Skip links

පිටුවහල් කිරීම හා බැඳීම පිළිබඳ හැගීම

Banishment and Belonging: Exile and Diaspora in Sarandib, Lanka and Ceylon (පිටුවහල් කිරීම හා බැඳීම පිළිබඳ හැගීම: සරන්ඩිබ්හි, ලංකාවේ හා සිලෝන්හි පිටුවහල් ජීවිතය හා විසිරුණු ජන ප්‍රජාවන්). රොනිත් රිච්චි. කේම්බ්‍රජ්: කේම්බ්‍රජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2019. පිටු: 282. මිල: අමෙරිකානු ඩොලර් 99.99 (ඝන කවරය සහිතව). ISBN 978-1-108-72724-2.

___________

විමර්ශනය: නිරා වික්‍රමසිංහ, ලයිඩන් විශ්වවිද්‍යාලය
පරිවර්තනය: සසංක පෙරේරා, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය

නොයෙකුත් යුගවල ශ්‍රී ලංකාව විවිධ නම්වලින් හඳුන්වන ලදී. අරාබි ජාතිකයන්ට එය සෙරන්ඩිබ් වූ අතර, රාමායනයේ හා නොයෙකුත් වංශකතාවල එය හැඳින්වූයේ ලංකා ලෙසය. දහසය වැනි සියවසින් පසුව වරින් වර ලංකාවේ නොයෙක් පළාත් යටත්කරගත් යුරෝපීය ජාතීන් සියලු දෙනාටම එය සිලෝන් නම් වීය. තත්කාලීන ශ්‍රී ලංකාවේ ‘ශ්‍රී ලංකා මැලේ’ වශයෙන් හඳුන්වන කුඩා, එනමුත් පැහැදිලි අනන්‍යතාවකින් යුත් සුළු ජන ප්‍රජාවක් ජීවත් වේ. වඩාත් පැහැදිලිව, ඔවුන් දිවයිනේ මුස්ලිම් ප්‍රජාවේ කොටසක් ලෙසම සැලකෙන මැලේ බස වහරණ සුළුතරයකි. මේ ප්‍රජාවන් තම ප්‍රභවය ලොව නොයෙකුත් ප්‍රදේශ සමග සම්බන්ධ කර ගනිති. මේ අනුව, මැලේවරුන්ගේ ප්‍රභවය නැගෙනහිර ඉංදීය කලාපය (East Indies) සමග බැදී පවතී. එනම්, මේ විශේෂයෙන්ම ඉන්දුනීසියාව ආශ්‍රිත ප්‍රදේශ වේ. එමෙන්ම, බොහෝ මුස්ලිම්වරුන්ගේ ප්‍රභවය අරාබිකරය හා ඉන්දියාව සමග බැදී පවතී. බ්‍රිතාන්‍යයින්ට පෙර ශ්‍රී ලංකාව පාලනය කළ අධිරාජ්‍යවාදීන් වූ ඕලන්ද ජාතිකයින් ‘ආසියාතිකයින්’ යන අර්ථය ගෙන දෙන ඌස්ටර්ලින්ගන් (Oosterlingen) යන පදය යොදා ගැනුණේ ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමට පෙර හෝ බලය යොදා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පෙර ඉන්දුනීසියාවේ බටාවියා ප්‍රදේශයේ (Batavia) ජීවත් වූ ජනයා හැඳින්වීමටය. ඇතැම් විට මේ ජනයා හැඳින්වීමට ජාවාවරු (Javanese) යන පදයද භාවිත කෙරුණි. රිචි අපට පෙන්වා දෙන පරිදි, ‘මැලේ’ යන තනි පදය 19 වන සියවසේ සිට වඩාත් විවිධත්වයෙන් සංකීර්ණ වූ ජනප්‍රජාවක් හැඳින්වීමට යොදා ගන්නා ලදී. එනම්, ඒ වන විට ඒ පදය මගින් විස්තර කරනු ලැබූ පුද්ගලයින්ගෙන් ඇතැමුන් මැලේ බසට අමතර වෙනත් භාෂා ද කතාකළ අතර, ඔවුන් සියලු දෙනාම මුස්ලිම්වරුන්ද නොවූහ.

Banishment and Belonging කෘතිය මගින් කරනු ලබන්නේ නැගෙනහිර ඉන්දීය කලාපයෙන් පිටුවහල් කළ පුද්ගලයින් විසින් ගොඩනගන ලද පිටුවහල් කිරීම පිළිබඳ ආඛ්‍යාන ගවේශණය කිරීමය. මෙසේ අධිරාජ්‍යවාදීන් විසින් පිටුවහල් කළ කණ්ඩායම් අතර ඉන්දුනීසියානු රාජකීය පවුල්වල සාමාජිකයින්, සිරකරුවන්, සොල්දාදුවන් හා වහලුන් යනාදි පුද්ගලයින් සිටියහ. මෙසේ පිටුවහල් කළ බොහෝ දෙනා තම මව් රටේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටුකළ අය වූහ. උදාහරණයක් වශයෙන්, 1704 දී පිටුවහල් කළ සුරකර්තාවේ තුන් වන අමන්ග්කුරාට් (Amangkurat III of Surakarta) යන ජාවා ජාතික රජතුමා සැලකිල්ලට ගත හැක. ඔහු ඊට වසර තිහකට පසු ශ්‍රී ලංකාවේදී මිය ගියේය. තවත් උදාහරණයක් වන්නේ, 1767 දී ලංකාවට පිටුවහල් කළ ගෝවාහි සුල්තාන් වරයාය (Sultan of Gowa). සැබැවින්ම, අධිරාජ්‍යවාදීන්ට ගැටළු ඇතිකළ පුද්ගලයින් ඔවුන්ගේ මාතෘභූමිවලින් පිටුවහල් කිරීම මේ යුගයේ සුලභව භාවිත වූ දඩුවමක් වීය. මෙවන් පුද්ගලයින් ඇතැම් විට අප්‍රිකාවේ කේප් කොලනිය වැනි බොහෝ ඈත ප්‍රදේශවලටද පිටුවහල් කරනු ලැබීය.

මේ අගනා කෘතිය මගින් රොනිත් රිච්චි උත්සාහ ගන්නේ මෙසේ පිටුවහල් කළ පුද්ගලයින්ගේ ජීවිත ඉතිහාසයන් නැවත ගොඩනැගීම නොවේ. තොරතුරු සොයා ගැනීමේ අපහසුතාව නිසා එවන් ව්‍යාපෘතියක් බෙහෙවින් අසම්පූර්ණ වනු නොඅනුමානය. ඒ වෙනුවට ඇය කරනුයේ පහත සදහන් කේන්ද්‍රීය ප්‍රශ්නය මතු කිරීමය: ‘යම් කිසි ස්ථානයක් හැදින්වීම සදහා යොදාගන්නා එකිනෙකින් වෙනස් නම්, එම ස්ථානය පරිකල්පනය කිරීමේ දී බලපෑම් කරන්නේ කෙසේද? එමෙන්ම, එම ස්ථානය පිළිබඳව ලියැවී ඇති ඉතිහාසයන් පරම්පරාවෙන් පරම්පරාවට කාලය, අවකාශය හා නොයෙකුත් සාහිත්‍යමය ප්‍රවර්ග ඔස්සේ නැවත නැවතත් වරනැගීමේදී එකී ස්ථාන නාම මගින් බලපෑම් කරනුයේ කෙසේද?’ මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා කතුවරිය සිය මහඟු භාෂා හැකියාව උපයෝගි කරගෙන යටත්විජිත මෙන්ම දේශීය මූලාශ්‍ර ද පරිශීලනය කර ඇත. එකී මූලාශ්‍ර නොයෙකුත් කාලවලදී රචනා වූ ඒවා වන අතර, භාෂා කීපයකින්ම ලියැවී තිබේ. මේ අතර අරාබි, ඕලන්ද, ජාවා, මැලේ, සිංහල, සංස්කෘත හා දෙමල යන භාෂා මූලාශ්‍ර ඇතුලත් වේ. ඇයට මේ භාෂා සියල්ලම පාහේ මැනැවින් කියවීමේ හැකියාව ඇති නිසා, ඒ ඔස්සේ අදාල සිද්ධි පිළිබඳ විස්තර වඩාත් පුළුල් වූ ඉංදීය සාගර කලාපය මුළුල්ලේම සොයා බලා ඇත.

ඇයගේ කෘතිය සුවිශේෂී කෘතියක් වන්නේ එකිකෙට වෙනස් වූ පඨිත ගණනාවක් සමීපව කියවීම මගින් ලබාගන්නා දැනුම එයට ගෙනඑන නිසාය. මේ අතර 19 වන සියවසේ මුල් කාලයේදී ලියැවුන මැලේ කෘතියක් ද 1720 ගණන්වල යාපනයට හා ත්‍රිකුණාමළයට පිටුවහල් කර සිටි ජාවා ජාතිකයින් විසින් ලියූ ලියුම් ගණනාවක් ද ඇතුළත් වේ. මීට අමතරව, ජාවා ප්‍රදේශය ඉස්ලාමීයකරණය වීම පිළිබඳ විස්තර කියාපාන හිකායට් තුආන් ගුස්ටි (Hikayat Tuan Gusti) යන පඨිතය ද ඓතිහාසික බබාඞ් (babad) ප්‍රවර්ගයට අයත් ජාවා බසින් ලියවුන අත්පිටත් ද ඇය මූලාශ්‍ර වශයෙන් පරිශීලනය කර ඇත. බොහෝ විට අතිශයින් සංකීර්ණ වූ මේ පඨිත ඇය යොදා ගන්නේ පිටුවහල් ජීවිතය අත්වින්ද ආකාරය හා එය තේරුම් ගත් ආකාර නිසි ලෙස වටහා ගැනීම සඳහාය. ඇයගේ කෘතියේ වඩාත් සිත් ගන්නා පරිඡේදයක් වන්නේ, යටත්විජිතවාදීන් විසින් පිටුවහල් කරනු ලැබ, මේ යුගයේ ලංකාවේ ජීවත් වූ මැලේවරුන්ට සරන්ඩිබ්හිදී (එනම් ලංකාවේදී) ආදම් අත්විදි සිය ඇදවැටීම පිළිබඳ විශ්වාසය ඔවුන්ට වැදගත් වූ ආකාරය විස්කර කරන පරිඡේදයයි. ක්‍රිස්තියානි හා ඉස්ලාම් විශ්වාසවලට අනුව ආදම් යනු මිහිපිට දෙවියන් වහන්සේ විසින් මැවූ පළමු මිනිසාය. ඇය පෙන්වා දෙන්නේ මැලේ වරුන් ලංකාවට පිටුවහල් කිරීම යනු හුදෙක් පිටුවහල් කිරීමක් පමණක් ලෙස ඔවුන් නොදුටු බවත්, එය තමන් දැන සිටි ආදම්ගේ පූජනීය වූ ජීවිත කතාව ඔස්සේ නැවත පැමිණීමක් සළකුණු කළ බවත්ය. ඇයගේ තර්කය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන තොරතුරු බෙහෙවින් සිත්ගන්නා සුළුය. ඇය අපට පෙන්වා දෙන පරිදි, ලංකා යන පදය පිටුවහල් කිරීම යන අදහස දනවන මැලේ සහ ජාවා භාෂාවල ක්‍රියාපදයක් බවට පත්ව තිබුනි. එනම්, ‘ඩිසයිලන්කන්’ (disailankan) යන පදයයි. තවද හිකයට් සිරි රාමා (Hikayat Siri Rama) යන මැලේ බසින් රචිත රමායනය අප බොහෝ දෙනා කියවා නැති පඨිතයකි. එහි දැක්වෙන පරිදි, රාවණා මෙන්ම ආදම් යන දෙදෙනාම සරන්ඩිබ්, නැතිනම් ලංකාව වෙත පිටුවහල් කර සිටියහ!

මේ කෘතිය මගින් සිදුකරන්නේ ශ්‍රී ලංකාව වඩාත් පුළුල් වූ ඉංදීය සාගර ඉතිහාසයකට ඇතුළු කිරීම හා එමගින් ලංකාව හා සම්බන්ධ දූපත්-ජාතික අනන්‍යතාව අස්ථාවර කර, එය සාමාන්‍යයෙන් ස්ථානගත වී ඇති සාම්ප්‍රදායික දකුණු ආසියානු විශ්ලේෂණ රාමුවෙන් ද දුරස් කිරීමය. එනම්, ශ්‍රී ලංකාව සරන්ඩිබ් පිළබඳ වෘතාන්තය සමග සම්බන්ධ කිරීම තුළින් කතුවරියට එය වඩාත් උනන්දුසහගත ආඛ්‍යාන හා පඨිත සම්ප්‍රදායන් ගණනාවක් සමග සම්මුඛ කිරීමට හැකිවේ. මේ සියළු සම්ප්‍රදායන් ශ්‍රී ලාංකේය ජාතික රාජ්‍ය හා සම්බන්ධ මහා ආඛ්‍යාන හමුවේ පවතින්නේ හුදු සෙවනැලි පමණක් වශයෙන් බවද අප මතක තබා ගත යුතුය. Banishment and Belonging කෘතිය පැහැදිලිවම ‘මැලේ ලෝකය’ සලකුණු කරන දේශ සීමා පිළිබඳව නැවත සිතා බලන්නට ශාස්ත්‍රඥයින්ට කරන ආරාධනයකි. දැනට පවතින තත්ත්ව තුළ ඒ ලෝකය හමුවේ ශ්‍රී ලංකාව විකසිත වන්නේ නම්, ඒ කලාතුරකිනි. තවද විසිරුණ ජන ප්‍රජාවක් (diaspora) විසින් යම් ස්ථානයක් සමග ඇතිකරගන්නා ඛණ්ඩනය වූ හා පරස්පරවිරෝධී සම්බන්ධතාව තේරුම් ගැනීමට මේ කෘතිය මහත් දායකත්වයක් සපයයි. එනම්, එවන් ප්‍රජාවන් යම් ස්ථානයක් සමග ඇති බැඳීම ඛණ්ඩනය වීම පිළිබඳව ශෝක වුවද ඔවුන් නැවත පදිංචි වූ ස්ථානයේ සිට සිය පැරණි මාතෘභූමිය මෙන්ම තත්කාලීන වාසස්ථානය වෙත විචාරපූර්වක බැල්මක් හෙලන බව ඇය පෙන්වා දෙයි.

කෙසේ වුවද, ක්ලෙයාර් ඇන්ඩර්සන්ගේ Subaltern Lives: Biographies of Colonialism in the Indian Ocean World ,1790-1920 (නිව් යෝර්ක්: කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2012) වැනි කෘති සමග සැසදීමේදී මේ කෘතිය සාමාන්‍ය ජනතාවක් පිළිබඳව හෝ සිරකරුවන් කණ්ඩායමක් පිළිබඳව හෝ සමාජ ඉතිහාසයක් ඉදිරිපත් කරන කෘතියක් නොවේ. සැබැවින්ම එමගින් දිවයිනේ අදාළ කාලය තුළ සිදුවූ අන් සිද්ධි පිළිබඳ එපමණ තොරතුරු සපයන්නේ නැත. මැලේවරුන් සමග එකළ ජීවත් වූ අන් ප්‍රජාවන් පිළිබඳව ද එමගින් අප දැනුවත් නොවේ. ඔවුන් ජීවත් වූ අවකාශය ජනවර්ගික පදනම මත වෙන් වී තිබුනේද? නොඑසේ නම්, වෙනස්කම් ඇතිව ජීවත්වීමේ අයිතිය අදාල ප්‍රජාවට යම් දුරකට හෝ තිබුනේද? නැතහොත්, ඔවුන්ගේ ජීවිත නිදහසක් නොමැති වීම යන කාරණය මත මත පදනම් වී තිබුනේද? මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු මේ කෘතිය මගින් අපට ලබාදෙන්නේ නැත. මේ කෘතිය මූලික වශයෙන් පඨිත විශ්ලේෂණයට උනන්දුවක් ඇති ශාස්ත්‍රඥයෙකුගේ ව්‍යායාමයකි. එනමුත් මේ කෘතිය මගින් පිටුවහල් ජීවිතය පිළිබඳ වේදනාකාරී හා අතිශය පෞද්ගලික හා සංවේදී තොරතුරු අපට ලබා දෙයි. මේ පඨිතමය ප්‍රවේශය හා එහි සීමා නිසාම ඇතැම් විට Banishment and Belonging කෘතිය කියවීම බෙහෙවින් අසීරු වේ. මක් නිසාද යත්, කෘතිය කතුවරිය විශ්ලේෂණය කරන පඨිත වෙත බෙහෙවින් සමීප වන නිසා හා ඒ තුළම බොහෝ දුරට දෝලනය වන නිසාය. එනමුත් ඇයගේ උත්සාහය පැහැදිලිවම පැසසිය යුතුය. රුචීගේ කෘතිය අනිවාර්යයෙන් කියවිය යුතු, මනරම් ලෙස ලියා ඇති හා අනේකවිද නව අන්තර්දෘශ්ටීන් අප වෙත ලබා දෙන කෘතියකි.

(මේ විමර්ශනය රචනා කරන ලද්දේ Society and Culture in South Asia සාර-සංග්‍රහයේ 6 වන වෙළුමේ දෙවන කොටස සඳහාය (ජූනි 2020). එය මෙහි පළකරන්නට අවසර දීම සම්බන්ධයෙන් Society and Culture in South Asia සංස්කාරක මණ්ඩලයට පඨිත සංස්කාරක මණ්ඩලයේ ස්තූතිය හිමි වේ)

Leave a comment

This website uses cookies to improve your web experience.