Skip links

රොමාන්තික ආලය පිළබඳ සමාජ විද්‍යාත්මක කියවීමක් කරා…

Sirisena, Mihirini, The Making and Meaning of Relationships in Sri Lanka: An Ethnography on University Students in Colombo (ශ්‍රී ලංකාවේ සම්බන්දතා ගොඩනැගීම සහ ඒවායේ අර්ථය: කොළඹ සිටින සරසවි සිසුන් පිළබඳ මානවවංශ ලේඛනයක්, මිහිරිනී සිරිසේන). චාම්: පැල්ග්‍රේව් මැක්මිලන් ප්‍රකාශන සමාගම, 2018. පිටු: 242.  ISBN  978-3-319-76335-4. මිල: යූරෝ 93.59  (ඝන සහ මෘදු කවරය සහිතව).

විමර්ශනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

මිහිරිනී සිරිසේන විසින් රචනා කරන ලද The Making and Meaning of Relationships in Sri Lanka: An Ethnography on University Students in Colombo යන කෘතිය 2018 දී පලවූයේ පීටර් ස්ට්‍රොම්බර්ග් විසින් සංස්කරණය කරන ‘Culture, Mind, and Society’ (සංස්කෘතිය, මනස සහ සමාජය) යන කෘති මාලාවේ කොටසක් වශයෙනි. පරිච්ඡේද අටකින් සමන්විත, මානවවංශ තොරතුරුවලින් බෙහෙවින් සපිරි සිරිසේනගේ කෘතිය වැදගත් වන්නේ, එමගින් ආමන්ත්‍රණය කරන වාද විෂය ශ්‍රී ලංකාව පිළබඳ මෙන්ම වඩාත් පුළුල්ව දකුණු ආසියාව පිළිබඳ සමාජ විද්‍යාව මගින් ද ගැඹුරින් හා පුළුල් ලෙස ගවේෂණය කර නැති නිසාය. ඇයගේ මූලික උනන්දුව වන්නේ, පෙම්වතුන් අතර ඇතිවන සබඳතා, රොමාන්තික ආදරය සහ අනන්‍යතාව යන අන්තර්-සම්බන්ධිත කරුණු ගවේෂණය කිරීමය. ඒ සඳහා ඇයට කරුණු සපයන්නේ ඇයගේ පර්යේෂණ කටයුතු සිදුකල කාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යාර්ථීන්ය. මෙවැනි තරුණ තරුණියන් අතර ආල සබඳතා ඇතිවනේ කෙසේදැයි විස්තර කරමින් ඇය උත්සාහ කරන්නේ, එවන් සබඳතා ඔවුන්ගේ ජීවිතවලට වැදගත්වන්නේ කුමන හේතු නිසාද යන්න පැහැදිලි කිරීමය. ඇය විසින් සම්පාදනය කර ඇති  සවිස්තරාත්මක මානවවංශ තොරතුරු ඔස්සේ ඇය ගොඩ නගන තර්කය නම්, තම නිවෙස්වලින් හා සුපුරුදු සමාජ වාතාවරණවලින් ඈත්ව කොළඹට පැමිණෙන ඔවුන් බොහෝ දෙනාට මෙවන් සම්බන්ධතා යම් අකාරයේ ආරක්‍ෂාවක් හා ස්ථාවරත්වයක් සපයන බවයි. එනම්, මෙවන් සම්බන්ධතා කොළඹදී ඇතිවෙන කාන්සියෙන් හා තනිකමෙන්  ගොඩඒමට ආධාරකයක් වන බවයි.

පුළුල් වශයෙන් බලන කළ, කතුවරිය විසින් මේ කෘතිය ඔස්සේ ප්‍රධාන තර්ක දෙකක් ගොඩනගයි. ඉන් පළමුවැන්න නම්, ස්වීයත්වය  සහ චිත්තවේගයන් අතර සමීප සබඳතාවක් ඇති බවට ඇයගේ ක්ෂේත්‍ර තොරතුරු ඔස්සේ ගොඩනගන තර්කයයි. වඩාත් පැහැදිලිව කියන්නේ නම්, මේ තරුණ තරුණියන් සිය පුද්ගලික අනන්‍යතාවන් සහ පෞරුෂත්වයන් ගොඩනගාගන්නේ ආදරය පිළබඳ ඔවුන්ගේ අත්දැකීම් තුළින් බව සිරිසේන යෝජනා කරන්නීය.

ඇය යෝජනා කරන අන් ප්‍රධාන තර්කය නම්, ඥාතී සම්බන්ධතාවල මානසික සහ චිත්තවේගීය ව්‍යුහය සහ රොමාන්තික ආදරය මගින් ගොඩනගන ව්‍යුහය බොහෝ දුරට සමාන බවයි. ඇය මේ තර්කය ගොඩනගන්නේ, මේ සබඳතා ප්‍රවර්ග දෙක තුළම යෙදෙන ‘අයියා’ සහ ‘නංගී’ යන සබඳතාවේ සමානකම පෙන්වා දෙමිනි. ඇයගේ තර්කය වන්නේ, අයියා-නංගී සබඳතාව රොමාන්තික ආදරය සම්බන්දයෙන් සදාචාරමය අගය පද්ධතියක් ගොඩනන බවයි. එනම්, එමගින් සිය සබඳතාව තුළ තමන්ගේ යුතුකම් සහ වගකීම් මොනවාද යන්න සනිටුහන් කරන බවයි. ඥාතී සම්බන්දතා තුළ මෙන්ම මෙහිදී ද සිදුවනේ බලය පිළබඳ කතිකාවක් හා වගකීම් රටාවක් ආල සම්බන්ධතා සම්බන්දයෙන් ද ගොඩනැගීමයි.

මා දකින ආකාරයට, සිරිසේනගේ කෘතියේ ඇති ප්‍රධානතම සීමාව නම්, රොමාන්තික ආල සම්බන්ධතාවල පදනම ‘තනිකම සමග ගණුදෙනු කිරීම’ යන කාරණයට මූලික වශයෙන් ලඝුකර තිබීමය. එය වැදගත් කාරණයක් වුවද, අපට ගෝලීය සාහිත්‍යයෙන් සහ පරිස්ථානීය අත්දැකීම්වලින් පෙන්වා දෙන්නේ, මෙවන් සබඳතාවලට ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යයන්ගේ පලපෑම, රෝමාන්තික ආලය පිළබඳ ගෝලීය සංස්කෘතික ප්‍රවණතා සහ විලාසිතා මෙන්ම කාමය පිළබඳ ඇති උනන්දුව ඔස්සේ ද බෙහෙවින් බලපෑම් කරණ බවයි.

කෙසේ වෙතත්, මිහිරිනී සිරිසේනගේ The Making and Meaning of Relationships in Sri Lanka: An Ethnography on University Students in Colombo කෘතිය ශ්‍රී ලංකාවේ සමාජ විද්‍යා කතිකාවේ දිශානතිය වෙනස් කිරීමට හැකියාව ඇති නවමු තේමාවක් සම්භාෂණය සඳහා අපට ලබා දී ඇති බව ඉතාමත් පැහැදිලිය. මේ කෘතිය මා දකින්නේ මාග්‍රට් ට්‍රැවික් විසින් 1992 දී පලකළ Notes on Love in a Tamil Family (දෙමළ පවුලක ආදරය පිළබඳ සටහන්) සහ ෆ්‍රැන්සිස්කා ඔර්සිනී විසින් 2006 දී සංස්කරණ,  කර පළ කළ Love in South Asia: A Cultural History (දකුණු ආසියාවේ ආදරය: සංස්කෘතික ඉතිහාසයක්) යන කෘතිවලින් සනිටුහන් කර ඇති, එනමුත් මේ වන තුරු ද පුළුල් ලෙස දකුණු ආසියාවේ ගවේෂණයට ලක්වී නොමැති ‘ආදරය’ යන තේමාවට බුද්ධිමය දායකත්වයක් ලබා දෙන වඩාත් තත්කාලීන ව්‍යායාමයක් බවයි. එනමුත් අවාසනාවන්ත කාරණය වන්නේ, මේ වැදගත් කෘතිය මෙරට බුද්ධිමය කතිකාවේ පුළුල් අවධානයට තවමත් භාජන වී නොතිබීමයි. එසේ වන්නේ නම්, ශ්‍රී ලංකාවේ තත්කාලීන සමාජවිද්‍යා පර්යේෂණවලට නව  ප්‍රවේශයක් ඊට ලබා දිය හැකිය යනු මගේ විශ්වාශයයි.

Leave a comment

This website uses cookies to improve your web experience.