~ ඉෂංඛා සිංහආරච්චි
මෙරට කම්කරු ව්‍යාපාරයේ කීර්තිමත් වෘත්තීය සමිති නායකයෙකු වූ බාලා තම්පෝ සහෝදරයාගේ හයවෙනි අනුස්මරණය ඉකුත් සැප්තැම්බර් පළමු වෙනිදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් ඔහු නායකත්වය හෙබවූ ලංකා වෙළඳ, කර්මාන්ත හා පොදු සේවක සංගම් මූලස්තානයේදී පැවති සමරුවේදී මේ දිනවල කථාබහට ලක්වෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබද බොහෝ දෙනාගේ අවධානය යොමු වූ බවක් දක්නට ලැබිණි. 1978 දී ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විධායක බලතල සහිත ජනාධිපති ධුරයක් මෙරට ව්‍යවස්ථාවට හදුන්වා දීමේදී වෘත්තීය සමිතියක් ලෙස බාලා තම්පෝ ප්‍රමුඛ ලංකා වෙළඳ, කර්මාන්ත හා පොදු සේවක සංගමය දැක්වූ විරෝධය ඉහළින්ම සනිටුහන් කළ බවත්, එතැන් පටන් අද දක්වාම විධායක ජනාධිපති ක්‍රමය ප්‍රමුඛ ජේ. ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවට එම වෘත්තීය සමිතිය සිය ප්‍රතිපත්තියක් ලෙසින් විරෝධය දක්වන බවත් මෙහිදී අවධාරණය කෙරිණි. එහෙත් ඒ ගැන විමර්ශනයේදී අද එම වෘත්තීය සමිතියේ සාමාජිකත්වයට පමණක් නොව සමස්ත කම්කරු ව්‍යාපාරයම තුළ ද විධායක ජනාධිපති ක්‍රමය කෙරෙහි විරෝධයක් හෝ ඒ සඳහා විටින් විට ගෙන එනු ලබන සංශෝධන කෙරෙහිවත් දැනුවත් බවත් තියේ යැයි සැක සහිතය.
ලලිත්- ගාමිණී වෙඩි මුරය
විධායක ජනාධිපතිධුරයේ කෘරත්වය කෙසේද යන්න මෙරට කම්කරු ව්‍යාපාරය 1980 ජූලි වර්ජනයේදී මනාව අත් විඳි බවට සැකයක් නොමැත. ඉන්පසු පැනනැගි කම්කරු හා සමාජ අරගලවලදී ද මේ අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධුරයේ පල විපාක ඔව්හු අත්දුටුහ. ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේදී විධායක ජනාධිපති සතුවූ අසීමිත බලතලවලට එරෙහිව පළමු වෙඩිල්ල පුපුරා ගියේ ඔහුගේම පක්‍ෂ සගයන්වූ ලලිත් -ගාමිණි ඇතුළු පිරිසගේ බිඳීයාම මගිනි. ඉන්පසු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මැතිවරණ දේශපාලනයේ ප්‍රමුඛතම සටන් පාඨයක් විය. 1994 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංගත් ඇයගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ගාමිණී දිසානායකත් සිය මැතිවරණ වේදිකාවේ සපථ කර සිටියේ මේ අසීමිත බලතල හිමි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවය. චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඒ පිළිබඳව ලිඛිත පොරොන්දුවක් ශ්‍රීලංකා ප්‍රගතිශීලි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පත්ති වෙත ලබා දුන්නාය. එහෙත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඇය එම පොරොන්දුව ඉවත දැමුවාය. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් ජාතික ප්‍රශ්නයට විසදුම් පෙරට දමා, සියලු විධායක බලතල අගමැතිවරයා වෙත පවරමින් තව දුරටත් බලයේ සිටීමේ ඇයගේ උත්සහාය පරාජය වුයේ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය හා සෙසු සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේගයන්ගේ විරෝධය හමුවේය. ඉන්පසුව ද විධායක ජනධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය දේශපාලන වේදිකාවේ මතු වුවද එය යටපත් වුයේ දෙමළ ඊලාම් අරගලයට එරෙහිව දියත් කෙරුණු යුද ප්‍රහාරයන් හේතුවෙනි. යුද්ධය ඉදිරියට කරගෙන යාමට නම්, විධායකය සතු බලතල ප්‍රයෝජනවත් බව බලයේ සිටියවුන් පමණක් නොව විධායකය හදුන්වාදීමේදී ඊට එරෙහි වූ වාමාංශිකයන් ඇතුළු සෙසු ආණ්ඩු විරෝධීන් ද කියන්නට විය.
ජනපති බලතල කප්පාදුව
යළිත් විධායක ජනාධිපති සතු බලතල පිලිබඳ කතාබහක් මතුවූයේ යුද්ධය අවසන්ව, ඇරඹි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයේදීය. ජනාධිපති සතු මෙකී අසීමිත බලතල හේතුවෙන් ව්‍යවස්ථාදායකය හා අධිකරණය වෙත වූ බලපෑම් ද 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ එතෙක් ජනාධිපති ධුර කාලය දෙවරකින් අවසන් වන්නට නියමිතව තිබු නියමයන් වෙනස් කරමින් තෙවැනි ධූර කාලයක් දක්වා යෑමට හැකි පරිදි නීති සැකසීම මීට හේතු විය. පැන නැගි විරෝධයේ ප්‍රථිපලයක් ලෙසින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ- මෛත්‍රීපාල සිරිසේන හවුල් පාලනයේ ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් අගමැතිට හා පාර්ලිමේන්තුවට බලතල හිමිවෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමය. එහි අතර මැද පියවරක් ලෙසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපති ධුරය සතු අසීමිත බලතල කප්පාදු කළේය. එතෙක් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කෙරෙන්නට යෙදුණු මැතිවරණ, රාජ්‍ය සේවා, අධිකරණ, පොලිස් ආදී කොමිෂන් සභාවල වගකීම පාර්ලිමේන්තුවට පැවරිණි. ජනාධිපතිගේ ධුර කාලය වසර පහකට සීමා කෙරුණු අතර වසරක කාලයකින් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ද අහෝසි වී විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය තුළ යම් බල තුලනයක් ඇති විය.
20 වැනි සංශෝධනය
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සතු ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ගෙන එනු ලබන 20 වැනි සංශෝධනය මගින් යළිත් ස්ථාපිත කරන්නට අදහස් කරන්නේ 2015 ට පෙර පැවති අසීමිත බලයක් හිමි ජනාධිපති ධුරයක් ය.ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කරනු ලැබූ යම් බල තුලනයක් වේ නම්, එය යළිත් 20 වැනි සංශෝධනය ඔස්සේ එක් පුද්ගලයෙක් අත කේන්ද්‍ර වනු ඇත.
මෙරට වැඩකරන ජනතාව ඇතුළු බහුතරයක් වූ ජනයා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අසුනට ඔසවා තබන්නේත්, මහ මැතිවරණයෙන් ඔහුගේ පාර්ශ්වයට තුනෙන් දෙකේ බලයක් ලබා දෙන්නේත්, නීතිය හා සාමය අකුරට ක්‍රියාත්මක කරමින් විනය ගරුක සමාජයක් ස්ථාපිත කරනු ඇතැයි යන පුර්ණ විශ්වාසය මතය. දෙමල ඊළාම් අරගලය යුධමය වශයෙන් පරාජය කිරීමේ යුධ වීරයා ලෙසින් රටවටා යමින් “වියත් මග” නම් ඔහුගේම වූ ව්‍යාපාරයක් ගොඩ නැගුවේ ඇතැම් වෘත්තිකයන් හා බහුතරයක් වූ සන්නද්ධ හමුදා නිලධාරීන්ගෙන් ද සමන්විතවය. ජනාධිපති රාජපක්ෂ කිසිදු දේශපාලන පක්ෂයක් සෘජුව නියෝජනය නොකරයි. මෙතෙක් විධායක ජනාධිපති ධුරය අන්තනෝමතිකව හෙබවූ එහි නිර්මාපකයා ද වූ ජේ.ආර් ජයවර්ධන මෙන් නොව, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහයන් තුළ අත්දැකීම් විරළ ඔහුට මිලිටරිමය නිලධාරියෙකු සතු විනය හා වැඩ රටාව සිවිල් හා ප්‍රජාත්නත්‍රවාදී ව්‍යුහයන් තුල වැඩ කිරීමේදී කෙතරම් දුරට බලපානු ඇත්දැයි මේ මෙහොතේ විනිශ්චය කළ නොහැකිය. එහෙත් පුද්ගලයා කෙතරම් යහපත් වුවද ඔහුට අසීමිත බලයක් ඒකරාශි වීම තුළ අගතිගාමී බොහෝ දේ සිදුවිය හැකි බව කළාපීයව මෙන්ම ජාත්‍යන්තරව ද ඕනෑ තරම් නිදසුන් සොයා ගත හැකිය.
කම්කරු ව්යාපාරය
20 වැනි සංශෝධනය ඔස්සේ එක් පුද්ගලයෙක් වෙත කේන්ද්‍රවන බලය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතළ තත්වයක් මතු වේ. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති කොමිෂන් බවට පත් වීම ගැන වත් ප්‍රජාත්නත්‍රවාදය අගයන කොටස්වල අවධානය යොමු විය යුතුය. විධායක ජනාධිපති ධුරය ගෙන එන විට ඊට විරෝධය දැක්වූ ලිබරල්වාදීන්, මාක්ස්වාදීන්, ලෙනින්වාදීන්, ස්ටාලින්වාදීන්, ට්‍රොට්ස්කිවාදීන්, මාඕවාදීන්, චේගවෙරාවාදීන් ඇතුළු සියල්ලම අද නිහඬය. බොහෝ අවස්ථාවාදීන් විධායකයේ බලය කප්පාදු කෙරුණු 19 වැනි සංශෝධනයටත් දෑත් ඔසවා විධායකයේ බලය යළි ස්ථාපිත කෙරෙන 20 වැනි සංශෝධනයටත් දෑත් ඔසවති.
මේ අතර කම්කරුවන්ට බලපාන සේවක අර්ථසාධක පනත ඇතුළු පනත් පහක් සංශෝධනය කරන බව පසුගිය දිනෙක කම්කරු ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි. සංශෝධනය ගැන වැඩි විස්තර සදහන් කර නොතිබුන ද පසුගිය රජය මගින් ආයෝජකයන්ට හා හිමිකරුවන්ට වාසි සහගත ලෙස කම්කරු පනත් සංශෝධනය කරමින්, නව කම්කරු පනතක් ගෙන එන්නට දැරූ උත්සහාය හකුලා ගනු ලැබුවේ කම්කරු විරෝධය හමුවේය. මේ ඒකරාශී වන බලය හමුවේ නව ආණ්ඩුව යටතේත් එම පනත යළි නොඑනු ඇතැයි විශ්වාස කළ නොහැක. එබැවින් වැඩ කරන ජනතාව ලෙස මෙරට කම්කරු ව්යාපාරය 20 වැනි සංශෝධනය ඔස්සේ දිග ඇදෙන ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම කෙරෙහි පුළුල් විරෝධයක් නොදැක්වුවත්, ඒ පිළිබඳව සමාජය තුළ හා කම්කරු ව්‍යාපාරය තුල පුළුල් කතිකාවක් ගොඩනැගීම මේ මොහොතේ වැදගත් වනු ඇත. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය යළිත් ඉහලින් ඔසවා තබන්නට හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ එවන් සංවාදයක් වැඩකරන ජනයාගේ දේශපාලන පක්ෂ පිහිටුවීමේ අවස්ථාවාදීන්ගේ රංචු ගැසීම්වලට වඩා කම්කරු ව්‍යාපාරයට ප්‍රයෝජනවත්ය.