Skip links

කොන්ටෙන් මෙයසූ සිංහලෙන් කියවීමේ උත්සාහයක්

පරිමිතත්වයෙන් පසු: අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳ රචනයක්. කොන්ටෙන් මෙයසූ (Quentin Meillassoux විසින් රචිත After Finitude: An Essay on the Necessity of Contingency කෘතියේ සිංහල පරිවර්තනය. පරිවර්තක: වංගීස සුමනසේකර). කොළඹ: තීර්ථ ප්‍රකාශන, 2019. පිටු 360. මිල: රුපියල් 700.00. ISBN 978-955-4940-03-1.

———-

විමර්ශනය: රංග මනුප්‍රිය

දාර්ශනික කෘතියක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම බොහෝ විට පරිවර්තකයාට, ප්‍රබන්ධ රචනාවක් පරිවර්තනය කරන තරම් පහසු කටයුත්තක් නොවීමට ඇති ඉඩ වැඩිය. අනෙක් අතට, මෙරට දාර්ශනික සාහිත්‍ය පිළිබඳ සුවිශේෂී උනන්දුවක් දක්වන සීමිත පාඨක පිරිසක් හඳුනා ගත හැකි වුවත්, එය ජනප්‍රිය තලයට ගෙන ඒම අතිශය අපහසු කටයුත්තකි. මෙම විමර්ශනය මගින් උත්සාහ කරන්නේ පරමත්මය පිළිබඳ අදහස නැතිනම් ඓතිහාසිකව දර්ශනය තුළ නො විසිඳුණු සංකල්පයක් වෙනුවෙන් ලියැවුණු කෘතියක් පිළිබඳ සාකච්ඡාවක් ඇති කිරීමයි.

පළමුව මෙයසූගේ මෙම කෘතිය දර්ශන ඉතිහාසය තුළ ස්ථානගත වන ආකාරය පැහැදිලි කර ගනිමු. කාලානුරූපීව, ආසන්න වශයෙන් ග්‍රීසියේ සිට මධ්‍යකාලීන යුගයේ දේවධර්ම සාහිත්‍ය පසු කර, ලෝක ඉතිහාසයේ ඓතිහාසික මොහොතක් ලෙස සනිටුහන් වන නූනතවදී යුගය තුළ අප එක්තරා අර්ථයකින් දාර්ශනිකව තවමත් නතර වී ඇති බව අයෙකුට ප්‍රකාශ කළ හැකි ය. යළිත් එය දාර්ශනික ලෙස මෙලෙස වින්‍යාස ගත කළ හැක: මුලින්ම, මිනිසාගේ ජීවිතය හා ලෝකය පිළිබඳ දැනුම අප නොදන්නා යම් බලවේගයක් විසින් ක්‍රියාත්මක වන බව ඇදහීමේ සිට, ඒ ඇදහීම දෙවියන් යැයි නම් කිරීම දක්වා වර්ධනය වේ. එතැන් සිට අපගේ සිතම, නැතිනම් අපගේ තාර්කික ලෝකය උත්කර්ෂයට නංවමින්, ඊට ඔබ්බෙහි ඇති කිසිවක්, අපගේ දෛනික ජීවිතයට අදාළ නොවේය යන දාර්ශනික මානය තෙක් දර්ශනය ගමන් කර ඇත. යළිත් දාර්ශනික චරිත තුළින් මේ තත්ත්වය වින්‍යාසගත කරන්නේ නම්, සොක්‍රටීස්ගේ සිට අපගේ පැවැත්ම යනු කුමක්ද සහ ඒ මත හිඳ අප දැනුම ලබා ගන්නා ආකාරය පිළිබඳ සිතීමේ ගැටලුව විවිධ ස්වරූපවලින් වර නැගී, ඉමැනුවෙල් කාන්ට් විසින් එය අපගේ ජීවිතයේ උත්තරානුභූතික කොන්දේසි දක්වා ඌනනය කිරීමේ ක්‍රියාවලිය තුළ, එකි දාර්ශනික කතිකාව යළි යළිත් වඩ වඩාත් ශක්තිමත් කරනා දාර්ශනික කතිකාවක අප නතර වී ඇත. ඉන් පසුව, අද වන විටත් අපගේ ජීවිතයට ඔබ්බෙහි තිබෙනා පරම පැවැත්මක් පිළිබඳ අදහස අපෙන් ගිලිහී ගොස්, අපට දෙන ලද තත්ත්වහි ලෝකය අර්ථකථනය කිරීමේ දාර්ශනික පුහුණුවක් පශ්චාත් කාන්ටියානු දාර්ශනිකයන් විසින් අර්ථකථනය කරමින් සිටිති.


මෙයසූට අනුව ඉහත විස්තර කළ තත්ත්වයේ ප්‍රතිවිපාක සුලුපටු නොවේ. එනම්, අපගේ ජීවිත පරිමිත යථාර්ථයක් තුළට දාර්ශනිකව ඌනනය වීම නිසා පරම පැවැත්ම පිළිබඳ සංවාද වලින් අප පලා ගොස් ඇත. එමගින් ආගමික විශ්වාස යළි ප්‍රශ්න කිරීම සහ ඒවා දාර්ශනික ගැටලු ලෙස භාර ගැනීමට දර්ශනය අපොහොසත් වෙයි. එමගින් ආගමික අන්තවාදී අදහස්වල සුජාතභාවය දාර්ශනික ව ප්‍රශ්න කිරීමට මෙන්ම ඒවා එහි තාර්කික අවසානය වෙත ගෙන ගොස් තර්කයේ පාරිශුද්ධත්වය හමු වේ දණ ගැස්වීමට නො හැකි වී ඇත. මෙයසූ පරිමිතත්වයෙන් පසු කෘතිය තුළින් උත්සාහ කරන්නේ මෙම දාර්ශනික මුග්ධභාවයට එරෙහිව පරමත්වයක් පිළිබඳ අදහස තාර්කික ව ස්ථාපිත කිරීමට ය. එනම්, ඔහුගේ පළමු කෘතිය වන පරිමිතත්වයෙන් පසු කෘතිය තුළ සංවාදයට ගැනෙන්නේ සියවස් දෙකක පමණ සිට සිතන්නන් විසින් අතහැර දැමූ අභියෝගය යි. තවත් ආකාරයකට කියන්නේ නම්, ඔහු සිදු කරන්නේ පරිමිතත්වයට ඌනනය කළ ලෝකය පිළිබඳ අර්ථකථනය, එම පරිමිත තර්ක ම විසංයෝජනය කොට අපරිමිතත්වය පිළිබඳ අදහස නිරාවරණය කිරීමයි. මේ වින්‍යාසගත කිරීම තුළ මෙයසූගේ පරිමිතත්වයෙන් පසු කෘතිය අපට ස්ථානගතකළ හැක්කේ සියවසක් දෙකක පමණ කාලයක් අතහැර දමා තිබූ පරම වූ පැවැත්මක් පිළිබඳ සංවාදය සමපේක්ෂී භෞතිකවාදය තුළ සංවාදයට ගන්නා දාර්ශනික ප්‍රවේශයක් ලෙස යි.


මෙයසූගේ මෙම විප්ලවීය එළඹුම සාකච්ඡා කිරීම සඳහා පරිමතිත්වයෙන් පසු කෘතියේ පරිච්ඡේද දළ වශයෙන් මෙලෙස සාරාංශ කළ හැකි ය. පළමු පරිච්ඡේදය නම් කර තිබෙන්නේ ප්‍රාග්ඥාතීත්වය ලෙස යි. මෙයසූගේ පර්යේෂණ ගැටලුව ලෙස මෙය නම් කළ හැකි ය. මෙයසූ ඉදිරිපත් කරන දාර්ශනික අදහස් උරගා බැලිය හැක්කේ මෙම පසුබිමෙහි ය. ඔහුට අනුව, “මිනිස් විශේෂ පහළවීමට පෙර – හෝ කිසිම ආකාරයකට හඳුනාගත් ජීවන විශේෂයක් පෘථිවිය මත පහළ වීමට පෙර – වූ කුමන හෝ යථාර්ථයක් ප්‍රාග්ඥාතී යන යෙදුමෙන් හඳුන්වමි” (මෙයසූ 2019: 106). මෙමගින් මෙයසූ සංකල්පගත කරන කේන්ද්‍රීය ගැටලුව වන්නේ, මිනිස් සිතීමක් නොමැති ලෝකයක් පිළිබඳව, විද්‍යාව විසින් කරුණු ඉදිරිපත් කර ඇති බවයි. දාර්ශනිකයා ඒ සම්බන්ධයෙන් සිදුකරන මැදිහත්වීම කුමක්ද? මෙයසූට අනුව මෙම සුවිශේෂී ගැටලුවේදී දාර්ශනිකයා සම්බන්ධතාවාදයට මුවා වී ගැටලුව මගහැරීමට උත්සහ කරයි. පළමු පරිච්ඡේදය අවසන් කරමින් මෙයසූ ඔහු තෝරාගත් ඓතිහාසික අභියෝගය ලියා තබන්නේ මෙසේය: “ආදි ෆොසිල මගින් අපව යොමු කරවන්නේ එමඟින් පා නගා ඇති, නූතන දර්ශනය පසුගිය සියවස් දෙක පුරාම කිසි සේත් කළ නොහැකි බව අපට සපත කර සිටි “සැඟවුණු පටු මඟ” සොයා ගැනීම සඳහා චින්තනය දිශානත කරවීමට ය: එහිම-ස්වරූපය අල්වා ගැනීමටය, අප සිටියත් නැතත් පවත්නා දෙය කුමක්දැයි දැන ගැනීමට, අපෙන් එළියට පැමිණීමටය” (මෙයසූ 2019: 139).

දෙවන පරිච්ඡේදය ‘පාරභෞතික විද්‍යාව, භක්තිවාදය, සමපේක්ෂණය’ ලෙස නම් කර ඇත. ඊට ප්‍රථම අත්‍යවශ්‍යයෙන් ම සඳහන් කළ යුතු කරුණක් ලෙස, ඇත්තෙන්ම මෙයසූ ඉතාම හුරුපුරුදු ලෙස, භාවිතා කරන මෙම තාක්ෂණික වචන සඳහා පැහැදිලි කිරීම් ලබා දෙන්නේ නැත. මෙම වචන පිටුපස ඇති දාර්ශනික ඓතිහාසිකත්වය මෙම කෘතිය කියවන්නා තුළ ඇතැයි උපකල්පනය කරමින් ඔහු මෙය රචනා කර ඇත. ඇත්තෙන්ම මෙයසූගේ දාර්ශනික තර්කය තේරුම් ගැනීමට ඒවා අනිවාර්ය නොවුණත්, ඔහු ඔට්ටු අල්ලමින් සිටිනා ගැටලුවේ දිග, පළල කතාන්දරයක් මෙන් රසවිඳීමට නම්, එම පූර්ව දැනුම තිබීම අතිශය ප්‍රයෝජනවත් වේ. පරිවර්තකයා එම අපහසුව දුරලීම සඳහා දිගු පෙරවදනක් සහ සිංහල පද විවරණයක් සැපයීමේ දුෂ්කර කාර්යය කිරීමට උත්සාහ දරා ඇත. එය මෙම කෘතිය කියවීම සඳහා එය පූර්ණ, පූර්ව හැඳින්වීමක් නොවුණත් බොහෝ දෙනෙකුට යම් අස්වැසිල්ලක් ගෙන දෙන තරමේ මහන්සියක් ඔහු විසින් දරා ඇත.

කුතුහලය ඉහවහා යන තරමේ දාර්ශනික උනන්දුවක් ඇති කරවන පළමු පරිච්ඡේදයෙන් පසුව දෙවන පරිච්ඡේදය වෙන් වන්නේ සමස්තයක් ලෙස මෙම කේන්ද්‍රීය ගැටලුවේ ඓතිහාසික ගමන්මග හා එහි ඇති දේශපාලන පසුබිම සාකච්ඡා කිරීම සඳහා ය. ඒ වෙනුවෙන් මෙයසූ සිය තීසීසය සාධනය කිරීමට යොදා ගන්නා විධික්‍රමය තෝරා ගන්නා ආකාරය දර්ශනයේ ඉතිහාසය සමග සම්බන්ධ කරයි. එහිදී පරාභෞතික විද්‍යාව, සහසම්බන්ධතාවාදය, විඥානවාදය හා අවසාන වශයෙන් භක්තිවාදය යන්න නූතන දර්ශනයෙන් පසු ඒවා අත්පත් කරගෙන ඇති ආස්ථානය පිළිබඳ අදහසක් දැක්වීමක් දෙවන පරිච්ඡේදයෙහි අඩංගු වේ. තවත් ආකාරයකට කියන්නේ නම්, ‘අහඹුබවේ අනිවාර්යතාවය’ නම් ඔහුගේ තීසීසයට සමීප වීමට හෝ ඉලක්ක කරන ඓතිහාසික දාර්ශනික ගැටලුව සමග අව්‍යාජව සම්බන්ධ වූ දාර්ශනික මොහොතක් ඉතිහාසය තුළ හමු නොවන බව මෙම පරිච්ඡේදයෙන් පෙන්වා දෙයි. ඔහු මෙම පරිච්ඡේදය අවසන් කරන්නේ පරමත්මය පිළිබඳ චින්තනමය මැදිහත්වීමක අවශ්‍යතාවය පැහැදිලි කරමින් ය. එය අවම වශයෙන් කුමන හෝ ආකාරයක දිව්‍යමය මැදිහත්වීමක් මගින් පරමත්වයේ වරප්‍රසාදිත ආරක්ෂකයන් ලෙස පෙනී සිටිනා, පුළුල් අර්ථයෙන් ආගමික අන්තවාදයන් පරීක්ෂාවට ලක් කිරීම හා ප්‍රශ්න කිරීම සඳහා එහි ඇති වැදගත්කම පෙන්වා දෙයි (මෙයසූ 2019: 182)

තුන්වන පරිච්ඡේදයේදී මෙයසූ විසින් කරුණුත්වයේ මූලධර්මය සාධනය කරයි. එය නම් කර ඇත්තේද ඒ නමින් ය. එහදී රෙනේ ඩෙකාට් විසින් දෙවියන් පිළිබඳ තර්කය ගොඩනගනා පිළිවෙල තෝරාගන්නා මෙයසූ, එය තෝරාගැනීම, තෝරාගන්නා ආකාරය හා එය ඩෙකාට්ගෙන් වෙනස් වන ආකාරය පෙන්වා දෙයි. නැවතත් මතක් කළ යුතු වන්නේ මෙහදී මෙයසූ උත්සාහ කරන්නේ පරමත්වය පිළිබඳ අදහසක් ස්ථාපිත කිරීමට වන අතර, එහිදී ඩෙකාට් අපට හමුවන්නේ එම පරම පැවැත්මක් පිළිබඳ අදහස වඩා ආකර්ෂණීය ලෙස නූතන දර්ශනය තුළ ස්ථාපිත කළ දාර්ශනිකයා ලෙස ය. එහිදී වැඩි දුරටත් ඩෙකාට්ට, ඔහුගෙන් පසු දාර්ශනිකයන් ලබා දෙන පිළිතුරු හා පරමත්වය පිළිබඳ අදහස සහසම්බන්ධතාවාදය නම් පරිමිත දාර්ශනික ගුරු කුලයක් වෙතට ඌනනය වන ආකාරය සාකච්ඡා කරයි. අවසානයේ විඥානවාදයේ සීමාව, සහසම්බන්ධතාවාදය තුළින් පෙන්වා දෙමින් තම අනෙකා බවට හෛඩගරියානු දර්ශනය පත් කරගනිමින් තම තර්කය සාධනය කර පෙන්වයි.

හතරවන පරිච්ඡේදය නම් කර ඇත්තේ ‘හියුම්ගේ ගැටලුව’ ලෙස යි. භෞතිකවාදය සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම දාර්ශනික අදහසකට හියුම්ගේ ප්‍රශ්න කිරීම මග හැර යා නො හැකි ය. හියුම්ගේ ගැටලුව යනු හේතුව සහ ඵලය අතර තාර්කික සම්බන්ධයක් පෙන්වීමේ අපහසුව, හෝ ආසන්න වශයෙන් නොහැකියාවපිළිබඳ ඉදිරිපත් කෙරුණු දර්ශන ඉතිහාසයේ කේන්ද්‍රීය සංකල්පයකි. මෙරට සන්දර්භය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් නොවන හියුම් පිළිබඳ සම්පූර්ණ පරිච්ඡේදයක් මෙයසූ විසින් වෙන් කිරීම හියුම්ගේ වැදගත්කම තවදුරටත් සනාථ කරයි. ඉන්පසුව මෙයසූගේ තර්කයට පාරභෞතික දර්ශන සම්ප්‍රදාය හා සංශයවාදී සම්ප්‍රදාය වෙතින් එල්ල වේ යැයි මෙයසූ විසින් අනුමාන කරන ගැටලුවලට මෙයසූ පිළිතුරු ලබා දෙයි. ඉන්පසුව, මෙම ඓතිහාසික හියුමියානු ගැටලුව මෙයසියානු තීසීසය සමග ගැටෙන්නට සැලැස්වීම තුළින් තවදුරටත් මෙයසූගේ තර්කය ශක්තිමත් කිරීමක් මෙම පරිච්චේදයේ සිදුවේ. අවසාන වශයෙන් එහිදී මුල් පරිච්ඡේදයේ හඳුන්වා දුන් ප්‍රාග්ඥාතී ගැටලුව සහ හියුම්ගේ ගැටලුව අතර සම්බන්ධයක් හඳුනා ගැනීමට උත්සාහ කරයි.

අවසාන පරිච්ඡේදය ‘ටොලමිගේ පලිගැනීම’ ලෙස නම් කර ඇත. ප්‍රාග්ඥාතී ගැටලුවෙන් ආරම්භ කළ පරිමිතත්වයෙන් පසු කෘතියේ මෙයසූගේ සූත්‍රගත කිරීම ප්‍රාග්ඥාතී ගැටලුවට පමණක් ඌනනය කළ නො හැකි බව පැහැදිලි කරයි. එමගින් සමස්තයක් ලෙස විද්‍යාව සමග මෙයසූගේ තර්කය සම්බන්ධ කිරීම, ඉතිහාසය තුළ විද්‍යාවේ ගමන් මග පිළිබඳ සංවාදයක් සමගින් සිදු කරයි. මේ ආකාරයට ආකර්ෂණීය ලෙස මෙම විශ්වීය හා ඓතිහාසික ගැටලුව හඳුන්වා දෙමින්, ඒ පිළිබඳ පුළුල් සාහිත්‍ය විමර්ශනයක් සපයමින් හා තම ගැටලුවේ වැදගත්කම විශ්වීය ලෙස දේශපාලනකිව තහවුරු කරමින්, ගැටලුව වෙනුවෙන් තම තර්කය ඉදිරිපත් කරමින්, එයට එල්ල විය හැකි විවේචනවලට පිළිතුරු සපයමින් තම තර්කයේ බලපෑම විවිධ මානයන් සමග සම්බන්ධ කිරීම මගින් මෙයසූ පරිමිතත්වයෙන් පසු කෘතිය වින්‍යාසගත කර ඇත.

අද වන විට මෙම කෘතිය පිළිබඳ බටහිර දාර්ශනිකයන් විවිධ සාධනීය මත පලකර ඇති අතර නව දාර්ශනික සම්ප්‍රදායක් බිහි කරන තරමට ම එහි බලපෑම අතිශය වැදගත් එකක් බවට පත් වී ඇත. ඒ අතර ස්වෝයි ජිජැක්, ග්‍රැහැම් හාමන්, කැත්රින් මැලබු, ඇලෙන්කා සුපාන්ෂිෂ් වැනි ප්‍රමුඛ පෙළේ සමකාලීන චින්තකයන් මෙම කෘතිය සම්බන්ධයෙන් විවිධ සාධනීය ප්‍රතිචාර පලකර ඇත. එහිදී මූලික වශයෙන් අලෙන් බදියු මෙම කෘතියේ පෙරවදන ලිවීම කාගෙත් කතා බහට ලක් වූ දෙයකි. බදියුගේ වචනයෙන් ම කියන්නේ නම්, මෙම සුවිශේෂ ‘විචාරය පිළිබඳ විචාරය’ මෙහි ඉදිරිපත් කර තිබෙන්නේ අරුමෝසම් විස්තරවලින් තොරව, කියවීමට විශේෂයෙන් පහසු සහ සංවාදාත්මක ශෛලියකින්, ඍජුව ම අදාළ කරුණට ළගා වීමෙනි. ‘ආගමික දෙයෙහි ආපසු පැමිණීම’ මගින් ආධ්‍යාත්මිකත්වයේ ව්‍යාජ අතිරේක විකල්පයක් අප වෙත ලබා දෙන අතර අප අලස ලෙස සුව විඳිමින් සිටිනා අසම්පූර්ණ කොටස් සහසම්බන්ධතාව වෙත දිශානත වීම වෙනුවට නැවත වතාවක් පරමත්වය වෙත දිශානත වීමට මෙමගින් චින්තනයට ඉඩ ලබා දෙයි (මෙයසූ 2019: 88).

තරමක් දීර්ඝ උපුටා ගැනීමක් වුවත් බදියු වැන්නෙකු මෙම කෘතිය පිළිබඳ සිදු කරන වර්ණනාවේ වටිනාකම පහසුවෙන් ඉවත දැමිය නො හැකි ය. බදියු ඔස්සේ මෙයසූගේ පරිමිතත්වයෙන් පසු කෘතිය ලාංකේය සන්දර්භය තුළ ස්ථානගත වන ආකාරය සලකා බලමු. ඒ සඳහා මෙරට කේන්ද්‍රීය දේශපාලන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම වටී. අප කවුරුත් දන්නා පරිදි, දැනට දශක දෙකක පමණ කාලයක සිට මෙරට නැගී එන ප්‍රබලතම දේශපාලන ප්‍රවේශය වන්නේ ජාතිකවාදය යි. එමගින් ජනවාර්ගික ගැටලුව වැනි ආතතිගත ගැටලුවක් තවදුරටත් වැඩි තීව්‍රතාවයකින් වර්ධනය වීම හැර ඊට විසඳුමක් අපේක්ෂා කළ නො හැක. එසේනම්, මෙම ප්‍රවේශය නඩත්තු කරන සියල්ලට ඉහළින් පවතින හෙජමොනික පෙනී සිටීම වන්නේ ආගමික දෘෂ්ටිවාද බව තේරුම් ගැනීම එතරම් අපහසු නැත. එම ආගමික දෘෂ්ටිවාද පදනම් වන්නේ අපට අපගේ අනුභූතික තලයේ අත්දැකිය නො හැකි පරම වූ දෙයක් මතය. එනම් මෙහිදී මෙම ආගමික දෙයෙහි යළි පැමිණීම ලෙස අප වටහා ගත යුත්තේ විද්‍යාව, තර්ක බුද්ධිය, සදාචාරය, ආචාර ධාර්මිකත්වයට ඉහළින් තිබෙන පරම වූ දෙයක් ලෙස මෙම ආගමික විශ්වාසය, ජාතිකවාදී අදහසකින් උත්කර්ෂයට නැංවී තිබීමයි. මේ සඳහා තිබෙනා එකම දාර්ශනික මැදිහත්වීම වන්නේ ආගමික විශ්වාසය මත පදනම් නොවන පරමත්වයක් තාර්කික ව පෙන්වා දීමයි. මෙයසූගේ තර්කයට අනුව පරම දෙය යනු අපගේ අත්දැකීමේ ලෝකයේ අපට මුණ ගැසෙනා දෙයක් නොවනවා මෙන්ම අපගේ අත්දැකීමේ ලෝකයේ භාෂාව තුළින් කිසිදු විටකත් පැහැදිලි කළ හැකි දෙයක් නොවේ. එසේ නම් අපගේ සිතීම අහිමි වූ ලෝකයක ඕනෑම දෙයක් වීමේ වියහැකිභාවයක් පවතියි. එනම් එහි පවතින්නේ අහම්ඹුබවේ භූමිකාව පමණි. එම නිසා ම අහම්ඹුබව පරම වේ. අතිශය අසාධාරණ ලෙස ලියා තැබූ මෙයසූගේ තර්කය තුළින් බලාපොරොත්තු වන්නේ මෙම ආගමික පරමත්වයේ දෘෂ්ටිවාදයට එරෙහිව තාර්කිකත්වයේ දාර්ශනික මැදිහත්වීම පෙන්වා දීමයි. එහිදී බුදුදහමේ පරම දෙය ලෙස නම් කළ හැකි, නිවන් දැකීමද අහඹුබවේ අනිවාර්යතාවයට යටත් වේ. අප නොමැති ලෝකයක, අපගේ මරණින් පසුව, සිදුවිය හැකි ඕනෑම දෙයක් අහඹුබවේ අනිවාර්යතාවයට යටත් වේ.

මෙම තිසීසය මත පදනම්ව දේශපාලන වියහැකිභාවය පිළිබඳ නවීනත්වයට පත් කතිකාවක් ස්ථාපිත කිරීමේ හැකියාවක් පවතියි. එමගින් දර්ශනය යළි එයට හිමි සුජාතබව දිනාගන්නා අතර, විද්‍යාව සතු අව්‍යාජ පෙනීසිටීමට අවශ්‍ය අගය කිරීම හා එය රැකබලාගැනීමේ චින්තනමය දායකත්වය සපයයි. තවදුරටත් අපගේ පරිමිත ලෝකයෙන් ඔබ්බෙහි පවතින්නේ කුමක්ද යන්න විග්‍රහ කිරීමට ආගමික මූලාශ්‍ර වෙතට යාම මුලාවක් බව පෙන්වීමට අවශ්‍ය පසුබිම එමගින් නිරාවරණය කරයි. ලාංකේය සන්දර්භය තුළ මෙම කෘතිය අතිශය වැදගත් වන්නේ අද වන විට බෞද්ධ අන්තවාදය සේ ම ඉස්ලාමීය අන්තවාදයේ ප්‍රතිවිපාකද අප විඳිමින් සිටිනා නිසා ය. මේ දෙකම එකකට එකක් වර්ධනය වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනා විට, එකවර මේ සියලු අන්තවාදී ආස්ථානයන් සඳහා තාර්කික ප්‍රහාරයක් එල්ල කිරීමට මෙවැනි කෘති අපගේ සන්දර්භය තුළ සාකච්ඡාවට ලක් කිරීම අතිශය වැදගත් ය. එය මෙරට දේශපාලන සහ දාර්ශනික සංවාදයට කුමන ආකාරයේ දායකත්වයක් දෙනු ඇතිද කියන්නට තවමත් කල් මදිය. එය එම සංවාදයේ අවධානයට යොමු වීම වැදගත් බව කියන්නට නම් අප තවදුරටත් බලා සිටිය යුතු නැත. ඇතැම් විට මෙම කෙටි විමසීම ඒ පිළිබඳව වැඩි දෙනෙකුගේ අවධානයට හේතු විය හැකිය.

Leave a comment

This website uses cookies to improve your web experience.