්යානයන්ය. කෘතියට වඩාත් පැහැදිලි ලාංකේය සමාජ- ඓතිහාසික සන්දර්භයක් ලබාදෙන්නේ ද මේ තොරතුරු හා ආඛ්‍යාන මගිනි. තව ද මෙය හුදෙක් අතීතය පිළබඳ කෘතියක් පමණක් නොවේ. එය වර්තමාන ලංකාවේ නොයෙකුත් ස්ථාන වෙත හා වර්තමාන සමාජ්-දේශපාලන තත්ත්ව වෙත අප කැඳවාගෙන යන තත්කාලීන ආඛයානයක් ද වේ.
අවසන් වශයෙන් මා අමීනා හුසේන් ගේ Chasing Tall Tales and Mystics – Ibn Battuta in Sri Lanka: A personal Journey තේරුම් ගන්නේ වර්තමානයේ රඟ දැක්වෙන, අතීතයේ හා වර්තමානයේ නොයෙකුත් අවස්ථා එක්කරන වාචික ප්‍රසංගයක් ලෙසිනි. මේ සන්දර්භය තුළ ඉබන් බතූතා කෘතියේ ප්‍රධාන චරිතය නොව, එහි සිටින ප්‍රධාන චරිතවලින් එක් චරිතයක් පමණි. එහි පොතේ ගුරා වන්නේ, අමීනා හුසේන් ය. මේ කෘතිය අගය කිරීමට හා තේරුම් ගැනීමට නම්, ඇයගේ චිත්තවේගීය, බුද්ධිමය සහ පෞද්ගලික පසුබිම මෙන්ම, ඇයගේ නිර්මාණ සාහිත්‍යය ඔස්සේ අප වෙත මුලින්ම පැමිණි ඇයගේ සෙල්ලක්කාර වාග් ප්‍රවේශය ද සමීපව සැලකිල්ලට ගත යුතුය.