Skip links

ලංකාවේ රථ ධාවනයෙන් පෙනෙන රියදුරන්ගේ ‘පුරවැසි’ දැනුම

~ පවිත්‍රා ජයවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලය

රථ ධාවනය යනු එදිනෙදා ජීවිතය තුළ ඉතා සාමාන්‍ය උපකාරික සංසිද්ධියකි. එය කෙතරම් සාමාන්‍යරණය වී තිබේද යත්, ධාවනය පිලිබඳ ක්‍රියාවලිය වෙනස් කළ යුතු යැයි හෝ වෙනස් කළ හැකි යැයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ නැත. පවතින තත්ත්වය සමග අනුගත වීම හැර වෙනත් විකල්පයක් තිබෙන බව ද බොහෝ දෙනා විශ්වාස කරන්නේ නැත. කෙසේ වෙතත්, රථ ධාවනය යනු, සමීපව නිරීක්ෂණය කළහොත්, සමස්ත සමාජය පිලිබඳ ප්‍රතිබිම්බයක් ලබාදෙන සමාජයීය හරස්කඩකි. මේ කෙටි ලිපියේ අවධානය යොමු වන්නේ, ලංකාවේ මාර්ගවල රිය ධාවනය යන ගතිකත්වය වෙත සහ එදිනෙදා රිය පැදවීම් සිදුකරන ආකාරය ඔස්සේ ලංකාවේ රියදුරන් සිය පුරවැසි දැනුම කුමනාකාරයෙන් ප්‍රදර්ශනය කරන්නේද යන්න පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීමටයි. එසේ වෙනත් කෝණයකින් රිය පදවන ආකාරය දෙස බැලීම තුළින් මා බලාපොරොත්තු වන්නේ, ලංකාවේ රිය පැදවීම පිලිබඳ සමාජ කතිකාවතක අවශ්‍යතාව තීව්‍ර කර පෙන්වීමටයි.

අප සියළු දෙනාම පොදුවේ එකඟ වන තත්ත්වයක් නම්, ලංකාවේ රිය පැදවීම කිසිදු ලෙසකින් හෝ පිළිවෙලක් නැති බවත්, පහසු නැති බවත්ය. ඒ, මේ සඳහා නීති රීති පද්ධතියක් තිබියදීමය.  සැබෑ ලෙසින්ම, ලංකාවේ රිය පැදවීම ජීවිතයත් මරණයත් අතර සටනකි. මෙම ප්‍රපංචයේ තිබෙන භීතිය වඩා තීව්‍රව දැනෙන්නේ, ලංකාවේ මාර්ගවල පමණක් රිය පැදවීම සිදු කරන අයට වඩා, එය සාපේක්ෂ ඇසකින් බැලිය හැකි කෙනෙකුටයි. නිදසුනක් ලෙස, ලංකාවෙන් පිට බටහිර රාජ්‍යයක රිය ධාවනය කිරීමට පුරුදු වූ ඔබේ ඥාතියෙකු හෝ කාලයකින් පසු ලංකාවට පැමිණි ඔබේ මිතුරෙකු ගැන සිතන්න. එවැනි කෙනෙකුට ලංකාවේ රිය පැදවීමට සිදු වුවහොත්, එම පුද්ගලයා භීතියෙන් ඇලලී යන්නේ නොවේද? ඔවුන්ගෙන් ඇතැමෙක් ලංකාවට වඩා තමා ජීවත්ව සිටින රාජ්‍යයේ වරප්‍රසාදිත බව පෙන්වීමට “අපෝ මෙහේ වගේ නෙවෙයි එහේ” වැනි ප්‍රකාශ ඇතැම් විට කරන බව අප දන්නා කරුණකි. නමුත්, එවන් අදහස්  ප්‍රවේශමෙන් සලකා බැලුවහොත් අපට පෙනෙන්නේ, එහි දෘශ්‍යමාන සත්‍යතාවක් තිබෙන බවයි.  

මෙකී විකෘති රිය පැදවීමට පැහැදිලි ලෙසම බොහෝ විට රියදුරන්ගේ පාලනයෙන් ඔබ්බේ පවතින නොයෙකුත් බාහිර කරුණු බලපාන බව ද පැහැදිලිය. ඒ අතර නිරතුරුවම ඇසෙන හේතු දැක්වීම් වන්නේ,  අධික තදබදය, මාර්ග නීති පිළිපැද්ද ද නොපිළිපැද්දද කිසිඳු වෙනස් විපාකයක් හිමි නොවීම, මාර්ග නීති උල්ලංඝනයක දී අත යටින් කීයක් හරි දී වැඩේ ශේප් කර ගැනීමේ හැකියාව පැවතීම, අන් සියල්ලන්ම විකෘති ලෙස ධාවනයේ යෙදෙද්දී එක් රියදුරෙක්ට පමණක් නීතියට රිය පැදවීමට කිසිඳු ප්‍රේරකයක් නැති වීම ආදී කරුණු ය. මේවා පැහැදිලි ලෙසම රිය ධාවනයේ ගුණාත්මක බවට බලපායි. ඒ සියළු සාධකවල වලංගුබව පිළිගන්නා නමුත්, මෙම සටහනේ නිශ්චිත අවධානය යොමු වන්නේ රිය ධාවනයට බලපාන තනි පුද්ගලයන්ගේ ප්‍රවේශය පිළබඳවයි. එනම්, රථ ධාවනය කරන ආකාරයෙන් පෙන්නුම්කරන සමාජය පිලිබඳ ඔවුන්ගේ සාමූහික ප්‍රවේශය පිළබඳවයි.

කාටූනය: අවන්ත ආටිගල

මාර්ග නීති පිළිපදිමින් රිය පැදවීම කළ යුතු වන්නේ, ඉතාම සරල අර්ථයකින්, ඒ හරහා අනතුරුවලට මුහුණ නොදී, පැහැදිලි කාල සීමාවක් තුළ තමන්ගේ ගමනාන්තය කරා යාමේ හැකියාව සියලුදෙනාටම ලැබෙන බැවිනි. මාර්ග නීතිවලට අනුකූල වෙමින් ගමන් කරන ලෙස ඉල්ලන විවිධ දැන්වීම් හෝ වැඩසටහන්වල එසේ සිදු කළ යුත්තේ ඇයිද යන්නට දෙන පොදු හේතුව නම්, එමගින් තමන්ගේත් අනුන්ගේත් ජීවිත අනතුරේ දැමීමෙන් වැළකිය හැකිය යන්නයි. එනමුත්, ජීවිත ආරක්ෂාව යන තර්කයට අමතරව, වෙනත් දේශපාලනික මානයක්ද මෙහි තිබේ. කෙනෙක් මාර්ග නීති පුරුද්දක් ලෙස කඩ කිරීමෙන් පෙන්වන්නේ, මහා මාර්ගය සමානව භාවිතා කිරීමට තමාට මෙන්ම අනෙකාටද අයිතියක් තිබෙන බව ඇය නොසලකා හරින බවයි. බොහෝ මාර්ග නීති උල්ලංඝනවලදී සිදුවන දේ එක් නිදසුනක් ඇසුරෙන් සරලව සිතා බලමු. වට රවුම් නීතියට අනුව දකුණෙන් එන රියැදුරාට පළමුවෙන් ඉඩ ලබා දිය යුතුය. එසේ නොකර, වමෙන් එන රියැදුරා සිතූමතේ සිය රථය පදවයි නම්, ඇය සිය අභිමතය අත්තනෝමතිකව ඉටු කර ගන්නවා පමණක් නොව, එය ඉටු කරගන්නේ, දකුණෙන් එන රියැදුරාගේ හිමිකම් සපුරාම අහිමි කරමිනි. මෙය හිතූමතේ රථය ධාවනය කරන්නියට සියයට සියක ජයක් සහ එය සැබෑ ලෙසම ලැබිය යුත්තාට සියයට බින්දුවකුත් (win – loose) හිමිවන තත්වයකි.

නමුත්, පරමාදර්ශී අර්ථයෙන්, මාර්ගය යනු, සියල්ලන්ටම සමානව භුක්ති විඳිය හැකි, සමානව ඉඩ ලැබෙන අවකාශයකි. එය කෙනෙක්ට සියයට සියයක් හා අනෙකාට බින්දුවක් නොව, සියල්ලන්ටම සියයට පනහක් ලැබිය යුතු තිරස් ධුරාවලිගත අවකාශයකි. එසේම, මාර්ගය යනු විවිධාකාර බෙදීම් සහ විෂමතාවලින් සමන්විත සමාජයේ, තමන්ගේ කුලය, ජාතිය, පන්තිය, ස්ත්‍රී-පුර්ෂ බව, ආගම කුමක් වුවත්, අන් සියලු දෙනා මෙන්ම සමානව භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු පොදු දේපොලකි. පොදු දේපොලක් යනු සියල්ලන්ටම අයත්, එක් පුද්ගලයෙකුට හෝ එක් පිරිසකට හෝ පමණක් සීමා නොවුණු දෙයකි. එනමුත්, එවැන්නක් භාවිත කිරීමට යම් මට්ටමක සමාජයීය දැනුමක් අවශ්‍ය වේ.

වසර කිහිපයකට පෙර මාර්ග නීති උල්ලංඝනය පිලිබඳ වැඩි වශයෙන් චෝදනාවට ලක් වූයේ බස් රථ රියදුරන් සහ ත්‍රීරෝද රථ රියදුරන් වැනි අයයි. නිදසුන් ලෙස, සියළුම වාහන අදාළ මන්තීරුවේ ගමන් කරද්දී, ත්‍රිරෝද රථ වම් පැත්තෙන් වැරදි මං තීරුවෙන් ඉස්සර කිරීම හෝ අශෝක් ලේලන්ඩ් වැනි විශාල බස් රථ ඉතාම වැඩි වේගයකින් භයානක ලෙස ඉරි කපාගෙන දකුණෙන් ඉස්සර කිරීම වැනි අවස්ථා සිහිපත් කර ගත හැක. බස් හෝ ත්‍රිරෝද රථ රියදුරන්ට මෙම චෝදනාව එල්ල කිරීමේදී එයට පන්ති මානයක් (class dimension) තිබෙන බව පැහැදිලිය. එනම්, අධ්‍යාපන මට්ටම සාපේක්ෂ ලෙස අඩු පිරිසට තමන් ධාවනය කරන ආකාරය තමන්ට පමණක් නොව, මාර්ගය භාවිතකරන සමස්ත රියැදුරු සමූහයටම බලපාන බව, එතරම් නොතේරෙන බවයි.

ඇරිස්ටෝටලියානු අර්ථයෙන් ගතහොත්, තමන් තනි පුද්ගලයෙකු මෙන්ම සමාජයේ සාමූහික ප්‍රජාවක් සමග ජිවත් වන, ඒ නිසා, සමාජයත් සමඟ සාමූහික බන්ධනයක් සහිත පුද්ගලයෙක් ය යන්න තේරුම් ගැනීමට ප්‍රමාණික අධ්‍යාපනයක් අවශ්‍ය ය. එතරම් සමාජයීය සංජානනයක් නැති පුරවැසියන්ට, තමන්ගේ පැවැත්ම සමූහයට බලපාන බවත්, සමූහයේ පැවැත්ම තමන්ට බලපාන බවත් තේරුම් යන්නේ අවම වශයෙන් ය යන්න මෙම තර්කයේ හරයයි.

නමුත්, අද වන විට, මාර්ග නීති නොසලකා හරින්නේ පන්තියෙන් පහල පුද්ගලයන් පමණක් නොවන බව අතිශයෝක්තියක් නොවේ. ඉතාම සුඛෝපභෝගී රථ වාහනවල ගමනේ යෙදෙන, ඉහළ මට්ටම්වල රැකියාවල නිරත, ඉහළ ජීවන රටා තිබෙන, ඒ නිසාම මධ්‍යම හෝ ඉහළ පන්තිවලට අයත් යැයි උපකල්පනය කළ හැකි රියැදුරන් බොහෝ පිරිසක් මෙසේ මාර්ග නීති නොසලකා ධාවනයේ යෙදෙති. එනම්, තව දුරටත් අධ්‍යාපන මට්ටම ඉහළ යන විට සාමූහිකය පිලිබඳ ඇති පුරවැසි සංජානනය වැඩි වන්නේය යන තර්කය වලංගු ද යන ගැටළුව පැන නගී.

තව දුරටත් එම තර්කය වලංගු වන්නට නම්, ඉහළ පන්තිවලට අයත් පුද්ගලයන්ට ලැබී තිබෙන අධ්‍යාපනය යන බදාමයේ ‘පුරවැසි’ බව පිලිබඳ ප්‍රමාණවත් දැනුමක් ගබඩා නොවී තිබිය යුතුය. එනම්, කොපමණ උපාධි ලෝගු දිනා ගත්ත ද, සමාජයක් තුළ ජීවත් වීමේදී, තමන්ට හුදෙකලා සහ තනි ජීවිත ගතකිරීමට නොහැකිය සහ තමන්ගේ පැවැත්ම සමූහයටත්, සමූහයේ පැවැත්ම තමන්ටත් බලපාන්නේය යන මූලික දැනුම තමන් ලද අධ්‍යාපනයේ කිසිඳු තැනකින් ලබා නැත. මාර්ග නීති කඩකිරීමට තව දුරටත් පන්ති භේදයක් නැත යන්නෙහි සැඟවුණු සමානාත්මක බවක් ද තිබේ. එනම්, අවම තරමින්, මාර්ග නීති කැඩීම යන විෂය තුළවත් සියල්ලෝම සමාන වන බැවිනි. ඒ, තව දුරටත් පෙර කියූ බස් හෝ ත්‍රිරෝද රථ සහ සුඛෝපභෝගී රථ වාහන පදවන රියැදුරන් අතර වෙනසක් නොමැති බැවිනි. නමුත් සමානාත්මතාව තිබිය යුත්තේ මාර්ග නීති කඩකිරීමේ කුලකයේ නොව, ඒවා ආරක්ෂා කිරීමේ කුලකයේය.

අවසාන වශයෙන් කිව යුතු වන්නේ, අපේ සමාජයේ පුරවැසියන්ගේ සාමූහික චින්තනයේ දුර්වල බවට තව දුරටත් පන්ති මානයක් නොමැති බව රහසක් නොවන බවයි. රිය පැදවීමේදී පමණක් නොව, වෙනත් ඕනෑම සමාජ කාරණයකදී වුව ද තමන් ගැන පමණක් සිතීමත්, තමන් සහ සමූහය අතර අන්‍යෝන්‍ය බන්ධනයක් නොමැති බව සිතීමත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. ‘අපි හම්බ කළොත් අපි කනවා’ වැනි ප්‍රකාශවලින් පෙන්වන්නේ ද සාමූහික පුරවැසි චින්තනය අභාවයට යන ආකාරයයි. රිය පැදවීම වැනි ඉතාම සුලභ ප්‍රපංචයක් සම්බන්ධයෙන් ලංකාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී, මාර්ග නීති උල්ලංඝනය කිරීමට හේතු වන දහසකුත් අන් හේතු අතර, මෙම පුරවැසි බව යන මානය ද සලකා බැලීම කාලීන අවශ්‍යතාවකි. විශේෂයෙන්ම, මේ ලිපියේ ප්‍රශ්න කළ, මාර්ග නීති කඩකිරීම යන කාරණයේදී තනි රියදුරන් අනෙකුත් සමස්ත රියැදුරු ප්‍රජාව ගේ සමාන අයිතීන් පිලිබඳ නොසලකා හරින්නේ ඇයිද යන්න තව දුරටත් කතිකාවට බඳුන් විය යුතුය. මෙම ප්‍රපංචයට අපගේ අධ්‍යාපන රටාවේ බලපෑමක් තිබේද සහ, එසේ තිබේ නම්, අධ්‍යාපන රටාවේ, විශේෂයෙන්ම පුරවැසි අධ්‍යාපනයේ යම් වෙනස්කම් සහ නව හඳුන්වාදීම් කළ යුතුද යන්න සලකා බැලීම වටී.

Leave a comment

This website uses cookies to improve your web experience.