Skip links

නිරෝධායන දිනපොතෙන් පිටුවක්: මුඛවාඩම් පැළඳි සමාජය වෙත ….

~ අනුෂ්කා කහඳගමගේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

වසංගත ලෝකය මාස හයක් සටහන් කරන මොහොතක, මම ආයතනගත නිරෝධායනය නිමා කළෙමි. නව දිල්ලියේ විශ්විද්‍යාල නේවාසිකාගාරයේ ගතවූ මාස හයකට ආසන්න කාලයත්, දිල්ලියේ සිට කොළඹට පියාසර කිරීමත්, දින දහහතරක් ශ්‍රී ලංකා රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක ගෙවූ කාලයත් අසීරු සහ පීඩාකාරී වූ බව සඳහන් කරන්නෙමි. නමුත්, ඒ මාස හයක කාලය, පැහැදිලිවම ගෙවී යන ඉතිහාසයේ ගතිකත්වයන සමග මා ඍජුවම සම්බන්ධ වූ බව නැවත නැවතත් මට මතක්කර දුන් බව කිව යුතුය. ලෝකය වසංගතයෙන් වැසී යද්දී, සිය දහස් ගණන් ජනයා වසන්ගතයෙනුත්, ආහාර හිඟ කමෙනුත් මියගියහ, රෝගී වූහ. ලොව පුරා සංක්‍රමණික ශ්‍රම බලකාය පීඩාවට පත්වූ අතර, සමහර අවස්තාවලදී වසංගතයෙනුත්, තවත් සමහර අවස්තාවලදී තම ගම්බිම් බලා ගිය ගමන්වලදීත් මියගියහ.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී, ලෝකයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙමින් පැවතී අතර, රාජ්‍ය අන්වේක්ෂණය වඩාත් තදින් ක්‍රියාත්මක විය. එම අන්වේක්ෂණ යාන්ත්‍රණ සුළුතර, පසුගාමී සහ වඩාත් අවධානම් සහිත සමාජ කොටස් තව තවත් පීඩාවට පත්කිරීම සඳහා යොදා ගැනුණි. මෙවැනි වාතාවරණයක් තුළ යුධ හමුදාව සහ ගුවන් හමුදාව විසින් පාලනය කරනලද ලංකාවේ ආයතනික නිරෝධායන මධ්‍යස්ථානයක ගෙවූ දවස් 14ක කාල සහ අවකාශ සන්තතිය තුළ අවම මිනිස් අන්තර්ක්‍රියා සහිතව මෙන්ම එදිනෙදා ඇස ගැටෙන දේ මෙන්ම කරන ලද අන්තර්ක්‍රියා ද මෙසේ ඡායාරූප ගතකළෙමි. එය මානව හුදකලාවේ එම දීර්ඝ මොහොතකි.

ජීව දේශපාලනයේ නව මානයක් මෙම වසංගත තත්ත්වය තුළ නිර්මාණය විය. අංක කිරීම්, වර්ග කිරීම්, රෝගී සහ නිරෝගී ලෙස වර්ග කිරීම්, රෝගය සම්බන්ධ සංඛ්‍යා දත්ත, හිස මත තබන පිස්තෝල වැනි උෂ්ණත්ව පරික්ෂා කිරීමේ කුඩා යන්ත්‍ර ආදිය මගින් ඉතිහාසය ප්‍රති-නිර්මාණය කරයි. වසංගතයෙන් ආරක්ෂා වීම මෙන්ම, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කරනලද මුඛවාඩම් පැළඳි සමාජ ලෝකය පුරා බිහි වෙමින් පවතියි. එනමුත්, මේ අවාසනාවන්ත මොහොතේ ජිවත් වීම සහ එය වාර්තාගත කිරීම භාග්‍යයකි.

Leave a comment

This website uses cookies to improve your web experience.