Skip links

නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිලිබඳ සංස්කෘතික වංශාවලියක්

The Politics and Poetics of Authenticity: A Cultural Genealogy of Sinhala Nationalism (නිර්ව්‍යාජත්වයේ කාව්‍යාත්මකභාවය සහ දේශපාලනය: සිංහල ජාතිකවාදය පිලිබඳ සංස්කෘතික වංශාවලියක්). හර්ෂන රඹුක්වැල්ල. යුනිවර්සිටි කොලේජ් ලන්ඩන් මුද්‍රණාලය, 2018. පිටු: 178. ISBN: 978-1-78735-128-8. මිල: පවුම් 35.00 (ඝන කවරය සහිතව); පවුම් 15.00 (මෘදු කවරය සහිතව). කෘතියේ පී.ඩී.එෆ් පිටපතක් මේ පිවිසුම ඔස්සේ නොමිලේ ලබාගත හැක.

___________

විමර්ශනය:
අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය, චානක්‍යපූරි, නව දිල්ලිය

ජාතිකත්වය, ජාතිකවාදය, සිංහල බෞද්ධ ජාතිකවාදය වැනි සංකල්ප ශ්‍රී ලාංකේය අධ්‍යයනික ප්‍රජාවට ආගන්තුක සංකල්ප නොවන අතර, යම් තාක් දුරකට යල්පැනගිය විශ්ලේෂණ සංකල්ප ලෙසත් අද වනවිට හඳුනාගත හැකිය. මීට හේතු වී ඇත්තේ, බොහෝ සමාජයීය විද්‍යාඥයින් සිංහල බෞද්ධ ජාතිකවාදය තම සමාජ දේශපාලනික විශ්ලේෂණයන්හි අවසාන හේතු දැක්වීම බවට පත්කරගැනීමයි. නමුත් මේ කෘතිය තුළ මා දකින විශේෂත්වය වන්නේ, කතුවරයා තම අවසාන විශ්ලේෂණය සිංහල බෞද්ධ ජාතිකවාදය වෙත ලඝු නොකිරීමයි. කතුවරයා ‘නිර්ව්‍යාජත්වය’ (authenticity) යන සංකල්පය ‘අපේකම‘ යන සිංහල යෙදුම සමඟ සම්බන්ධ කරන අතර, එය ඉතිහාසයේ විවිධ කාල සහ අවකාශ අනුව වෙනස් අර්ථ ගත් ආකාරය කෘතිය ඔස්සේ විග්‍රහ කෙරෙයි. ඒ විග්‍රහයට අනුව, ‘අපේකම’ යනු පෞද්ගලික ස්වචාරි (idiosyncratic) විශ්වාසයක් නොව, පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන සහ ප්‍රතිනිෂ්පාදනය වන, ක්‍රමික සහ ආයතනගත කතිකාවකි. මෙම කෘතිය තුළ ‘ජාතිකත්වය’ සහ ‘ජාතිකවාදය’ යන සංකල්ප විශ්වීය අරුතකින් යුත් සංකල්ප ලෙස භාවිත නොවන අතර, එම සංකල්ප ව්‍යුහ-විභාගයට (deconstruct ) ළක් කිරීම සිදුවෙයි. එම සංකල්ප යම් දෙන ලද විශ්වීය අර්තයන්ගෙන් භාවිත කිරීමේ ඇති අවධානම සහ එම සංකල්ප කෙතරම් ද්‍රවතාවයෙන් යුක්තද යන්න කතුවරයා ගවේෂණය කරයි. කතුවරයාම පවසන ආකාරයට, ජාතිකවාදය යන්න ක්‍රියාවේ ප්‍රවර්ගයක් ලෙස ගැනීම සහ ජාතිකවාදය යන්න විශ්ලේෂණ ප්‍රවර්ගයක් ලෙස යොදාගැනීම යන අවකාශ එකිනෙකින් වෙන් කිරීමට මෙම ග්‍රන්ථය තුළ ඔහු විශේෂයෙන් උත්සාහ දරා ඇත. ඒ අනුව කෘතිය තුළ ‘ජාතිය යනු කුමක්ද?’ යන ප්‍රශ්නය වෙනුවට, ජාතිකවාදී චින්තකයින් ‘ජාතිය’ යන්න තුළ හැසිරෙන්නේ කෙසේද සහ ඔවුන් එය නැවත ප්‍රතිනිෂ්පාදනය කරන්නේ කෙසේද යන්න විග්‍රහ කෙරෙයි.

ජාතිකත්වය සහ ජාතිකවාදය පිළිබඳ මෙම චාරිකාවේදී අර්නස්ට් ගෙල්නර් හා බෙනඩික්ට් ඇන්ඩර්සන් වැනි කතුවරුන්ගේ අදහස්වල වෙනස්කම් සහ සමානතා කතුවරයා විසින් විශ්ලේෂණය කරයි. ගෙල්නර්ට අනුව කෘෂි ආර්ථික සමාජය කාර්මික සමාජය දක්වා පරිවර්තනය වීමේදී ‘ජාතිකවාදය’ උත්පාදනය වන්නේය. ඒ අනුව, මහා පරිමාණ අධ්‍යාපනය, සාක්ෂරතාව සහ නිලබලවාදය යන ඒවා ජාතිකවාදය පැන නැගීමේ පූර්ව කොන්දේසි වෙයි. ගෙල්නර්ගේ තර්කයට අනුව, ජාතික රාජ්‍ය බලවත් වන්නේ ජාතිකවාදය මත පදනම්ව මිස, එයට විපරීත වශයෙන් ජාතිකවාදය, ජාතික රාජ්‍ය නිසා බලවත් වන්නේ නැත. මීට වෙනස්ව, ඇන්ඩර්සන් තර්කකරන්නේ, මුද්‍රිත මාධ්‍ය වන නවකතා සහ පුවත්පත් යාන්ත්‍රික ලෙස බහුලව නිෂ්පාදනය කිරීම යම් ජන කොටසකට, තම ප්‍රජාව තුළ ඇති අභ්‍යන්තරික වෙනස්කම් නොසළකා හැර, තනි සමූහයක් වශයෙන් තම ජන කොටස පරිකල්පනය කරගැනීමේ හැකියාව ලබා දෙන බවයි. ඒ අනුව, ඇන්ඩර්සන් තවදුරත් පවසන්නේ, ‘කාලය’ ආගමික අවකාශයෙන් මිදී වඩාත් ලෞකික අවකාශයක ස්ථානගතවන බවයි. එහිදී, කාලය යන යථාව ඔරලෝසුව සහ දින දර්ශනය මගින් අර්ථ නිරුපණය වන අතර, එය ඇන්ඩර්සන් හඳුන්වන්නේ ‘හිස්’ නැතහොත් ‘සමජාතීය’ (homogenous) කාලය ලෙසයි. එම දෙනලද කාල වකවානුව තුළ තම ප්‍රජාව, වෙනස්කම්වලින් තොර එක් ඒකකයක් ලෙස පරිකල්පනය කර ගැනීමට ‘ජාතිය’ සමත් වෙයි.

ගෙල්නර් ජාතිකවාදයේ ආයතනික ස්වභාවය හුවා දක්වන අතර, ඇන්ඩර්සන් ජාතිකවාදය ආයතනික මෙන්ම සංස්කෘතික වශයෙන්ද දකියි. එමෙන්ම පශ්චාත් යටත්-විජිත දැනුම් නිෂ්පාදනය තුළ ‘ජාතිකවාදය’ පිළිබඳ වෙනම ආකාරයේ න්‍යාය ව්‍යුහයක් බිහිවෙයි. එහිදී, පාර්තා චැටර්ජිගේ න්‍යායගතකිරීම් තුළ, ‘ජාතිකවාදය’ නිර්-යටත් විජිත කිරීමේ උත්සාහයක් පවතින අතර, එහි සාරය වන්නේ යටත්විජිතවාදයෙන් කිළිටි නොවූ පූර්ව-යටත්විජිත නිර්ව්‍යාජත්වයයි. ඒ අනුව, අපගේ සංවාදයට ළක්වන කෘතියේ කතුවරයා, හර්ෂන රඹුක්වැල්ල, පෙන්වා දෙන්නේ, ‘බටහිර’ සහ ‘නැගෙනහිර’ යන භූ-දේශපාලනික ද්වෛතයෙන් මිදීමට, ජාතිකවාදී චින්තකයින්ට පමණක් නොව, මෙම පශ්චාත් යටත්විජිත න්‍යායවාදීන්ටත් පහසුවෙන් කළ නොහැක්කක් වන බවයි. පුළුල් වශයෙන් ගත්කළ මෙම ග්‍රන්ථය, යටත් විජිත සමයේ ඇරඹී, පශ්චාත් යටත් විජිත සමයේදී වඩාත් අණසකධාරී තත්වයට පත්වූ සිංහල සංස්කෘතික සහ දේශපාලනික නිර්ව්‍යාජත්වය පිළිබඳ සංකල්පය ගවේෂණය කරයි. එමෙන්ම මෙම කෘතිය ශ්‍රී ලංකා සමාජ දේශපාලනික ඉතිහාසයේ සංක්ෂිප්තය වඩාත් විචාරශීලීව ඉදිරිපත්කර ඇත.

ඉහතින් දක්වන ලද න්‍යායාත්මක රාමුව තුළ හිඳ ශ්‍රී ලංකා ඉතිහාසයේ යටත්විජිත සහ පශ්චාත් යටත්විජිත සමය තුළ පහළවූ චින්තකයින් තිදෙනෙක් පිළිබඳ කතුවරයා විග්‍රහ කරයි. ඒ, අනගාරික ධර්මපාල, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ ගුණදාස අමරසේකර යන ජාතිකවාදී චින්තකයින්ය. කතුවරයා මෙම චරිත පුළුල් සමාජ, ආර්ථික සහ දේශපාලනික සන්දර්භයක් තුළ ස්ථානගත කරන අතර, එසේ කිරීමේදී නිරන්තරයෙන්ම ජාතික රාජ්‍යයේ රාමුවෙන් පිටතට යමින් සහ නැවත ඒ තුළට එමින් එම විග්‍රහය සිදු කරයි. එමෙන්ම, පළමු චින්තකයින් දෙදෙනා හා සසඳන විට, තුන්වන ජාතිකවාදී චින්තකයා ලෙස කතුවරයා විසින් ඉදිරිපත්කරන ගුණදාස අමරසේකර චරිතය, පළමු චින්තකයින් දෙදෙනා විග්‍රහ කිරීමේ, එක්තරා විශ්ලේෂණාත්මක මෙවලමක් වශයෙන්ද යොදා ගනු ලබන බව පෙනී යයි. කෘතියේ නාමකරණය අනුව, ‘කාව්‍යාත්මක භාවය’ යන්න විශ්ලේෂණ මෙවලමක් වශයෙන් යොදාගනු ලබන්නේ, ගුණදාස අමරසේකර හරහාය.

‘කාව්‍යත්මකභාවය’ විශ්ලේෂණාත්මක මෙවලමක් ලෙස යොදාගැනීම මෙම අධ්‍යයනයේ ඇති තවත් විශේෂත්වයක් වෙයි. සාම්ප්‍රදායික විශ්ලේෂණ මෙවලම් වෙනුවට ‘කාව්‍යාත්මකභාවය’ යොදා ගැනීම අපූර්ව විශ්ලේෂණ ක්‍රමවේදයක් ශ්‍රී ලාංකේය සමාජ-දේශපාලනික අවාකාශය ගවේෂණය කිරීම සඳහා යොදා ගැනීම සනිටුහන් කරයි. ඒ තුළ, නව ආකාරයේ, එම අධ්‍යයනයටම විශේෂිතවූ ක්‍රමවේදීමය මෙවලමක් හඳුන්වා දෙන අතර, අනික් අතට, ඊනියා ‘විද්‍යාත්මක භාවය’ පවත්වාගැනීම උදෙසා පර්යේෂණයේ අන්තර්ගතය පාවා දෙන යාන්ත්‍රික ක්‍රමවේද අභියෝගයට ළක් කෙරෙයි. කෙසේ වෙතත්, කෘතිය තුළ අවධානය යොමුකර ඇති ජාතික චින්තකයින් තිදෙනා විශ්ලේෂණය සඳහා යොදා ගැනීමට හේතුව අපැහැදිළිය. එනම්, කෘතිය තුළ තෝරාගත හැකිව තිබූ අන් චරිත වෙනුවට මෙම කතා නායකයින් තිදෙනා යොදා ගැනීම සාධාරණීකරණය කරමින් හේතු ඉදිරිපත්කර ඇත්තේ අවම වශයෙනි.

මෙම කෘතිය පරිඡේද හයකින් සමන්විත වෙයි. පළමු පරිච්ඡේදය නිර්ව්‍යාජත්වය පිළිබඳ ගැටලුව සාකච්ඡා කරන අතර, කෘතියේ ප්‍රධාන න්‍යායාත්මක පසුබිම ද සකස් කරයි. දෙවන පරිච්ඡේදය නිර්ව්‍යාජත්වය යන අගයේ නිරන්තර වෙනස්වන සුලු ස්වභාවය විමසන අතර හා ඒ සම්බද්ධයෙන් ඉතිහාසය, ජාතිය සහ බුද්ධාගම යන බලවේගවල බලපෑම විස්තර කර ඇත. වෙනත් වචනවලින් පවසන්නේ නම්, මේ පරිච්ඡේදය තුළින්, නිර්ව්‍යාජත්වය යන්න බුද්ධාගම, ජාතිය සහ ඉතිහාසය තුළ විකාශනය වන ආකාරය සහ දෝලනය වන ආකාරය විග්‍රහ කරයි. ඒ අනුව, දහනවන සහ විසිවන ශතවර්ෂවලදී සිංහල ජාතිකවාදය සහ නිර්ව්‍යාජත්වය යන සංකල්ප හැඩගස්වන ලද්දාවූ සමාජ-ඓතිහාසික වෙනස්වීම් පිළිබඳ රලු අදහසක් ලබා දෙයි. තුන්වන පරිච්ඡේදය වෙන්වන්නේ අනගාරික ධර්මපාල චරිතය ගවේශනය කිරීම මගින් ජාතිය සහ ලෝකය යන යථාවන් ඔහුගේ චින්තනය හා ක්‍රියාකාරීත්වය හැඩගැස්වීම කෙරේ බලපෑ ආකාරය සොයා බැලීම සඳහාය. හතරවන පරිඡේදය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ගේ භූමිකාව ගවේශණය සඳහා වෙන්වී ඇති අතර, කතුවරයා බණ්ඩාරනායක හඳුන්වන්නේ නිර්ව්‍යාජත්වයේ විරුද්ධාභාශය යන අදහස හරහාය. පස්වන පරිච්ඡේදය නිර්ව්‍යාජත්වය යන දේශපාලන චින්තනය ගොඩනැගීමේලා ගුණදාස අමරසේකරගේ භූමිකාව ගවේශණය කිරීම සඳහා වෙන්වී ඇත. අවසාන පරිච්ඡේදය වෙන්වන්නේ ඉහත දැක්වූ ගවේශණ මත පිහිටා නිර්ව්‍යාජත්වය පිළිබඳ කතිකාව පශ්චාත් යටත්විජිත ජාතිකවාදී දේශපාලනයේ හා සංස්කෘතික දේශපාලනයේ උපත සනිටුහන් කළ ආකාරය සොයා බැලීමටය.

කතුවරයා තම කතා නායකයින් තිදෙනා වෙනුවෙන් වෙන් වෙන් පරිච්ඡේද වෙන් කර ඇති බව පැහැදිලිය. එනමුත්, කෘතිය තුළ භාවිත වන ‘කාව්‍යාත්මක භාවය’ යන අපූර්ව විධික්‍රමික මෙවලමේ වටිනාකම, මෙම සාම්ප්‍රදායික පරිච්ඡේද ආකෘතිගත කිරීම හරහා යම් තාක් දුරකට හීන වී යන බව පෙනී යයි. මෙම කෘතිය, ජාතිකවාදය පිළිබඳ නව ආකාරයේ කියවීමක් ලාංකේය සමාජයීය විද්‍යා දැනුම් පද්ධතියට හඳුන්වා දෙයි. එමෙන්ම, දහනවවන සහ විසිවන ශතවර්ෂවල, යටත්විජිත සහ පශ්චාත් යටත්විජිත ශ්‍රී ලාංකේය සමාජය තේරුම් ගැනීමට උත්සාහ දරන්නෙකු සඳහා එම සමාජය සහ එහි විකාශනය සමඟ බැඳී ඇති සමාජ-ආර්ථික සහ දේශපාලනික තත්වයන්ගේ කදිම සංක්ෂිප්තයක් සපයා දෙයි. තවද, ජාතිකවාදය පිළිබඳව හදාරන විද්‍යාර්ථීන්ට ඒ හා සම්බන්ධව කලාපීය සහ ගෝලීය වශයෙන් උත්පාදනය වී ඇති දැනුම පිළිබඳ යම් මග පෙන්වීමක් මේ කෘතිය මගින් ලබාගත හැකි අතර, ඒ අනුව යමින් තමාට අවශ්‍ය අන් කෘති වැඩිදුර පරිශීලනය කළ හැකිය.

Leave a comment

This website uses cookies to improve your web experience.