Skip links

The Awakened Ones: Phenomenology of Visionary Experience (ප්‍රබුද්ධ ඇත්තෝ: දෘෂ්ටික අනුභූතිය පිළිබඳ ප්‍රපංචවේදය). ගණනාත් ඔබේසේකර. නිව් යෝර්ක්: කොලොම්බියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2012. පිටු: 662. ISBN 978-0-231-15362-1 මිල: අමෙරිකානු ඩොලර් 50.00 (ඝණ කවරය සහිතව).

විමර්ශනය: රොමා චැටර්ජී, දිල්ලි විශ්වවිද්‍යාලය
පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

මනෝ විශ්ලේෂණය, මානව විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය, සාහිත්‍යය, ඉන්දුවේදය (Indology), දර්ශනය ආදී නොයෙකුත් ශික්‍ෂණ සිසාරා යමින් සන්සන්දනාත්මක විධික්‍රමය භාවිත කිරීම සම්භන්ධයෙන් තත්කාලීන මානව විද්‍යාඥයින් අතර ගණනාත් ඔබේසේකරට සුවිශේසී තැනක් හිමි වේ. දෘෂ්ටික අනුභූතියේ ප්‍රපංචවේදය පිළිබඳ රචනා කර ඇති මේ කෘතිය මගින් ඊට පෙර ඔබේසේකර විසින් ලියා ඇති Medusa’s Hair (1984) වැනි කෘතිවලින් මතු කර තිබූ තේමා වඩාත් ඉදිරියට ගෙන ගොස් ඇත. මෙහිදී කතුවරයා අවධාරණය කරනුයේ පෞද්ගලික සංකේත සහ සංස්කෘතිය අතර ඇති සබඳතාවයයි.

බෙහෙවින් උනන්දුසහගත ප්‍රත්‍යයෙකක අධ්‍යයන ගණනාවක් ඔස්සේ ඔබේසේකර උත්සාහ කරනුයේ රූපාන්තරණීය දෘෂ්ටික අනුභූතිය (transformative visionary experience) ගවේශණය කිරීමටය. මේ ප්‍රත්‍යයෙක අධ්‍යයන අතර ආගමික ශාස්තෘවරයෙකු වූ ගෞතම බුදුන් වහන්සේ, මධ්‍යකාලීන යුරෝපීය මුනිවරුන් වූ ජුලියන් නෝවිච් හා අවිලාහි තෙරේසා, නූතන දෘෂ්ටිකයෙක් වූ (visionary) විලියම් බ්ලේක්, පරමවිඥානාර්ථවාදීන් වූ හෙලේනා බ්ලවට්ස්කි, හෙන්රි ඔල්කොට් හා දමෝදර් මවලන්කාර් සහ මනෝචිකිත්සකයින් වූ සිග්මන්ඞ් ෆ්රොයිඞ් හා කාල් යුන්ග් ආදීන් පිළිබඳව ගොනු කළ ප්‍රත්‍යයෙක අධ්‍යයන ඇතුලත් වේ. ඔබේසේකර මේ රූපාන්තරණීය දෘෂ්ටික අනුභූතිය හඳුන්වා දී ඇත්තේ ‘ආත්මයේ අන්ධකාර රාත්‍රිය’ (the dark night of the soul) වශයෙනි (11). මේ කෘතිය ඔස්සේ ඔබේසේකර උත්සාහ ගෙන ඇත්තේ තර්කය මගින් සම්පාදිත ඥානයේ ඇතැයි සැලකෙන නිශ්චිත භාවය (certitude) අභියෝගයට ලක්කිරීමය. සැබැවින්ම, යුරෝපීය පුනරුදය (Enlightenment) මගින් කොජිටෝව (Cogito), එනම් යමෙකුට පැවැත්මක් ඇත යන දැනුම තර්කනයේ හැකියාව මත පමණක් පදනම් වන්නේය යන ප්‍රවේශය සහ විචාරපූර්වක ස්වීයත්වය (reflective self) යන අදහස් දෙකම උත්කර්ශවත් කිරීම පිළිබඳ බොහෝ විවේඡන මේ වන විට ද දකුණු ආසියානු මානව විවිද්‍යාව තුළ ශුද්‍ර සම්ප්‍රදායක් වශයෙන් ගොඩනැගී ඇත. මේ අනුව, අශීශ් නන්දි හා ජේ.පී.එස්. උබෙරෝයි වැනි ශාස්ත්‍රඥයින් ප්‍රත්‍යයෙක අධ්‍යයන ඔස්සේ විකල්ප දැනුම් සම්ප්‍රදායන් අධ්‍යයනය කිරීමට දායක වී ඇත. නන්දිගේ දායකත්වය ඉන්දීය චින්තකයින් පිළිබඳව ඉතාමත් සූක්‍ෂමව ගොනුකර ඇති මනෝ-චරිතාපදානයන් (psycho-biographies) වන අතර, උබෙරෝයිගේ දායකත්වය වන්නේ යුරෝපයේ පූර්ව-පුනරුද ඥාන සම්ප්‍රදායන් ගවේශණය කිරීමය.

කෙසේ වුවද, ඔබේසේකරගේ කෘතිය දෙස බැලීමේදී, ඉන් ඉදිරිපත් කරන අතිශයින් විවිධ වූ දෘෂ්ටික අනුභූති තේරුම් ගැනීමට සුදුසු ආරම්භයක් වන්නේ මැක්ස් වේබර් ඉදිරිපත් කළ ලෞකික මුලාවන්ගෙන් මිදීම (worldly disenchantment) හා තර්කවාදයේ (rationalism) ක්‍රමික ප්‍රවර්ධනය අතර ඇති සම්බන්ධතාවයි. ඔබේසේකර දිකින ආකාරයට, තර්කනය බලවත් වීම බොහෝ දුරට අපගේ පුද්ගලික මනස්ඍෂටිමය ජීවිතවල (private fantasy lives) ධනාරෝපනය සමග බැඳී පවතී. මේ ප්‍රවර්ධනය ඔහු එතරම් කල්පනාකාරී නොවන ලෙසින් විස්තර කරනුයේ ‘අභ්‍යන්තරීය ලොව පිළිබඳ වසඟය’ (inner worldly enchantment) වශයෙනි (360). මෙය වේබර්ගේ ප්‍රසිද්ධ යෙදුමක නව්‍යකරණයකි. ආනුභවික අනුභූති මත පදනම් වූ තර්කණයේ ප්‍රභල බලපෑම නිසා දෘෂ්ටික ඥානයේ වලංගුතාව පිළිබඳ සිතා බලන්නට අපගේ මනස්වලට නොහැකි වීය. එනමුත් තර්කණයේ ආනිසංස නිසාම ජනිත වූ අතැම් ඥාන සම්ප්‍රදායන් මගින් මෙවැනි දෘෂ්ටික අනුභූතිවලට යම් වැදගත්කමක් ලබාදෙන ලදී. මේ ඥාන සම්ප්‍රදායන්ගෙන් එකක් නම් සිහින පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ මනෝ චිකිත්සාවයි. එනමුත් ඔබේසේකර විසින් යෝජනාකරන උපන්‍යාසය නම්, දැනීම (knowing) හා අනුභූති පිළිබඳ මේ විකල්ප ප්‍රවේශ පුනරුද තර්කණයේ බලපෑමට නතුවීමත් සමගම දෘෂ්ටිය යන්නට ලැබී තිබූ අවදානය මිලින වී ගොස්, ඒ වෙනුවට සිහිනය යන අදහස වඩාත් අවධාරණය කිරීමය.

මෙහිදී අපට මතුකළ හැකි ප්‍රශ්නයක් වන්නේ, භාවනාව මගින් ගොඩනගනු ඇත්තේ කුමනාකාරයේ ඥානයක් ද යන්නයි. එනම්, මනසින් කතිකාමය තර්කණය (discursive reasoning) හා ක්‍රියාකාරී සවිඥානකත්වය (active consciousness) ඉවත් කිරීම යන්නය. නීට්ශේගේ අදහස්වලින් උකහා ගන්නා ලද ‘It consciousness’ (202) යන අදහස මෙහිදී ඔබේසේකර යොදාගෙන ඇත්තේ භාවනාවෙන් ලැබෙන අනුභූතිය ඔස්සේ ගොඩනැගෙන දැනුමේ ස්වභාවය විස්තර කිරීම සඳහාය. එනම්, මනස තුළ නිතැනින් පැනනගින සිතුවිලි, දේව මැදිහත්වීමෙන් හෝ ඇසීමෙන් (ශෘති) ලැබෙන දැනුම මිස, ඒවා ‘විචාර පූර්වක මා’ (reflexive I) ඔස්සේ පැනෙන දැනුම නොවේ. එනමුත් ගැටලුව වන්නේ, මෙවැනි බෙහෙවින් පුළුල් කාලයක් හා අවකාශයක් ඔස්සේ පැනනැගී ඇති අනුභූති කොතෙක් දුරට පාඨනය කළ හැකිද යන්න. ඔබේසේකර සිය තර්කය ඉදිරිපත් කරන්නේ, මානව විද්‍යාව හා මනෝ චිකිත්සනය අතර සිදුවන මුණගැසීමක් වශයෙනි. ඒ මුණගැසීම ඔස්සේ පෞද්ගලික සංකේත හා සංස්කෘතිය අතර ඇති අනුභූතිමය අවකාශය ගවේෂණය කිරීම ඔබේසේකරගේ අරමුණ වේ. මාගේ විශ්වාසය වන්නේ, මනෝ චිකිත්සනය වඩාත් මානව විද්‍යාත්මක වූ ප්‍රවේශයක් මගින් කියවීම අවශ්‍ය බවයි. එනමුත් එය මේ කෘතියෙන් ඉදිරිපක් කර ඇති ප්‍රධාන තර්කයට පරිභාහිර වනු ඇත.

ඔබේසේකර විසින් විස්තර කරන ප්‍රාඥයින්ගේ බුද්ධිජීවී ලෝක තුලට ඇතුලුවීමට හා එම අදහස් ඔවුන්ගේම පර්යාවලෝක ඔස්සේ විස්තර කිරීම සම්බන්ධයෙන් කතුවරයාගේ දායකතක්වය අප අගය කළ යුතුය. එමෙන්ම, අප අගය කළ යුතු අන් කරුණ වන්නේ, තමන් දැක ඇති සිහින වැනි පුද්ගලික අත්දැකීම් ද බෙහෙවින් සංවේදීය අයුරින් කෘතියට එක්කිරීමෙන් ඔබේසේකර විසින් ගොඩනගා ඇති ස්වයං-චරිතාපදානමය හඬයි. මේ සියල්ල ඔස්සේ සිදුවන්නේ, පාඨකයින් වශයෙක් කෘතියේ විස්තර කර ඇති දෑපිළිබඳව අපගේ සිත් තුළ මතුවෙන අදහස් අපට අවැසි ලෙස පාලනය කරගැනීමට අවකාශ සකසා තිබීමය.

(මේ විමර්ශනය මුලින්ම පළවූයේ Contributions to Indian Sociology සාර-සංග්‍රහයේ 47 වන වෙළුමේ 3 වන කොටසේය (2013). එහි පරිවර්තනය පඨිත සාර-සංග්‍රහයේ පලකිරීමට අවසර දීම සම්බන්ධයෙන් මහාචාර්ය රොමා චැටර්ජී වෙත පඨිත සංස්කාරක මණ්ඩලයේ ස්තූතිය හිමිවේ. රූපය ‘රෝ විශන්’ වෙබ් අඩවියෙනි)

Leave a comment

This website uses cookies to improve your web experience.