Skip links

ලංකා ගුවන්විදුලිය: දකුණු ආසියානු ශාබ්ධික අවකාශයේ අණසකධාරී නොවූ ආයතනයක් පිළිබඳ සිතාබැලීමක්1

~ සසංක පෙරේරා සහ දේව් නාත් පාඨක්, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය
~ පරිවර්තනය: පඨිත පරිවර්තන ව්‍යාපෘතිය

ප්‍රවේශය

අපගේ අදහස නම්, ගුවන්විදුලිය යනු හුදෙක් සංගීතය, විනෝදය, තොරතුරු, ප්‍රවෘත්ති සහ වර්තමානයේදී වඩ වඩාත් ව්‍යාජ ප්‍රවෘත්ති මෙන්ම වෙනත් බොහෝ දැනුම මිනිසුන් වෙත ගෙනෙන තාක්‍ෂණය පිළිබඳ කාරණයක් පමණක් නොවන බවයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ, මේ සියල්ල මහජනතාව වෙත ගෙන ඒම ඔස්සේ අනෙකුත් සියලුම ජනමාධ්‍ය මෙන් ගුවන්විදුලිය ද දේශපාලනයේ මාධ්‍යයක් බවට පත්වීමයි. ‘දේශපාලනය’ යන පදය මෙහිදී යොදාගන්නා විට, අප එමගින් අදහස් කරන්නේ විවිධ ජාතික පසුබිම්වල හෝ වෙනත් රටවල ක්‍රියාත්මකවන භේදකාරී  පක්ෂ දේශපාලනය දැනවීමට මේ වචනයේ  තිබෙන  සමකාලීන ජනප්‍රිය අර්ථය නොවේ. ඒ වෙනුවට, අප එයින් අදහස් කරන්නේ, දැනුමේ සහ අදහස්වල සිදුවිය හැකි සමාජ පරිවර්තනීය දේශපාලනයක්ය. ගුවන්විදුලි වැඩසටහන් මේ විභවතාව සවිඥානිකව භාවිතයට ගන්නේද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. ගුවන්විදුලියට කළ හැකි යම් අපේක්ෂිත දේශපාලනයක් තිබේ නම්, ගුවන්විදුලිය මත පදනම් වූ නොයෙකුත් ආකාරයේ සංස්කෘතික දේශපාලන හැකියාව ද එතුළම තිබෙන බව පැහැදිලි විය යුතුය. අනේකවිධ සංස්කෘතික සන්දර්භ තුළ ගුවන්විදුලි ශ්‍රාවක ප්‍රජාවන් ගොඩනැගීමේදී එක් අතකින් ගුවන්විදුලි වැඩසටහන්වලට ක්‍රියාත්මක කළ හැකි  සංස්කෘතික දේශපාලනික ක්‍රියාවන්ගෙන් සහ අනෙක් අතට ශ්‍රාවකයින් ගුවන්විදුලිය සමඟ සම්බන්ධවන ආකාරය අනුව වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකිය.

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ වෙනත් ප්‍රදේශවල සිටින ශ්‍රාවක ප්‍රජාවන් අතර අදෘශ්‍යමාන සම්බන්ධතා ජාලයක්  ගොඩනැගීම සම්ප්‍රේෂණය කරනු ලබන වැඩසටහන් සහ ඒවාට සවන්දෙන ප්‍රජාවන්ගේ චර්යාවන් ඔස්සේ සිදුවිය හැක. නමුත් මානව විද්‍යාඥයන් සාම්ප්‍රදායිකව  කතා කරනුයේ මෙවැනි ප්‍රජාවන් පිළබඳව නොවේ. ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රජාවන් සතු ප්‍රධානතම ශක්තියක් වන්නේ, එම ප්‍රජාවන් බොහෝ දුරට  නිර්නාමික වීමය. එමෙන්ම, එකම වැඩසටහනකට සවන්දෙන්නේ කව්රුන්ද යන්න පිළිබඳව මෙකි ප්‍රජාවන් දැනුවත්  වන්නේ නම්, ඒ අසම්පුර්ණ ආකාරයකිනි.  එහෙත්, ඔවුන් ගණුදෙනු ක‍රන්නේ එකම විකාශන අන්තර්ගතයක් සමග වන අතර, ඔවුන් එම වැඩසටහන් සමග අදෘශ්‍යමාන ලෙස සම්බන්ධ වී, එකිනෙකා සමඟ අස්පෘශ්‍ය ලෙස අන්තර්ක්‍රියා කරයි. ඇතැම් විට, මේ අස්පෘශ්‍ය අන්තර්ක්‍රියා වඩාත් ජීවමාන තත්ත්වයකට පත්වන්නේ වැඩසටහන් නිවේදකයින්  යම් කලාපයක විවිධ ප්‍රදේශවල සිටින තෝරාගත් අසන්නන් කිහිප දෙනෙකුගේ නම් මෙන්ම යම් තේමා පිළබඳව ඔවුන්ගේ හැඟීම් හා ඔවුන් දරන අදහස් බෙදා ගන්නා විටය. මෙම රචනය තුළින් නිශ්චිත මතක දෙකක් ගවේෂණය කිරීමට අප උත්සාහ ගන්නේ දේශපාලනය පිළිබඳ මෙම පුළුල් හා දෙවනුව සදහන් කළ අර්ථදැක්වීම තුළ ය. මෙයින් එක්  මතකයක් නම්, ලංකා ගුවන්විදුලිය (Radio Ceylon) පිළිබඳ මතකය සහ එම ආයතනය එම කාලය තුළ පෙනී සිටියේ කුමක් සදහාද යන්න සොයාබැලීමය. දෙවැන්න නම්, මුලින්ම ලංකා ගුවන්විදුලියෙන් විකාශනය කළ බිනාකා ගීත්මාලා (Binaca Geetmala) යන සුප්‍රසිද්ධ වැඩසටහන ගවේෂණය කිරීමය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිල වශයෙන් රටේ නම වෙනස් කිරීමෙන් පසුව,  ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් මෙම වඩා සටහන දිගටම විකාශනය කරන්නට යෙදුනි. වඩාත් නිශ්චිතව පවසන්නේ නම්, අපගේ උනන්දුව වන්නේ, ලංකා ගුවන් විදුලිය සහ බිනාකා ගීත්මාලා විසින් ආරම්භ කරන ලද සංස්කෘතික දේශපාලනය ගැන කෙටියෙන් මෙනෙහි කිරීමත්, සමකාලීන දකුණු ආසියාවේ එවැනි දේශපාලනික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කළ නොහැකි ද යන ප්‍රශ්නය මතු කිරීමටත්ය.

ලංකා ගුවන්විදුලියේ සංස්කෘතික දේශපාලනය

කොළඹ ගුවන්විදුලිය (Colombo Radio) වශයෙන් හදුන්වනු ලැබූ  ලංකා ගුවන්විදුලියේ පුරෝගාමී ආයතනය  පිහිටුවන ලද්දේ 1925 දීය. ඒ ගිලී ගිය ජර්මානු සබ්මැරීනයකින් ගලවාගත් ගුවන්විදුලි සම්ප්‍රේෂකයක්  නිර්මාණාත්මකව නැවත භාවිත කිරීම මගින්ය. එය දකුණු ආසියාවේ පළමු මහජන ගුවන් විදුලි මධ්‍යස්ථානය (public radio station) විය. නමුත් ලංකා ගුවන්විදුලියට වඩාත් අමතක නොවන ඉතිහාසයක් ලිවීමට හැකිවන අයුරින් ජවය ලබා දුන් තාක්‍ෂණික අවස්ථාව ලැබුනේ 1949 දී බ්‍රිතාන්‍ය යුද හමුදාවේ අග්නිදිග ආසියා ආඥාපති විසින් පාලනය කරන ලද බ්‍රිතාන්‍ය හමුදාවේ රේඩියෝ සියැක් (Radio SEAC) කොළඹට ගෙන ඒමත් සමගය. රේඩියෝ සියැක් ආයතනයේ මූලික අරමුණ වූයේ දෙවන ලෝක සංග්‍රාමීය සන්දර්භය තුළ කලාපයේ සහ ඉන් ඔබ්බෙහි සිටි බ්‍රිතාන්‍ය සහ මිත්‍ර හමුදා වෙත විනෝදාස්වාදය ලබා දීම සහ තොරතුරු සැපයීමයි. 1949 දී මෙම දෙවන ලෝක යුද්ධයේ මිලිටරි-සංස්කෘතික මෙවලම ලංකා ගුවන්විදුලිය බවට පත්විය. මෙතැන් සිට 1960 දශකයේ අග භාගයේ එහි පරිහානිය ඇරඹෙන තෙක්, ලංකා ගුවන්විදුලියේ සංස්කෘතික දේශපාලනය පිළිබඳ ස්‌වයං-තේරුම්ගැනීම සහ ලෝකයට කථා කිරීමට හා ගෝලීය සංස්කෘතියේ අංග කලාපයට ගෙන ඒමට ඊට තිබූ උනන්දුව පැහැදිලිව පෙනේ. “ලංකාව ගුවන් තරංග පාලනය කළ” යුගය (when Ceylon ruled the airwaves)  වශයෙන් වී.එස්. සම්බන්ධන්  විස්තර කළේ ලංකා ගුවන්විදුලියේ මෙම අවධියයි.2

ලංකා ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලය

ලංකා ගුවන්විදුලියේ දේශපාලනය පිළිබඳ තේරුම්ගැනීම පහත දැක්වෙන ආකාර තුන මගින් පුළුල් ලෙස හඳුනාගත හැකිය:

1) පළමුවෙන්ම, දකුණු ආසියානු ගුවන්විදුලි ක්‍ෂේත්‍රය තුළ වෘත්තීයමය භාවිත පිළබඳ මැනැවින් නොදැන සිටි යුගයක, වැඩසටහන් නිෂ්පාදනය සම්බන්ධයෙන් එවැනි වෘත්තීයමය භාවිත හඳුන්වාදීම ලංකා ගුවන්විදුලිය ඔස්සේ සිදුවිය. මෙම සන්දර්භය තුළ සහ ඉන්දියාවට විශේෂ අවධානයක් යොමු කරමින් සම්බන්ධන් පවසන්නේ, “දශක ගණනාවකට පෙර ඉන්දියානු ගුවන්විදුලි ලෝලීන් සඳහා ප්‍රමිතීන් සකස් කළේ ලංකා ගුවන්විදුලිය”3 බවයි.මේ යුගයේදී විනෝදාස්වාදය සඳහා ඉන්දියාවේ වාණිජ විකාශන නොතිබූ බව අප මතක තබා ගත යුතුය. මේ සන්ධර්භය තුළ,  ලංකා ගුවන්විදුලි විකාශනයට සවන් දීම යනු බොහෝ දෙනාට “සමස්ත ඉන්දීය ගුවන්විදුලි සේවයේ (All India Radio – AIR) විකාශනයන්හි ඒකාකාරී, එනමුත් තොරතුරු සහිත වැඩසටහන් වලින් විරාමයක් ගැනීමට”4 සමාන විය.

2) දෙවනුව, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලාංකික ජනතාව සමඟ කතා කිරීම, විනෝදාස්වාදය ලබා දීම සහ දැනුම ලබාදීම ලංකා ගුවන්විදුලිය මගින් සිදුවිය.  

3) තෙවනුව, දකුණු ආසියාව හා විශේෂයෙන් ඉන්දියාව සමඟ ඉංග්‍රීසි හා දමිළ භාෂාවලින් (දකුණුදිග ඉන්දියාවේ වර්තමානයේ තමිල්නාඩුව ලෙස හැඳින්වෙන ප්‍රදේශයට) කථා කිරීමටත්, පසුව හින්දි හා උර්දු භාෂාවලින් (උතුරු ඉන්දියාවේ හින්දුස්ථානි භාෂා ප්‍රදේශය සඳහා) කතා කිරීමත් ලංකා ගුවන්විදුලියේ කේන්ද්‍රීය භූමිකාවන් අතර ප්‍රධාන තැනක් ගත ක්‍රියාකාරකම්ය. මෙයින් දෙවැන්න සිදු වූයේ බිනාකා ගීත්මාලා ආරම්භ කිරීමත් සමගය. සම්බන්ධන් සඳහන් කරන පරිදි, “වරක් ඇහුම්කම් දුන් විට, ශ්‍රාවකයන්ට අසන්නට ලැබුනේ  ඉහළම ගුණාත්මක භාවයෙන් යුත් සංගීතයට පමණක් නොවේ. සුප්‍රසිද්ධ නිවේදකයින් වූ ජිමී බරුචා (ඉංග්‍රීසි), අමීන් සයානි (හින්දි) සහ මයිල්වාගනම් (දෙමළ) යන්නවුන්ගේ සුමධුර කටහඩට ශ්‍රාවකයින්  පොළඹවා ගන්නට හැකිවූ අතර, එමගින් ලංකා ගුවන්විදුලිය දකුණු ආසියා කලාපයේ ගුවන් විදුලි ජාලයේ ඉහළම ස්ථානයට ගෙන යන්නට හැකියාව ද ලැබුණේය.”5

ලංකා ගුවන්විදුලියේ වැඩසටහන් නිෂ්පාදන කණ්ඩායම, 1941

1950 සිට 1970 දක්වා ලංකා ගුවන්විදුලියේ ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාවේ දී, ඉන්දියාවේ එය ශ්‍රවණය කළ රසික පිරිස සැලකිය යුතු ප්‍රමාණයක් සිටියහ. ඒ, ලංකාවේ සිටි එහි දේශීය රසික පිරිසට අමතරවය. මෙය, අප පසුව සකච්ඡා කරන පරිදි, හින්දි සිනමා ගීත බිනාකා ගීත්මාලා වැඩසටහන හරහා ප්‍රචාරය කිරීම  නිසා පමණක් සිදු වූ දෙයක් නොවේ. එවකට ඉන්දියාවේ හෝ දකුණු ආසියාවේ වෙනත් තැනක පහසුවෙන් ශ්‍රවනය කළ නොහැකි වූ ඉංග්‍රීසි භාෂා ගීත සහ බටහිර සංගීතය ලංකා ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම බෙහෙවින් ජනප්‍රිය වීම ද මීට බලපෑ තවත් හේතුවකි. ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් නිරුපමා රාඕ සඳහන් කළ පරිදි, “මට බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ගීත මුලින්ම ඇසුණේ ලංකා ගුවන්විදුලිය හරහා. අපි හැදුනේ වැඩුණේ ලංකා ගුවන්විදුලියට ඇහුම්කන් දෙන අතරයි.”6 ලංකා ගුවන්විදුලියේ සංස්කෘතික දේශපාලනයේ  කැපී පෙනුනේ එහි එවකට තිබූ මෙම  ගෝලීය සංස්කෘතික සංවේදීතාව සහ විශ්වීයත්වය පිළිබඳ හැඟීමයි. එහි වැඩසටහන් ඔස්සේ ලංකාවේ පැවැත්ම පිළබඳව ලොවට යමක් පැවසුවා මෙන්ම, ගෝලීය සංස්කෘතික අංග සඳහා කවුළුවක් ද එමගින් එහි දේශීය හා කලාපීය ශ්‍රාවකයන් උදෙසා විවර කළේය. සම්බන්ධන් සඳහන් කරන පරිදි, “ගුවන්විදුලියට ඇහුම්කන් දුන් පරම්පරාවේ ඉන්දියානුවන් සඳහා, ලංකා ගුවන්විදුලිය යනු පාරාදීස දූපතට සහ සංගීත ලෝකයට ඔවුන් ලැබූ පළමු හැඳින්වීමයි.”7

කෙසේ වෙතත්, 1970 දශකයේ අග භාගයේ සිට සහ වඩාත් පැහැදිලිව 1980 දශකයේ සිට ලංකා ගුවන්විදුලියේ සහ පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජනප්‍රියත්වය දේශීයව හා ඉන්දියාවේ පැහැදිලිව අඩු වීය. මේ දෙකටම පදනම් වූ  හේතු බොහෝ දුරට සමාන ය.

‘විවිධ් භාරතී’ වශයෙන් සමස්ත ඉන්දීය ගුවන්විදුලි සේවයේ වාණිජ සේවාවන් හඳුන්වා දීමත් සමගම එමගින් ලංකා ගුවන් විදුලියට මූලික අභියෝගයක් ඉදිරිපත් කළේය. ඒ ලංකා ගුවන්විදුලියට බොහෝ සමාන වැඩසටහන් විවිධ් භාරතී ඔස්සේ ඉදිරිපත් කරමිනි. මේ අනුව, 1989 දී බිනාකා ගීත්මාලා විවිධ් භාරතී ඔස්සේ සම්ප්‍රේෂණය කිරීමට කටයුතු සැලසුන නිසා කොළඹ සිට දිල්ලිය දක්වා බිනාකා ගීත්මාලා සංක්‍රමණය වීම  අහම්බයක් නොවේ. අනෙක් අතට, 1970 දශකයේ සිට ජනප්‍රිය සංගීත කණ්ඩ සහිතව පටිගත කරන ලද ශ්‍රව්‍ය කැසට් පට අඩු මිලට ලබාගත හැකිවීම නිසා ද ලංකා ගුවන්විදුලියේ වැඩසටහන් සඳහා විකල්පයක් ඉදිරිපත් කළේය. එමෙන්ම, මෙම කැසට්පටවලට පුද්ගලයින්ට ඕනෑම අවස්ථාවක සවන් දිය හැකි වීය. 1980 දශකයේ සිට රූපවාහිනිය, පෞද්ගලික ගුවන්විදුලි මධ්‍යස්ථාන සහ අවසානයේ එෆ්. එම්. ගුවන්විදුලි මධ්‍යස්ථාන ද ඇතිවීම මගින් තවත් බොහෝ විකල්ප ශ්‍රාවකයින්ට ලැබුනේය. මෙම කොන්දේසිම ලංකා ගුවන්විදුලියේ දේශීය අවපාතයටද හේතු වීය. කාලයාගේ ඇවෑමෙන්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ලංකා ගුවන්විදුලිය විසින් සංස්ථාගත කරන ලද ප්‍රමිතීන්ට අනුකූලව සිය පැවැත්ම සාක්ෂාත් කරගැනීමට නොහැකි විය. මෙය අර්ධ වශයෙන් එම ආයතනය රාජ්‍යයේ කටයුතු සමග පැටලී තිබීම නිසා සිදු වූ දෙයකි. සම්බන්ධන් සඳහන් කරන පරිදි, “ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කාලයට වඩා පසුගාමී විය.”8 ඔහු තවදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පරමාදර්ශය විය යුතුව තිබුනේ එහි අතීතය පෙන්වා දුන් පාඩම් තේරුම් ගනිමින්, එමගින් ගුවන් විදුලි විකාශනයේ වර්තමාන වර්ධනය සාක්ෂාත් කරගත යුතුව තිබූ බවයි.9 එනමුත් මෙය කිසිලෙසකින් හෝ සිදුවූයේ නැති බව අප දන්නා කරුණකි.

බිනාකා ගීත්මාලාවේ සංස්කෘතික දේශපාලනය

බිනාකා ගීත්මාලාවේ සංස්කෘතික දේශපාලනය තේරුම් ගත යුත්තේ ලංකා ගුවන්විදුලියේ පුළුල් සංස්කෘතික දේශපාලන සන්දර්භය තුළය. බිනාකා ගීත්මාලා යනු ප්‍රසිද්ධ හින්දි සිනමා ගීත සති පතා ඉදිරිපත් කළ ‘කවුන්ට් ඩවුන්’ (radio countdown)  වැඩසටහනක් විය.  එහි නිවේදක අමීන් සයනි විසින් ගීතවලට අමතරව, ඒවා  පිළිබඳ රසවත් තොරතුරු ද උර්දු සහ හින්දි භාෂා මිශ්‍රණයක් වන ‘හින්දුස්ථානි’ ලෙස හැඳින්විය හැකි වහරකින් ඉදිරපත් කරන ලදී. එම වැඩසටහන 1952 සිට 1988 දක්වා ලංකා ගුවන්විදුලිය විසින් කෙටි තරංග හරහා ද 1989 සිට 1994 දක්වා සමස්ත ඉන්දීය ගුවන් විදුලි සේවයෙන් ද විකාශනය කරන ලදී. කෙසේවෙතත්, එහි උච්චතම අවස්ථාව වූයේ ලංකා ගුවන්විදුලියේ සම්ප්‍රේෂණ කාලයයි. මෙම වැඩසටහනේදී ගීත අතරට අමීන් සයනිගේ මදුර කටහඬින් ඉදිරිපත් කළ විවරණ ද එක් කරන ලදී. විවරණ මගින් ගීත, පද රචනා සහ ගායකයින් පිළිබඳ රසවත්  හා විනෝදාත්මක තොරතුරු ලබා දෙන ලදී. වෙනත් වචන වලින් කිවහොත්, ගීත හුදෙක් ඉදිරපත් කළේ  විනෝදාශ්වාදය සඳහා පමණක් නොවේ. ඉහත සඳහන් ආකාරයේ තොරතුරු හරහා එම ගීත ඒවාට අදාළ සමාජ-සංස්කෘතික සන්දර්භය තුළ පිහිටවනු ලැබීය. වැඩසටහනේ නාට්‍යාකාර  බලපෑම මනාව සංස්කරණය කිරීම හා මිශ්‍ර කිරීම මගින් වඩාත් තීව්‍ර කරනු ලැබීය. සෑම වැඩසටහනකටම අලුතින් එකතු කරන ලද ගීත බියුගල් ශබ්දයකින් පිළිගත් අතර, එය වැඩසටහනේ පැහැදිලි දර්ශකයක් බවට පත්වීය. එමෙන්ම,  සති ගණනාවක් තිස්සේ වැඩසටහනේ රැඳී තිබුනු  ගීතවලට ඒවායේ දීර්ඝායුශ සටහන් කරන්නට ද  සුවිශේසී බියුගල් හඬක් ඔස්සේ ධ්වනිගත ආචාරයක් ලබා දෙන ලදී.

අමින් සයානි ලංකා ගුවන්විදුලියේ සිටියදී

එවැනි අවස්ථාවක් පිළිබඳ මතකය විසින් දකුණු ආසියාවේ ජාතික හා භෞමික දේශසීමාවන්ගෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක විය හැකි වූ  සංස්කෘතික සංචලනයේ රහස් අපට විවෘත කර දෙයි. එමගින්  ජාතික රාජ්‍යයන් විසින් අනුග්‍රහය නොදක්වන යම් සමාජ-සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳ ඇතැම් ඉඟි ද අපට ඉදිරිපත් කරයි. සමස්තයක් ලෙස ගත් කළ, බිනාකා ගීත්මාලා පිළිබඳ අදහස මතු වූයේ  බී.බී.සී, වොයිස් ඔෆ් ඇමරිකා හෝ ලොව පුරා විසිර සිටින නොයෙකුත් භාෂාමය ප්‍රජාවන්ට විවිධ භාෂාවලින් නොයෙකුත් වැඩසටහන් සම්ප්‍රේෂණය කරන බලවත් රටක ස්ථාපිත ජාතික විකාශන මධ්‍යස්ථානයකින් නොවේ. මෙවන් වැඩසටහන් සාමාන්‍යයෙන් තේරුම්ගත හැක්කේ බල ප්‍රක්ෂේපනීය ක්‍රියාකාරකම් ලෙසිනි.  බී.බී.සීයේ සිංහල, හින්දි සහ තවත් බොහෝ භාෂා සේවාවන් මෙන්ම සමස්ත ඉන්දීය ගුවන්විදුලි සේවයේ සිංහල සේවය වැනි වැඩසටහන් මෙවන් බලවත් රටවල් විසින් සාම්ප්‍රදායිකව සිදුකරන ගුවන්විදුලි සම්ප්‍රේෂණවලට උදාහරණ සපයයි.  ඒ වෙනුවට, බිනාකා ගීත්මාලා යනු දේශපාලනික වශයෙන් බලවත් රටක් නොවූ ශ්‍රී ලංකාවේ ජාතික විකාශකයා වූ  ලංකා ගුවන්විදුලියේ  නිර්මාණයක් විය.  ශ්‍රී ලංකාවට  ජාත්‍යන්තර දේශසීමා හරහා බලය ප්‍රක්ෂේපණය කිරීමට උනන්දුවක් හෝ හැකියාවක් නොතිබුණි. කෙසේ වෙතත්, ප්‍රායෝගිකව බලන විට, ලංකා ගුවන්විදුලිය ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම ජනප්‍රියත්වය ලබාගත්  නාමයක් බවට පත්විය. මීට පෙර ද සඳහන් කළ ආකාරයට, මේ තත්ත්වය 2006 දී හින්දු පුවත්පතේ පළවූ රචනයක සඳහන් වූයේ, “ලංකාව ගුවන් තරංග පාලනය කළ”10 යුගය ලෙසින්ය.

බිනාකා ගීත් මාලා පිළිබඳ අදහස මතු වූ දේශපාලන සන්දර්භය තුළ එය හින්දි සිනමා සංගීත ලෝලීන්ට දෙවියන්වහන්සේ විසින් එවනු ලැබූ ගැලවුම්කරුවෙකු ලෙස දිස්විය. මෙම වැඩසටහන ප්‍රථම වරට විකාශය වූ එම වර්ෂයේම, එනම් 1952 දී, ඉන්දියානු රජය විසින් සමස්ත ඉන්දීය ගුවන් විදුලි සේවයේ හින්දි සිනමා ගීත ප්‍රචාරය කිරීම තහනම් කර තිබුණේ, සංස්කෘතිය පිළිබඳ එම රජයේ චින්තනය අතිශයින්ම පාරිශුද්ධවාදී හා අප්‍රායෝගික එකක් බව පැහැදිලි කරමිනි. අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරුගේ කැබිනට් මණ්ඩලයේ තොරතුරු හා ගුවන්විදුලි විකාශන අමාත්‍ය බී. කේ. කෙස්කාර්ගේ අදහස වූයේ, හින්දි සිනමා ගීත පශ්චාත්-ස්වාධීන ඉන්දියාවේ සංස්කෘතික අවකාශ දූෂණය කරනු ඇති බවයි. එවකට ඉන්දියාවේ ජාතික ගුවන් විදුලිය තුළින් පිරිසිදු, අව්‍යාජ, සාම්ප්‍රදායික හා ශාස්ත්‍රීය සංගීතය යැයි සිතූ දේ පමණක් දිරිගැන්වීම රාජ්‍ය ප්‍රතිපත්තියක් විය. බිනාකා ගීත්මාලා නිෂ්පාදන කණ්ඩායම ලංකා ගුවන්විදුලිය සමග මෙම වැඩසටහන් සම්ප්‍රේෂණය කිරීම පිළබඳ සාකච්ඡා ආරම්භ කළේ ද, ඉතාමත් සීග්‍රයෙන් කොළඹ සිට වැඩසටහන විකාශය කිරීමට කටයුතු සම්පාදනය කළේ ද, මෙම නිශ්චිත සන්දර්භය තුළය. අප මැනවින් දන්නා පරිදි, ලංකා ගුවන්විදුලිය මෙරට ජාතික විකාශකයා වශයෙන් පැවතියේ ලංකා රජය යටතේය. මේ සන්ධර්භය තුළ, ඉන්දියානු රජය විසින් සිය ගුවන් තරංග ඔස්සේ විකාශනය කිරීම තහනම් කර තිබූ ගීත හා සංගීත ප්‍රභේදයක් විකාශනය කිරීමට සත්කාරකත්වය සැපයූ බිනාකා ගීත්මාලා කොළඹ සිට විකාශනය කිරීමට ගත් තීරණය දේශපාලනික හා සංස්කෘතික වශයෙන්  එඩිතර තීරණයක් විය. මෙයින් පෙන්නුම් කළේ, ජාත්‍යන්තර දේශසීමා ඉක්මවා යන මෙවන් කාරණා සම්බන්ධයෙන් පවා එකළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව තිබූ බවයි. එනමුත් වඩාත් වැදගත් වන්නේ, මෙය ජනප්‍රිය ලෙස වටහාගෙන ඇති පරිදි දේශපාලනික කටයුත්තක් නොව, සංස්කෘතියේ විෂය පථයට අයත් වූවක් සේ වටහාගෙන තිබීමය.  එසේ වුවද, බිනාකා ගීත්මාලා විකාශනය කිරීමේ තීරණය පැහැදිලිවම දේශපාලන තීරණයක් වූ අතර, එය කුඩා රටක රජය සතු ගුවන් විදුලි නාලිකාවක් විසින් ගත් රැඩිකල් තීරණයක් ද විය. එය සාගරය ඔබ්බෙන් විද්‍යමාන වූ තම විශාල අසල්වැසියා විසින් තම සංස්කෘතික සංවේදීතාවන් පිළබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශිත අදහස් සරලව නොසලකා හැරීමකි.

ලංකා ගුවන්විදුලිය විසින් විකාශනය කළ හින්දි සිනමා ගීත සඳහා ශ්‍රී ලාංකික ශ්‍රාවකයින් අතර මෙන්ම ඉන්දියාව පුරා විසිරී සිටි ප්‍රේක්ෂකයින් අතර ද පුළුල් පිළිගැනීමක් ලැබුණි.  මීට අමතරව, මේ පිළිගැනීම නේපාලයේ, බංග්ලාදේශයේ සහ දකුණු ආසියාවේ වෙනත් රටවල හින්දි සිනමා ගීත සඳහා රුචිකත්වයක් ඒ වන විට ද  ස්ථාපනය වී තිබුණ ද්විතීයික ප්‍රේක්ෂක ප්‍රජාවන් අතර ද  ගුවන් විදුලි කෙටි තරංගවලට ළඟා විය හැකි අන් බොහෝ ප්‍රදේශවල ද දැකගත හැකි වූ පිළිගැනීමකි. ශ්‍රී ලංකාවේ හින්දි සංගීතය සම්බන්ධයෙන් වර්ධනය වෙමින් පැවති උනන්දුව විශේෂයෙන් කුතුහලය දනවන කරුණක් වන්නේ, මෙරට හින්දි භාෂාව කතා නොකරන හා  තේරුම් නොගන්නා ස්ථානයක් බව තේරුම්ගත්  විටය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ හින්දි චිත්‍රපට ගීත ප්‍රචලිත කිරීමේ දී වඩාත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ ලංකා ගුවන්විදුලියේ බිනාකා ගීත්මාලා විසින් මිස ඉන්දීය රජයේ සංස්කෘතික ක්‍රියාකාරකම් විසින් නොවේ. අනෙක් අතට, මෙය සංස්කෘතික දේශපාලනයේ තවත් වැදගත් ගතිකයක් සඳහා ද හේතු විය. එනම්, මෙම ගීත අතරින් වඩාත් ජනප්‍රිය වූ තනුවලට විශාල වශයෙන් සිංහල පද රචනා කරමින් ජනප්‍රිය දේශීය ගීත ආරක් බිහිකිරීමේ ප්‍රවණතාවයි. 1960 දශකයේ කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා රජය සිංහල ගීත සඳහා හින්දි චිත්‍රපට ගී තනු යොදාගැනීමේ ප්‍රවණතාව තහනම් කළේය. එහෙත් සංස්කෘතික ක්ෂේත්‍රයේ අනම්‍යතාව සැලකිල්ලට ගත් කළ, මෙය කාලයත් සමඟ පවත්වා ගත හැකි තහනමක් නොවූ බව ඉතිහාසය විසින් අපට පෙන්වා දී තිබේ.

ලංකා ගුවන්විදුලිය මගින් ඇමරිකාවේ ඔක්ලහෝමා සිට ලැබුණු සම්ප්‍රේෂණ තත්ත්වය පිළබඳ වාර්තාවක්
සැපයු ශ්‍රාවකයෙකුට යැවූ ස්තුති සටහන, 1959.

කෙසේ වෙතත්, ඉන්දියාව තුළ බිනාකා ගීත්මාලා සහ ලංකා ගුවන්විදුලිය ජනප්‍රිය වීමට විවිධ හේතු පදනම සපයන ලදී.  එක් මට්ටමක දී, මෙම සංසිද්ධිය පුදුමයට කරුණක් නොවූයේ 1950 දශකයේ මුල් භාගයේ සිට හින්දි භාෂා නිවේදකයින් ලංකා ගුවන්විදුලියේ හින්දි සේවයට බැඳී, එහි රාජකාරි  කිරීමට පුරුදු වී සිටි බැවිනි. අනෙක් අතට, මෙය යටත් විජිත යුගයේ සිට පැවත එන පුරුද්දක් වූ අතර, යටත් විජිත පුරවැසියන්ට අධිරාජ්‍යයේ ඕනෑම රටකට සහ විශේෂයෙන් කලාපයේ ඕනෑම තැනකට දුෂ්කරතාවයකින් තොරව බොහෝ විට ගමන් කළ හැකිව තිබුණි. මෙය පශ්චාත්-නිදහස් කාලය තුළ වුවද කළ හැකි වූයේ, පසුකාලීනව කලාපය තුළ මුල් බැසගත් ආකාරයේ සීමාකාරී ජාතිකවාදයන් ඒ වන විට ගැටලුකාරී ලෙසින් මතු වී නොතිබුණ නිසාය. එබැවින් දේශසීමා තරණය කිරීම සහ දේශසීමා හරහා ගොස් වෘත්තීය රාජකාරි කිරීම එතරම් ගැටළුවක් නොවීය. විශේෂයෙන්ම සංස්කෘතික ක්ෂේත්‍රය තුළ අද කෙනෙකුට අත්විඳිය හැකි ආකාරයේ ගැටළු හා සාංකා මේ යුගයේ එතරම් මතු වී නොතිබුණි.  එසේම, යටත් විජිත දකුණු ආසියාවේ පැරණිතම ගුවන්විදුලි මධ්‍යස්ථානය ලංකා ගුවන්විදුලිය වූ බැවින්, ඒ ඔස්සේ ශබ්ද කලා ක්ෂේත්‍රයට දායක වීමට බොහෝ කලාකරුවන්ට කැමැත්තක් තිබුණි. එසේ සහභාගී වූ බොහෝ දෙනා අතර, සුනිල් දත් ලංකා ගුවන්විදුලියේ හින්දි සේවයේ නිවේදකයෙක් වශයෙන් සේවය කළේය. පසුව, සුනිල් දත් බොම්බායේ සිනමා කර්මාන්තයට සම්බන්ධ වී ප්‍රසිද්ධ හින්දි සිනමා තරුවක් බවට පත්විය. වෙනත් වචන වලින් කිවහොත්, මෙවැනි සබදතා නිසා, ඉන්දියාවේ ශ්‍රාවකයින්ට  ලංකාවේ සිට ප්‍රචාරය කරන ලද හින්දි වැඩසටහන්වලට සවන්දීම තමන්ට දේශීයව හුරුපුරුදු ශබ්ධ රටාව සමග ගණුදෙනු කිරීමට බෙහෙවින් සමාන විය. මෙය එරට හින්දි භාෂා කලාපයට මෙන්ම අන්  භාෂා කලාපවලට ද එක සේ බලපෑ බව පැහැදිලිය. වඩාත් වැදගත් දෙය නම්, ඉහත සඳහන් කළ පරිදි, 1952 දී සමස්ත ඉන්දීය ගුවන්විදුලි සේවයේ ජනප්‍රිය හින්දි සිනමා ගීත තහනම් කළ විට, ලංකා ගුවන්විදුලිය එවන් තහනම් ගීත ශ්‍රවනය කළ හැකි වූ පහසුවෙන් ප්‍රවේශ විය හැකි එකම ගුවන්විදුලි සේවාව වීමය.  මේ සියල්ලට අමතරව, ඉන්දියාවේ විකුණනු ලබන විවිධ නිෂ්පාදන සඳහා වාණිජ ගීත ඛණ්ඩ ලංකා ගුවන්විදුලියෙන් නිෂ්පාදනය කිරීම මගින් ලංකා රජයේ සහ පසුව ශ්‍රී ලංකා රජයේ ආදායමට එකතු විය. අනෙක් අතට, ලංකා ගුවන්විදුලිය විසින් මීට පෙර කොටසෙහි සඳහන් කර ඇති පරිදි, එහි විශ්වීය ඉංග්‍රීසි භාෂා සේවය හරහා ලෝක සංගීතයෙන් කොටස් ඉන්දියානු ශ්‍රාවකයින්ට සපයන ලදී.

මෙනයින් බලන කළ, ලංකා ගුවන්විදුලියේ අන්තර්ජාතික වැදගත්කම විසින් දකුණු ආසියාවේ ජනප්‍රිය ශාබ්දික සිතියමක් සම්පාදනය කරන ලදී. ඉන්දියාව තුළ ලංකා ගුවන්විදුලිය බෙහෙවින් ජනප්‍රිය වීම සහ එමගින් ජනප්‍රිය හින්දි සිනමා ගීත ඉදිරිපත් කිරීම නිසා, සමස්ත ඉන්දීය ගුවන් විදුලි සේවය ඔස්සේ සිනමා ගීත ප්‍රචාරය තහනම් කරන්නට ගත් තීරණය පිළබඳ  නැවත සිතා බැලීමට අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරුගේ කැබිනට් මණ්ඩලයට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 1957 දී චිත්‍රපට ගීත නැවත ගුවන්ගත කිරීමට ඉන්දීය රජය තීරණය කළේය. එපමණක් නොව, කලින් ද සදහන් කළ පරිදි, සමස්ත ඉන්දීය ගුවන් විදුලි සේවය විවිධ් භාරතී යන විශේෂ සේවාව ආරම්භ කළ අතර, එය හින්දි සිනමා ගීත ප්‍රචාරය සඳහා කැප කරන ලදී.  පැහැදිලිවම එය ලංකා ගුවන්විදුලියෙන් එල්ල වූ  අභියෝගයට ප්‍රතිචාරයකි. මේ රචනයේ රචකයන් දෙදෙනාගෙන් එක් අයෙකු (දේව් නාත් පාඨක්), ඉන්දියාවේ උතුරු බිහාර් ප්‍රදේශයේ කුඩා පිටිසර නගරයක වැඩුන පිරිමි දැරුවෙකු ලෙස තම සිතට ඇතුළු වූ මතකයක් තවමත් ඔහුගේ සිතේ රැඳී ඇත. එනම්, දරුවෙකු වවශයෙන් වැඩෙන අවදියේදී ගුවන්විදුලියට සවන් දීම බෙහෙවින් වැදගත් හා සාමාන්‍ය අංගයක් විය. මෙසේ ශ්‍රවණය කළ විවිධ ගුවන්විදුලි වැඩසටහන් මධ්‍යයේ ලංකා ගුවන්විදුලියට සවන් දීම විශේෂයෙන් ම  වැදගත් විය. මෙහිදී වඩාත් වැදගත්ම දෙය නම්, මේ ලාංකේය නාලිකාව කිසි විටෙකත් ඉන්දියානු නොවන බවක් නොපෙන්වූ අතර, ලංකාව භෞමික වශයෙන් ඈත් වුවද ඉතා ආසන්නයේ කොතැනක හෝ පිහිටා ඇති තවත් ඉන්දීය නගරයක් මෙන් ශ්‍රාවකයින්ට දැනීමයි. පසුකාලීනව සමස්ත ඉන්දීය ගුවන්විදුලි සේවය හින්දි සිනමා ගීත නැවත ප්‍රචාරය කිරීම ආරම්භ කළ ද, ලංකා ගුවන්විදුලිය ඉන්දීය ශ්‍රාවකයන් අතර තවදුරටත් ජනප්‍රිය විය. මේ තත්ත්වය වෙනස් වූයේ පසු කාලීනව ආයතනයක් ලෙස එය  අභාවයට යාමෙන් පසුවය.

සමාප්ති සටහන්

ලංකා ගුවන්විදුලිය පිළිබඳ ඔහුගේ 2006 රචනයේ සම්බන්ධන් සිය සාකච්ඡාව ආරම්භ කරන්නේ, පහත දැක්වෙන නිරීක්ෂණ හා ප්‍රශ්න සමඟ ය: “කලකට පෙර සමස්ථ කලාපයේම ආදරය දිනා සිටි ලංකා ගුවන්විදුලිය දැන් මිලින වෙමින් පවතින මතකයකි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එහි නැතිවූ මහිමය නැවත ලබා ගත හැකිද? ”11 සම්බන්ධන්ගේ සිතුවිලි අපගේ රචනය නිමාවකට ගෙන ඒමට සුදුසු අවකාශය සපයන්නේය යන්න අපගේ විශ්වාශයයි. ලංකා ගුවන්විදුලිය සහ බිනාකා ගීත්මාලා මගින් දකුණු ආසියාවේ සහ විශේෂයෙන් ඉන්දියාවේ ශාබ්ධික අවකාශය තුළ ඉටුකළ පුරෝගාමී භූමිකාව කලින් කෙටියෙන් පැහැදිලි කළ පරිදි රැඩිකල් සංස්කෘතික හා තාක්‍ෂණික පරිවර්තන මගින් වර්ථමානය වන විට අභියෝගයට ලක්කර ඇති බවට සැකයක් නැත. මෙම සන්දර්භය තුළ, ලංකා ගුවන්විදුලිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව බවට පත්වීමේදී  සමකාලීන දකුණු ආසියානු ශාන්ධික අවකාශය තුළ එහි  අදාළත්වය මිලින වී ගොස් ඇත. එමෙන්ම,  1994 දී බිනාකා ගීත්මාලා ප්‍රචාරය ද අවසන් විය. කෙසේ වෙතත්, මේ මුල් කාලීන ආයතනික නව්‍යකරණ  පිළිබඳ මතකයන් සහ ඉතිහාසයන් ඔස්සේ තත්කාලීන දකුණු ආසියාවේ සාරවත් චින්තනයක් බිහිකිරීමට යම් දුරකට දායක විය හැක. මෙවන් මතකයන්ට ප්‍රභවය සපයන එක් මුලාශ්‍රයක් වන්නේ,  විශේෂයෙන් බිනාකා ගීත්මාලා වැඩසටහන්වල තෝරාගත් කොටස් කැසට් සහ එල්.පී. තැටි වශයෙන් ශේෂව පැවතීමය. මෙයින් ඇතැම් කොටස් දැන් අන්තර්ජාල අවකාශවල ද සුරක්ෂිතව තිබේ. මෙම පටිගත කරන ලද වැඩසටහන්වලට සවන්දෙන්නෙකුට එවක සිදු වූ දේ සිහිගන්වයි. එමගින් ශ්‍රාවකයින් තුළ අතීතය පිලිබඳ පවතින සාංකාමව  හැඟීම තීව්‍ර කරයි. වර්තමානය වන විටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හින්දි සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යන අතර,  ගීත ඉල්ලා ඉන්දියාවෙන් තවමත් ලිපි ලැබෙමින් පවතී. නමුත් අතීතයට වඩා වෙනස්ව, මෙම සේවාව දැන් 1970 ට පෙර නිෂ්පාදනය කරන ලද පැරණි ගීත වාදනය කරයි. එමෙන්ම  එහි ශ්‍රාවකයින්ගේ සාමාන්‍ය වයස අවුරුදු 50 ක් පමණ වේ. තරුණ තරුණියන් එහි මිලින වී ගොස් ඇති රසික සමුහය අතර නොපෙනේ.

පසු කාලිනව බිනාකා ගීත්මාලා මගින් ප්‍රචාරය කළ ගීත කැසට් පට ලෙස ප්‍රකාශයට පත් විය.

මෙම කෙටි ඉතිහාසය කරුණු ගණනාවක් හෙළි කරයි. මෙයින් එකක් නම්, ජනප්‍රිය සංගීතය ජන හා සම්භාව්‍ය වැනි සාම්ප්‍රදායික සංගීත ක්‍රමවලට තර්ජනයක් වන බවට පවතින සාමාන්‍ය පොදු සාංකාවයි. ජාතික රාජ්‍යය මෙන්ම මහජනතාවගේ ඇතැම් කොටස් ද ක්‍රියාත්මක වූයේ මෙම සාංකාව මත පදනම් වීමෙනි. කලින් සඳහන් කළ හින්දි සිනමා ගීත තහනම් කිරීම පිළිබඳ ඉන්දියානු උදාහරණයේ දී මෙන්, ඊනියා ‘අව්‍යාජ-සම්ප්‍රදායන්’ ආරක්ෂා කිරීමට උත්සාහ දරා ඇත්තේ මෙවන් සංස්කෘතික සාංකා නිසාය. දෙවැන්න ඉඟි කරන්නේ ගුවන්විදුලි කර්මාන්තයට මෙන්ම ලංකා රජයේ භාරකාරත්වය යටතේ පැවතිය ද, ලංකා ගුවන්විදුලිය වැනි නිර්මාණාත්මක ගුවන්විදුලි මධ්‍යස්ථානයකට කළ හැකි භූමිකාව පිලිබඳවය. එයින් පෙන්නුම් කළේ, ආධිපත්‍යධාරී හා සාම්ප්‍රදායික ජාතික දේශපාලනයට වඩා මජනයාගේ සිතැඟි වඩාත් වේගයෙන් හඳුනාගැනීමට ඊට තිබූ හැකියාවය. මෙය පැහැදිලිවම පෙන්නුම් කරන එක් අවස්තාවක් නම්, ලංකා ගුවන්විදුලිය සහ බිනාකා ගීත්මලා ද  ඇතුළුව  එහි වැඩසටහන් ලංකාවේ සහ ඉන්දියාවේ මෙන්ම වඩාත් සාමාන්‍ය වශයෙන් දකුණු ආසියාවේ අන් ප්‍රදේශවල ද ජනප්‍රිය වූ ආකාරයයි. තෙවන කාරණය වන්නේ,  ජනප්‍රිය සංගීතයට දේශසීමා හරහා ගමන් කිරීමට ඇති හැකියාව සහ එමගින් සැලකිය යුතු රසික සංඛ්‍යාවක් මේ සියලුම පළාත්වල බිහිකිරීමට ඇති හැකියාවයි. තවද, මේ ගතික නිසා නොයෙකුත් මට්ටමේ දේශීය සංස්කෘතික ප්‍රවණතා ප්‍රවර්ධනය කීරීමට මේ වැඩසටහන්වලට හැකි වීය. මේ කරණා ත්‍රිත්වය සමස්තයක්  ලෙස ගත් විට, ලංකා ගුවන්විදුලිය අතීතයේදී නියෝජනය කළ අන්තර්ජාතික  ඇඟවුම පැහැදිළිවම  පෙන්නුම් කරයි. ඒ ඔස්සේ ජාතික රාජ්‍යයන් විසින් ඉදිකරන ලද දේශ සීමා මෙන්ම මනස විසින් නොයෙකුත් පුද්ගලයින්ගේ සිත් තුළ ගොඩනැගා තිබුණු සීමා ද තරණය කරමින්, බෙහෙවින් ගතික දකුණු ආසියානු ශාබ්ධික අවකාශයක් නිර්මාණය කිරීමට ලංකා ගුවන්විදුලියට එවක තිබූ හැකියාව ද පැහැදිලි කරයි. ලංකා ගුවන්විදුලිය ලෝකයට මෙන්ම තමා වෙත ද විවර වූ කවුළුවක් විය. ලංකා ගුවන්විදුලියේ ඉතිහාසය, එමගින් ඉදිරිපත්කරන සූක්ෂ්මතා තුළින් වටහා ගත හැකි නම් , සමකාලීනව සංස්කෘතික දේශපාලනයේ නිරත වීමේදී සැලකිල්ලට ගත හැකි  අගනා පදනමක් සපයනු ඇත. නමුත් එසේ කිරීමේදී වර්තමානයේ පවත්නා තත්ත්ව, තත්කාලීන රුචි අරුචිකම් සහ දැනට ක්‍රියාත්මක වන පුළුල් දේශපාලනික ප්‍රවණතා ද සැලකිල්ලට ගතයුතු බව කොකිවමනාය.

පසු සටහන්

1. මේ රචනයේදී අප ‘ලංකා’ යන පදය යොදන්නේ මෙරට පූර්ව නිදහස් යුගය දැනවීමට සහ 1972 දී මෙරට නම නිලවශයෙන් වෙනස් කිරීමට පෙර යුගය දැනවීමටය. එමෙන්ම, අප ලංකා ගුවන්විදුලිය (Radio Ceylon) යන පද යොදන්නේ එම ආයතනය නිල වශයෙන් එලෙස හැඳින්වූ කාල වකවානු පිළිබඳ සාකච්ඡා  කරන විටය.  

2. මූලාශ්‍රය: https://www.thehindu.com/todays-paper/tp-features/tp-sundaymagazine/when-ceylon-ruled-the-airwaves/article3219259.ece

3. මූලාශ්‍රය: https://www.thehindu.com/todays-paper/tp-features/tp-sundaymagazine/when-ceylon-ruled-the-airwaves/article3219259.ece

4. මූලාශ්‍රය: https://www.thehindu.com/todays-paper/tp-features/tp-sundaymagazine/when-ceylon-ruled-the-airwaves/article3219259.ece

5. මූලාශ්‍රය: https://www.thehindu.com/todays-paper/tp-features/tp-sundaymagazine/when-ceylon-ruled-the-airwaves/article3219259.ece

6. මූලාශ්‍රය: https://www.thehindu.com/todays-paper/tp-features/tp-sundaymagazine/when-ceylon-ruled-the-airwaves/article3219259.ece

7. මූලාශ්‍රය: https://www.thehindu.com/todays-paper/tp-features/tp-sundaymagazine/when-ceylon-ruled-the-airwaves/article3219259.ece
8. මූලාශ්‍රය: https://www.thehindu.com/todays-paper/tp-features/tp-sundaymagazine/when-ceylon-ruled-the-airwaves/article3219259.ece

9. මූලාශ්‍රය: https://www.thehindu.com/todays-paper/tp-features/tp-sundaymagazine/when-ceylon-ruled-the-airwaves/article3219259.ece

10. මූලාශ්‍රය: https://www.thehindu.com/todays-paper/tp-features/tp-sundaymagazine/when-ceylon-ruled-the-airwaves/article3219259.ece

11. මූලාශ්‍රය: https://www.thehindu.com/todays-paper/tp-features/tp-sundaymagazine/when-ceylon-ruled-the-airwaves/article3219259.ece

(කතුවරුන් විසින් පුළුල් පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා මූලික අදහස් සංවිධානය කිරීම සඳහා කෙටුම්පත් කරන ලද මෙම රචනය මුලින් ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ශ්‍රී ලංකා රජයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද, 2020 පෙබරවාරි මාසයේ පළවූ ගුවන් විදුලි සමීක්ෂා 3 වන වෙළුමේය. එය සිංහලට පරිවර්තනය කිරීමට හා මෙහි පළකිරීමට අවසර දුන් එම වෙළුමේ සංස්කාරක මණ්ඩලයේ දර්ශන අශෝක කුමාරට පඨිත සංස්කාරක මණ්ඩලයේ ස්තූතිය හිමි වේ)

Leave a comment

This website uses cookies to improve your web experience.