Skip links

ලාංකේය නර්තනය තුළ ගොඩ නැගෙන ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදී පසුබිම සහ චන්න විජෙවර්ධනගේ නර්තන භාවිතය

~  පියුමි   වාසනා, සිරිසීවලී මහා විද්‍යායලය, පානදුර

(චායාරූප චන්න උපුලී නර්තනායතනයේ අනුග්‍රහයෙනි)

අද්‍යතන ශ්‍රී ලංකාව තුළ  ස්ථාපිතව ඇති පුරැශ-මූලික දෘශ්ටිවාදය සහ ධනවාදයේ  අවශ්‍යතාවයනට අනුව “ස්ත්‍රිය” සකස් කොට තිබේ. ස්ත්‍රී ශරීරය, ස්ත්‍රී පැවතුම්, ස්ත්‍රී ආකෘතිය, ස්ත්‍රිය කියවීම, ස්ත්‍රී සමාජ භාවය යන සියල්ල, පුරැෂ-මූලික දෘශ්ටිය සහ ධනවාදයේ යෙදවීම් මත තීරණය වී තිබේ. ලංකාව තුළ පැවත එන ස්ත්‍රී සමාජ භූමිකාව කර්මකාරකයක් (object) බවට පත් කිරිමට එයට හැකිවි තිබේ. ධනවාදී පාරිභෝජන ක්‍රමය තුළ ස්ත්‍රිය හා ස්ත්‍රී ශරීරය ශෲංගාර-පූර්ණ වස්තුවක් ලෙස හා පාරිභෝගික කර්මකාරකයක් ලෙස ගොඩ නංවා ඇති අතර, එය පුරැශ මූලයේ සංතෘප්තිය උදෙසා ක්‍රියාත්මක වෙයි. ස්ත්‍රිය යනු කවුද යන පොදු සාමාජීය කියැවීම ,අව්ඥාණිකවම පුර්ෂ-මූලික දෘශ්ටිය හා පරිභෝජන ක්‍රියාවලියට අනුරෑප වෙමින්, සමාජගත ව්‍යාවහාරයක් ,බවට පත්ව තිබේ. ස්ත්‍රිය පිළිබද සෞන්දර්‍ය, ස්ත්‍රී අනුරාගය, ස්ත්‍රී ප්‍රේමය, ආදරය, ස්ත්‍රියගෙ පැවත්ම, ස්ත්‍රියගෙ සිතුවිලි ස්වභාව, ඇයගේ චින්තන පරාසය සහ පැවැත්ම, ස්ත්‍රියගේ භාෂාව, ස්ත්‍රියගේ අයිතිය, ස්ත්‍රියගේ ජීවන විලාසය යන සමස්තයම පුරැෂමූලිකත්වය හරහා නිර්මාණය කොට, සම්මත කළ ආකෘතීන් සහ සංකේතික වටිනාකම් වන අතර, ගැහැනු මනුස්සයා මත පුරැෂ ඇස විසින් ගොඩ නගනු ලබන ස්ත්‍රීත්වයක් ආරෝපණය වී තිබේ. සැබැවින්ම, එම ගොඩනැංවිම නොමැති විට ස්ත්‍රිය හා ස්ත්‍රීත්වය නොපවතින තරම්ය. ඇය පුරැෂ ඇසෙහි සංකල්යපී  ප්‍රතිඵලයකි.

1977න් පසු මෙරට ව්‍යාප්ත වූ විවෘත ආර්තික ක්‍රියාවලිය සමග සියලුම භන්ඩ, සේවා හා කලා නිශ්පාදනයන්ට වෙළද අගයන් නියම වු අතර, ස්ත්‍රිය ද වෙළද පාරිභොජන උත්ප්‍රේරකයක් ලෙස මෙන්ම පුරැෂ-මූලික සාහිත්‍ය, සංගීත, නර්තන කලා නිශ්පාදනයන් තුළ කර්මකාරකය බවට  පත්ව තිබේ. නැතිනම්බො, හෝ කලා නිර්මාණ හරහා විස්තර කරන ස්ත්‍රිය, පුරැෂ ඇස ප්‍රිය කරන හා පුරැෂ සංතෘප්තිය නියෝජනය කරන කර්මකය (object ) බවට පත් වී ඇත. පරමාදර්ශී ස්ත්‍රිය, පරමාදර්ශි මව, දියණිය, පෙම්වතිය, සොයුරිය, ගුරැවරිය ආදී සංකේතමය වටිනාකම් නිර්මාණය කෙරෙන්නේ ද සුන්දරත්වය, යහපත් බව, බුද්ධිය ආදී ගුණාත්මක වටිනාකම් පිළිබද මිනුම්දඩු සැකසෙන්දනේ ද මෙම පිරිමි ඇසේ තෘප්ත අවශ්‍යතාවය හරහාය. මේ හරහා ගොඩනැගෙන ප්‍රබලතම ඛෙදවාචකය වන්නේ ගැහැනියට තම ස්වභාවික ජෛවීය සැකැස්ම හා මානවීයභාවය අභිබවා ඉහත කී සංස්කෘතිකමය කර්මකාරකය බවට පත්මවීට සිදුවීමත්, ඒ හරහා ඇයගේ ශක්‍යතා පාලනය වීමත් ය.

1990 දශකයේ පමණ සිට රූපවාහිනී මාධ්‍ය හා අනෙකුත් ජනමාධ්‍ය ජනප්‍රිය වීමත්, අද්‍යතනය වන විට එය වඩා පුළුල් හා සංකීර්ණ ලෙස ව්‍යාප්ත වීමත් නිසා කලාව හා ධනවාදය  අතර ඇති  සහසම්බන්ධතාව වඩා තීව්‍ර කළ අතර, ලාංකේය නර්තනය ධනවාදී පරිභෝජන ඉලක්ක සදහා නිර්මාණය වීමද ආරම්ඹ වේ. මෙය සමස්තයක් ලෙස ගොඩ නැගෙන්නේ  පුරැෂ කෙන්ද්‍රීය ඇස හරහා බව පැහැදිලි වෙයි. නර්තනය හා නර්තන ශිල්පිනිය යන භූමිකා ඉතා ප්‍රභල ලෙස වෙනස් වන්නේ හා ව්‍යාප්තවන්නේ මෙම පුරැෂ-මුලික පරිභෝජන දෘශ්ටිවාදයන්ට අනුගත වෙමිනි. ලාංකේය නර්තනය 80 දශකයේ සිට පැහැදිලිවම ධනවාදී ආකෘතිය තුළ ප්‍රතිනිශ්පාදනය වන අතර, නර්තන ශිල්පිනියද පුරැෂ-මූලික ඇස නියෝජනය කරමින් ප්‍රතිනිශ්පාදනය වෙයි. මෙම නර්තන ප්‍රතිනිශ්පාදනයේ ප්‍රධාන හැරවුම් ලක්ෂය  වන්නේ චන්න විජේවර්ධන ය.

චන්න විජෙවර්ධන ලාංකේය ප්‍රාසංගික නර්තනයේ  ප්‍රධාන හැරවුම් ලක්ෂය වනවා මෙන්ම, යුගය නියෝජනය කළ දෘශ්ටිවාදයන්ගේ නර්තනමය භාවිතය ලෙසද හැදින්විය හැකිය. ඔහුගේ නර්තන විලාසය සහ නර්තන ශිල්පිනිය නැමති භූමිකාව මෙරටට අවශ්‍ය පුරැෂ-මූලික ධනවාදි වෙළද පොළෙහි අවශ්‍යතව ඉතා මැනවින් පුර්ණ කරන ලදී. ඉතා සියුම්ව යුගය කියවා ගත් නර්තන වේදියෙකු ලෙස ඉදිරියෙන්ම සිටීමට ඔහු සමත් වන්නේ එබැවිනි. ඔහු යුගය තුළ ක්‍රියාත්මක ස්ත්‍රිය පිළිබද දෘශ්ටිවාදයට අනුගත නර්තන ප්‍රතිනිශ්පාදනය ඉතාම නිවැරදි තැනකින් ග්‍රහණය කොට ගත්තේය. ඔහු ලාංකේය පුරැෂ-මූලික ආශයෙහි නිලය සූක්ෂමව ස්පර්ෂ කළ එයින්, ඔහු එහි කේන්ද්‍රිය ලක්ෂයක්ම වන්නේය.  මෙහිලා එම ගොඩ නැංවීම කියවීමේදී පහත සදහන් තේමා විමසිය යුතුය:

  • ශරීරය හා නර්තනය සම්බන්ද තාක්ෂණවේදයේ එතෙක් පැවති චිත්‍රසේනගේ නිර්මාණ  ක්‍රියාවලිය එහිම දිගුවක් ලෙස කාලීන තත්ව අනුව ප්‍රතිනිෂ්පාදනය කිරීම.
  • කාන්තා නර්තනය තුළ චලන ගොඩ නැගීම, හැසිරවීම, භාවමය යෙදවීම්පො යනාදිය පොදු සමාජයේ පුරැෂ-මූලික දෘශ්ටිවාදයන්ට අනුගත කරවිම.
  • අතීතය ශ්‍රේෂ්ටය යන දෘශ්ටිවාදය මත පිහිටා තිබූ  පුරැෂ-මූලික නොස්ටැල්ජියානු ආකෘතිය මත නර්තන ආකෘතිය ගොඩ නැංවීම
  • ස්ත්‍රිය යතාර්ථයෙන් ගලවා ඇය මත දිව්‍යමය තත්වයක් ආරෝපණය කරමින්, පුරැෂ ෆැන්ටසික ස්ත්‍රිත්වයක් ගොඩ නැගීම.
  • ගැහැණිය සුන්දර හා ගූඪ වස්තුවක් බවට පත් කිරීම.
  • ගැහැණු නර්තන විලාසය හා නර්තන ශිල්පිනිය යන අකෘති සදහා මිනුම් දඩු නිර්මාණය කිරීම සහ නර්තන ශිල්පිනිය යනු කව්දැයි යන්න නිර්වචනය කිරීම හා එය දෘශ්ටිවාදයක් ලෙස සමාජගත කිරීම.
  • ස්ත්‍රී නර්තන ශිල්පිනිය, ශාරීරික හා මනෝමය වශයෙන් පුරැෂ පාරිභෝජන ෆැන්ටසියට යටත් කොට, ඉතා මුදු සියුමැලි වසගයක ආකාරයෙන් නිර්මාණය කිරීම.
  • පුරැෂ-මූලික සමාජය තුළ ගොඩ නැගුණු පරමාදර්ශී ස්ත්‍රිය පිළිබද ෆැන්ටසිය තම නර්තන ව්‍යවහාරය තුළ ගොඩනගමින්,  එය සමස්ත ලාංකේය කාන්තා නර්තනය හා නර්තන ශිල්පිනිය සම්බන්ද පරමාදර්ශය බවට පත්කිරිමේ දෘශ්ටිවාදී ක්‍රියාවලිය සාක්ෂාත් කිරීම.
  • වේදිකාව මත නර්තන ශිල්පිනිය පුරැෂ-මූල ඇසෙහි පිනවීමට යටත් කර්මකාරකය බවට පත් කිරීම.

මේ දෘශ්ටිවාදි හැසිරවීම් හරහා පුරැෂ-මූලික සමාජක්‍රමයක් තුළ විකුණුම් අගයක් දිය හැකි ස්ත්‍රිය හා ස්ත්‍රී නර්තනය ප්‍රතිනිශ්පාදනය කිරිමේ ක්‍රියාවලිය හදුනා ගතහැකිය ( 80-90 දශක සිට මෙ දක්වා).  අද වන විට ගොඩ නැගී තිබෙන ධනවදයේ විවිධ ස්වරෑප මත අනුගත වෙමින්, ස්ත්‍රිය හා ස්ත්‍රී චලනය හැසිරවීමත්, එය සමස්ත ලාංකේය නර්තනයේ  දෘශ්‍ටිවාදී සෙවනැල්ල ලෙස පවත්වාගෙන යාමටත් ඔහු සමත්ව තිබේ. ඔහු තම රසය, ආශය හා දෘශ්ටිය සමස්ත ලංකේය නර්තන ක්‍රියාවලියේම රසය, ආශය හා දෘශ්ටිය බවට පත්කළ නර්තනවේදියා වෙයි. අවිඥානිකව බහුතර ලාංකේය ප්‍රෙක්ෂක ඇස ද එයට අනුගතව ගොඩ නැගි තිබේ. ඊට සමස්ත පුරැෂ-මූලික සමාජය තුළ ක්‍රියාත්මක ස්ත්‍රිය හා බැදි දෘශ්ටිවාදයද සෘජුව හේතු වෙයි.

අද වන විට සමස්ත ලාංකේය නර්තන ක්ශෙත්‍රයම ස්ත්‍රී නර්තනය හා නර්තන ශිල්පිනිය කවුරැන්ද යන පැනයට පිළිතුරැ සපයන්නේ චන්න විජෙවර්ධන විසින් ගොඩනගන ලද ‘නර්තන ස්ත්‍රිය’ පරමාදර්ශකොට නොවේද?

ඒ හරහා, සැබෑ ස්ත්‍රියට, වඩාත් තත්‍ය ස්ත්‍රී ප්‍රකාශනයනට හා සැබෑ ස්ත්‍රී චලනයට කෙතරම් සීමා පැනවී තිබේද, කෙතරම් ආකෘතිගත සීමිත පරිසරයක ප්‍රකාශන දිග හැරීමට නර්තන ශිල්පිනියට බල කොට තිබේද යන්න පැහැදිලි කරගත හැක.

නර්තන ශිල්පිනිය හෝ ස්ත්‍රි නර්තනය යනු සෞන්දර්‍යාත්මක රසය පමණක් සදහා අවශ්‍ය කර්මකයද? හුදෙක්, ඇය දෙස බලා සතුටු වීම පමණක් පොහොසත් නර්තන සංස්කෘතියකට සෑහෙද? නැත.

අද්‍යතනය වන විට නර්තනය තුළ ස්ත්‍රිය මෙම පරාමිතිකය ඉක්මවිය යුතුය. ඇය ‘සැබෑ ඇය’ විය යුතුය. ඊට ඇයට අයිතිය තිබේ. ඇය වේදිකාව මත ඇස පිනවන සෞන්දර්‍ය වස්තුවක්  පමණක් විය යුතු ද? සැබැ අද්‍යතන ස්ත්‍රියගෙ ප්‍රකාශන වුවමනාව එතරම් සරළව ස්ථාන ගත විය යුතුද?

සුන්දර ස්ත්‍රිත්වය සම්බන්ද හා පරමාදර්ශි ස්ත්‍රිත්වය සම්බන්ද පිරිමි ආශයන් ගෙන් වියුක්ත වූ යතාවාදී  ප්‍රකාශනයක්  සදහා ඇයට අයිතිය තිබිය යුතුය. එම ප්‍රකාශනය කියවා ගැනීමට සූදානම් ප්‍රෙක්ශක ප්‍රජාවක් සිටිය යුතුය. පුරැෂ මූලිකයෙන් ඉක්මවී තම සැබෑව, තම අවශ්‍යතාව, තම අනන්‍යතාව, තම මානුශිය භාවය, තමන්ගේ කර්තෘ භාවය සමාජයට ගෙනයන නර්තන කලාවක් වෙනුවෙන් ඇය වැඩ කළ යුතු කාළය එළැබෙමින් තිබේ. නර්තනය තුළ ස්ත්‍රිය සතු සමස්ත විභවය පුපුරා හළ යුතු කාලය එළැඹ තිබේ. තම ශරීරය හා භාවයන් පුරැශ මූලික දෘශ්‍ටිවාදයේ අත් අඩංගුවට පත් ප්‍රෙක්ශකාගාරයක ඇස පිනවීමට නොව, කතාකිරීමට, හඩනැගීමට, මුදා හැරිමට, අභියෝග කිරීමට, පුපුරවා හැරිමට කාලය එලැබ තිබේ. නැවතත් ලාංකේය නර්තනයට හැරවුම් ලක්ෂයක් ඇවැසි යුගය එළැඹී තිබේ.

(කතුවරිය නර්තන ගුරැවරියක් හා වෘත්තිය රංග රචනා ශිල්පිනියක් වශයෙන් කටයුතු කරයි. ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා ශාස්ත්‍රවේදි උපාධි දාරිනියක් මෙන්ම කැළණිය  විශ්වවිද්‍යාලයේ නර්තනය පිළිබද ශාස්ත්‍රපති උපාධිදාරිනියක් ද වේ. මීට අමතරව, ඇය නාවල  විවෘත විශ්වවිද්‍යාලයේ  අධ්‍යාපනවේදය පිළිබද පශ්චාත් උපාධිදාරිනියක්ද වේ)

Leave a comment

This website uses cookies to improve your web experience.