McMahan, David and Erik Braun, Eds. Meditation, Buddhism and Science (ඩේවිඩ් මැක් මාහන් සහ එරික් බ්‍රව්න් සංස්කරණය කළ, භාවනාව, බුදුදහම සහ විද්‍යාව). ඔක්ස්ෆර්ඩ්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2017. පිටු: 272. ISBN- 9780190495800. මිල: බ්‍රිතාන්‍ය පවුම් 19.99 (මෘදු කවරය සහිතව).
——-
විමර්ශනය: අනුෂ්කා කහඳගම, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය
වර්තමාන ලංකාව එක අතකින් ආර්ථික, සමාජ සහ දේශපාලනික වියවුලක පවතින අතර, අනෙක් අතින් සමාජය එම වියවුල විවිධ ආකාරවලින් ආමන්ත්‍රණය කරමින් සිටියි. ඉන් එක් ආකාරයක් ලෙස පෙනී යන්නේ, නූතන බෞද්ධ කණ්ඩායම්වල පිබිදීමයි. මෙම කණ්ඩායම් බොහෝ විට භාවනාව සහ ධර්ම සාකච්ඡා කේන්ද්‍ර කරගනිමින් තම පැවැත්ම තහවුරු කරගන්නා නමුත්, ජනප්‍රිය මතවාදයේ දෘශ්‍යත්ව්‍ය හරහා ගොඩනගා ඇති ප්‍රතිරූපය බොහෝවිට ධර්ම සාකච්ඡාවලට වඩා භාවනාව කේන්ද්‍රකර ගත්තකි. මෙවැනි පසුබිමක් තුළ, භාවනාවේ සමාජ ගොඩනැගීම අවබෝධකර ගැනීමට උත්සාහ දරන්නෙකුට මෙම කෘතිය මගින් ලැබෙන්නේ විශාල පිටිවහලකි.
මෙහිදී සාකච්ඡාවට ලක්වන මෙම කෘතිය, එහි හැඳින්වීම ද ඇතුළුව ලිපි දහයකින් සමන්විත වෙයි. විද්‍යාව සහ බුදු දහම පිලිබඳ විශේෂඥයින් දෙදෙනෙකු වන ඩේවිඩ් මැක් මාහන් සහ එරික් බ්‍රවුන් යන දෙපල විසින් සංස්කරණය කරන ලද මෙම කෘතිය ඔස්සේ භාවනාව විවිධ සමාජ ආකෘති තුළ නොයෙකුත් හැඩ ගන්නා ආකාරයත්, එය නවීන විද්‍යාව සමඟ සම්බන්ධව ඇති ආකාරය පිළිබඳවත් අදහස් සමුදායක් ඉදිරිපත්කරයි. දර්ශනය, සමාජ විද්‍යාව, ආගමික අධ්‍යයන සහ මානව විද්‍යාව වැනි විවිධ ක්‍ෂේත්‍රවලට අයත් ශාස්ත්‍රඥයින් මෙම කෘතියට ලිපි සම්පාදනය කර ඇත.
කෘතිය ආරම්භ වන්නේ භාවනාව ඓතිහාසිකකරණය කිරීමෙනි. ඒ අනුව, 1883දී තුන්වන බ්‍රිතාන්‍ය-බුරුම යුද්ධයෙන් මියන්මාරයේ මණ්ඩලේ නගරයේ කොටසක් ගිනිබත් වීම දක්වා නූතන භාවනා ව්‍යාපාරයේ ආරම්භය දිව යයි. එහිදී, තම ආරාමයත්, තමා විසින් මෙතෙක් කල් සිදු කරන ලද ශාස්ත්‍රීය කටයුතුත් ගිනිබත්වනු දුටු ලේදී සයදොව් නම් බුරුම ජාතික භික්ෂුව, එයින් කළකිරීමට පත්වී වනගතව භාවනා කිරීම ආරම්භ කරයි. මෙකල භාවනාව සාපේක්ෂ ලෙස දුර්ලභ භාවිතයක් විය. මේ තත්ත්වය තුළ, භාවනාව බුදු දහම රැක ගැනීමේ එක ආකාරයක් ලෙස තේරුම්ගත් අතර, කාන්තාවන් ද ඇතුළු සමාජයේ බොහෝ දෙනා අතර භාවනාව ව්‍යාප්ත කිරීම ඇරඹෙන්නේ, බුදු දහම සංරක්ෂණය කිරීමේ එක් ආකාරයක් වශයෙනි. මියන්මාරයේ භාවනාව සහ එහි ව්‍යාප්තිය කෙරෙහි යටත්විජිත පරිපාලනය සහ ප්‍රතිපත්ති බලපා ඇත.
අද තත්ත්වය විමසා බැලුවහොත්, වර්තමානයේදී තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථාන ද ඇතුළුව බටහිර ලෝකය තුළ භාවනාව නොයෙකුත් ආකාරවලින් හා අවකාශ තුළ ව්‍යාප්ත වී තිබේ. මේ අනුව, හමුදා පුහුණු කඳවුරු, ව්‍යාපාර අධ්‍යයනය සඳහා වූ විශ්වවිද්‍යාල, බහු ජාතික සමාගම් මෙන්ම පුද්ගල නිදන කාමර දක්වා වූ වඩාත් ලෞකික අවකාශ තුළ ද භාවනාව ක්‍රියාත්මක වෙයි. සාම්ප්‍රදායික වශයෙන්, යතාර්ථයේ සියුම් ස්ථර වෙත ළඟාවීම උදෙසා ලෞකික ජීවිතයෙන් මිදී, සැළකිය යුතු කාලයක් භාවනා කිරීම අවශ්‍ය යයි සැළකුණු අතර, ලෞකික ජීවිතයක් ගතකරන පුද්ගලයින්ට එය නොගැළපෙන බව සාමාන්‍ය විශ්වාසය විය. නමුත් අන්තර්ඥානයේ ඇතැම් උපක්‍රම සඳහා අවධානය රඳවා ගැනීම අවශ්‍ය වූයේ එම මොහොත සඳහා පමණක්ය යන උපකල්පනය මත පිහිටමින්, භාවනාව ගිහියන් අතර ද ප්‍රචලිත වීම ඇරඹුණි. මෙසේ භාවනාව හෝ සතිය (mindfulness) අන්තර්-සංස්කෘතික ප්‍රපංචයක් ලෙස වර්ධනය වීමට බලපෑ එක් ප්‍රධාන හේතුවක් ලෙස, යටත්විජිතවාදයේ ප්‍රතිපලයක් වශයෙන් නවීන විද්‍යාව විසින් බුදු දහම ‘සොයා ගැනීම’ සැළකිය හැකිය. ඒ අනුව, බටහිර විද්වතුන් බුදු දහම විශ්වීය දහමක් ලෙස ගොඩනැඟීමේදී, බුදු දහම දීර්ඝ කාලයක් මුළුල්ලේ ව්‍යාප්ත වූ සමාජ සහ සංස්කෘතිවලින් ව්‍යුක්තකර, ධර්මයේ ලිඛිත පෙළ කෙරෙහි පමණක් අවධානය යොමුකරමින්, ‘ශුද්ධ’ දහමක් ලෙස ගොඩ නැඟීම කැපී පෙනෙයි. මේ තත්ත්වය යටතේ, බුදුදහම, එක් එක් සමාජ හා සංස්කෘති අභිබවා ගිය, සමාජයෙන් ව්‍යුක්ත චින්තනමය භාවිතයක් ලෙස යුරෝපයේ විද්වත් කව තුළින් මතුවීම ඇරඹුනි. මෙම දැක්ම හරහා බුදුන්ට සහ බුදු දහමට අයත් වූ පුරාණ විශ්වවේදය මකා දමන ලද අතර, ‘ස්වයං-පරිවර්තනය’ සඳහා අවශ්‍ය වන්නා වූ ක්‍රමයක් ලෙස බුදු දහම ගොඩනැගුනි. මේ ඔස්සේ, භාවනාවේ භූමිකාව වඩාත් වැඩි වැදගත්කමක් සහිතව කරළියට පැමිණියේය. එක් අතකින් බටහිර විද්වතුන් ‘විචිත්‍රවත් දර්ශනයක්’ ලෙස බුදු දහම ඉදිරිපත් කළ අතර, අනෙක් අතින් යටත්විජිතවාදයේ පීඩනයට ඔරොත්තු දීම සඳහා බුදු දහම විවිධ ක්‍රමෝපායන් සකස්කර ගත්තේය. යටත්විජිතවාදය යටතේ ක්‍රියාත්මකවූ මිෂනාරි ව්‍යපාරවල එක් ප්‍රධාන පහරදීමක් වූයේ බුදුදහම නවීන විද්‍යාව හා අනුකූල නොවන බවයි. මීට හොඳම උදාහරණය වන්නේ කුමන හෝ දහමක් (ක්‍රිස්තියානි, බෞද්ධ) නවීන විද්‍යාව සමඟ අනුගත වන්නේ ද යන්න විවාදයට ලක්කෙරුණු පානදුරාවදයයි. මෙම ප්‍රවණතාව ලංකාවේ පමණක් නොව, කලාපයේ තවත් බොහෝ රටවල ද පැතිර තිබුණු බව සංස්කාරකවරයා සඳහන් කරන්නේ, අනගාරික ධර්මපාල තුමා, මියන්මාරයේ ලේදී සයදොව් හිමි, චීන ජාතික යැන් වෙන්හුයි වැනි අයගේ උදාහරණ සහ භූමිකා ගෙනහැර දක්වමිනි. හඳුන්වාදීමේ පරිච්ඡේදය හෙවත් පළමු පරිච්ඡේදය අවසන් වන්නේ, මේ වන විට භාවනාවට එරෙහිව බටහිර ගොඩනැඟෙමින් එන ප්‍රවණතා විග්‍රහ කරමිනි.
දෙවන පරිච්ඡේදය වෙන් වන්නේ, භාවනාව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න කෙරෙහිය. මෙම පරිච්ඡේදය රචනාකර ඇත්තේ ඩේවිඩ් මැක් මාහන් විසිනි. පරිච්ඡේදය ආරම්භ වන්නේ, වර්තමානයේ භාවනාවේ නිරතව සිටින ඇමෙරිකානු ජාතික වෘත්තීයවේදිනියක සහ ඈත අතීතයේ වනගතව ජීවත්වූ භික්ෂුවක විසින් සිදුකරන භාවනාව සංසන්දනය කරමිනි. මෙහිදී කතුවරයාගේ ප්‍රධාන තර්කය වන්නේ, භාවනාව ක්‍රියාත්මකවන ආකාරය විවිධ සමාජ සංස්කෘතික සන්දර්භ අනුව වෙනස්වන අතර, කාලය හා අවකාශයෙන් ව්‍යුක්ත වූ යමක් වෙනුවට භාවනාව, ලෝකය තුළ පැවතිය හැකි විවිධ ආකාර නිර්මාණය කරන බවයි. ‘ලෝකය තුළ පවතින ආකාර’ විග්‍රහ කිරීමට ප්‍රපංචවේදීමය ප්‍රවේශයක් අනුගමනය කරන කතුවරයා, ‘ජීවන ලෝකය’ (lifeworld) යන්න භෞතිකව පවතින අවකාශයක් වෙනුවට, පොදුවේ බෙදාහදගනු ලබන සමාජ, සංස්කෘතික සහ ඓතිහාසික සන්දර්භයකින් යුක්ත සමාජ පරිකල්පන එකතුවක් (social imaginaries) ලෙස දකියි. එහිදී, අපට පෙනෙන භෞතික ලෝකයෙන් ඔබ්බට ගොස්, විශ්වවේදී (cosmological ) සන්දර්භයක් තුළ යමෙකු තමාව පරිකල්පනය කරගන්නා ආකාරය පිලිබඳ අදහසකට ප්‍රවේශ වෙයි. කෙසේ වෙතත්, අවාසනාවන්ත කාරණය වන්නේ, මෙම අදහස ගවේෂණය කෙරෙන්නේ අල්ප වශයෙන් වීමය. කතුවරයා සඳහන් කරන්නේ, බෞද්ධ සම්ප්‍රදාය තුළ අපට හමුවන භාවනා ක්‍රම විශාල ප්‍රමාණයක් පවතින අතර, ඒවා ශතවර්ෂ ගණනාවක් තිස්සේ විවිධ සමාජ පරිකල්පන තුළ විවිධත්වයකින් යුක්තව පැවතී ඇති බවයි.
මේ අනුව, සමාජ පරිකල්පන දෙකක් තුළින් භාවනාවට පිවිසෙන පුද්ගලයින් දෙදෙනා භාවනාවේ යෙදෙන ආකාරය සමාන වුවත්, ඔවුන් භාවනාවේ භාවිතයට සහ අන්තර්ගතයට ගෙන එන්නාවූ මූලද්‍රව්‍ය එකිනෙකින් වෙනස් වෙයි. ඒ අනුව කතුවරයා තර්ක කරන්නේ, එකම ආකාරයකින් විග්‍රහ කෙරෙන භාවනා ක්‍රමය අදාළ සමාජ පරිකල්පන තුළදී විවිධ දේ ආකර්ෂණය කරගනිමින් දියුණු විය හැකි බවයි.
තුන්වන පරිච්ඡේදය එවාන් තොම්ප්සන් විසින් රචනාකර ඇත. මෙහිදී ‘සතිය’ (mindfulness) යන්න, මොළයට සම්බන්ධ ප්‍රවර්ගයක් ලෙස නවීන විද්‍යාව විසින් නිර්මාණයකර ඇති ආකාරයත්, ඒ ප්‍රවර්ගය ඔස්සේ පුද්ගලයා යථාව ලෙස දකින ආකාරයත්, ඒ තුළ ක්‍රියාත්මකවන ආකාරයත් විග්‍රහ කරමින් මෙම පරිච්ඡේදය ආරම්භ වෙයි. දර්ශනය සම්බන්ධ පසුබිමකින් පැමිණෙන තොම්ප්සන් තර්ක කරන්නේ, ඕනෑම ප්‍රජානන (cognitive) කෘත්‍යයකට උදාහරණයක් ලෙස ‘අවධානය’ට යොමුවිය යුත්තේ මොළය පමණක් නොවන බවත්, මොළයේ එක් කොටසක් ප්‍රජානනයට සම්බන්ධ බව ප්‍රකාශ කරමින් පර්යේෂණ පැවැත්වීම බෙහෙවින් පටු ප්‍රවේශයක් බවත්ය.
හතරවන පරිච්ඡේදය වන්නේ විලියම් එඩෙල්ග්ලාස් විසින් රචනා කරන ලද ‘බුදු දහම, සතුට සහ භාවනාව පිලිබඳ විද්‍යාව’ යන්නයි. බුදුදහම, විශේෂයෙන්ම භාවනාව මිනිසා සතුටින් තැබීමේ මඟක් බව ජනප්‍රිය මතවාදයකි. එහිදී ඔහු සඳහන් කරන්නේ, ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයා ලෙස ප්‍රසිද්ධියට පත්, ප්‍රංශයේ උපත ලැබූ ටිබෙට් භික්ෂුවක වන මැතිව් රිකාර්ඩ් ලොව සතුටින්ම සිටින පුද්ගලයා ලෙස ඔප්පු කරන්නේ, ස්නායුවිද්‍යාඥයින් පිරිසක් විසින් බවයි. ඒ අනුව, භාවනාව සහ සතුට පිලිබඳ විද්‍යාවක් බිහිව ඇති ආකාරය කතුවරයා විසින් විස්තර කරයි. නූතන විද්‍යාව සතුට යනු කුමක්ද යන්න සෙවීමට වඩා, සතුට මැනීමට යොමුවී ඇති ආකාරයත්, ඇතැම් විද්‍යාඥයින්ට අනුව, සතුටෙන් යම් කොටසක් ජාන මත නිර්ණය වන අතර, තවත් කොටසක් පුද්ගලයාගේ තේරීම් මත නිර්ණය වන ආකාරයත් ඔහු විස්තර කරයි. එමෙන්ම, සතුට මැනීම සහ ඊට හේතු සොයා බැලීම සඳහා අනුභූතික පර්යේෂණ මේ වන විට බෙහෙවින් දියුණුවී ඇත. මෙසේ කරුණු දක්වමින් කතුවරයා මූලිකවම ගෙනහැර දක්වන්නේ, ‘සතුට’ යන්න කෙතරම් විවාදාපන්න ක්‍ෂේත්‍රයක්ද යන වගයි.
පස්වන පරිච්ඡේදය විලියම් එස්. වොල්ඩ්රෝන් විසින් රචනාකර ඇති අතර, එහිදී නූතන භාවනාව හා සම්බන්ධ ඇතැම් විද්‍යාත්මක අධ්‍යයන සම්භාව්‍ය බෞද්ධ චින්තකයින්ගේ අදහස් හා සම්මුඛ කර සංවාදයට ලක්කරයි. ජොඇන්නා කුක් විසින් රචනාකර ඇති මීළඟ පරිච්ඡේදය, භාවනාවේ ස්වභාවය පිලිබඳ අවධානය යොමු කරන, ‘සතිය’ මුල්කරගත් ප්‍රජානන ප්‍රතිකර්ම පිලිබඳ සිදුකළ මානව වංශ පර්යේෂණ පදනම් කරගනියි. හත්වන පරිච්ඡේදයෙන් ජුලියා කැසින්නෙට්ටි උත්සාහ කරන්නේ, පූර්ව පරිච්ඡේදවලින් යෝජනා කරන ලද අර්ථ නැවත සමාජය මත ප්‍රතිනිර්මාණය වන ආකාරය, නැතහොත් භාවනාව ජීවත්වීම තුළ යතාර්ථයක් බවට පත්වන ආකාරය විග්‍රහ කිරීමටයි. ඒ අනුව ඇය තර්ක කරන්නේ, විවිධ ආකාරයෙන් අවබෝධ කරගනු ලැබූ ‘සති’ (mindfulness) යන භාවිතය තුළ, ‘අස්මිතාව’ (selfhood) විවිධ අයුරින් සංජානනනය කරනු ලබන බව පෙන්වා දීමටයි. ඒ අනුව, උතුරු ඇමෙරිකාව අස්මීතාව සංජානනය කරනු ලබන්නේ ‘සති’ භාවනාව හරහා ‘නියම ඔබ’ සොයා ගැනීම උදෙසා වන අතර, එය බෞද්ධ ඉගැන්වීම වන ‘අස්මිතාවක් නොමැත’ (anatta) සමඟ ගැටෙන බව ඇය පෙන්වා දෙයි.
මීළඟ පරිච්ඡේදය, ජෙෆ් විල්සන් විසින් රචනා කර ඇති අතර, එය යොමු වන්නේ ඇමරිකාවේ ස්ව-සාධන කතුවරුන් විසින් සති භාවනාව පුද්ගලයාට ලිංගික සතුට වැඩිකරන ක්‍රමයක් ලෙස යොදා ගත හැකි ආකාරය පෙන්වාදෙමින්, ඊට සම්බන්ධිත වෙළඳපොළක් නඩත්තු කරන ආකාරය පෙන්වා දීමටයි. එරික් බ්‍රවුන් විසින් රචනාකර ඇති මීළඟ පරිච්ඡේදය වෙන්වන්නේ ‘ලෞකික’ සහ ‘විද්‍යාත්මක’ යන මූලික සංකල්පීය ප්‍රවර්ග, ජනප්‍රිය සංස්කෘතිය තුළ ප්‍රතිසකස්කර ඇති ආකාරය විස්තර කිරීමටයි. එහිදී සති භාවනාව ආගමික අවකාශයෙන් මුදවාගෙන, ලෞකික අවකාශය තුළ ස්තානගතකර ඇත. රොබර්ට් ශාර්ෆ් විසින් මීළඟ පරිච්ඡේදය මගින් සති භාවනාව ඓතිහාසිකකරණයට ලක් කරයි. එහිදී ඔහු පෙන්වාදෙන්නේ, වර්තමානයේ ප්‍රතිකර්මයක් ලෙස හඳුන්වා දී ඇති භාවනාව, ඊට පෙර පැවති බෞද්ධ භාවනා ප්‍රවේශයන්ගෙන් වෙනස් වන නමුත්, ඓතිහාසිකව භාවනාව ඒ අදාළ සංස්කෘතියට අනුකූලව සකස්වී ඇති ආකාරය අරුමයක් නොවන බවයි.
Meditation, Buddhism and Science කෘතිය මූලික වශයෙන් භාවනාව සහ සතිය ලෝකයේ විවිධ සංස්කෘති තුළ මේ මොහොතේ ක්‍රියාත්මක වන ආකාරයත්, නවීන විද්‍යාව විසින් එය ග්‍රහණය කරගන්නා ආකාරයත්, එසේ ග්‍රහණයකරගැනීමේ දී ඇතිවන විවාදාපන්න ස්වභාවයත් පෙන්නුම් කරයි. එමෙන්ම, මේ විවාදාපන්න ස්වභාවය එසේ තිබියදී, විවිධ සංස්කෘති තුළ භාවනාව විවිධ ස්වරූප ගතහැකි ආකාරයත්, එසේ සිදුව ඇති බව පෙන්නුම් කිරීම උදෙසා වටිනා ඓතිහාසික සාධකත් කෘතිය මගින් විග්‍රහ කරයි.