Skip links

අසනිපාත: ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

ඒකනායක, සෝමසිරි. අසනිපාත. මහරගම: අහස පොත්. 2019. ISBN -978-955-3425-30-0, මිල රුපියල් 900.00.

___________

විමර්ශනය: ප්‍රසන්න පෙරේරා

අසනිපාත සෝමසිරි ඒකනායක ලේඛකයාගේ තෙවැනි ගධ්‍ය දිගහැරුමයි. සරසවියේ අවසන් වසර නිබන්ධනයට ඉදිරිපත් කළ, මෙතෙක් මුද්‍රණයෙන් එළි නොදුටු, ‘මහෝඝයක ඉරණම’ සමාජ විද්‍යාත්මක නවකතාව සමග සැලකුවහොත්, මේ ඔහුගේ සිව්වැනි ගධ්‍ය ප්‍රබන්ධ කෘතියයි. කවියෙකුද වන ඔහුගේ පස්වැනි මුද්‍රිත මෙහෙයුමයි. 1998 සිට ඇරඹි ඔහුගේ ලේඛක දිවියේ යම් පරිණත මොහොතකදී අසනිපාත එළිදැක තිබේ. එය එම කෘතියට ඉමහත් සාධාරණයක් ඉටු කළ බවට සැක නැත. අසනිපාත ලාංකේය සමාජයේ එක් අඳුරු යුගයක් පිළිබඳව ලියවී ඇත . එවැනි අඳුරු යුගයකට එළියක් විහිදුවීමත්, වර්තමාන සමාජයට එම මිනිස් හැසිරීම්වලට සාධාරණයක් ඉටු වන සේ විදාරණය කිරීමත් අභියෝගයක්මය.

බොහෝ නිර්මාණකරුවන් උත්සාහ ගන්නේ මතභේදාත්මක නොවන සුවපහසු කලාපයන්හි (comfort zones ) ගැවසීමටය. එහෙත් සෝමසිරි ඒකනායක මීට පෙර අන් කිහිපදෙනෙකු පමණක් පය ගැසීමට බිය නොවූ කර්කෂ ඉසව්වක බර අඩි තබමින් ඇවිද ගොස් තිබේ. හම්බන්තොට බඳගිරිය ගොවි ජනපදයේ ජන ජීවිත තුළින් ඔහු ලාංකේය ඉතිහාසයේ අමතක කළ නොහැකි 87-89 යුගය පිළිබඳ විවරණය කරයි. මේ සිදුවීම් හුදු බඳගිරියට පමණක් සීමාවූවක් නොවේ. ලංකාවේ බොහෝ තැනක අඩු වැඩි වශයෙන් දැක ගත හැකි වූ සංසිද්ධීන්ය. එසේ වුවද, එසමය පිළිබඳ අත්දැකීම් ඇති බොහෝ නිර්මාණකරුවන් අදටද ඒවා තමන් නොදුටුවා සේ හෝ තමන්ට විෂය නොවන අඩවි සේ මඟහැර යද්දී, සෝමසිරි ඒකනායකයන් අසනිපාත පිටු අතරට ඒ ඉතිහාසයේ සඟවාලනු ලැබ ඇති අත්දැකීම් සමුදාය කැඳවාලයි. එය අවියෝජනීය ලෙසම ඔහුගේ ජීවිත අත්දැකීම් හා බැඳී තිබේ. ඔහු විසින් ස්පර්ශ කරන්නේ ඔහුගේ මතු නොව ලියුම්කරුද ඇතුළත් සමකාලීනයන් බොහෝ දෙනෙකුගේ යෞවනයේ මතකය බවට සැක නැත.

අසනිපාත කෘතියේදී සිරිමල් දසනායක නම් මැදිවියේ පසුවන සාහිත්‍යවේදියා දේශනයක් සඳහා තමා ළමාකාලයේ උගත් බඳගිරිය මහා විද්‍යාලයට යයි. එහිදී හමුවන හිමාලි නම් තරුණ ගුරුවරියක් ඔහුගෙන් අසන්නේ ඇයට අදටද ගැටලුවක් වී ඇති ඇගේ ඉතිහාසය පිළිබදවයි. සෙසු පාත්‍රවර්ගයා කතාවට පිවිසෙන්නේ එතැන් සිටය. එම චරිත මෙම ලේඛනයට කැඳවීමෙන් ඵලක් නැත. ඉතිහාසයේ එම නිශ්චිත යුගය තුළ එම චරිතවල භූමිකාවන් කවරාකාරවීදැයි දැනගැනීම අසනිපාත කියවන පාඨකයින්ට භාර කටයුත්තකි.

අසනිපාත හුදෙක් හිමාලිගේ ඉතිහාසය තේරුම් කරවීමක් නොවේ; අක්මුල් සිඳින ලද පරම්පරාවකට තමන්ගේ පෙර පරම්පරාවේ අත්දැකීම් සන්නිවේදනය කරලීමකි. එසේම, මෙහිදී වැදගත් වන්නේ සිදුවීම් පෙළ විස්තර කරගැනීමේදී අසනිපාත, හුදු ඉතිහාස සටහනක් නොවීමය. 87-89 යුගය පිළිබඳ සෝමසිරි ඒකනායක විනිශ්චයක් දීමට ඉදිරිපත් නොවේ. ඔහු ආයාසයෙන් සිදුවීම් ගෙනහැර පාන්නේද නොවේ. දිගහැරෙන සියලු සිදුවීම් කතාවේ චරිතවලට බද්ධය. එම චරිතවල ඉරණම අපේ පරම්පරාවේද ඉරණමය. ඉදින් සෝමසිරි ඒකනායක අපට ඉඩහසර විවර කර දෙන්නේ එකිනෙකාට පෞද්ගලික වූද සමාජීය වූද ඒ සිදුවීම් පිළිබඳ මතකය අවදිකරගැනීමටය.

සෝමසිරි ඒකනායක තමන්ගේ ලේඛන හැකියාව නිර්මාණාත්මක ලෙස යොදාගනිමින් යුගයක අත්දැකීම් සමුදාය දිගහැරීම සඳහා පාඨකයා සමග හෘදය-සංවේදී සංවාදයක් අරඹයි. එම සංවාදය අපූරුය. විටෙක එය සිරිමල්ගේ අතීතාවර්ජනයකි. එහෙත් එය හුදෙක් සිරිමල්ගේ අත්දැකීම්වලට පමණක් සීමා නොවෙයි. ඉදින්, එසේ සීමා වූයේනම් අත්දැකීම අසම්පූර්ණය. පාඨකයාට සමස්ත චිත්රය ඇඳගත හැකි නොවනු පමණක් නොව, ඒ ඓතිහාසික මහා ප්‍රවාහයට අසාධාරණයක් වන්නටද ඉඩ තිබිණි. එහිදී දෘෂ්ටිමය වශයෙන් නිවැරදි ස්ථාවරයක සිටගන්නා සෝමසිරි ඒකනායක පරෙස්සම් සහගත වෙයි. ඉතිහාසයේ විනිශ්චාධිකරණයේදී ඔහු සිටින්නේ පොදු ජනතාවගේ හෘදය සාක්ෂිය සමගය. ඉදින් සෝමසිරි නවකතාවේ රිද්මයට අනුකූලවත් ගලායාමට හානියක් නොවන ලෙසත් ඒ තාක්ෂණික බාධා බිඳිමින් ඉදිරියට යයි. ඔහුගේ රූපමය භාෂාව පාඨකයාගේ පරිකල්පනය තුළ සමස්ත සිදුවීම් ජාලය හා ඊට අදාළ පරිසරය මවයි. අඳුරු කළ සිනමා ශාලාවක දිගහැරෙන සලරුවක් බඳුව ඇස් ඉදිරිපට දිගහැරෙන්නට පටන්ගනී. චරිත සමග ජීවත් වන්නට පටන් ගනී. ඒවා සමග ඒකාත්මික වෙයි. මුහුණදෙන වේදනාවන්ගෙන් හදවත රිදුම් දෙන්නට ගනියි. සුසුම්ලයි. දෑස් කඳුලින් බරවෙයි. එහෙත් පාඨකයාට සිදුවීම් තුළ මුසපත් වන්නට ඔහු ඉඩ නොදෙයි. මහා නාට්‍යකරු බර්ටෝල්ට් බ්රෙෂ්ට්ගේ තදාත්ම විඝටනය පරිද්දෙන් වහා පාඨකයා පියවි ලෝකයට ගෙනෙයි.

අසනිපාත ‘යෞවනය දවාලූ භීම සමයක්’ යනුවෙන් එහි උප තේමාවෙන්ම කියන පරිදි මහපොළොව ලෙයින් පෙඟී ගිය, වා තලය පුළුටු ගඳින් පිරී ගිය යුගයක් පිළිබඳ කතාවකි. එය මහපොළොව මත සිදු නොවිය යුතු දේ සිදු වූ කාලයකි. එය අතිශයෝක්තියෙන් විස්තර කළ යුතු නොවේ. එය කෙතරම් කටුක යථාර්ථයක් වීද යත්, වත්මන් පරම්පරාවට එය පෙනෙනු ඇත්තේ අතිශයෝක්තියක් ලෙසය. එබඳු සත්‍ය අත්දැකීමක් සජීවී ලෙසින් අච්චු අකුරු මතට ගෙන ඒම පහසු ව්‍යායාමයක් නොවේ. මන්ද, නිර්මාණකරුවෙකුට සාපේක්ෂ ලෙස කාල්පනික පරිසරයක් මැවීම පහසු වුවත්, පාඨකයකුගේ ජීවන අත්දැකීමක් බවට පත්වූ සිදුවීම් ජාලයක් විශ්වසනීයත්වය පළුදු නොවන සේ නිර්මාණයක් තුළ බහාලීම අසීරුය. අනෙක් අතට, දශක තුනකට වැඩි ඓතිහාසික වකවානුවක් එවැනි අත්දැකීමක් නොමැති නූතන පාඨක පිරිසගේ මනස තුළ ප්‍රතිනිර්මාණය කිරීමද අභියෝගයකි. මෙය හුදු ප්‍රබන්ධයක් නොව, සැබැවින්ම මහපොළොව මත සිදු වූ දෙයක්ය යන්න සාක්ෂිමය කරුණු ඉදිරිපත් කරමින් කතාව ගොඩනැගීමද පහසු කටයුත්තක් නොවේ. අසනිපාත තුළ සෝමසිරි ඒකනායක මෙම ද්විත්ව කඩඉම සාර්ථකව ජයගෙන ඇත්තේ කෘතියට සාධාරණයක් ඉටු කරලිමිනි:

“රට තුළ මොන විරෝධතා පැන නංගත් ඒවා ගණන් නොගෙනම ගිවිසුම අත්සන් කෙරුණි. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු රජීව් ගාන්ධිගේ නික්ම යාම වෙනුවෙන් පැවැත් වූ ආචාර පෙළපාලියේදී නාවුක හමුදා සෙබළෙක් විසින් ගාන්ධිට රයිපල් බඳෙන් පහර දෙන අයුරු රූපවාහිනී ප්‍රවෘත්තිවලින් ප්‍රචාරය වන විට රජීව්ගේ මුහුණේ වූ ත්‍රාසය හා භීතිය ගමේ රූපවාහිනී නරඹන්නන්ගේ මුහුණුවලට කැඳවූයේ උද්දාමයකි” (පිටු 189).

සෝමසිරි ඒකනායක අසනිපාත පාත්‍රවර්ගයා කෙතරම් හෘදයාංගමව චිත්‍රණය කරන්නේදයත්, මේ යුගය පිළිබඳ අත්දැකීම් ඇති ඕනෑම අයෙකුට තම තමන් දැන සිටි හා සිටින පුද්ගල නාමයන් එම චරිතවලට ආරූඪ කර ගැනීමට ආයාසයක් ගත යුතු නොවේ. සිරිමල්ලා, නිලන්තලා, කිරියලා, ආරිලා, රිස්වාන්ලාද, අනෝමලා, දයාවතීලාද මැම්බර්ලා, ගොයියලා, පොඞ්ඩෙලා, විල්සොන්ලාද තම තමන් දන්නා චරිතවලට ආදේශ කර ගත හැකිය. එම චරිත කාල්පනික සිරිමල්ගේ මතු නොව, සෝමසිරිගේ ඒකනායකගේ ද ඇස් මානයේ ගැවසුනවුන්ය. එම චරිත හා ඒවායේ භූමිකාවන් තත්වාකාරයෙන්ම විස්තර කිරීමම ඒවා බඳගිරිය කාෂ්ටක පොළොවේ බර අඩි තබා ඇවිද ගිය ඇත්ත මිනිසුන් බවට පත්කරවයි:

“ගොයියා මාමා නිලන්තගේ ගෙදරට පණිවිඬේ අරගෙන යන විටත් එය ඔවුනට ආරංචි වී තිබුණි. ඇත්තටම නම් ආරංචි වී තිබුණේ විල්සන් උන්නැහේ ගමේ කොල්ලන්ගේ නම්ගම් පමණක් නොව ඒ ගෙවල් තියෙන තැන් ගැනද පොලීසියට ඔත්තුවක් දී ඇති බවය” (පිටු 319).

අසනිපාත හුදු කතාන්දර කීමක් නොවේ; ඒ නිසාම භාෂාව අවස්ථානුකූලව හැඩය වෙනස් කර ගනී. විටෙක ප්‍රථම පුරුෂයෙන්ද තවත් විටෙක උත්තම පුරුෂයෙන්ද අවස්ථාවට අනුව විස්තර වෙයි. එය පාඨක මනසේ පැහැදිලි ලෙසම ප්‍රතිනිර්මාණය කරන්නේ ‘යෞවනය දවා ලූ භීම සමයකි’. එය වැඩකට නැති දෙබස් කිහිපයකින් දෛනික කතාංගයන් හමාර වන රූපවාහිනී සෝප් ඔපෙරාවක් නොවේ. යෞවන ප්‍රේමයේ අත්දැකීම් පවා කාලයට අනුරූපීය. ප්‍රමුඛ තේමාව ලෙස දිගහැරීමට නියමිතව ඇත්තේ සමාජ ඛේදවාචකයකි. සිදුවීමට නියමිතව ඇත්තේ අභාවාචක අත්දැකීම්ය. අසනිපාත එකවර පාඨකයා මත සිදුවීම් කඩා හෙළන්නේ නැත. වචන තුළ ගැබ්වූ ශෝකී තානය පාඨකයා රැගෙන යන්නේ පූර්ව අවබෝධයක් සහිතවය:

“හැම තැනම පිස්සු බල්ලො වගේ හමුදාවයි පොලීසියයි…’ යමක් කියන්නට ආරම්භ කළද ඔහු කතාව එතැනින්ම නතර කර ගත්තේය. දැන් කුමක් කීවද ආරි තබා ඇති අඩිය පසුපසට නොතබන බව ඔහු දනී. එක අතකින් දැන් අඩිය පසුපසට තැබීමෙන් සිදු වන යහපතක්ද නැත. ලයිස්තුවල ලියවී ඇති නම් නැවත ඉවත් වන්නේ නැත.” (පිටු 255).

සෝමසිරි ඒකනායක නවකතාකරුවෙකු මෙන්ම කවියෙකි. ඇතැම් අවස්ථාවක අත්දැකීම් විස්තර කිරීමට ගධ්‍යමය භාෂාව අසමත්ය. එතැන උපදින්නේ කවියකි. කෙටි කාව්‍ය පැබැඳුම් කිහිපයක් කෘතියේ කිහිපතැනකම එයි. ඒවා අසනිපාතයේ ගලායාම තීව්‍ර කරනු මිස බාධා නොකරයි. ධවල භීෂණයක සජීවී අත්දැකීම් සහිත පරම්පරාවේ හෘදය සාක්ෂිය බඳු අසනිපාත කෘතිය අවසානයේ තමන් කාගේ කවුදැයි විමසන හිමාලිටද හිමාලිගේ පරම්පරාවටද සෝමසිරි ඒකනායක පිළිතුරු දෙන කවියෙන් මෙම සටහන නිමා කිරීම උචිතය:

“සොයා යන්න… ඔබ කවුදැයි… ඔබ තුළ මිස… ඔබ තුළ ඔබ… සොයනු මිසෙක… ඔබ සෙවුමට… වෙනත් මගක්… ඔබට නොමැත…”

(මේ විමර්ශනය මීට පෙර ලංකා ඉරිදා සංග්‍රහයේ පලවිය. එය මෙහි පලකරනේ ගත්කතුවරගේ අවසරය මතය).

Leave a comment

This website uses cookies to improve your web experience.