Skip links

ලාංකීය කම්කරු ව්‍යාපාරය හා එහි සිංහල බෞද්ධ ඉතිහාසය

~ ඉෂංඛා සිංහආරච්චි 

“පළමුව ඔබ මනුෂ්‍ය වර්ගයට අයත්ය. දෙවනුවයි ඔබ  කම්කරුවෙකු වන්නේ. තුන් වෙනුවයි ඔබ  CMU සාමාජිකයෙක්  හා වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වෙන්නේ.”  මේ ලාංකීය කම්කරු පංති  ව්‍යාපාරයේ  අසහාය නියමුවෙකු  ලෙස සැළකෙන බාලා තම්පෝ සහෝදරයා විසින් අත් නොහැර රැකගත් මූලධර්මයකි. කම්කරු ව්‍යාපාරයේ ඔහු නියැළුණු සමයේ දී එම ව්‍යාපාරය වෙළාගෙන තිබුණු ජාති සහ ආගම්වාදයෙන්  කම්කරුවා මුදා  ගැනීමට ඔහු දැරූ පරිශ්‍රමය එතරම් සාර්ථක වී නොමැති බව සමස්ත වෘත්තීය  සමිති ව්‍යාපාරය මෙන්ම  ඔහුගේ අනුගාමිකයින් බොහෝ දෙනා ගැන ද විමසිලිමත් වීමේ දී මනාව පැහැදිලිවේ.  බහුතර සිංහල බෞද්ධ ජාතිවාදය විසින් කම්කරු ව්‍යාපාරය මේ ආකාරයෙන් වෙළාගෙන සිටීම සම්බන්ධයෙන් බොහෝ වෘත්තීය සමිති හා ඒවායේ  නායකයෝ වගකිව යුත්තෝ වෙති. වෘත්තීය සමිති ව්‍යාපාරය තුලින් මේ අධිපති මතවාදය හරණය කිරීම වෙනුවෙන් වූ පැහැදිලි අදහසක් හෝ වැඩපිළිවෙලක් මෙකී නායකයන්ට නොමැත. කෙසේ වෙතත්, ජාති හා ආගම්වාදය කම්කරු ව්‍යාපාරය වෙත කිඳා බැසීම ආරම්භ වූයේ,  එහි  ආරම්භක අවදියෙන් කෙටි කලකට පසුවය. කම්කරු ව්‍යාපාරය පිළිබඳ කීර්තිමත් පර්යේශිකාවක් වූ කුමාරි ජයවර්ධන සිය ලේඛණ මගින් පෙන්වා දෙන්නේ, බහුතර සිංහල බෞද්ධ අධිපති මතවාදය කම්කරු ව්‍යාපාරය තුලට කාන්දු වූයේ 1930 දශකයේ දී  පමණ සිට බවය:

“19 වන සියවසේ පටන් ඇති වූ ලාංකික කම්කරු පන්තිය විවිධ ජාතීන්ගෙන් හා විවිධ ආගමිකයන්ගෙන් සැදුණක් විය. සිංහල, දෙමළ, ඉන්දියානු දෙමළ, මලයාලි, මරක්කල, ලංසි ආදීන් එයට  ඇතුලත් වූහ. 1890 සිට 1930 දක්වා කාලය තුළ මේ වෙනස්කම් ඉක්මවා යමින් කම්කරුවන් වශයෙන් එකමුතු වීමට පන්තිමය විඥානයකින් යුතුව ක්‍රියා කිරීමට ඔව්හු සමත් වූහ. 1893 මුද්‍රණ කම්කරුවන්ගේ, 1906 කරත්තකරුවන්ගේ සහ 1912  දුම්රිය සේවකයන්ගේ  වැඩ වර්ජනවලදී කම්කරුවෝ ජාති භේදයෙන් තොරව එකමුතුව සටන් කළෝය. දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම් සාධාරණ බව ප්‍රකාශ කළවුන් අතර පොන්නම්බලම්  අරුණාචලම් ප්‍රමුඛ තැනක්  ගත්තේය.  ඒ.ඊ. ගුණසිංහ සහභාගී වූ ලංකා කම්කරු සංගමයේ නායකත්වයෙන් කරන ලද 1922 මහා වර්ජනයේදී ද, 1927 වරාය වැඩ වර්ජනයේදී ද කම්කරු පන්තියේ එකමුතු බව ප්‍රදර්ශනය විය. ඒ සංගමයේ උප සභාපතිව සිටියේ නඩේස අයියාර් ය. කුමන ජාතියේ වුව ද කම්කරුවන් පංතිමය පදනමක් යටතේ සංවිධානය කිරීම ගුණසිංහගේ ශක්තිය විය. එහෙත් 1930 න් පසු කාලයේදී මේ සමගිය පලුදු විය. කම්කරු පංතිය ද ජාතිවාදයට  ගොදුරු විය” (ජයවර්ධන2000: 67).

මලයාලි විරෝධය හා වතු කම්කරු දඩයම

මේ දශකය තුල ජාත්‍යන්තර මට්ටමින් ආර්ථික කඩාවැටීමක් ඇතිවිය. එහි ප්‍රතිපලයක් ලෙස, පුද්ගලික අංශයේ  පමණක්  නොව, රාජ්‍ය  අංශයේ ද  කම්කරුවන් විශාල  සංඛ්‍යාවක් සිය  රැකියාවන්ගෙන් එළියට දැමිණි. රැකියා ලබා ගැනීම දුෂ්කර වූ අතර, රැකියා වියුක්තියට හේතුව ලෝක ආර්ථික අවපාතය බව සිය සාමාජිකත්වය දැනුවත් කරන්නට වෘත්තීය සමිති නායකයෝ මැලි වුහ. ඒ වෙනුවට සිය සාමාජිකත්වයෙන් බහුතරය වූ සිංහල කම්කරුවන් රැක ගැනීම වෙනුවෙන් අනෙකුත් කම්කරුවන්ට එරෙහි ව්‍යාපාරයක් දියත් කළේය.  මේ තත්ත්වය කුමාරි ජයවර්ධන විස්තර කර ඇත්තේ මෙසේය:

“මේ වන විට වරායේ  හා දුම්රියේ  මෙන්ම මෙහෙකරුවන් හා සුළු වෙළඳුන් මෙන්  සේවය කළ මලයාලින් 30000 ක්  පමණ කොළඹ  නගරයේ සිටියහ. ගුණසිංහ මහතාගේ වෘත්තීය සමිතියේ ප්‍රකාශනය වූ  ‘වීරයා’ පත්‍රය  සිංහලයන්ගේ පරිහානියට වග කිව යුත්තේ  “සුද්දන් , මරක්කලයන්, හම්බයන්, බෝරාවරුන් හා මලයාලින් යැයි කීවේය. මලයාලින්  අඩු වේතන සඳහා වැඩ කරමින් සිංහලයන්ගේ රැකියා උදුරා ගන්නා බව ගුණසිංහ  1931 දී කිවේය. 1933 මැයි දින පෙළපාලියේදී මලයාලි විරෝධී සටන් පාඨ ඉදිරිපත් කෙරිණි. මලයාලින් වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ද අරඹන ලදී. මලයාලි ජාතිකයෝ කොළඹ දී බොහෝ පහර දීම්වලට ගොදුරු වූහ. සිංහල ස්ත්‍රීන් තියා ගැනීමෙන් සිංහල ජාතිය දුෂණය  කරන්නේ යැයි  ද  මලයාලින්ට චෝදනා නගනලදී” ( 2000: 67-68).

මෙහිදී ලංකා සමසමාජ පක්‍ෂය පමණක් මලයාලි කම්කරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට විය. ගුණසිංහ ඔහුන්ට ද සිය  පුවත්පත හරහා පහර දෙන්නට විය. උදාහරණයක් ලෙස වීරයා පුවත්පතේ පළවූ පහත සඳහන් අදහස සලකා බැලිය හැක: “අහෝ!  මේ ශ්‍රේෂ්ඨ ප්‍රෞඩ ජාතියට මේ කොමියුනිස්ට්කාරයන් කරන්නේ කුමක්ද? සමසමාජකාරයන් නිසා ….. මලයාලින් නිසා සිංහල දුප්පතා බඩගින්නේ නැසී යා යුතු වෙයි” (වීරයාපුවත්පත, 1936 මාර්තු 31). කුමාරි ජයවර්ධන අවධාරණය කරනුයේ, ලංකා සමසමාජ පක්‍ෂය මේ ස්ථාවරය ගත්තත්, සිංහල කම්කරුවන්ගෙන් වැඩි දෙනා ජාතිවාදී දෘෂ්ටියට අවනත වූ බවය. දේශයේ අයිතිය සහ එහි රැකියාවන්හි නියුතුවීමේ අයිතිය සිංහලයන්ට පමණක්ම සීමා විය යුතුය යන විඥාණය ඔවුන් ද පිලිගත්තෝය. මේ අයුරින්ම, වතු කම්කරු ජනයාට එරෙහිව ද මෙම වෘත්තීය සමිති නායකයෝ ජාතිවාදය මුදා හරින්නට වුහ.1928 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ විවාදයට භාජනය වූ කරුණු අතර විශේෂයෙන්ම විවේචනයට ලක්වුයේ ඉන්දියානු වතු කම්කරුවන්ට ඡන්ද බලය ලැබීමයි. එහිදී ඩී.එස්  සේනානායක මෙසේ කීය: “ඉන්දියානුවන්ට විශාල  රටක් තිබේ … අපට තියෙන්නේ මේ කුඩා දිවයින පමණයි …මේ රට අපටම තියා ගන්න ඕනෑ.” ඉන්දියානුවන්ට ජන්දය දුන්නොත්  “ස්ථිර ජනගහණය” ඔවුන්ට යටපත් වේ  යැයි සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර ද කිවේය. 1931 වන විට, යම් යම් සීමාවන්ට යටත්ව වතු කම්කරුවන්ට ද සර්ව-ජන ඡන්ද බලය ලැබිණි. 1931 සහ 1936 මැතිවරණයන්හි වතු කම්කරුවෝ ආසන දෙකක් දිනා ගත් අතර, 1947 දී එය ආසන 7 දක්වා වර්ධනය විය. වතු කම්කරුවන්ගේ සහාය ඇතිව වාමාංශික පක්ෂ විසින් මන්ත්‍රී ආසන 14 ක් දිනා ගැනීමට සමත් විය. මේ ජයග්‍රහණ ආපසු හැරවීම සඳහා 1948 දී නිදහස ලැබීමෙන් පසුව,  වතු කම්කරු ජනයාගේ  පුරවැසි භාවය හා  ඡන්ද  අයිතිය  අහිමි කරනු ලැබීය: “මේ  ප්‍රශ්න සම්බන්ධ  විවාදවලදී  සිංහල  බෞද්ධ  විඥානය මොනවට ප්‍රදර්ශනය විය. ඉන්දියානු කම්කරුවන් දුප්පත්, අශිෂ්ඨ, කිලිටි, දුසිරිතෙහි ගැලී සිටින, අඥාන, කුලහීන විදේශිකයන් බවත්, ඔවුන්ට ජන්ද බලය නොදිය යුතු බවත් පවසන ලදී. මේ රටේ උපන් අයගේ අයිතීන් සුරැකීම සඳහා ජාතිවාදී වීමට වුවත් සුදානම් බව ගුණසිංහ පැවසීය” (ජයවර්ධන 2000: 68-69).  

1950 හා 1960 දශකවල  නේරු – කොතලාවල  හා  සිරිමා – ශාස්ත්‍රී  ගිවිසුම්  ඔස්සේ ද   වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය  සම්බන්ධයෙන්  විටින් විට  ප්‍රශ්න මතු වන්නට විය. 1956 දී   මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව පිහිටුවීමට දායක වූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන කණ්ඩායම් ඇතුළත් වූ පංච මහා බලවේගය ලාංකීය කම්කරු පංතිය ජාතිවාදය කරා ගෙනයාමට විශාල පිටුබලයක් විය. ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රබල නායකයෙකු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ද වූ පිලිප් ගුණවර්ධන ද විප්ලවකාරී සමසමාජය ලෙසින් එම පෙරමුණ නියෝජනය කළේය. සිංහල රාජ්‍ය භාෂාව කරමින්, ලෝක කම්කරු දිනය රජයේ නිවාඩු දිනයක් කරමින්, වෘත්තීය සමිති පිහිටුවීමේදී එතෙක් ක්‍රියාත්මක නීති රීති වෙනස් කරමින් උපරිම සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමිතියක් පිහිටුවීමේ අවකාශය විවර කෙරිණි. ඒ සමගම සෑම දේශපාලන පක්ෂයක්ම වෘත්තීය සමිති පිහිටුවන්නට විය. එතැන් පටන්, එම වෘත්තීය සමිති නියෝජනය කළ කම්කරුවන් ක්‍රියා කෙළේ  තම වෘත්තීය සමිති හා සම්බන්ධිත දේශපාලන පක්ෂය නියෝජනය කළ  ජාතිවාදී මත අනුවය.

කම්කරු පන්තිය නියෝජනය කළ ලංකා සමසමාජ පක්‍ෂය නිතරඟ ගිවිසුම් මගින් බණ්ඩාරනායකට සිය සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගය ශක්තිමත් කිරීමට අවස්තාව ලබා දීම එදා සම සමාජ නායකයන් කරන ලද බලවත් වැරද්දක් බව 1953 හර්තාලයේ නියමුවෙකු වූ රෙජිනෝල්ඩ් මෙන්ඩිස් පෙන්වා දෙයි. එමෙන්ම හර්තාලයට බණ්ඩාරනායකගේ සහයෝගයක් පළ නොකළ ද එහි සියළුම වාසි අත්පත් කර ගනිමින් 1956 දී ජය ලැබීමට බණ්ඩාරනායක සමත් විය. මේ තත්ත්වය රෙජිනෝල්ඩ් මෙන්ඩිස් විස්තර කර ඇත්තේ  මෙසේය: “හර්තාලය ගැන ජනතාව දැනුවත් කරමින් රටපුරා පවත්වනු ලැබූ රැස්වීම් මාලාවේ අවසන් රැළිය පැවැත්වුනේ ගෝල්ෆේස් පිටියේදීය. බණ්ඩාරනායකට මෙම රැස්වීමේ මුලසුන ලැබුනේ සැමී නමැති කම්කරුවාගේ නොහික්මුණු ක්‍රියාවක් හේතුවෙනි. කම්කරුවන් විශාල පිරිසක් සමඟ පාර්ලිමේන්තුවට ඇතුල්වූ සැමී, බණ්ඩාරනායක  පාර්ලිමේන්තු භුමියේ සිටිනු දැක බලෙන්ම ඔහුව රැස්වීම් භූමියට කැඳවා ගෙන ආ අතර  කිසිම විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නට ඔහුට හැකි නොවීය. මේ ගැන කිසිවක් නොදැන සිටි ඇන්.ඇම්  මූලාසනය බණ්ඩාරනායකට පිරිනැමීය” (හිරු මාසික සඟරාව  1996 අගෝස්තු).

පිලිප් ගුණවර්ධනගේ පක්ෂයට අයත් ඉඩම් හා  වාරිමාර්ග  වෘත්තීය සමිතිවල ඇතැම්  කම්කරුවෝ  ගල්ඔය ජනපදය  ලෙයින් තෙත් කළහ. මුදා හැරුණු ප්‍රචණ්ඩත්වය හමුවේ එම ජනපදයේ විසූ දෙමළ ජනපදිකයන් 150ක පමණ පිරිසක් මරා දැමිණි. මේ තත්ත්වය දේශපාලන විද්‍යාව පිලිබඳ ඇමෙරිකානු මහාචාර්ය ඩොනල්ඩ්  එල්  හොරොවිට්ස් විස්තර කර ඇත්තේ මෙසේය: “1956 ගල්ඔය ජනපදයේ ප්‍රචණ්ඩක්‍රියාවන්ට ජලාපවාහන හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කම්කරු පිරිස් සහභාගී වී තිබේ. ජානපදිකයන් බොහෝ දෙනා ඉඩම් ඇමතිවරයා (සී.පී. ද සිල්වා) ට  පක්ෂපාතීව සිටි අතර, ඔවුන්ගෙන් බහුතරයක්ම ඔහු අයත් සලාගම කුල ප්‍රජාවට අයත් වූ අය වූහ. වාරිමාර්ග කම්කරුවන්ගෙන් බහුතරයක් කෘෂිකර්ම ඇමතිවරයා (පිලිප් ගුණවර්ධන) ට පක්ෂපාතීත්වයක් දක්වන ලද්දේ, ඔවුන් බොහෝ දෙනකු ඔහුගේ නායකත්වයෙන් යුතු දේශපාලන පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතිය හා සම්බන්ධව සිටි හෙයිනි” (හොරොවිට්ස් 2001: 239).

1958 දී දෙමළ ජනයාට එරෙහිව මුදාහල සාහසික ප්‍රචණ්ඩත්වයේ  පෙරමුණ ගත්තේ ද  මේ  ජාතිවාදයෙන්  ඔද්දල් වූ සිංහල කම්කරු බලවේගයන්ය. ඉඩම් සංවර්ධන හා වාරිමාර්ග දෙපාර්තමෙන්තුවලට අයත් කම්කරුවෝ චෙඩ්ඩිකුලම් හා පදවියේදී දෙමළ ජනපදිකයන්ට එරෙහිවත්, පොළොන්නරුවේදී හා හිඟුරක්ගොඩ දී  ගොවිපොළ හා උක් නිෂ්පාදනයේ නිරත වූ දෙමළ කම්කරුවන්ට  එරෙහිවත් මෙසේ සිය  ප්‍රචණ්ඩත්වය මුදාහලෝය.

“ඩඩ්ලිගේ බඩේ මසල වඩේ”

1960 දශකයේදී සමසමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ සිංහල බෞද්ධ මතවාදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධාන ගත වීමත් සමගින් ඔවුන්ට අයත් වෘත්තීය සමිති කම්කරුවෝ ද ඒ මගම යන්නට විය. මෙවන් සන්ධානයන්ට එරෙහි වූ එම පක්‍ෂ දෙකටම අයත් රැඩිකල් කොටස් ඉන් බිඳී, වෙනත් පක්‍ෂ හා කණ්ඩායම් ලෙස ක්‍රියාත්මක වුව ද ඔවුන්ට එතරම් දුරක් ගමන් කළ නොහැකි විය. අධිපති මතවාද ජය ලැබීය. මෙසේ ජාතිවාදයෙන් සන්නද්ධවූ කම්කරු කොටස්  “ඩඩ්ලිගේ  බඩේ මසල වඩේ” යන සටන් පාඨය කියමින් ඩඩ්ලි – චෙල්වනායගම්   ගිවිසුමට එරෙහිව  පෙළපාලි ගියහ. පසුව 1972 දී නව ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරමින්, මෙම කම්කරු නායකයෝ ඒකීයතත්වයත්, බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් ව්‍යවස්ථා ගත කළේ, ෆෙඩරල් පක්‍ෂය විසින් ඉදිරිපත් කෙරුණු යෝජනා සියල්ලම සැළකිල්ලට නොගෙනම  ඉවත දමමින්ය. මෙම ක්‍රියා කලාප කම්කරු ව්‍යාපාරය තවදුරටත් ජාතිවාදී ගොහොරුවේ ගිල්වන්නට මග සකස් කිරීමක් විය.

සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ධනේශ්වර ආණ්ඩු සමග සන්ධාන ගතවෙද්දී ඊට එරෙහිවූ රැඩිකල් කොටස් වෙනම සංවිධානය වන්නට වූ අතර, ඒ අනුව එම පක්ෂවලට අයත් වෘත්තීය සමිති සම්මේලන ද කැබිලි වන්නට විය.  මෙසේ බිඳී ගිය දේශපාලන කණ්ඩායම් අතරින් ජනතා විමුක්ති පෙරමුණ 1971 සන්නද්ධ කැරැල්ලත් සමගින් ඉදිරියට පැමිණියේය. එහෙත් ඔවුන් ආරම්භයේ සිටම වතු කම්කරුවන් කෙරෙහි දැක්වූයේ ජාතිවාදී ආකල්පයකි. ඔවුන්ගේ දේශපාලන පංති මාලාවේ “ඉන්දියානු ව්‍යාප්තවාදය” නම් පාඩමට අනුව, වතු කම්කරුවන් ඉන්දියානු අධිරාජ්‍යවාදයේ කුලී සේනාංකයක් ලෙස හැඳින්විය. ඊට දශකයකට පසු ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසි ඔවුන් වතු කම්කරු ජනයා අතර දේශපාලනය කරන්නට කටයුතු කළ ද පෙර කී ආකල්පවලින් දුරස් වූ  බවක්  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර  නොමැත.   ජනතා විමුක්ති පෙරමුණින් මෑතක දී බිඳී ගොස් වතු කම්කරුවන් අතර වෘත්තීය සමිති පිහිටුවන්නට ප්‍රයත්න දරන පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ද එම අදහස් හා මතවාද නිවැරැදි කරන්නට  සමත්  වී  නොමැත.

1956 දී එක්සත් ජාතික පක්‍ෂය විසින් තම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතිය ලෙස ජාතික සේවක සංගමය පිහිටුවා ගත්තේය. මේ ජාතික සේවක සංගමය ශ්‍රීලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතිය වූ නිදහස් සේවක සංගමය මෙන්ම හා ඇතැම් විට ඊටත් වඩා වෘත්තීය සමිතියක් ලෙස අප කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන්නකි. විශේෂයෙන් 1977 එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ පසු ජාතික සේවක සංගමයට අයත් කම්කරුවන් යොදා ගෙන ඇත්තේ වෙනස් අදහස් දැරූ සහෝදර කම්කරුවන්ට හා සුළුතර වාර්ගික කණ්ඩායම්වලට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැරීමටය. 1976 දී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට අයත් නිදහස් සේවක සංගම් කම්කරුවෝ වතු කම්කරුවන්ට එරෙහිව දියත් කළ ප්‍රචණ්ඩ ප්‍රහාර රැල්ල ඉදිරියට ගෙන යමින් ජාතික සේවක සංගම් කම්කරුවන් 1977, 1981, 1982 යන වසරවල සිට සිය සාහසිකත්වයේ උච්චතම අවස්තාව ලෙස 1983 ජූලියේදී දෙමළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩත්වය දියත් කිරීමට දක්වන ලද දායකත්වය අපමණ සාක්ෂි සටහන් සහිතව ඉතිහාසගතව ඇත.  එවකට කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ කටයුතු ඇමති මෙන්ම, ජාතික සේවක සංගමයේ සභාපති ද වූසිරිල් මැතිව් ගේ   අනුග්‍රහය   ඇතිව ඔහුන් මෙසේ හැසුරුණු බව ප්‍රසිද්ධ රහසකි.  දෙමළ ජාතිකයන් පමණක් නොව, ඔවුන්ට අයත්   දේපොළ ද  මෙම සිංහල මැරයින්ගේ  ඉලක්ක බවට  පත් විය. කාර්මික පෙදෙසක් වුනු රත්මලානේ පමණක් කර්මාන්ත ශාලා සැළකිය යුතු ගණනක් ගිණි බත් කෙරුණු බව 1983 කළු ජූලිය සම්බන්ධ වාර්තා ගෙනහැර දක්වයි.  ජෙට්රෝ ගාමන්ට්, ටාටා ගාමන්ට්, පොන්ඩ්ස්, එස්-ලෝන්, රිවෙස් ගාමන්ට්, හයිඩෝ, හීලුක්, ඒ. ජී.එම්,  මාන්හට්ටන් ගාමන්ට් සහ පොලිපෙක්, බ්‍රේස්  බෙරෙක්මැස්කොන්ස් ඇස්බැස්ටෝස් ඇතුළු විනාශ කළ කර්මාන්ත ශාලා ගණන දාහතකි. ඉන් කර්මාන්ත ශාලා හයක්ම මහරාජා සමාගමට අයත් ඒවාය. 

උතුරු  නැගෙනහිර  පළාත්වල ජීවත් වූ දෙමළ ජනයාගේ  ප්‍රශ්නයට  විසදුමක් ලෙස යෝජනා වූ  පළාත් සභා ක්‍රමයට එකඟත්වය පළ කිරීම නිසා ද බොහෝ වෘත්තීය සමිති නායකයන්ට මරු වැළඳ ගැනීමට සිදු විය.  රහසිගතව දේශපාලනයේ නියැලී සිටි ජනතා  විමුක්ති පෙරමුණ සිය  දෙවන ආයුධ සන්නද්ධ කැරැල්ලට මුලපිරුවේ 1987 දී  අත්සන් තැබුණු ඉන්දු – ලංකා ගිවිසුමත් සමගිනි.  ගිවිසුමට සහ ඉන් පිහිටුවීමට යෝජිත වූ පළාත් සභා ක්‍රමයට පක්‍ෂ වූවන් දේශ ද්‍රෝහීන් ලෙසත්, ඊට එරෙහි වන්නන් දේශප්‍රේමීන් ලෙසත් ඔවුන් විසින්ම හඳුන්වනු ලැබිණි. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයට මුල් වෙමින් බෞද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කරමින්, ඒකීයත්වය ස්ථාපිත කරනු ලැබූ බොහෝ කම්කරු නායකයෝ පසුව රට බෙදන දේශ ද්‍රෝහීන් ලෙස නම් කෙරිණි. එල්. ඩබ්ලිව්. පණ්ඩිත (ලේකම්, ලංකා වෘත්තීය සමිති සම්මේලනය), ජෝර්ජ් රත්නායක (සභාපති, ලංකා ජාතික ගුරු සංගමය), විමලසේන පහලපතිරගේ (සභාපති, මුද්‍රණ ශිල්පී සංසදය, රජයේ මුද්‍රණාලය), පී. ජී. ප්‍රේමපාල (විධායක සභික, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය), මහින්දබාහු (පැලවත්ත උක් ගොවි කම්කරු සංවිධානය) යන්නවුන් එසේ ද්‍රෝහීන් ලෙස හඳුන්වා දෙමින් මරා දැමූවන් අතරින් කිහිපදෙනෙකි.

“රණවිරුවන් ඝන අඳුරේ – පාඩයන් වර්ජනයේ”

1990 දශකය මැද වන විට උත්සන්න වූ උතුරු නැගෙනහිර යුදමය තත්වය 2000 දශකය අවසානය තෙක්ම ව්‍යාප්ත විය. පැවති ආණ්ඩු හා ජාතිවාදී බලවේග විසින් යුද්ධය වෙනුවෙන් සිංහල බෞද්ධ අධිපතිවාදය උත්සන්න කරනු ලැබුවේ මෙරට කම්කරු ව්‍යාපාරය යළි යළිත් ගොදුරු කරමින්ය. එහි ආරම්භය සනිටුහන් කරනුයේ 1996 විදුලි බල මණ්ඩල කම්කරුවන්ගේ සටන අඩපණ කරන්නට උතුරු නැගෙනහිර යුද්ධය යොදා ගනිමින්, “රණවිරුවන් ඝන අඳුරේ – පාදඩයන් වර්ජනයේ” යන වැකිය රැගත් විදුලි බල කම්කරුවන්ට එරෙහිව රට දසත ඇලවුණු පෝස්ටරය යි. එතැන් සිට යුද්ධය අවසන් වන තෙක් ඊට පැරණි හා අළුත් වාමාංශිකයින් බලයේ සිටි ආණ්ඩුවලට අයත් වෘත්තීය සමිති සමඟ එක්ව අඩු වැඩි වශයෙන් සිය දායකත්වය සපයනු ලැබුණි. ඊට ඉහත දශකයේදී එකිනෙකා සමග පසමිතුරුව සිටි බලවේග මෙවර එක් පෙළට සිට ගනිමින්,  විටෙක සෘජුවත්, විටෙක වක්‍රවත්, ඒ ඒ  ආණ්ඩුවල  අයවැයට පක්‍ෂව ජන්දය ප්‍රකාශ කිරීමෙන්, හදිසි නීතියට පක්‍ෂ වීමෙන්, ආරක්ෂක වැය ශිර්ෂ අනුමත කරමින්, මිලිටරිකරණයට සහාය වෙමින් හා එවන් අන් බොහෝ  දේ අනුමත කරමින් කටයුතු කළේය. ඊට වැඩි මනත්ම මතවාදී තලයෙන් ඔබ්බට ගොස්, ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති ලබා දුන් දායකත්වය මෙරට කම්කරු ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි පරිච්ජේදයකි.

මූලධාර්මිකව ජාතිවාදයට එරෙහි වෙමින් කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන්ගේ රැකියා සුරක්ෂිත බව වෙනුවෙන් පෙනී සිටි අතළොස්සක් වූ වෘත්තීය සමිති සම්මේලනවලට එරෙහිව බෙදුම්වාදයට සහාය දක්වන්නන්, ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්, මෙන්ම දේශ ද්‍රෝහීන් ලෙස නොයෙකුත් අවළාද නැගුණි. විශේෂයෙන් එම වකවානුව තුළ, දෙමල ජනයාගේ  ස්වයං-නිර්ණය අයිතිය පිළිගත්, යුද විරෝධී ස්ථාවරයන් ගත්, ප්‍රජාතන්ත්‍රවාදී විසදුම් අපේක්ෂා කළ බාලා තම්පෝගේ  නායකත්වයෙන් යුත් ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය, ජෝශප් ස්ටාලින් ගේ නායකත්වයෙන් යුත්  ලංකා  ගුරු සංගමය, පෝලියර් ගුණවර්ධන  නියෝජනය කරනු ලැබූ ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය, සමන් රත්නප්‍රිය  නියෝජනය කළ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, වික්‍රමබාහු කරුණාරත්නගේ  නායකත්වයෙන් යුත් නව සමසමාජ පක්ෂයට අයත් වෘත්තීය සමිති, බොහෝ වතු වෘත්තීය සමිති මෙන්ම  දුම්රිය වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීන්ට නොයෙක් අවලාද හා තර්ජනයන්ට මුහුණ දීමට සිදු විය.

වර්තමානය වන විට වෘත්තීය සමිති ව්‍යාපාරය තුල කිසියම් හෝ කම්කරු පන්ති හැඟීමක් තිබුන ද එය තීරණාත්මක ලෙස පරාජය කිරීමට හේතු වූයේ වෘත්තීය සමිති ව්‍යාපාරය ගොදුරුව සිටි වර්ගවාදය නිසාය. මීට වඩාත් මෑතකාලීන නිදසුන වන්නේ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහි ව ක්‍රියාත්මක වූ කම්කරු අරගලය වේ. ඊට   සියළු වරාය වෘත්තීය සමිති එක්ව සිටිය ද, සෙසු වෘත්තීය සමිති ඊට සහාය දැක්වුවද, එම සටන හසුරුවාලීමේ ලීවරය සහිත තීරක බලවේගය වූයේ මින් පෙර කම්කරු සටන්වල දක්නට නොලැබුණු සිංහල බෞද්ධ අධිපති මතවාදය දරන්නා වූ කණ්ඩායමකි.

මූලාශ්‍ර

Horowitz, Donald L. 2001. The Deadly Ethnic Riot. Berkeley: University of California Press.

ජයවර්ධන,කුමාරි. 2000. ‘බෞද්ධ විඥානය හා ජනවාර්ගික ප්‍රශ්නය’, පිටු අංක 67.  ප්‍රවාද (අප්‍රියෙල් – දෙසැම්බර්  කලාපය). කොළඹ: සමාජ  විද්‍යාඥයින්ගේ  සංගමය.

[මේ ලිපිය සැකසීමේදී පහත් සඳහන් මූලාශ්‍රවලින් ද තොරතුරු ලබාගෙන ඇත: රෝහණ විජේවීර විසින් රචිත දෙමළ ඊළාම් අරගලයට විසදුම කුමක්ද? ; සන්සෝනි කොමිෂන් වාර්තාව;  ප්‍රවාද සඟරා; ඇත්ත පුවත්පත;  රතු තරුව පුවත්පත; ලංකා හා සීනුව පුවත්පත්; හිරු හා දියැස සඟරා; හරය පුවත්පත; කම්කරු බලය පුවත්පත]

(ඉෂංඛා සිංහආරච්චි නිදහස් ලේඛිකාවකි; වෘත්තිය සමිති ක්‍රියාකාරිනියකි)

Leave a comment

This website uses cookies to improve your web experience.